Skip to content

පටුනට යන්න

උපග්‍රන්ථය—දෙමාපියන්ට පැනනඟින ගැටලු

උපග්‍රන්ථය—දෙමාපියන්ට පැනනඟින ගැටලු

උපග්‍රන්ථය

දෙමාපියන්ට පැනනඟින ගැටලු

“මගේ දරුවා එයාගේ ප්‍රශ්න මට කියන්නේ නැත්තේ ඇයි?”

“ගෙදරට එන්න වෙලාවක් නියම කළ යුතුද?”

“කෑම පාලනය කරන්න මගේ දුවට උදව් කරන්නේ කොහොමද?”

ඉහත සඳහන් වෙන්නේ මෙම උපග්‍රන්ථයේ සාකච්ඡා කරන ප්‍රශ්න 17 අතරින් කිහිපයක්. එම ප්‍රශ්න කොටස් හයකට වෙන් කර තිබෙන අතර ඒ හැම ප්‍රශ්නයකටම අදාළ පිළිතුරු මෙම පොතෙන් සහ 2වන පොතෙන් සොයාගන්න පුළුවන්.

මෙම පොතේ තිබෙන තොරතුරු කියවා හැකි නම් ඔබේ බිරිඳ හෝ සැමියා සමඟ සාකච්ඡා කරන්න. ඉන්පසු එම උපදෙස් ඔබේ දරුවන්ට උපකාර කිරීමේදී යොදාගන්න. එම උපදෙස් විශ්වාසවන්තයි. ඒවා පදනම් වී ඇත්තේ දෙවිගේ වචනය වන බයිබලය මත මිස මිනිසුන්ගේ අසාර්ථක උපදෙස් මත නොවෙයි.—2 තිමෝති 3:16, 17.

290  අදහස් හුවමාරුව

297  නීතිරීති

302  නිදහස

307  ලිංගික කාරණා සහ ප්‍රේම සබඳතා

311  මානසික ගැටලු

315  නමස්කාරය

 අදහස් හුවමාරුව

මගේ බිරිඳ හෝ සැමියා සමඟ නැත්නම් දරුවන් සමඟ වාද කිරීමෙන් හානියක් වෙනවාද?

විවාහ ජීවිතය තුළ වාදවිවාද ඇති වීම සාමාන්‍ය දෙයක්. ඒවා විසඳාගන්න ආකාරය ඔබේ පෞද්ගලික තීරණයක්. නමුත් දෙමාපියන් අතර ඇති වන වාදවිවාද දරුවන්ට බලපාන්න පුළුවන්. ඔබ දැන් විවාහ ජීවිතය ගත කරන ආකාරය ඔබේ දරුවන් කවදා හෝ විවාහ වූ දවසක ආදර්ශයට ගන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මතගැටුම් ඇති වන විට ඒවා සාර්ථකව විසඳාගැනීමෙන් දරුවන්ට ආදර්ශයක් වෙන්න. පහත සඳහන් දේ අත්හදා බලන්න.

ඇහුම්කන් දෙන්න. බයිබලයේ සඳහන් වෙන්නේ ‘ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න. කතා කිරීමට හා කෝප වීමට ප්‍රමාද වෙන්න’ කියායි. (යාකොබ් 1:19) “නපුරට නපුර” කිරීමෙන් ගින්නට පිදුරු දමන්න එපා. (රෝම 12:17) ඔබේ බිරිඳ හෝ සැමියා ඇහුම්කන් දීමට අකමැත්තක් දක්වන අවස්ථාවලදී වුවත් ඔබට පුළුවන් ඔහුට හෝ ඇයට ඇහුම්කන් දෙන්න.

චෝදනා නොකර කාරණා පැහැදිලි කරන්න. උදාහරණයකට “ඔයා කරපු දේ නිසා මගේ හිත රිදුණා” කියා සන්සුන්ව ඔබට දැනුණු ආකාරය කියන්න. නමුත්, “ඔයා මං ගැන හිතන්නේ නැහැ,” “ඔයා කවදාවත් මං කියන දෙයක් අහන්නේ නැහැ” වගේ දේවල් කියමින් චෝදනා කිරීමෙන් සහ විවේචනය කිරීමෙන් වළකින්න.

සුදුසු වෙලාවක් තෝරාගන්න. යම් අවස්ථාවලදී කේන්තිය නිවෙන තුරු යම් කාරණා ගැන කතා නොකර සිටීම සුදුසුයි. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “රණ්ඩු දබර ඇති වන්නේ වේල්ලකින් වතුර බිඳී යන්නාක් මෙනි. එහෙයින් රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න.”—හිතෝපදේශ 17:14.

එකිනෙකාගෙන්, සමහරවිට දරුවන්ගෙන් පවා සමාව ඉල්ලන්න. අවුරුදු 14ක් වයසැති බ්‍රියෑන් නමැති යෞවනිය මෙසේ පවසනවා. “සමහර දවස්වල අම්මයි තාත්තයි වාද කළාට පස්සේ අයියාගෙනුයි මගෙනුයි සමාව ඉල්ලනවා. මොකද එයාලා දන්නවා ඒක අපිට ගොඩක් බලපානවා කියලා.” නිහතමානීව, “මට සමාවෙන්න” කියා කෙනෙකුට පැවසීම ඔබ ඔබේ දරුවන්ට කියා දිය යුතු වටිනා පාඩමක්.

ඒත් වාදවිවාද ඇති වෙන්නේ ඔබේ දරුවන් සමඟ නම් කුමක් කළ හැකිද? ඔබ නොසිතා කියන දෙයින් විවාදය දරුණු වෙනවාද? උදාහරණයකට මෙම පොතේ 2වන පරිච්ඡේදයේ ආරම්භයේ ඇති සිද්ධිය සලකා බලන්න. ඒ විවාදය ඇති වුණේ රේචල්ගේ මව පැවසූ කුමන දේවල් නිසාද කියා ඔබට හඳුනාගන්න පුළුවන්ද? යොවුන් වියේ සිටින ඔබේ දරුවන් සමඟ ඇති වන වාද වළක්වාගන්න පුළුවන් කොහොමද? පහත සඳහන් යෝජනා අත්හදා බලන්න.

● මෙවැනි චෝදනාත්මක දේවල් කියන්න එපා. “ඔයා හැම වෙලාවෙම . . . ” හෝ “ඔයා කවදාවත් . . . ” ඔබ එවැනි දේවල් පැවසුවත් ඒවා අසාධාරණ චෝදනා කියා දරුවන් දන්නවා. ඒ වගේ දේවල් කීමෙන් සිදු වෙන්නේ දරුවන් ඔබ සමඟ වාදයට පැටලීමයි. ඔබ එවැනි දේවල් පවසන්නේ ඔබ තුළ තිබෙන කේන්තිය නිසා මිසක් ඔවුන් අතින් සිදු වූ වරදක් නිසා නොවෙයි කියා දරුවන් සමහරවිට තේරුම්ගනියි.

● කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව දරුවන්ට චෝදනා නොකර, දරුවා අතින් සිදු වූ දේ ඔබට දැනුණේ කොහොමද කියා පැහැදිලි කරන්න. උදාහරණයකට “ඔයා කරපු දේ නිසා මගේ හිත ගොඩක් රිදුණා” කියා පවසන්න. ඔබේ හිතට දැනෙන දේ ගැන ඔබේ දරුවන් සැලකිලිමත් වෙනවා. ඒ නිසා ඔබට දැනුණු විදිහ දරුවාට පැහැදිලි කිරීමෙන් දරුවා ඔබ කියන දේට ඇහුම්කන් දීමට පෙලඹෙයි. *

● කොතරම් අමාරු වුණත් ඔබේ කෝපය ටිකක් නිවෙන තුරු ඉවසන්න. (හිතෝපදේශ 29:22) වාදයක් ඇති වුණේ නිවසේ යම් වැඩක් නොකිරීම නිසා නම් ඒ ගැන දරුවා සමඟ කතා කරන්න. ඔබ දරුවාගෙන් බලාපොරොත්තු වන දේ පැහැදිලිව ලියන්න. ඒ වගේම එය නොකළොත් දරුවාට ලැබෙන දඬුවමත් අවශ්‍ය නම් ලියන්න. දරුවා ඒ ගැන දක්වන අදහස් සමහරවිට වැරදි වුණත් ඊට ඇහුම්කන් දෙන්න. බොහෝ යෞවනයන්ට දේශනාවක් දෙන ආකාරයෙන් යම් දේවල් පවසනවාට වඩා ඔවුන් කියන දේට සවන් දෙනවා නම් ඔවුන් දක්වන කීකරුකම වැඩියි.

● ඔබේ දරුවා මුරණ්ඩුයි කියා හිතන්න ඉක්මන් වෙනවාට වඩා ඔහු හෝ ඇය දැන් ටිකෙන් ටික වැඩිහිටි වියට පා තබන බව තේරුම්ගන්න. දරුවා යම් දේවල් ගැන වාද කරන්නේ තමා දැන් වැඩිහිටි වියට පැමිණෙමින් සිටිනවා කියා පෙන්වීමට විය හැකියි. ඒ නිසා අනවශ්‍ය ලෙස ගැටුම් ඇති කරගන්න එපා. ඔබ කෝපය පාලනය කරගන්නා විදිහ ඔබේ දරුවාට ආදර්ශයක් විය යුතුයි. ඔබ ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන ආකාරය ඔබේ දරුවා අනුකරණය කිරීමට ඉඩ තිබෙනවා.—ගලාති 5:22, 23.

මෙම පොතේ 2වන පරිච්ඡේදය සහ 2වන පොතේ 24වන පරිච්ඡේදය බලන්න

මගේ අතීතය ගැන දරුවන් කොතරම් දුරට දැනගත යුතුද?

ඔබට මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුණා කියා සිතන්න. ඔබේ පවුලේ අයත් මිත්‍රයන් කිහිපදෙනෙකුත් එකට කෑම කනවා. ඔබ සියලුදෙනා කතා කරමින් සිටින අතරතුර එක් මිතුරියක්, ඔබේ කලින් පෙම්වතෙකු ගැන යමක් කියනවා. ඒ කතාව ඇසූ ඔබේ දියණිය තිගැස්සී මෙසේ අසනවා. “අම්මිට තාත්තිව හම්බ වෙන්න කලින් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා!” ඒ ගැන ඔබ ඔබේ දියණියට පවසා තිබුණේ නැහැ. දැන් ඇයට ඒ ගැන දැනගන්න ආසයි. ඔබ මොකක්ද කරන්නේ?

දරුවන් ප්‍රශ්න අසද්දී ඒ ගැන කෝප වෙන්න එපා. ඔවුන් ප්‍රශ්න අසා ඔබ ඊට පිළිතුරු දෙන විට ඔබත් ඔවුනුත් අතර ඇති වෙන්නේ හොඳ අදහස් හුවමාරුවක්. දෙමාපියන්ට අවශ්‍ය කරන්නෙත් එයයි.

නමුත් ඔබ කොතෙක් දුරටද ඔබේ අතීතය ගැන දරුවන්ට හෙළි කරන්නේ? සමහරක් දේවල් දරුවන්ට කියන්න ලෙහෙසි නැතුව ඇති. නමුත් ඔබ මුහුණ දුන් සමහර කටුක දේවල් ඔබේ දරුවනුත් දැනගැනීම, ඔවුන්ට ප්‍රයෝජනවත් කියා ඔබට සිතෙනවා නම් ඒ දේවල් කියන්න. කොහොමද ඒක කරන්නේ?

යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල් තමා ගැන හෙළි කළ දේ සලකා බලන්න. ‘මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි. මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද!’ (රෝම 7:21-24) පාවුල් පැවසූ දේ ඇත්තෙන්ම සත්‍යයක්. මේ ලෝකයේ වැරදි නොවෙන්නේ කා අතින්ද! යෙහෝවා දෙවි පාවුල් පැවසූ ඒ දේ බයිබලයේ වාර්තා කර තැබීමට මඟ පෙන්නුවේ අපේ ප්‍රයෝජනය සඳහායි.

ඒ හා සමානව ඔබේ ජීවිතයේ සාර්ථක වූ අවස්ථා සහ වැරදුණු අවස්ථා ගැන ඇසීමෙන් දරුවන්ට ඔබව තේරුම්ගැනීමට හැකියාවක් ලැබෙයි. ඔබ හැදුණු වැඩුණු සමාජයත් දැන් තිබෙන සමාජයත් වෙනස් බව ඇත්තයි. නමුත් මිනිස් ස්වභාවය හා බයිබල් ප්‍රතිපත්ති වෙනස් වී නැහැ. (ගීතාවලිය 119:144) ඔබ මුහුණ දුන් අභියෝගයන් සහ ඒවා ජය ගත් ආකාරය ගැන යොවුන් වියේ සිටින ඔබේ දරුවන්ට කීමෙන් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ඔවුන්ට එය උපකාරවත් වෙයි. කැම්රන් නමැති යෞවනයා මෙහෙම කියනවා. “අපි මුහුණ දෙන අභියෝගවලට අපේ අම්මලත් මුහුණ දීලා තියෙනවා කියලා දැනගත්තාම සහනයක් දැනෙනවා. ඊටපස්සේ ගැටලුවකට මුහුණ දෙන්න වුණාම ඒ ගැටලුවම අම්මලාටත් තිබුණාද කියලා අහලා බලන්න හිතෙනවා.”

මේ ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ ජීවිතයේ අද්දැක්ක යමක් ගැන කියන හැම අවස්ථාවකදීම දරුවාට උපදෙසක් දෙන ආකාරයෙන් එය අවසන් කළ යුතු නැහැ. ඔබ ගැන දරුවන් වැරදි නිගමනවලට එලඹෙන්න හෝ ඔවුනුත් එම දේවල් කරන්න පෙලඹෙයි කියා සමහරවිට ඔබ බිය වෙනවා ඇති. නමුත් ඔබේ අද්දැකීම කීවායින් පසු, “ඒකයි මම හැමතිස්සේම ඔයාට කියන්නේ . . . ” කියා පවසමින් දරුවාට දේශනයක් දෙනවා වෙනුවට “මට දැන් හිතෙනවා මම ඒ දේ නොකර හිටියා නම් හොඳයි කියලා. මොකද . . . “ කියා ඔබට හැඟෙන දේ කියන්න.—එෆීස 6:4.

මෙම පොතේ 1වන පරිච්ඡේදය බලන්න

මගේ දරුවා එයාගේ ප්‍රශ්න මට කියන්නේ නැත්තේ ඇයි?

ඔබේ දරුවන් පුංචි කාලයේදී නම් ඔවුන්ගේ හැම දෙයක්ම නොසඟවා ඔබට කියන්න ඇති. ඔබ ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අහන්නත් කලින් ඔවුන් ඔබට හැම දේම කියාගෙන කියාගෙන යන්න ඇති. නමුත් ඔවුන් යොවුන් වියට පා තැබුවාට පස්සේ ඔවුන්ගෙන් යමක් දැනගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ‘යාළුවොත් එක්ක නම් හොඳට කතා කරනවා. මාත් එක්ක තමයි කතා කරන්න බැරි’ කියා ඔබ සිතනවා ඇති.

ඔවුන් කතා නොකරන නිසා ඔවුන් ඔබට අකමැතියි කියා හෝ ඔවුන්ට තමන්ගේ දේවල් තනියෙන් කරගන්න ඕනේ කියා සිතන්න එපා. ඔවුන්ට ඇත්තටම ඔබේ උදව් උපකාර අවශ්‍ය වෙන්නේ මේ කාලයේදීයි. බොහෝ යෞවනයන් තම මිතුරන්ගෙන් හෝ ජනමාධ්‍යයෙන් ලැබෙන උපදෙස්වලට වඩා අගය කරන්නේ ඔවුන්ගේ දෙමාපියන් දෙන උපදෙස් බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා.

එසේනම් ඔවුන් තමන්ගේ සිතේ තිබෙන දේ නොකියන්නේ ඇයි? දෙමාපියන් සමඟ කතා නොකරන්නේ ඇයි කියා සමහර යෞවනයන් පවසා තිබෙනවා. එය කියවා ඒ සමඟ ඇති ප්‍රශ්න හා බයිබල් පද සලකා බලන්න.

“තාත්තත් එක්ක කතා කරන්න හරි අමාරුයි. එයාට ඔෆිස් එකෙත් වැඩ වැඩියි! සභාවෙත් වැඩ වැඩියි! තාත්තාත් එක්ක නිදහසේ කතා කරන්න වෙලාවක් හම්බ වෙන්නෙම නැහැ.”—ඇන්ඩෲ.

‘මගේ දරුවන්ට කතා කරන්න මට වෙලාවක් නැහැ කියලා මම එයාලට දැනෙන්න සලස්වලා තියෙනවාද? එහෙමනම් දරුවන්ට භයක් නැතුව මා ළඟට එන්න මම මොනවාද කරන්න ඕනේ? මගේ දරුවන් එක්ක හැම දවසකම වගේ කතා කරන්න කාලයක් වෙන් කරගන්නේ කොහොමද?’—ද්විතීය කතාව 6:7.

“ඉස්කෝලේ වෙච්ච රණ්ඩුවක් ගැන මම අඬාගෙන අම්මට කියන්න ගියා. මං හිතුවේ අම්මා මාව සනසයි කියලා. ඒත් මට බැණුම් අහන්නයි වුණේ. එදායින් පස්සේ මම කිසිම දෙයක් අම්මට කියන්න ගියේ නැහැ.”—කෙන්ජි.

‘මගේ දරුවන් ප්‍රශ්නයක් කියන්න මා ළඟට එද්දී මම කටයුතු කරන්නේ කොහොමද? එයාලව නිවැරදි කරන්න අවශ්‍යතාවක් තිබුණත් මට පුළුවන්ද මුලින්ම එයාලා කියන්න යන දේට හොඳින් ඇහුම්කන් දෙන්න?’—යාකොබ් 1:19.

“‘ප්‍රශ්නයක් වුණාම අපිට කියන්න. අපි කේන්ති ගන්නේ නැහැ’ කියලා අම්මලා කියනවා තමයි. හැබැයි කිව්වාට පස්සේ එයාලට කේන්ති යනවා. ඉතින් ආයෙත් ප්‍රශ්නයක් කියන්න හිතෙන්නෙ නැහැ.”—රේචල්.

‘මගේ දරුවා මට කේන්ති යන දෙයක් කිව්වොත් මං කොහොමද මාව පාලනය කරගන්නේ?’—හිතෝපදේශ 10:19.

“මම කාටවත් කියන්න එපා කියලා කියපු දේවල් අම්මා එයාගේ යාළුවන්ට කියලා තිබුණා. අම්මා කිහිප සැරයක්ම ඒ දේ කළා. ඒ නිසා කාලයක් යන කල් මම අම්මව විශ්වාස කෙරුවේ නැහැ.”—ෂාන්ටාල්.

‘මගේ දරුවා මට කියපු පෞද්ගලික දේවල් මම අනික් අයට නොකීමෙන් මගේ දරුවාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙනවා කියා මම පෙන්වනවාද?’—හිතෝපදේශ 25:9.

“මගේ අම්මලාට කියන්න මට ගොඩක් දේවල් තියෙනවා. ඒක කියන්න අම්මලා මට අවස්ථාවක් දෙන්නේ නැහැ.”—කෝට්නි.

‘මට පුළුවන්ද මුලින්ම ඉදිරිපත් වෙලා දරුවා එක්ක කතා කරන්න? අපිට කතා කරන්න පුළුවන් හොඳම වෙලාව මොකක්ද?’—දේශනාකාරයා 3:7.

දරුවන් සමඟ හොඳ අදහස් හුවමාරුවක් තබාගැනීමට වෑයම් කළොත් ඔබට ප්‍රයෝජනවත් වෙයි. ජපානයේ සිටින 17 හැවිරිදි ජුංකෝගේ අද්දැකීම සලකා බලන්න. “එක සැරයක් මම අම්මාට කිව්වා සභාවේ අයත් එක්ක ආශ්‍රය කරනවාට වඩා පන්තියේ ළමයි එක්ක ඉද්දී මට ලොකු පහසුවක් දැනෙනවා කියලා. ඊළඟ දවසේ අම්මා මට ලියුමක් ලියලා තිබුණා. මට තියෙන ප්‍රශ්නෙම අම්මටත් තිබුණා කියලා දැනගත්තාම මට පුදුම හිතුණා. ඒ වගේම සතුටකුත් දැනුණා. ඊටපස්සේ ඒ ලියුමේ තිබුණා තනියෙන් සිටියත් දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කළ බයිබලයේ සඳහන් කිහිපදෙනෙකුගේ නම්. මම හොඳ මිත්‍රයන් හොයාගන්න දරන වෑයම ගැන අම්මා මට ප්‍රශංසා කරලත් තිබුණා. අම්මා මට කියපු දේවල් නිසා මම දිරිගැන්වුණා. මම හිතාගත්තා හරි දේ කරනවා කියලා.”

තමන්ගේ ගැටලුව ගැන දෙමාපියන්ට පැවසූ විට ඔවුන් ඕනෑවට වඩා කලබල වෙන්නේ නැහැයි කියා යෞවනයන්ට හැඟෙනවා නම් ඔවුන් ඒ ගැන දෙමාපියන්ට කතා කරන්න පෙලඹෙන බව ජුංකෝගේ මව තේරුම්ගත්තා. නමුත් ඔබේ දරුවා තම ප්‍රශ්නය ගැන කේන්තියෙන් ඔබ සමඟ කතා කරනවා නම් ඔබට කරන්න පුළුවන් මොනවාද? කේන්ති නොගෙන කටයුතු කිරීම පහසු නැති වුණත් ඉවසන්න. (රෝම 12:21; 1 පේතෘස් 2:23) ඒ වෙනුවට ඔබේ දරුවා කෙසේ කතා කරනවාට හා හැසිරෙනවාටද ඔබ කැමති කියා ඔබේ ආදර්ශයෙන් පෙන්වන්න.

මේ දේ මතක තබාගන්න. යෞවනයන් වැඩිහිටි වියට ක්‍රමක්‍රමයෙන් පා තබද්දී ඔවුන්ගේ ස්වභාවය වෙනස් වෙනවා. පර්යේෂකයන් කියන්නේ මේ අවදියේදී ඔවුන්ගේ හැසිරීම වෙනස්වනසුලු බවයි. විටෙක වයසට වඩා වැඩි කෙනෙකු ලෙසත් විටෙක වයසට වඩා බාල කෙනෙකු ලෙසත් හැසිරීමට ඉඩ තිබෙනවා. ඔබේ දරුවා එලෙස හැසිරෙනවා නම් විශේෂයෙන්ම වයසට වඩා බාල කෙනෙකු මෙන් හැසිරෙනවා නම් ඔබට කුමක් කළ හැකිද?

