Skip to content

පටුනට යන්න

68වෙනි පරිච්ඡේදය

දෙවිගේ පුත්‍රයා “ලෝකයේ ආලෝකයයි”

දෙවිගේ පුත්‍රයා “ලෝකයේ ආලෝකයයි”

යොහන් 8:12-36

  • පුත්‍රයා කවුද කියා යේසුස් පැහැදිලි කරයි

  • යුදෙව්වන් දාසයන් කියා යේසුස් පවසයි

පැල් උත්සවයේ අන්තිම දවස වන හත්වෙනි දවසේ යේසුස් දේවමාලිගාවේ “මුදල් බඳුන් තබා ඇති ස්ථානයේ” ඉඳන් උගන්වනවා. (යොහන් 8:20; ලූක් 21:1) පෙනෙන විදිහට ඒ බඳුන් තියෙන්නේ ස්ත්‍රීන්ගේ මළුවේ.

ඒ මළුවේ යෝධ පහන් රුක් හතරක් තියෙනවා. ඒ හැම එකකම තෙල් පුරවපු ලොකු පහන් හතරක් තියෙනවා. පැල් උත්සවය කාලේ හැමදාම රෑට ඒවා දල්වන නිසා ඒ අවටම ආලෝකවත් වෙනවා. යේසුස් දැන් මෙහෙම කියද්දී අහන් ඉන්න අයට ඒ ආලෝකය ගැන මතක් වෙන්න ඇති. “ලෝකයේ ආලෝකය මමයි. මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ. මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.”—යොහන් 8:12.

ඒකට විරුද්ධ වෙන පරිසිවරු මෙහෙම කියනවා. “ඔබට තිබෙන්නේ ඔබේ සාක්ෂිය විතරයි. ඒ නිසා ඔබ දෙන සාක්ෂිය පිළිගන්න බැහැ.” එතකොට යේසුස් මෙහෙම කියනවා. “මට මගේ සාක්ෂිය පමණක් තිබුණත් ඒ සාක්ෂිය සැබෑවක් ලෙස ඔබ පිළිගත යුතුයි. මන්ද මම කොහෙන් ආවාද කියාත් මම යන්නේ කොතැනටද කියාත් මම හොඳින් දන්නවා. නමුත් මම ආවේ කොහෙන්ද කියාවත් යන්නේ කොතැනටද කියාවත් ඔබ දන්නේ නැහැ.” යේසුස් මෙහෙමත් කියනවා. “ඔබේම නීතියේ, ‘මිනිසුන් දෙදෙනෙකුගේ සාක්ෂිය අවශ්‍යයි’ කියා සඳහන් වී තිබෙනවා. මට මගේ සාක්ෂිය තිබෙනවා වගේම මාව එවූ පියාණන්ද මා ගැන සාක්ෂි දරනවා.”—යොහන් 8:13-18.

ඒත් පරිසිවරු “ඔබේ පියා සිටින්නේ කොහේද” කියා අසනවා. යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “ඔබ මාවත් මගේ පියාණන්වත් හඳුනන්නේ නැහැ. ඔබ මාව හඳුනාගෙන සිටියා නම් මගේ පියාණන්වත් ඔබ හඳුනාගන්නවා.” (යොහන් 8:19) යේසුස්ව අත්අඩංගුවට ගන්න පරිසිවරුන්ට ඕන වුණත් ඔවුන් ඔහුට අතක්වත් තියන්නේ නැහැ.

යේසුස් කලින් කියලා තිබුණු මේ දේ ආයෙත් කියනවා. “මම පිටත් වී යනවා. ඔබ මාව සෙව්වත් මා යන තැනට ඔබට එන්න බැහැ. ඔබ තවමත් පව්කාරයන් වන නිසා ඔබට මිය යන්න සිදු වෙයි.” ඒ දේ යුදෙව්වන් හරියට තේරුම්ගන්නේ නැහැ. “‘මා යන තැනට ඔබට එන්න බැහැ’ කියා ඔහු පවසන්නේ ඇයි? ඔහු දිවි නසාගන්නද යන්නේ” කියා ඔවුන් කතා වෙන්නේ ඒ නිසයි. ඇත්තටම යේසුස් ඇවිත් ඉන්නේ කොහෙන්ද කියලා ඔවුන් දන්නේ නැහැ. යේසුස් දැන් ඒ ගැන පැහැදිලි කරමින් මෙහෙම කියනවා. “ඔබ ඇවිත් සිටින්නේ පොළොවෙන්. මම ඇවිත් සිටින්නේ ඉහළින්. ඔබ අයිති මේ ලෝකයටයි. මම මේ ලෝකයට අයිති නැහැ.”—යොහන් 8:21-23.

