Skip to content

පටුනට යන්න

85වෙනි පරිච්ඡේදය

පසුතැවිලි වෙන පව්කාරයෙක් ගැන දැනෙන සතුට

පසුතැවිලි වෙන පව්කාරයෙක් ගැන දැනෙන සතුට

ලූක් 15:1-10

  • නැති වුණු බැටළුවා සහ නැති වුණු කාසිය ගැන නිදර්ශන

  • ස්වර්ගයේ දේවදූතයන් සතුටු වෙයි

යේසුස් දේවසේවය කරපු කාලයේදී නිහතමානිකම මොන තරම් වැදගත්ද කියලා හුඟක් අවස්ථාවලදී කාවැද්දුවා. (ලූක් 14:8-11) නිහතමානීව දෙවිට සේවය කරන්න කැමති මිනිසුන්ව හොයාගන්න ඔහු ලොකු වෙහෙසක් දරනවා. ඒ අතරින් සමහර අය බරපතළ වැරදි කරමින් ඉන්නවා ඇති.

පරිසිවරු සහ නීතිය පිටපත් කරන අය පව්කාරයන් විදිහට හඳුන්වන මිනිසුන් දැන් යේසුස් ළඟට ගිහින් ඔහු කියන පණිවිඩය හරිම ආසාවෙන් පිළිගන්නවා. “මේ මිනිසා පව්කාරයන්ව පිළිගෙන ඔවුන් සමඟ කෑමත් කනවා” කියලා පරිසිවරු සහ නීතිය පිටපත් කරන අය කොඳුරන්නේ ඒ නිසයි. (ලූක් 15:2) ඔවුන් ඒ වගේ මිනිසුන්ව සලකන්නේ කිසි වටිනාකමක් නැති අය විදිහට. තමන් අනිත් අයට වඩා උසස් කියලා හිතන ඔවුන් සාමාන්‍ය මිනිසුන්ව සලකන්නේ කකුලට පෑගෙන දූවිලි ගානටයි. ඒ නිසා තමයි ඔවුන් ඒ අයව “පොළොවේ මිනිසුන්” කියන අර්ථය දෙන “අම්හාරෙට්ස්” කියන හෙබ්‍රෙව් වචනයෙන් හඳුන්වන්නේ.

ඒත් යේසුස් ඔවුන්ට කාරුණිකව සහ දයානුකම්පිතව සලකනවා. ඒ නිසා තමයි පව්කාරයන් ඇතුළු පීඩා විඳින හුඟදෙනෙක් යේසුස් උගන්වන දේවලට කැමැත්තෙන්ම සවන් දෙන්නේ. ඒ මිනිසුන්ට උදව් කරන නිසා තමන්ට එල්ල වෙන චෝදනා ගැන යේසුස්ට හැඟෙන්නේ කොහොමද?

දැන් යේසුස් කියන නිදර්ශනයෙන් ඒකට උත්තරේ පැහැදිලි වෙනවා. ඒ වගේ නිදර්ශනයක් ඔහු කලින් වතාවක කපර්ණවුමේදීත් කියලා තියෙනවා. (මතෙව් 18:12-14) ඔහු ඒ නිදර්ශනයේ පරිසිවරුන්ව හඳුන්වන්නේ දෙවිගේ රැළේ සුරක්ෂිතව ඉන්න ධර්මිෂ්ඨ අය විදිහටයි. හැබැයි පීඩා විඳින සාමාන්‍ය මිනිසුන්ව ඔහු සමාන කරන්නේ ගාලෙන් පිට ගිහින් නැති වුණු අයටයි.

යේසුස් දැන් මෙහෙම කියනවා. “මිනිසෙකුට බැටළුවන් සියදෙනෙක් සිටිනවා කියා සිතන්න. උන්ගෙන් එකෙකු නැති වුණොත් ඔහු සමඟ පාළු බිම්වල සිටින අනික් අනූනවදෙනාට ඉන්න හැර, නැති වූ බැටළුවාව සම්බ වන තුරු මහත් වෙහෙසක් දරා සොයන්නේ නැද්ද? එම මිනිසා ඌව සොයාගත් විට ඔහු තුළ කොතරම් ප්‍රීතියක් ඇති වෙයිද! ඌව කරේ තබාගෙන, ගෙදර ගොස් ඔහුගේ මිතුරන් සහ අසල්වැසියන් කැඳවා, ‘මගේ නැති වූ බැටළුවා සොයාගන්න මට පුළුවන් වුණා. ඒ නිසා ඇවිත් මා සමඟ ප්‍රීති වන්න’ කියා ඔවුන්ට කියයි.”—ලූක් 15:4-6.