ඔබත් කුඩා ළමයෙකු මෙන් හැසිරීම සුදුසු වෙන්නේ නැහැ. (1 කොරින්ති 13:11) උදාහරණයකට ඔබේ දරුවා සිතා බලන්නේ නැතුව කුඩා ළමයෙක් මෙන් “ඇයි නිතරම මගේ වැරදි හොයන්නේ” කියා පැවසුවොත් ඔබට සමහරවිට කේන්ති යා හැකියි. එවිට සිදු වෙන්නේ අදහස් හුවමාරුවක් නොව ඔබත් කුඩා දරුවෙක් මෙන් වාදයකට පැටලීමයි. ඒ වෙනුවට ඔබට මෙසේ ඇසිය හැකියි. “පුතාට/දුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගෙයි. අපි පස්සේ වෙලාවක මේ ගැන කතා කරමුද?” එසේ කිරීමෙන් ඔබත් සන්සුන් වෙයි. ඒ වගේම දරුවා සමඟ වාදයකට පැටලෙනවා වෙනුවට හොඳ අදහස් හුවමාරුවකට මාර්ගය විවෘත වෙයි.

මෙම පොතේ 1වන සහ 2වන පරිච්ඡේද බලන්න

 නීතිරීති

ගෙදරට එන්න වෙලාවක් නියම කළ යුතුද?

මෙම අවස්ථාව සිතින් මවාගන්න. ඔබ පුතාට නිවසට එන්න කියා තිබෙන වෙලාවට වඩා විනාඩි 30ක් පරක්කු වී ඔහු එනවා. ඔහු හෙමින් සැරේ දොර අරිනවා ඔබට ඇසෙනවා. ‘එයා හිතං ඇති මම නිදි කියලා’ කියා ඔබ සිතනවා. නමුත් ඔබේ පුතා නිවසට පැමිණිය යුතු වෙලාවේ සිට ඔබ දොර ළඟට වී බලාගෙන සිටියා. දැන් පුතා නිවසට ඇතුල් වෙයි. ඔබ ඔහුට කුමක්ද කියන්නේ? ඔබ මොනවාද කරන්නේ?

ඔබට කළ හැකි දේවල් කිහිපයක්ම තිබෙනවා. ‘කොල්ලො ඉතින් ඔහොම තමයි’ කියා එය සැහැල්ලුවට ගැනීම. එසේ නැතහොත් කෝපයෙන් “මම ආයෙත් ඔයාට කොහේවත් යන්න දෙන්නේ නැහැ” කියා පැවසීම. ඔබ එසේ කලබල වී කටයුතු කරනවාට වඩා පුතා පරක්කු වුණේ ඇයි කියා හේතු කියද්දී ඔහුට හොඳින් ඇහුම්කන් දෙන්න. එවිට එම අවස්ථාව යොදාගෙන ඔහුට යම් කාරණයක් අවබෝධ කර දීමට ඔබට හැකි වෙයි. එය කරන්නේ කොහොමද?

යෝජනාවක්: ඒ කාරණය ගැන ඊළඟ දවසේ කතා කරනවා කියා ඔබේ දරුවාට පවසන්න. ඉන්පසු සුදුසු වෙලාවක් තෝරාගෙන, යළිත් ඔහු ඒ දේ කළොත් ඔබ කරන්න යන්නේ කුමක්ද කියා ඔහුට පැහැදිලි කරන්න. සමහර දෙමාපියන් මෙවැනි ක්‍රම අත්හදා බලා තිබෙනවා. ඔවුන්ගේ දුව හෝ පුතා ගෙදර එන්න නියම කර තිබෙන වෙලාවට පසුව පැමිණියා නම් ඔවුන්ට දඬුවමක් නියම කරනවා. එනම් ඊළඟ වතාවේදී ගමනක් ගිය විට නිවසට පැමිණීමට නියම කර තිබෙන වෙලාවට වඩා පැය භාගයක් කලින් පැමිණිය යුතුයි. ඒ වගේම දරුවෙක් නියමිත වෙලාවට නිවසට පැමිණෙමින් විශ්වාසවන්තව කටයුතු කරනවා නම් ඔහුට වැඩි නිදහසක් දීම ගැන සිතා බැලිය හැකියි. නිවසට පැමිණීම සඳහා නියම කර තිබෙන වෙලාව සහ ඒ වෙලාවට නිවසට පැමිණියේ නැත්නම් ඔබ දෙන දඬුවම ගැන දරුවා පැහැදිලිව දැන සිටිය යුතුයි. ඒ වගේම ඔබ පැවසූ ලෙසම කරන්න.

කෙසේවෙතත් බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.” (ෆිලිප්පි 4:5) ඒ නිසා දරුවෙක් නිවසට පැමිණිය යුතු වෙලාව නියම කරගැනීමට පෙර ඒ ගැන දරුවා සමඟ කතා කරන්න. දරුවාටත් යම් යෝජනාවක් තිබෙනවා නම් ඒ යෝජනාවත් ඊට හේතුවත් පැවසීමට ඉඩ දෙන්න. ඔබේ දරුවා වගකීමෙන් කටයුතු කරන කෙනෙක් බව ඔබට තේරෙනවා නම් ඒ වගේම දරුවාගේ ඉල්ලීම් සාධාරණයි කියා ඔබට සිතෙනවා නම් ඔහුගේ ඉල්ලීමට එකඟ වීමට ඔබට හැකි වෙයි.

වෙලාවට වැඩ කිරීමට ඉගෙනගැනීම අත්‍යවශ්‍යයි. ගෙදරට පැමිණීමට වෙලාවක් නියම කිරීමෙන් දරුවාව අනතුරුවලින් ආරක්ෂා කරනවා විතරක් නොව ඔහු වැඩිහිටියෙකු වී නිවසින් ගිය දාටත් එය ප්‍රයෝජනවත් වෙයි.—හිතෝපදේශ 22:6.

මෙම පොතේ 3වන පරිච්ඡේදය සහ 2වන පොතේ 22වන පරිච්ඡේදය බලන්න

දරුවන්ගේ ඇඳුම් ගැන ඇති වන ගැටුම් මම විසඳගන්නේ කොහොමද?

මෙම පොතේ 77වන පිටුවේ ඇති සිද්ධිය සලකා බලන්න. හෙදර් ඔබේ දියණිය කියා සිතන්න. ඇය ඇඳ සිටින ඇඳුම ඉතා අවිනීතයි කියා ඔබට සිතෙයි. ඒ නිසා ඔබ එකපාරටම මෙහෙම කියනවා. “ඕක ගලවලා වෙන ඇඳුමක් අඳින්න. ඕක ඇඳගෙන නම් කොහේවත් යන්න එපා!” එසේ කී විට ඔබේ දුව සවන් දීමට ඉඩ තිබෙනවා. ඒ ඇයට කරන්න වෙන දෙයක් නැති නිසා විය හැකියි. නමුත් ඇය අඳින දේවල් විතරක් නොවෙයි ඒ ගැන ඇය සිතන විදිහත් වෙනස් කරගන්න ඇයට උපකාර කරන්නේ කොහොමද?

● පළමුව මේ දේ මතක තබාගන්න. විනීතකම ගැන වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ ඔබේ දියණියයි. මෝඩ කෙනෙක් ලෙස පෙනෙනවාටත් අනවශ්‍ය පුද්ගලයන්ගේ අවධානය ලැබෙනවාටත් ඔබේ දුව කැමති නැතුව ඇති. එමනිසා අවිනීත ඇඳුම්වලින් ඇගේ පෙනුම වැඩි වෙන්නේ නැති බව ඇයට ඉවසිලිවන්තව පෙන්වා දෙන්න. * ඇයට තෝරාගත හැකි හොඳ විලාසිතාවන් ගැන කියා දෙන්න.

● දෙවනුව, සාධාරණ වෙන්න. මෙහෙම සිතන්න. ‘දරුවා ඒ ඇඳුම ඇඳීමෙන් බයිබලයේ ප්‍රතිපත්තියක් උල්ලංගනය වෙනවාද? නැත්නම් මම පෞද්ගලිකව ඒ විලාසිතාවට අකමැතිද?’ (2 කොරින්ති 1:24; 1 තිමෝති 2:9, 10) එය ඔබේ පෞද්ගලික රුචි අරුචිකමක් නම් දරුවාට එය ඇඳීමට ඉඩ දිය හැකිද කියා ඔබට සිතා බලන්න පුළුවන්.

● තුන්වෙනුව, සුදුසු නැත්තේ කුමන විලාසිතාවන්ද කියා නිකම් කියනවාට වඩා සුදුසු දේ තෝරාගන්න දරුවාට උපකාර කරන්න. මෙම පොතේ 82වන සහ 83වන පිටුවල ඇති කොටස ඔබේ දරුවා සමඟ සාකච්ඡා කිරීමෙන් ප්‍රයෝජනයක් ලැබෙයි.

මෙම පොතේ 11වන පරිච්ඡේදය බලන්න

දරුවාට වීඩියෝ ක්‍රීඩා කරන්න ඉඩ දුන්නාට කමක් නැද්ද?

ඔබේ තරුණ කාලයට වඩා දැන් වීඩියෝ ක්‍රීඩාවල ලොකු දියුණුවක් තිබෙනවා. එයින් සිදු විය හැකි අනතුරු හඳුනාගන්නත් ඒ අනතුරු වළක්වාගන්නත් ඔබේ දරුවන්ට උපකාර කරන්නේ කොහොමද?

ඔබ හැම වීඩියෝ ක්‍රීඩාවක්ම නරකයි කියා හෝ එය නිකම් කාලය කා දැමීමක් කියා පැවසුවොත් දරුවන් එය පිළිගන්නේ නැහැ. ඊට හේතුව හැම වීඩියෝ ක්‍රීඩාවක්ම නරක නැහැ. නමුත් එවැනි ක්‍රීඩාවලට දරුවන් ඇබ්බැහි විය හැකියි. ඒ නිසා ඔබේ දරුවා කොපමණ කාලයක් ඒ සඳහා වැය කරනවාද කියාත් දරුවා කැමති මොන වගේ ක්‍රීඩාවලටද කියාත් සැලකිලිමත් වෙන්න. ඔබට පුළුවන් මෙවැනි ප්‍රශ්න ඔබේ දරුවාගෙන් අසන්න.

● ඔයාගේ පන්තියේ ළමයි වැඩියෙන්ම කැමති කොයි ක්‍රීඩාවටද?

● ඒ ක්‍රීඩාවේදී මොකක්ද කරන්නේ?

● ඇයි ඒ ක්‍රීඩාවට ළමයින් ඒ තරම් කැමති?

ඔබ හිතුවාට වඩා ඔබේ දරුවා වීඩියෝ ක්‍රීඩා ගැන බොහෝ දේ දන්නවා ඇති. සමහරවිට ඔබ නරකයි කියා සිතූ ක්‍රීඩාවල පවා ඔහු හෝ ඇය යෙදී ඇති. තත්වය එය නම් කලබල වෙන්න එපා. දරුවාට සිතා බලා කටයුතු කරන හැටි උගන්වන්න එය අවස්ථාවක් කරගන්න.—හෙබ්‍රෙව් 5:14.

නුසුදුසු ක්‍රීඩාවලට එතරම් ආශාවක් ඇති වී තිබෙන්නේ ඇයි කියා දරුවාටම තේරුම්ගැනීමට උපකාරවත් වන ප්‍රශ්න අසන්න. උදාහරණයකට ඔබට මෙවැනි ප්‍රශ්නයක් ඇසිය හැකියි.

● ඒ ක්‍රීඩාව කරන්නේ නැති නිසා යාළුවන් අතර ඔයා කොන් වෙලා කියලා ඔයාට හිතෙනවාද?

සමහර යෞවනයන් යම් ක්‍රීඩාවල නියැලෙන්නේ ප්‍රචණ්ඩත්වය සහ දුරාචාරයට ආශාවක් දක්වන නිසා නොව මිතුරන් සමඟ ඒ ගැන කතා කරන්න ඕනේ නිසයි. ඔබේ දරුවාට එයින් මිදෙන්න උපකාර කිරීම සඳහා යම් පියවර ගත යුතු බව ඇත්තයි. නමුත් ඔහු ඒ දේවලට ආශාවක් දක්වන්නේ නැති නිසා ඔබ ඕනෑවට වඩා කලබල විය යුතු නැහැ.—කොලොස්සි 4:6.