යේසුස් එහෙම කිව්වේ පොළොවට එන්න කලින් තමන් ස්වර්ගයේ ජීවත් වුණා කියලත් පොරොන්දු කරන ලද මෙසියස් තමන් කියලත් පැහැදිලි කරන්නයි. ඇත්තටම මෙසියස්ව නැත්නම් ක්‍රිස්තුස්ව දැකගන්න ආගමික නායකයනුත් කාලයක් තිස්සේ ලොකු ආසාවකින් බලන් හිටියා. ඒත් දැන් ඔවුන් අපහාසාත්මක විදිහට යේසුස්ගෙන් අහන්නේ “ඔබ කවුද” කියලයි.—යොහන් 8:25.

ඔවුන් තමන්ව ප්‍රතික්ෂේප කරන නිසා “ඔබ සමඟ මෙසේ කතා කිරීමේ ඇති පලේ කුමක්ද” කියා යේසුස් අසනවා. ඒත් යුදෙව්වන් දෙවිගේ පුත්‍රයාට සවන් දෙන්න ඕනෙ ඇයි කියලා යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. “මම ඔබට පවසමින් සිටින්නේ මාව එවූ තැනැත්තා මට පැවසූ දේවලුයි. ඔහු සැබෑ කෙනෙක්.”—යොහන් 8:25, 26.

පියාණන් ගැන තමන්ට කොයි තරම් නිසැකකමක් තියෙනවාද කියලා පැහැදිලි කරමින් යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව එල්ලා තබන දවසේදී එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි. ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත් පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත් ඔබට වැටහෙයි. මාව එවූ තැනැත්තා මා සමඟ නිරතුරුවම සිටියි. මගේ එකම ආශාව ඔහුට ප්‍රසන්න දේවල් කිරීමයි. ඒ නිසා ඔහු මාව අත්හරින්නේ නැහැ.”—යොහන් 8:28, 29.

කොහොමවුණත් තමන්ව විශ්වාස කරන යුදෙව්වන්ට යේසුස් මෙහෙම කියනවා. “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”—යොහන් 8:31, 32.

හැබැයි නිදහස ලබා දෙනවා කියලා යේසුස් කියපු දේ සමහර අයට තේරෙන්නේ නැහැ. ඔවුන් මෙහෙම කියනවා. “අපි ආබ්‍රහම්ගේ දරුවෝ. අපි කවදාවත් කාටවත් දාසයන් වුණේ නැහැ. ‘ඔබට නිදහස ලැබෙනවා’ කියා ඔබ කියන්නේ ඇයි?” සමහර කාලවලදී තමන් වෙන පාලනයන්ට යටත් වෙලා හිටියා කියලා යුදෙව්වන් දන්නවා. ඒත් දැන් තමන්ව දාසයන් විදිහට හඳුන්වනවාට ඔවුන් කැමති නැහැ. ඔවුන් දැනටත් දාසයන් වෙලයි ඉන්නේ කියලා පැහැදිලි කරන්න යේසුස් මෙහෙම කියනවා. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, පව් කරන සෑම කෙනෙක්ම පාපයට දාසයෙක් වන බවයි.”—යොහන් 8:33, 34.

ඔවුන් පාපයට දාසයන් වෙලා ඉන්නවා කියලා ප්‍රතික්ෂේප කරන එකේ අනතුර පැහැදිලි කරමින් යේසුස් මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් දාසයෙක් තමා වැඩ කරන නිවසෙහි හැමදාම රැඳී සිටින්නේ නැහැ. නමුත් ඒ නිවසේ පුත්‍රයා එසේ නොවෙයි. ඔහු හැමදාටම නිවසෙහි රැඳී සිටියි.” (යොහන් 8:35) සාමාන්‍යයෙන් දාසයෙක්ට නිවසේ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. ඕනෙම වෙලාවක දාසයෙක්ව නිවසෙන් එළියට දාන්න පුළුවන්. ඒත් “හැමදාටම” ඒ කියන්නේ මිය යන කල්ම නිවසේ ඉන්න පුළුවන් වෙන්නේ නිවැසියාට ඉපදෙන පුත්‍රයාට එහෙමත් නැත්නම් ඔහු හදා වඩා ගන්න කෙනෙක්ට විතරයි.

උරුම වෙලා තියෙන පාපයෙන් නිදහස ලබන්න නම් දෙවිගේ පුත්‍රයා ගැන සත්‍යය දැනගන්න ඕනේ. ඒ නිසයි “පුත්‍රයා ඔබව නිදහස් කළොත් ඔබට සැබෑ නිදහසක් ලැබෙයි” කියලා යේසුස් කියන්නේ.—යොහන් 8:36.