ඒ නිදර්ශනයෙන් යේසුස් කාවද්දන්නේ මොකක්ද? ඒ ගැන ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “මේ දේ හොඳට මතක තබාගන්න. පසුතැවිලි වීමේ අවශ්‍යතාවක් නැති ධර්මිෂ්ඨ අනූනවදෙනෙකු ගැන ප්‍රීති වෙනවාට වඩා පසුතැවිලි වන එක පව්කාරයෙක් ගැන ස්වර්ගයේ සිටින දේවදූතයන් කොතරම් ප්‍රීති වෙනවාද!”—ලූක් 15:7.

පසුතැවිලි වෙන එක ගැන යේසුස් කියපු දේ පරිසිවරුන්ට ලොකු පහරක් වගේ දැනෙන්න ඇති. මොකද තමන් ධර්මිෂ්ඨයි කියලා හිතන පරිසිවරු තමන් අතින් කිසි වරදක් වෙලා නැහැ කියලයි හිතාගෙන ඉන්නේ. අවුරුදු දෙකකට විතර කලින් ඒ අය අතරින් සමහරු යේසුස් බදු එකතු කරන අය සහ පව්කාරයන් එක්ක කෑම ගත්ත එක ගැන චෝදනා කළා. ඒ වෙලාවේ යේසුස් ඔවුන්ට මෙහෙම කිව්වා. “මම ආවේ ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි. පව්කාරයන්ට උපකාර කරන්නයි.” (මාක් 2:15-17) ඒ උඩඟු පරිසිවරු පසුතැවෙන්නේ නැති නිසා ස්වර්ගයේ ඉන්න දේවදූතයන්ට ඔවුන් ගැන කිසිම සතුටක් දැනෙන්නේ නැහැ. හැබැයි පව්කාරයන් අවංකවම පසුතැවෙනවා දකිද්දී දේවදූතයන් සතුටින් පිනා යනවා.

දේවදූතයන් ඒ ගැන කොයි තරම් සතුටු වෙනවාද කියලා කාවද්දන්න යේසුස් තවත් නිදර්ශනයක් කියනවා. මේ නිදර්ශනයෙන් කියවෙන්නේ ගෙදරකදී සිද්ධ වෙන දෙයක් ගැන. “රිදී කාසි දහයක් ඇති ස්ත්‍රියක් ගැන සිතන්න. ඇගේ එක රිදී කාසියක් හෝ නැති වුණොත් ඇය පහනක් දල්වාගෙන, ගේ අතුගා එය සම්බ වන තුරුම මහත් වෙහෙසක් දරා එය සොයන්නේ නැද්ද? ඇය එය සොයාගත් විට ඇගේ මිතුරියන්ට සහ අසල්වැසියන්ට අඬගසා, ‘මගේ නැති වූ රිදී කාසිය මට සම්බ වුණා. ඇවිත් මා සමඟ ප්‍රීති වන්න’ කියා ඔවුන්ට පවසයි.”—ලූක් 15:8, 9.

දැන් යේසුස් මෙහෙම කියනවා. “මම ඔබට කියන්නේ, පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන දෙවිගේ දූතයන් ප්‍රීති වන බවයි.” (ලූක් 15:10) නැති වුණු බැටළුවා ගැන කියපු නිදර්ශනයෙනුත් ඔහු ඒ කාරණය කාවැද්දුවා.

පව්කාරයන් පසුතැවිලි වෙද්දී දේවදූතයන් ඒ ගැන හුඟක් ප්‍රීති වෙනවා. ඒක හරිම විශේෂ දෙයක්. මොකද පසුතැවෙන ඒ වගේ අය දෙවිගේ රාජ්‍යයට ඇතුල් වුණාම ඔවුන්ට ලැබෙන්නේ දේවදූතයන්ටත් වඩා උසස් තත්වයක්. (1 කොරින්ති 6:2, 3) ඒත් දේවදූතයන් ඒ අයට පොඩ්ඩක්වත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. එහෙමනම් අවංකවම පසුතැවිලි වෙලා දෙවියන් වෙතට හැරෙන මිනිසුන් ගැන අපි කොයි තරම් නම් සතුටු වෙන්න ඕනෙද!