දරුවා එහි තිබෙන වැරදි දේවලට ආශාවක් දක්වනවා නම් ඔබට කුමක් කළ හැකිද? සමහර යෞවනයන් කියා සිටින්නේ ඒ ක්‍රීඩාවල තියෙන දරුණු දේවල් සැබෑවටම සිදු නොවන නිසා එයින් තමන්ට බලපෑමක් නැති බවයි. ‘සෙල්ලමට කරන දේවල් මම ඇත්තටම කරන්න යන්නේ නැහැනේ’ කියා ඔවුන් තර්ක කළ හැකියි. ඔබේ දරුවා එසේ කියයි නම් ඔහුට ගීතාවලිය 11:5හි සඳහන් දේ පැහැදිලි කර දෙන්න. එහි සඳහන් වෙන්නේ අපට දෙවිගේ අනුමැතිය ලැබෙන්න නම් සැහැසික දේවල් නොකර සිටීම පමණක් නොවෙයි ඒවාට ආශා වීමත් වැරදි බවයි. ඒ ප්‍රතිපත්තියම ලිංගික දුරාචාරය හෝ බයිබලයේ හෙළාදැක තිබෙන අනිකුත් වැරදි ක්‍රියාවන්ටත් අදාළයි.—ගීතාවලිය 97:10.

ඔබේ දරුවාට වීඩියෝ ක්‍රීඩාවලින් යම් අනතුරක් වෙයි කියා සිතෙනවා නම් පහත සඳහන් දේවල් ඔබට කළ හැකියි.

● නිදන කාමරය වැනි කාගෙවත් අවධානයට ලක් නොවන ස්ථානයක සිට වීඩියෝ ක්‍රීඩාවල නියැලෙන්න දරුවාට ඉඩ දෙන්න එපා.

● නීති දමන්න. එනම් පාසැලෙන් දෙන ගෙදර වැඩ අවසන් කරන තුරු, කෑම කන තුරු හෝ වෙනත් වැදගත් දෙයක් කර අවසන් වන තුරු ක්‍රීඩා කරන්න බැහැ.

● ඇඟ වෙහෙසා කරන ක්‍රියාකාරකම්වල ඇති ප්‍රයෝජන පහදා දෙන්න.

● දරුවන් වීඩියෝ ක්‍රීඩා කරද්දී ඔවුන් සමඟ ඔබත් ඉන්නවා නම් හොඳයි. ඔවුන් සමඟ එකතු වී ඒ ක්‍රීඩාව කරන්න ඔබට පුළුවන් නම් ඊටත් වඩා හොඳයි.

කෙසේවෙතත් ඔබේ දරුවන්ට උපදෙස් දෙන්න නම් ඔබ ආදර්ශවත් විය යුතුයි. මේ ගැන ටිකක් හිතන්න. ‘මම බලන්නේ මොන වගේ රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපටිද?’ බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට ඔබ ගරු කරන්නේ නැත්නම් ඒවා පිළිපදින්න කියා දරුවන්ට කීම සාධාරණද?

2වන පොතේ 30වන පරිච්ඡේදය බලන්න

මගේ දරුවා ජංගම දුරකථනයට, පරිගණකයට හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණවලට වහල්වෙලා නම් මම මොනවාද කරන්නේ?

ඔබේ දරුවා වැඩි කාලයක් අන්තර්ජාලය භාවිත කරනවාද? නිතර නිතර කෙටි පණිවිඩ හුවමාරු කරගන්නවාද? ඔබ සමඟ ගත කරන කාලයට වඩා වැඩි කාලයක් MP3 යන්ත්‍රයට වැය කරනවාද? එසේනම් ඔබට මොනවාද කරන්න පුළුවන්?

ඔබට කරන්න පුළුවන් පහසුම දේ තමයි ඒ උපකරණය දරුවාට නොදී සිටීම. ඒත් හැම ඉලෙක්ට්‍රෝනික උපකරණයක්ම සුදුසු නැහැ කියා හිතන්න එපා. ඔබේ දෙමාපියන් භාවිත නොකළ ඉලෙක්ට්‍රෝනික උපකරණ ඔබ භාවිත කරන්නේ නැද්ද? එමනිසා සාධාරණ හේතුවක් නොමැතිව එම උපකරණ දරුවාට නොදී ඉන්න එපා. ඒ වෙනුවට ඒවා ඥානවන්තව සහ සීමාවක් ඇතුව පාවිච්චි කරන හැටි ඔවුන්ට උගන්වන්න. එය කරන්නේ කොහොමද?

ඒ ගැන දරුවා සමඟ කතා කිරීමට කාලය ගන්න. මුලින්ම ඔබ ඊට අකමැති වීමට හේතුව කියන්න. දෙවෙනුව, දරුවා කියන දේට ඇහුම්කන් දෙන්න. (හිතෝපදේශ 18:13) තුන්වෙනුව, අදාළ කරගත හැකි විසඳුම් සොයන්න. යම් නීතිරීති දමන්න භය වෙන්න එපා. නමුත් සාධාරණ වෙන්න. එලන් නමැති යෞවනියගේ අද්දැකීම සලකා බලන්න. “මම ගොඩක් SMS යවනවා කියලා අම්මලාට තේරුණා. ඒත් එයාලා මගේ ෆෝන් එක ගත්තේ නැහැ. හැබැයි මට මඟ පෙන්වීම් දුන්නා සීමාවක් ඇතුව ෆෝන් එක පාවිච්චි කරන්න. එයාලා කටයුතු කරපු විදිහ නිසා එයාලා ළඟ නැති අවස්ථාවලදී පවා මම සීමාවක් ඇතුව SMS යවන්න පුරුදු වුණා.”

ඔබේ දරුවා තමන්ගේ අතේ වරදක් නැහැයි කියා පෙන්වීමට උත්සාහ කරනවා නම් ඔබට කරන්න පුළුවන් මොනවාද? ඔබ දුන් උපදෙස් දරුවා ගණන් ගත්තේ නැහැ කියා සිතන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. දරුවාට ඒ ගැන සිතා බලන්න කාලය දෙන්න. සමහරවිට දරුවා දැනටමත් ඔබ කී දේට එකඟ ඇති. ඒ නිසා ඉදිරියේදී අවශ්‍ය වෙනස්කම් කිරීමට ඉඩ තිබෙනවා. බොහෝ යෞවනයන් කටයුතු කරන්නේ හේලී නමැති යෞවනයා කටයුතු කළ ආකාරයටයි. ඔහු මෙහෙම කියනවා. “මම කොම්පියුටර් එකට වහල්වෙලා කියලා අම්මලා කිව්වාම මට මුලදී කේන්ති ගියා. පස්සේ මම ටිකක් ඒ ගැන හිතලා බැලුවාම මට තේරුණා එයාලා කියපු දේ හරියි කියලා.”

මෙම පොතේ 36වන පරිච්ඡේදය බලන්න

 නිදහස

මගේ දරුවාට කොයි තරම් දුරකටද නිදහස දෙන්නේ?

සමහර අවස්ථාවලදී මෙම කාරණය සංකීර්ණ ගැටලුවක් විය හැකියි. උදාහරණයකට ඔබේ පුතා කාමරේට වෙලා දොර වසාගෙන සිටිනවා කියා සිතන්න. දොරට තට්ටු නොකර කාමරේට ඇතුල් වීම හරිද? නැත්නම් ඔබේ දුව අමතක වී ඇගේ ජංගම දුරකථනය නිවසේ තබා ගියා කියා සිතන්න. ඇගේ දුරකථනයේ තිබෙන පණිවිඩ ටික කියවීම සුදුසුද?

ඒවා පිළිතුරු දීමට පහසු ප්‍රශ්න නොවෙයි. දෙමාපියන් වශයෙන් ඔබේ දරුවා මොනවාද කරන්නේ කියා දැනගැනීමට අයිතියක් වගේම ඔහුගේ හෝ ඇගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමට වගකීමක් ඔබට තිබෙනවා. නමුත් ඔබට හැමදාමත් පොලිස්කාරයෙක් වගේ දරුවන්ගේ පස්සෙන් ගිහිල්ලා හැම දෙයක්ම සොයා බලන්න බැහැ. ඒ කාරණයේදී ඔබ සමබරව කටයුතු කරන්නේ කොහොමද?

පළමුව මේ දේ තේරුම්ගන්න. දරුවෙක් නිදහස සොයන්නේ හැමවිටම නරක දෙයක් කරන්න කියා සිතන්න එපා. දරුවන් වැඩිවියට පා තබද්දී ඔවුන්ට නිදහස අවශ්‍ය වීම සාමාන්‍ය දෙයක්. ඔවුන් අලුතෙන් මිත්‍රත්වයන් ඇති කරගැනීමට සහ ගැටලු ඇති වූ විට “බුද්ධිමත් ලෙස” ඒවා විසඳාගැනීමට නම් ඔවුන්ට නිදහස දිය යුතුයි. (රෝම 12:1, 2) ඒ වගේම නිදහස දීමෙන් තනියම සිතා බලා කටයුතු කිරීමටත් ඔවුන් පුහුණුවක් ලබනවා. ඒ දේ ඔවුන් වැඩිහිටියන් වූ දාට වගකීමෙන් වැඩ කිරීමට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම තීරණ ගැනීමට පෙර හෝ යම් පිළිතුරක් දීමට පෙර හොඳින් කල්පනා කර බැලීමටත් ඒ නිසා ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා.—හිතෝපදේශ 15:28.

දෙවනුව, ඔබේ දරුවාගේ ජීවිතේ හැම දෙයක්ම සොයා බලන්න ගියොත් ඔහුට හෝ ඇයට කේන්ති යෑමටත් මුරණ්ඩු ලෙස කටයුතු කිරීමටත් ඉඩ තිබෙනවා. (එෆීස 6:4; කොලොස්සි 3:21) එයින් අදහස් කරනවාද දරුවාට ඕනේ විදිහට හැදෙන්න ඉඩ හැරලා ඔබ පැත්තකට වී බලා සිටිය යුතුයි කියා? නැහැ. ඔබට අවශ්‍ය දරුවා හරි වැරැද්ද අවබෝධ කරගෙන නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව කටයුතු කරනවා දැකීමටයි. (ද්විතීය කතාව 6:6, 7; හිතෝපදේශ 22:6) වැදගත්ම දේ වෙන්නේ දරුවාට අවශ්‍ය මඟ පෙන්වීම් සැපයීමයි.

තුන්වෙනුව, දරුවා සමඟ ඒ ගැන කතා කරන්න. දරුවා පවසන දේට හොඳින් සවන් දෙන්න. ඔබට යම් අවස්ථාවලදී සාධාරණව කටයුතු කරන්න පුළුවන්ද කියා සිතා බලන්න. දරුවා අවංකව කටයුතු කරනවා නම් ඔහුට වැඩි නිදහසක් දීමට කැමති බව පවසන්න. නමුත් අකීකරු වුණොත් සිදු වෙන්නේ කුමක්ද කියා පැහැදිලිව කියන්න. ඒ වගේම දරුවා අකීකරු වුණොත් ඔබ කියූ ලෙසම කටයුතු කරන්න. දෙමාපියන් ලෙස ඔබේ වගකීම් පැහැර හරින්න එපා. ඒ වගේම සාධාරණ ලෙස දරුවාට යම් නිදහසක් ලබා දෙන්න.

මෙම පොතේ 3වන සහ 15වන පරිච්ඡේද බලන්න

මගේ දරුවා කොයි තරම් කාලයක් පාසැල් අධ්‍යාපනය ලබාගත යුතුද?

“අපේ ගුරුවරු උගන්වන විදිහ හරිම කම්මැළියි.” “ගෙදර වැඩ ගොඩක් දෙනවා.” “සමත් වෙන්න අවශ්‍ය අඩුම ලකුණු වුණත් මම ගන්නේ බොහොම අමාරුවෙන්!” එවැනි කලකිරීම් ඇති වන නිසා සමහර යෞවනයන් නිසි අධ්‍යාපනය ලබන්න කලින් පාසැල් ගමන නතර කිරීමට පෙලඹෙනවා. ඔබේ දුවට හෝ පුතාට එවැනි සිතුවිල්ලක් ඇති වුණොත් ඔබ කරන්නේ කුමක්ද? පහත සඳහන් දේ අත්හදා බලන්න.

අධ්‍යාපනය ගැන ඔබට තිබෙන ආකල්ප සෝදිසි කර බලන්න. ඔබ පාසැල් යෑම සැලකුවේ කාලේ නාස්තියක් හැටියටද? ඔබ පාසැල් ගමන නතර කරන්න නොඉවසිල්ලෙන් බලා සිටියාද? ඔබට එසේ සිතුණා නම් ඒ ආකල්පයම ඔබේ දරුවන් තුළත් ඇති විය හැකියි. නමුත් නිසි අධ්‍යාපනයක් ලැබුණොත් තමයි ‘ප්‍රඥාවද සිතීමේ හැකියාවද රැකගන්න’ දරුවන්ට හැකි වෙන්නේ. එවිට ඔවුන්ගේ සැලසුම් සාර්ථක කරගැනීමට ඔවුන්ට හැකි වෙයි.—හිතෝපදේශ 3:21.

අවශ්‍ය උපකාරය සපයන්න. ඉගෙනගැනීමට හොඳ පරිසරයක් තිබුණා නම් හෝ ඉගෙනගැනීමේ ක්‍රම සමහර ළමයින් දැන සිටියා නම් ඔවුන් වැඩි ලකුණු ගැනීමට ඉඩ තිබෙනවා. දරුවෙකුට ඉගෙනගැනීමට පිළිවෙළකට තැබූ මේසයක්, ප්‍රමාණවත් ආලෝකය, පර්යේෂණ සඳහා අවශ්‍ය පොත් පත් හා වෙනත් දේවල් තිබිය යුතුයි. අලුත් දේවල් සොයා බැලීමටත් හොඳින් සිතා බලා කටයුතු කිරීමටත් සුදුසු වාතාවරණයක් ඔබේ දරුවන්ට සැපයීමෙන් පාසැලේදී හා නමස්කාර කටයුතුවලදී දියුණුවක් ලබන්න ඔවුන්ට හැකි වෙයි.—1 තිමෝති 4:15 බලන්න.

ඔබේ පැත්තෙන් කළ හැකි දේ. ගුරුවරුන් හා උපදේශකයන්ව ඔබේ සතුරන් ලෙස නොව මිතුරන් ලෙස සලකන්න. ඔවුන්ව දැන හඳුනා ගන්න. දරුවාගේ අනාගත සැලසුම් සහ දරුවා මුහුණ දෙන අභියෝග ගැන ඔවුන් සමඟ කතා කරන්න. දරුවාගේ ලකුණු අඩු වෙලා නම් ඊට හේතුව දැනගන්න උත්සාහ කරන්න. උදාහරණයකට දරුවාට ගුරුවරයෙකු සමඟ ගැටලුවක් තිබෙනවාද? දරුවා අමතර පන්ති නිසා වෙහෙසට පත් වෙලාද? දරුවාගේ සෞඛ්‍ය තත්වය කොහොමද? ඔහුට ඇස් පෙනීමේ හෝ ඉගෙනගැනීමේ යම් දුර්වලතාවක් තිබෙනවාද?

ඔබ දරුවාගේ පාසැල් කටයුතුවලදීත් නමස්කාර කටයුතුවලදීත් උනන්දු වී එලෙස උපකාර කරනවා නම් ඔහු හෝ ඇය සාර්ථක වෙයි.—ගීතාවලිය 127:4, 5.

මෙම පොතේ 19වන පරිච්ඡේදය බලන්න

මගේ දරුවාට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කියා මම දැනගන්නේ කොහොමද?

මෙම පොතේ 7වන පරිච්ඡේදයේ සඳහන් කළ සෙරීනා නමැති යෞවනියට නිවසින් පිට වී තනිවම ජීවත් වීම හිතාගන්න බැරි දෙයක්. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “මගේම සල්ලිවලින් මොනවා හරි ගන්න ගියාම තාත්තා ඒකට ඉඩ දෙන්නේ නැහැ. තාත්තා කියන්නේ ඒක එයාගේ වැඩක් කියලා. ඒ නිසා කවදා හරි මට තනියෙන් ඒ දේවල් කරගන්න පුළුවන් වෙයිද කියලා මට හරි භයයි.” සෙරීනාගේ පියා එසේ කටයුතු කරනවා ඇත්තේ හොඳ හිතින් වෙන්න ඇති. නමුත් එසේ කිරීමෙන් ඇයට කවදා හරි දවසක තනියෙන් ඒ දේවල් කිරීමට අවශ්‍ය පුහුණුව ලැබෙයිද?—හිතෝපදේශ 31:10, 18, 27.

ඔබ වුවමනාවට වඩා දරුවන්ගේ දේවල් කරන නිසා ඔවුන් ඔබෙන් වෙන්ව ගිය දවසකට එය ඔවුන්ට අවාසියක් වෙයිද? මෙම පොතේ 7වන පරිච්ඡේදයේ, “මම සූදානම්ද?” යන උපමාතෘකාව යටතේද සාකච්ඡා කර තිබුණු කරුණු දැන් දෙමාපියන් වශයෙන් ඔබ සලකා බැලිය යුතු ආකාරය පහත සඳහන් වෙනවා.

අරපිරිමැස්ම. රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීමට අදාළ ලියවිලි පුරවන්න හෝ ඒ නීතිරීති ගැන දරුවන්ට අවබෝධයක් තිබෙනවාද? (රෝම 13:7) ණය නොවී මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ආකාරය ගැන දරුවන්ව දැනුවත් කර තිබෙනවාද? (හිතෝපදේශ 22:7) ඔවුන්ගේ ආදායමට අනුව වියදම් කිරීමට පුහුණු කර තිබෙනවාද? (ලූක් 14:28-30) ඔවුන්ම ඉපැයූ මුදලින් යමක් මිල දී ගන්නා විට දැනෙන සතුට ඔවුන් අද්දැක තිබෙනවාද? ඔවුන්ගේ කාලය හා මුදල් අන් අයට උපකාර කිරීම වෙනුවෙන් කැප කරන විට ඊට වඩා සතුටක් ලැබෙන බව ඔවුන් අද්දැක තිබෙනවාද?—ක්‍රියා 20:35.

ගෙදරදොරේ වැඩ. ඔබේ දුවට වගේම පුතාටත් තනියම කෑම වේලක් හදාගන්න පුළුවන්ද? තමන්ගේ ඇඳුම් සෝදාගෙන ඒවා මැදගන්න ඔබ ඔවුන්ට උගන්වා තිබෙනවාද? නිවසේ තිබෙන වාහනය හෝ යතුරුපැදිය ඔවුන් භාවිත කරනවා නම් එහි රෝදයක් මාරු කිරීම හෝ තෙල් මාරු කිරීම වැනි සරල දෙයක් කිරීමට ඔවුන්ට පුළුවන්ද?

සහයෝගයෙන් කටයුතු කිරීම. යොවුන් වියේ සිටින ඔබේ දරුවන් අතර යම් මතගැටුම් ඇති වන සෑමවිටම ඒවා විසඳන්නේ ඔබද? එසේත් නැත්නම් එවැනි අවස්ථාවලදී සාමකාමීව ගැටලුව විසඳාගෙන පසුව ඔබට ඒ ගැන කියන්න කියා ඔබ ඔවුන්ට කියා දී තිබෙනවාද?—මතෙව් 5:23-25.

නමස්කාර කටයුතු. ඔබේ ආගම අදහන්න කියා ඔබ ඔවුන්ට බල කරනවාද? නැත්නම් ළමයින්ටම එය මුළු සිතින් විශ්වාස කර පිළිගැනීමට ඔබ උපකාර කරනවාද? (2 තිමෝති 3:14, 15) ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ගැන හා සදාචාරය ගැන මතු වන ප්‍රශ්නවලට ඔබම පිළිතුරු දෙනවා වෙනුවට ඔවුන්ගේ “සිතීමේ හැකියාව” භාවිත කරන්නත් වටහාගැනීමේ හැකියාව භාවිත කරමින් හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්නත් ඔබ ඔවුන්ට උපකාර කරනවාද? (හිතෝපදේශ 1:4) ඔබ බයිබලය අධ්‍යයනය කරන ආකාරය ඔවුන්ට හොඳ ආදර්ශයක්ද? නැත්නම් ඔබට වඩා හොඳින් ඔවුන් එය කළ යුතුයි කියා ඔබට සිතෙනවාද? *

ඔබේ දරුවන්ව එසේ පුහුණු කිරීමට බොහෝ කාලයක් හා ශ්‍රමයක් වැය වන බව ඇත්තයි. නමුත් ඔබ එලෙස ඔවුන්ව පුහුණු කරනවා නම් යම් දවසක දරුවන් ඔබේ කැදැල්ලෙන් සමුගන්නා විට ඔබට තෘප්තිමත් හදවතකින් ඔවුන්ට සමු දෙන්න පුළුවන් වෙයි.

මෙම පොතේ 7වන පරිච්ඡේදය බලන්න

 ලිංගික කාරණා හා ප්‍රේම සබඳතා

මගේ දරුවා සමඟ ලිංගික කාරණා ගැන කතා කළ යුතුද?

දරුවන්ට ලිංගික කාරණා ගැන කුඩා අවදියේම දැනගන්න ලැබෙනවා. ‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බවත් මනුෂ්‍යයන් තමන්වම පාලනය කර නොගන්නා අතර දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන බවත්’ බොහෝ කාලයකට පෙර බයිබලයේ සඳහන් වී තිබුණා. (2 තිමෝති 3:1, 3, 4) එම අනාවැකිය දැන් ඉටු වන බවට තිබෙන එක් සාක්ෂියක් වෙන්නේ විවාහ වීමට කිසිම අරමුණක් නැතුව තම ලිංගික ආශාවන් ඉටු කරගැනීමට පමණක් යමෙකුව ආශ්‍රය කිරීමට තිබෙන කැමැත්තයි.

ඔබ හැදුණු සමාජයට වඩා අද සමාජය ගොඩක් වෙනස්. නමුත් මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න යම් පැතිවලින් එක සමානයි. ඒ නිසා ඔබේ දරුවන්ට මුහුණ දීමට සිදු වන නරක බලපෑම් ගැන අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ. ඒ වෙනුවට ඔබට හැකියි අවුරුදු 2,000කට පෙර සිටි දේවසේවකයෙකු වූ පාවුල් ක්‍රිස්තියානීන්ට කරන්න කියා පැවසූ මේ දේ කිරීමට ඔබේ දරුවන්ට දිරිගන්වන්න. “යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටීම සඳහා දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.” (එෆීස 6:11) ඇත්තෙන්ම අද යෙහෝවා දෙවිට නමස්කාර කරන බොහෝ යෞවනයන්ට කොතරම් නරක බලපෑමක් තිබුණත්, ඔවුන් හරි දේ කිරීමට මහත් වෑයමක් දරමින් සිටීම ප්‍රශංසාවට ලක් කළ යුතුයි. ඒ දේ කිරීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට ඔබට පුළුවන් කොහොමද?

එක් ක්‍රමයක් නම් මෙම පොතේ 4වන කොටසේ සහ 2වන පොතේ 1වන සහ 7වන කොටසේ ඇති සමහර පරිච්ඡේද තෝරාගෙන ඔවුන් සමඟ සාකච්ඡා කිරීමයි. එම පරිච්ඡේදවල දරුවාට යම් කාරණා ගැන හොඳින් සිතා බැලීමට උපකාරවත් වන බයිබල් පද තිබෙනවා. ඒවායින් සමහර පදවල දෙවිගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වී ආශීර්වාද ලබාගත් අය සහ ඒ ප්‍රතිපත්ති නොසලකා හැරීම නිසා අමිහිරි අද්දැකීම්වලට මුහුණ දුන් අයගේ සැබෑ ජීවිත අද්දැකීම් ඇතුළත් වෙනවා. තවත් බයිබල් පදවල දෙවිගේ නීති රැකීමෙන් දරුවන් ලබන ආශීර්වාද පෙන්වා දෙනවා. ඒ ආශීර්වාද ඔබටත් ලබාගත හැකියි. මේ තොරතුරු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට හැකි ඉක්මනින් සැලසුම් කරන්න.

මෙම පොතේ 23, 25, 32වන පරිච්ඡේදත් 2වන පොතේ 4-6, 28, 29වන පරිච්ඡේදත් බලන්න

ප්‍රේම සම්බන්ධයක් පටන්ගැනීමට දරුවාට ඉඩ දීම සුදුසුද?

කවදා හෝ දවසක ඔබේ දරුවනුත් ප්‍රේම සබඳතා පටන්ගනියි. “ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න මට මහන්සි වෙන්න ඕනේ වුණේ නැහැ. කෙල්ලොම ඇවිල්ලා ටිකක් ආශ්‍රය කරමුද කියලා අහනවා. මම ඉතින් කල්පනා කරනවා මොනවාද කරන්නේ කියලා. සමහර කෙල්ලෝ හරිම ලස්සනයි. ඉතින් බෑ කියන්නත් ලෝභයි” කියා ෆිලිප් නමැති යෞවනයා පවසනවා.

දෙමාපියන් හැටියට ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රේම සබඳතා යන විෂය ගැන ඔබේ දරුවන් සමඟ කතා කිරීම. ඒ සඳහා ඔබට 2වන පොතේ 1වන පරිච්ඡේදය යොදාගත හැකියි. ඔබේ දරුවන් පාසැලේදී හා සභාවේදී පවා මුහුණ දෙන තත්වයන් ගැන ඔවුන්ගෙන් අසා දැනගන්න. එවැනි සාකච්ඡාවන් ඔබ “නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත්” කළ හැකියි. (ද්විතීය කතාව 6:6, 7) ඒ ඕනෑම අවස්ථාවකදී මේ දේ කිරීමට අමතක කරන්න එපා. ‘ඇහුම්කන් දීමට ඉක්මන් වී කතා කිරීමට ප්‍රමාද වෙන්න.’—යාකොබ් 1:19.

ඔබේ දුව හෝ පුතා යම් කෙනෙකු ගැන උනන්දුවක් දක්වනවා කියලා කිව්වොත් ඒ ගැන කලබල වෙන්න එපා. එක් යෞවනියක් කියූ දේ සලකා බලන්න. “මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා මගේ තාත්තා දැනගත්තාම එයා හොඳටම කලබල වුණා! එයා මුලින්ම ඇහැව්වේ මං බඳින්න ලෑස්තිද කියලා. ඒ වගේ ප්‍රශ්න අහලා තාත්තා මාව භය කරන්නයි හැදුවේ. එහෙම ප්‍රශ්න කරද්දී පුළුවන් තරම් කාලයක් ඒ සම්බන්ධය ගෙනියන්නයි හිතෙන්නේ.”

ඔබ මේ විෂය ගැන කතා කරන්නවත් කැමති නැහැ කියා දරුවන්ට හැඟෙනවා නම් ඔවුන් ඔබට නොදැනෙන්න හැම දෙයක්ම රහසිගතව කරයි. “අම්මලා ඕනෑවට වඩා කලබල වෙන කොට ළමයි හොරෙන් සම්බන්ධය පවත්වගෙන යනවා” කියා එක් යෞවනියක් පැවසුවා.

ඔබ දරුවන් සමඟ සන්සුන්ව හා විවෘතව කතා කරනවා නම් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. විසි හැවිරිදි බ්‍රිට්නි මෙවැනි දෙයක් පැවසුවා. “මගේ අම්මලා නම් ප්‍රේම සම්බන්ධකම් ගැන කෙළින්ම කතා කරනවා. එයාලට දැනගන්න ඕනේ මට කවුරු හරි ගැන උනන්දුවක් ඇති වෙලා තියෙනවාද කියලා. ඒකේ වරදක් නෑ! සමහරවිට තාත්තා ඒ පිරිමි ළමයා එක්ක කතා කරලා බලනවා. මට ගැළපෙන්නේ නැහැ කියලා එයාලට හිතුණොත් ඒ ගැන මට කියනවා. මටත් හිතුණොත් එයා මට ගැළපෙන්නේ නැහැ කියලා මම ඒ සම්බන්ධය දුර දිග ගෙනියන්නේ නැහැ.”

දෙවන පොතේ 2වන පරිච්ඡේදය කියවූ පසු ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මගේ දරුවා මට හොරෙන් සම්බන්ධයක් පටන්ගනියිද?’ හොර රහසින් සම්බන්ධයක් පවත්වාගෙන යන්න තමන් පෙලඹුණේ ඇයි කියා යෞවනයන් පවසන දේ පහත සඳහන් වෙනවා. එය කියවා ඉන්පසු අසා ඇති ප්‍රශ්න ගැන සිතා බලන්න.

“සමහර ළමයින්ට ගෙදරින් කිසිම සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් පෙම්වතෙකුට හෝ පෙම්වතියකට ළං වෙනවා.”—වෙන්ඩි.

දෙමාපියන් හැටියට ඔබ දරුවන්ගේ හැඟීම් තේරුම්ගෙන ඔවුන්ට උපකාර කරන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් දියුණු විය යුතුයි කියා ඔබ සිතනවාද? ඒ කොයි පැතිවලින්ද?

“අවුරුදු 14දී ඉස්කෝලේ පිරිමි ළමයෙක් මාත් එක්ක යාළු වෙන්න ඇහැව්වා. මම ඒකට කැමති වුණා. මගේ තනිකම මකන්නත් මට ආදරය ලබන්න ඕන නිසත් කවුරු හරි කෙනෙක් ඉන්න එක හොඳයි කියලා මට හිතුණා.”—ඩියෑන්.

ඩියෑන් ඔබේ දුව නම් ඔබ ඒ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

“මොබයිල් ෆෝන් එක නිසා රහසින් සම්බන්ධය තියාගන්න එක ලේසියි. අම්මලාට ඒවා දැනගන්න ලැබෙන්නේ නැහැ!”—ඇනට්.

දරුවන්ට ජංගම දුරකථන භාවිත කරන්න දීමේදී සැලකිලිමත් විය යුතු දේවල් මොනවාද?

“ළමයි කරන්නේ මොනවාද, කාත් එක්කද ආශ්‍රය කරන්නේ කියලා අම්මලා එච්චර හොයලා බලන්නේ නැත්නම් හොරෙන් සම්බන්ධයක් තියාගන්න එක අමාරු නැහැ.”—තෝමස්.

ඔබට පුළුවන්ද දරුවාගේ නිදහසට බාධාවක් නොවී ඔහු හෝ ඇය කරන යම් දේවල් ගැන සොයා බලන්න?

“ළමයි ගෙදර ඉන්න වෙලාවට අම්මලා නැහැ. එහෙමත් නැත්නම් අම්මලා ළමයින්ට ඕනේ කෙනෙක්ව එක්ක ආශ්‍රය කරන්න ඉඩ දෙනවා.”—නිකලස්.

ඔබේ දරුවාගේ හොඳම මිතුරා කවුද? ඔවුන් එකට කාලය ගත කරන විට මොනවාද කරන්නේ කියා ඔබ දන්නවාද?

“අම්මලා ඕනෑවට වඩා නීති දාන කොට හොරෙන් සම්බන්ධයක් ඇති කරගන්න ළමයි පෙලඹෙනවා.”—පෝල්.

බයිබල් නීතිරීති හා ප්‍රතිපත්ති කඩ නොවන අවස්ථාවලදී “සාධාරණ ලෙස” කටයුතු කරන්න ඔබට පුළුවන්ද?—ෆිලිප්පි 4:5.

“මට අවුරුදු 13ත් 14ත් වගේ කාලේදී කවුරුත් මාව ගණන් ගත්තේ නැහැ. ඉතින් මට ආදරය ලබාගන්න ලොකු වුවමනාවක් තිබුණා. මම ළඟපාත සභාවක සිටි පිරිමි ළමයෙකුට ඊ-මේල් කරන්න පටන්ගත්තා. ඊටපස්සේ අපි අතර ආදරයක් ඇති වුණා. එයාට මං තරම් කෙනෙක් හිටියේ නැහැ.”ලින්ඩා.

ලින්ඩාට අවශ්‍යව තිබූ දේ ලබා දීමට පවුලේ අයට කරන්න තිබුණේ කුමක්ද කියා ඔබට සිතන්න පුළුවන්ද?

ඔබේ දුව හෝ පුතා සමඟ සාකච්ඡා කිරීමට 2වන පොතේ 2වන පරිච්ඡේදයත් උපග්‍රන්ථයේ මෙම කොටසත් යොදාගන්න ඔබට පුළුවන්. දරුවන් හොර රහසේ දේවල් කරනවා නම් ඊට හොඳම දේ ඔවුන් සමඟ විවෘතව කතා කිරීමයි.—හිතෝපදේශ 20:5.

2වන පොතේ 1-3 දක්වා පරිච්ඡේද බලන්න

 මානසික ගැටලු

මගේ දරුවා දිවි නසාගැනීම ගැන කතා කරනවා නම් මම මොනවාද කරන්නේ?

ලෝකයේ සමහර රටවල දිවි නසාගන්නා අය අතර වැඩියෙන්ම සිටින්නේ යෞවනයන්. උදාහරණයකට එක්සත් ජනපදයේ අවුරුදු 15ත් 25ත් අතර සිටින අයගේ මරණවලට ප්‍රධාන හේතු අතරින් තුන්වන තැන ගන්නේ දිවි නසාගැනීමයි. ඒ වගේම පසුගිය අවුරුදු 20 ඇතුළත වයස අවුරුදු 10ත් 14ත් අතර සිටි, දිවි නසාගත් ළමයින්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී තිබෙනවා. එවැනි දෙයක් කිරීමට වැඩි පෙලඹීමක් ඇති වෙන්නේ මානසික ගැටලු තිබෙන යෞවනයන්ට, දිවි නසාගැනීමට මීට කලින් උත්සාහ දැරූ යෞවනයන්ට සහ පවුලේ කෙනෙකු දිවි නසාගෙන තිබෙන යෞවනයන්ටයි. දිවි නසාගැනීමට තැත් කරන යෞවනයන් අතර පහත සඳහන් ලක්ෂණ දැකිය හැකියි.

● පවුලේ අයගෙන් හා මිතුරන්ගෙන් ඈත් වී සිටීම

● ආහාර ගැනීමේ සහ නිදාගැනීමේ පුරුදු වෙනස් වීම

● කලින් ආශාවෙන් කළ දේවලට දැන් එතරම් උනන්දුවක් නොදැක්වීම

● ගතිපැවතුම්වල විශාල වෙනසක් ඇති වීම

● මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වලට ලොල් වීම

● තමන් සතු වටිනා දේවල් අන් අයට දීම

● මරණය ගැන නිතර කතා කිරීම හෝ ඒ හා සම්බන්ධ දේවලට උනන්දුවක් දැක්වීම

එවැනි ලක්ෂණ ගණන් නොගෙන සිටීම දෙමාපියන් අතින් සිදු විය හැකි ලොකු වරදක්. ‘ඔය වයසට ඔහොම තමයි’ කියා කාරණා සුළුවට ගන්න එපා.

දරුවා මානසික අවපීඩනයෙන් හෝ වෙනත් මානසික රෝගී තත්වයකින් පෙළෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ලැජ්ජා වෙන්න එපා. ඒ වගේම ඔබට තේරෙනවා නම් ඔබේ දරුවා දිවි නසාගැනීමට සිතනවා කියා ඒ ගැන ඔහුගෙන් හෝ ඇයගෙන් අසන්න. දිවි නසාගැනීම ගැන දරුවා සමඟ කතා කළොත් ඔහු හෝ ඇය ඒ දේට පෙලඹෙයි කියා සිතීම වැරදියි. ඇත්තෙන්ම දෙමාපියන් ඒ ගැන කතා කරන විට දරුවන්ට සහනයක් ලැබෙනවා. ඒ නිසා ඔබේ දරුවා දිවි නසාගන්න සිතමින් සිටිනවා කියා ඔබට දැනගන්න ලැබුණොත් ඔහු හෝ ඇය ඒ සඳහා සැලසුම් කර තිබෙන්නේ මොනවාද කියා සොයා බලන්න. දරුවා හැම දෙයක්ම සැලසුම් කර තිබෙනවා නම් ඔබ මොහොතක්වත් කල් නොදමා එය වැළැක්වීමට කළ හැකි දේ කරන්න.

දරුවාගේ මානසික පීඩනය නිකම්ම නැති වෙලා යයි කියා සිතන්න එපා. එය අඩු වෙලා කියා පෙනුණත් ඔහුට තිබූ ගැටලුව විසඳුණා කියා සිතන්න එපා. ඇත්තටම මෙය ගැටලුවේ දරුණුම අවස්ථාව විය හැකියි. මන්ද දරුවා මානසික අවපීඩනයෙන් සිටි නිසා දිවි නසාගැනීමට තරම් ශක්තියක් ඔහුට හෝ ඇයට නොතිබෙන්න ඇති. නමුත් දැන් ඒ පීඩනය අඩු වී තිබෙන නිසා ඒ සඳහා පියවර ගන්න ඉඩ තිබෙනවා.

තමන්ට ඇති වී තිබෙන කලකිරීම නිසා ජීවිතය නැති කරගැනීමට යෞවනයන් තැත් කිරීම ඇත්තෙන්ම කනගාටුදායකයි. දරුවන් තුළ තිබෙන අසාමාන්‍ය වෙනස්කම් දුටු විට ඒවාට නිසි අවධානය දීමෙන් දෙමාපියන්ටත් ඔවුන්ගේ දරුවන් ගැන සැලකිලිමත් වන වෙනත් වැඩිහිටියන්ටත් හැකි වෙයි ‘කලකිරී සිටින අයව සනසන්න.’ එසේ කිරීමෙන් යෞවනයන්ට සැබෑ රැකවරණයක් වෙන්න ඔවුන්ට හැකියි.—1 තෙසලෝනික 5:14.

මෙම පොතේ 13, 14වන පරිච්ඡේද සහ 2වන පොතේ 26වන පරිච්ඡේදය බලන්න

මගේ දුක දරුවාට කියන එක වැරදිද?

බිරිඳගේ හෝ සැමියාගේ වියෝව දරාගත නොහැකි දුකක්. යොවුන් වියේ පසු වන ඔබේ දරුවාට දෙමාපියන්ගේ උපකාරය අවශ්‍යම කාලයේදී තමයි ඔබට එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුණේ. ඔබේ දුකත් දරාගෙන දරුවාටත් දුක දරාගන්න උපකාර කරන්නේ කොහොමද? පහත සඳහන් දේවල් ඔබට කළ හැකියි.

ඔබට දැනෙන දුක සඟවන්න එපා. ඔබේ දරුවා බොහෝ දේ ඉගෙනගෙන තිබෙන්නේ ඔබ කටයුතු කළ ආකාරය දෙස බැලීමෙනුයි. මේ අවස්ථාවේදීත් දරුවා ඉගෙනගන්නේ ඔබගෙනුයි. ඔබේ දුක නොපෙන්වා දරුවා වෙනුවෙන් ඔබ ශක්තිමත්ව සිටිය යුතුයි කියා සිතන්න එපා. ඔබ එසේ කළොත් දරුවාත් එලෙස කටයුතු කරයි. ඒ වෙනුවට ඔබ ඔබේ හදවතේ තිබෙන වේදනාව පිට කළොත් දුක සඟවනවාට වඩා පිට කිරීම හොඳයි කියා දරුවා තේරුම්ගන්නවා. එවිට ඔහුත් තමන්ට දැනෙන දුක, කලකිරීම හෝ කේන්තිය සිතේ තද කර නොගෙන ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක් බව තේරුම්ගනීවි.

සිතේ තිබෙන දේ කියන්න දරුවාට දිරිගන්වන්න. දරුවාට කතා කරන්න කියා දිරිගන්වනවා මිසක් බල කරන්න එපා. දරුවා අදිමදි කරනවා නම් ඔබට පුළුවන් මෙම පොතේ 16වන පරිච්ඡේදයේ ඇති තොරතුරු ඔහු සමඟ සාකච්ඡා කරන්න. ඒ වගේම මිය ගිය ඔබේ බිරිඳ හෝ සැමියා ගැන ඔබට තිබෙන සොඳුරු මතකයන් ඔබේ දරුවා සමඟ බෙදාගන්න. ඔබට දැනෙන දුක දරුවාට කියන්න. ඔබේ හැඟීම් ඔබ ප්‍රකාශ කරන විට දරුවත් ඒ දේ කරන්න පුරුදු වෙයි.

ඔබේ සීමාවන් තේරුම්ගන්න. ඔබට අවශ්‍ය මෙම දුෂ්කර කාලයේදී ඔබේ දරුවාට ශක්තියක් වෙන්නයි. ඒත් ඔබත් සිටින්නේ ඉමහත් වේදනාවකින් බව අමතක කරන්න එපා. ඔබ යම් කාලයකට මානසිකව හා ශාරීරිකව දුර්වල විය හැකියි. (හිතෝපදේශ 24:10) ඒ නිසා ඔබේ පවුලේ සිටින වැඩිහිටියන්ගේ හෝ දැනුම් තේරුම් ඇති මිතුරන්ගේ උපකාරය ලබාගැනීමට පසුබට වෙන්න එපා. ‘නිහතමානී අය ප්‍රඥාවන්තයි’ කියා හිතෝපදේශ 11:2හි සඳහන් වෙනවා. අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක් ඒ දේ තේරුම්ගන්නවා.

හොඳම උපකාරය ඔබට ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්. දෙවි ඔබට මෙසේ පොරොන්දු වී තිබෙනවා. “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.”—යෙසායා 41:13.

මෙම පොතේ 16වන පරිච්ඡේදය බලන්න

ආහාර පාලනය කිරීම සම්බන්ධයෙන් සමබර වීමට මගේ දුවට උපකාර කරන්නේ කොහොමද?

ඔබේ දුව අනවශ්‍ය ලෙස කෑම පාලනය කරනවා නම් ඒ දේ සමබරව කිරීමට උපකාර කරන්නේ කොහොමද? * මුලින්ම ඇය ඒ දේ කරන්නේ ඇයි කියා තේරුම්ගන්න.

අනවශ්‍ය ලෙස ආහාර පාලනය කරන අය තමන්ගේ පෙනුම ගැන සෑහීමට පත් වෙන්නේ නැහැ. ළඟා වීමට අමාරු ඉලක්ක තබාගෙන, කෙසේ හෝ ඒවාට ළඟා වීමට ඔවුන් උත්සාහ දරනවා. දරුවාගේ ඒ සිතුවිලිවලට ඔබ කිසිවිටෙකත් උල්පන්දම් දෙන්න එපා. ඒ වෙනුවට ඔබ දරුවාට ශක්තියක් වෙන්න.—1 තෙසලෝනික 5:11.

ඒ වගේම ආහාර ගැනීම හා බර පාලනය කිරීම ගැන ඔබට තිබෙන අදහස් ගැනත් සිතා බලන්න. ඔබත් අනවශ්‍ය ලෙස මේ කාරණා ගැන සිතන බව ඔබේ කතාවෙන් සහ හැසිරීමෙන් පෙනෙනවාද? යොවුන් වියේ සිටින දැරියන් තමන්ගේ පෙනුම ගැන හුඟක් සැලකිලිමත් වන බව අමතක කරන්න එපා. ඔබේ දරුවාට ‘බලං ඉද්දි මෙයා මහත් වෙනවා!’ නැත්නම් ‘ඔයා පොල් ගහක් වගේ උස යනවා’ වගේ දේවල් විහිළුවට කීමෙන් ඒවා දරුවාගේ මනසට බලපාන්න පුළුවන්.

මුලින්ම මේ කාරණය ගැන දරුවා සමඟ කතා කරන්නේ කොහොමද කියා සිතා බලා ඒ ගැන දෙවිට යාච්ඤා කරන්න. ඉන්පසු දරුවා සමඟ කතා කරන්න. ඒ සඳහා පහත සඳහන් යෝජනා අත්හදා බලන්න.

● කියන්නේ කුමක්ද හා කියන්නේ කොයි වෙලාවේදීද කියා සිතා බලන්න.

● ඔබ දරුවා ගැන සැලකිලිමත් වන බවත් උපකාර කිරීමට කැමති බවත් දරුවාට පැහැදිලිව කියන්න.

● දරුවා නිදහසට කරුණු කිව්වොත් ඒ ගැන පුදුම වෙන්න එපා.

● ඉවසීමෙන් සවන් දෙන්න.

විශේෂයෙන්ම දරුවාට උපකාර කරන්න ඔබ කැමැත්තෙන් සිටින බව පෙන්වන්න. පවුලේ හැමෝම උදව් කරන්න කැමති බව පෙන්වන්න.

මෙම පොතේ 10වන පරිච්ඡේදය සහ 2වන පොතේ 7වන පරිච්ඡේදය බලන්න

  නමස්කාරය

මගේ දරුවන් යොවුන් වියට පා තබද්දී නමස්කාරය හා සම්බන්ධ දේවලට ඔවුන්ට තිබෙන උනන්දුව මම වැඩි කරන්නේ කොහොමද?

දේවසේවකයෙකු වූ තිමෝතිට, දේවවචනය ගැන අවබෝධයක් ලබාගන්න “ළදරු කාලයේ පටන්” උපකාර කර තිබූ බව බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:15) ඔබත් ඔබේ දරුවන්ට එවැනි පුහුණුවක් ලබා දී ඇති. නමුත් ඔබේ දරුවන් යොවුන් වියට පා තැබූ පසු ඔවුන්ට උගන්වන ක්‍රම වෙනස් කරන්න ඔබට සිදු වෙයි. පුංචි කාලයේදී ඔබේ දරුවන්ට තේරුම්ගන්න බැරි වූ ගැඹුරු කාරණා දැන් ඔවුන් තේරුම්ගැනීමට පටන්ගන්නවා. ඒ නිසා ‘බුද්ධිමත්ව’ සිතා බලා කටයුතු කරන්න ඔවුන්ට උපකාර කිරීමට ඔබට සිදු වෙනවා.—රෝම 12:1.

තිමෝති තමා ඉගෙනගත් දේවල් ‘මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹුණා’ කියා පාවුල් සඳහන් කළා. (2 තිමෝති 3:14) ඔබේ දරුවන් තුළත් ඔවුන් කුඩා කාලයේ දැනගත් බයිබල් සත්‍යයන් “මුළු සිතින්” විශ්වාස කිරීමට ‘පෙලඹීමක්’ ඇති කළ යුතුයි. යෞවනයන්ගේ සිතට යමක් කාවද්දන්න නම් ඔවුන්ට කළ යුතු දේ හෝ විශ්වාස කළ යුතු දේ කුමක්ද කියා නිකම්ම කීමට වඩා වැඩි දෙයක් කළ යුතුයි. ඔවුන්ම ඒ දේවල් ඉගෙනගෙන අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා ඔවුන්ට උපකාර කරන්නේ කොහොමද? යම් විෂයක් ගැන තර්කානුකූලව සිතීමට සහ ඒ ගැන අදහස් දැක්වීමට ඔවුන්ට ඉඩ දෙන්න. ඒ සඳහා පහත සඳහන් ප්‍රශ්න ප්‍රයෝජනවත් විය හැකියි.

● දෙවි කෙනෙක් ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ ඇයි?—රෝම 1:20.

● මගේ දෙමාපියන් මට බයිබලයෙන් කියා දෙන දේවල් ඇත්ත කියලා මම විශ්වාස කරන්නේ ඇයි?—ක්‍රියා 17:11.

● බයිබලයේ තියෙන ප්‍රතිපත්ති පිළිපැදීමෙන් හොඳක් වෙන්නේ මටමයි කියලා මම පිළිගන්නේ ඇයි?—යෙසායා 48:17, 18.

● බයිබලයේ ඇති අනාවැකි ඉටු වෙයිද?—යොෂුවා 23:14.

● ‘ක්‍රිස්තුස් යේසුස් පිළිබඳ මා ලබාගත් අනර්ඝ දැනුම’ මේ ලෝකයේ කිසිම දෙයකට සමාන කරන්න බැහැ කියලා මම පිළිගන්නේ ඇයි?—ෆිලිප්පි 3:8.

● යේසුස්ගේ ජීවිත පූජාවෙන් මට ලැබෙන ප්‍රයෝජන මොනවාද?—2 කොරින්ති 5:14, 15; ගලාති 2:20.

යොවුන් වියේ පසු වන ඔබේ දරුවන්ගෙන් සමහරවිට එවැනි ප්‍රශ්න ඇසීමට ඔබ පසුබට වෙන්න පුළුවන්. ඊට හේතුව ඒවාට පිළිතුරු දීමට ඔවුන්ට නොහැකි වෙයි කියා ඔබ බිය වන නිසා විය හැකියි. ඒත් ඇත්තටම ඔවුන්ගේ සිතේ තිබෙන දේ දැනගැනීමට ඔබ ප්‍රශ්න ඇසිය යුතුයි. ඒ දේ කළ යුත්තේ දැනුයි. ඔවුන් වෙනුවෙන් කාලය වැය කරන්න. ඔවුන් ඔබ සමඟ ඉන්න කාලයේ ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමෙන් ඔවුන් ඉගෙනගත් දේවල් ‘මුළු සිතින් විශ්වාස කිරීමට පෙලඹෙයි.’ *

“ඇයි මං මේ දේ විශ්වාස කරන්නේ” කියා ඔබේ දුවට හෝ පුතාට සිතීමට උනන්දු කිරීමේ වරදක් නැති බව මතක තබාගන්න. තමා කුඩා කාලයේදී එසේ කළ ආකාරය 22 හැවිරිදි ඩියෑන් පවසනවා. “මට ඕන වුණේ කිසිම සැකයක් නැතුව මං විශ්වාස කරන දේ පිළිගන්න. ප්‍රශ්නවලට හොඳ විශ්වාසයකින් පිළිතුරු දෙන්න මට පුළුවන් වෙන කොට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීම ගැන මට ලොකු සතුටක් දැනුණා. මං සමහර දේවල් කරන්නේ නැත්තේ ඇයි කියලා කවුරු හරි මගෙන් අහද්දී ‘ඒක මගේ ආගමික විශ්වාසයන්ට විරුද්ධයි’ කියා පිළිතුරු දෙනවාට වඩා මම මෙහෙම කියනවා. ‘එහෙම කරන එක හරියි කියලා මට හිතෙන්නේ නැහැ.’ වෙන විදිහකින් කියනවා නම් මම බයිබලයේ අදහස් මගේ අදහස් කරගත්තා.”

යෝජනාවක්: යම් ගැටලුවක් ඇති අවස්ථාවක ඔබේ දරුවාට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට උපකාර කිරීම සඳහා ඔබට මෙසේ කළ හැකියි. ඔබේ චරිතය දරුවාට රඟපාන්න කියාත් දරුවාගේ චරිතය ඔබ රඟපෑමටත් සැලසුම් කරන්න. උදාහරණයකට මෙහෙම හිතන්න. ඔබේ දුව සාදයකට යන්න අවසර ඉල්ලනවා. නමුත් එතැනට යෑම සුදුසු නැති බව ඔබ (සහ සමහරවිට ඇයත්) දන්නවා. ඔබ එකපාරටම ඇයට යන්න එපා කියනවා වෙනුවට මෙසේ කිව හැකියි. ‘මම ආසයි ඔයා අම්මා/තාත්තා නං ඔයා කරන දේ දැනගන්න. ඒ නිසා ඔයා යන්න හිතන සාදය ගැන හොඳට කල්පනා කරන්න. (සමහරවිට මෙම පොතේ 37වන පරිච්ඡේදය හෝ 2වන පොතේ 32වන පරිච්ඡේදය යොදාගෙන) තොරතුරු සොයා බලා හෙට මාත් එක්ක ඒ ගැන කතා කරන්න. මම ඔයා වෙලා, සාදයට යන්නද කියලා අවසර ඉල්ලන්නම්. එතකොට ඔයා, මට යන එක සුදුසුද නැද්ද කියලා කියන්න.’

මෙම පොතේ 38වන පරිච්ඡේදය සහ 2වන පොතේ 34-36 දක්වා පරිච්ඡේද බලන්න

යොවුන් වියේ සිටින අපේ දරුවාට ඉස්සර වගේ නමස්කාර කටයුතු සඳහා උනන්දුවක් නැහැ. අපි මොනවාද කරන්නේ?

දරුවාට ඔබේ ආගම දැන් එපා වෙලා කියා සිතන්න ඔබ ඉක්මන් වෙන්න එපා. ඔවුන් යම් ගැටලුවලට මුහුණ දෙනවා ඇති. උදාහරණයකට ඔබේ දරුවා,

● මිතුරන්ගෙන් එන පීඩනය නිසා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීමට ලැජ්ජා ඇති

● වෙනත් යෞවනයන් (තම සහෝදර සහෝදරියන් පවා) හොඳින් නමස්කාර කටයුතුවල යෙදෙද්දී ඔවුන් මෙන් තමන්ට කටයුතු කිරීමට බැරි වෙයි කියා සිතනවා ඇති

● මිතුරන් ඇති කරගැනීමට ලොකු අවශ්‍යතාවක් තිබෙනවා. නමුත් සභාවේ සිටින අය සමඟ පෑහී කටයුතු කිරීමට බැරි නිසා තනිකමක් දැනෙනවා ඇති

● සමහර ක්‍රිස්තියානි යෞවනයන් දෙයාකාර ජීවිතයක් ගත කරනවා කියා ඔවුන් දන්නවා ඇති

● ඔබ විශ්වාස කරන දේවල් දරුවා ප්‍රශ්න කරන්නේ ඔහුම එය තීරණය කිරීමට කැමති නිසා විය හැකියි

● පන්තියේ ළමයි නරක දේවල් කළත් ඔවුන්ට කිසිම හානියක් වෙන්නේ නැහැනේ කියා සිතනවා ඇති

● සාක්ෂිකාරයෙක් නොවන මව හෝ පියාගේ හිත දිනාගන්න උත්සාහ කරනවා ඇති

ඔබේ දරුවා එසේ සිතනවා ඇත්තේ ඔබේ ආගමට අකමැති නිසා නොවෙයි. ඔහු මුහුණ දෙන තත්වයන් නිසා ඔබේ ආගම ඇදහීම ඔහුට මේ වයසේදී ලොකු අභියෝගයක් විය හැකියි. දරුවාට උපකාර කිරීම සඳහා ඔබට කුමක් කළ හැකිද?

දෙවිගේ ප්‍රතිපත්ති කඩ නොවන සේ දරුවාට නිදහස දෙන්න. දරුවාගේ කලකිරීමට හේතුව මොකක්ද කියා තේරුම්ගෙන නමස්කාර කටයුතුවල සතුටින් නියැලීමට දරුවාට උපකාර කරන්න. (හිතෝපදේශ 16:20) උදාහරණයකට 2වන පොතේ 132වන සහ 133වන පිටුවල ඇති, “මිත්‍රයන්ගෙන් පීඩනයක් එන විට” යන කොටසේ තිබෙන යෝජනා අදාළ කරගැනීමෙන් දරුවාට මිත්‍රයන්ගෙන් පීඩනයක් එල්ල වන විට ඊට බිය නොවී කටයුතු කිරීමට හැකියාව ලැබෙයි. ඔබේ දරුවා තනිකමෙන් පෙළෙනවා නම් හොඳ මිත්‍රයන්ව සොයාගැනීමට ඔහුට හෝ ඇයට උපකාර කිරීමටද ඔබට හැකියි.

ආදර්ශවත් කෙනෙකුව ඇසුරු කිරීමට සැලසුම් කරන්න. සමහර යෞවනයන්ට වෙනත් වැඩිහිටියෙකුගේ දිරිගැන්වීම මහත් උපකාරයක් වී තිබෙනවා. ඔබේ දරුවාට උපකාර කළ හැකි ආදර්ශවත් ක්‍රිස්තියානියෙකුව ඔබ දන්නවාද? ඔබේ වගකීම ඔහු හෝ ඇය පිට පැටවීම ඔබේ අරමුණ නොවිය යුතුයි. තිමෝති ගැන සිතන්න. ඔහු ආදර්ශවත් ක්‍රිස්තියානියෙක් වූ පාවුල්ව ආශ්‍රය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබූ අතර පාවුල්ටත් ඒ මිත්‍රත්වය ප්‍රයෝජනවත් වුණා.—ෆිලිප්පි 2:20, 22.

දරුවා ඔබ යටතේ සිටින තාක් කල් ඔබගේ පවුල තුළ කරන නමස්කාර කටයුතුවලට ඔහු සහයෝගය දක්වයි කියා බලාපොරොත්තු වීමට ඔබට අයිතියක් තිබෙනවා. ඒත් ඔබේ අරමුණ විය යුත්තේ දරුවාගේ හදවතේ දෙවිට ප්‍රේමයක් ඇති කිරීම මිස දරුවාව බලෙන් ඒ දේවලට යොමු කිරීම නොවෙයි. ඔහුට හෝ ඇයට සැබෑ නමස්කාරය ගැන අගයක් ඇති වීමට නම් ඔබ ආදර්ශවත් ක්‍රිස්තියානියෙක් ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්. දරුවාගෙන් බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන් සාධාරණ වෙන්න. දරුවාට ආදර්ශවත් වැඩිහිටියෙකුගේ සහාය සහ හොඳ මිතුරන්ව සොයාගැනීමට උපකාර කරන්න. ඔබ එසේ කළොත් යම් දිනක ඔබේ දරුවාත් ගීතිකාකරු මෙන් මෙසේ කියයි. “යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය. මාගේ බලකොටුවය. මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.”—ගීතාවලිය 18:2.

මෙම පොතේ 39වන පරිච්ඡේදය සහ 2වන පොතේ 37, 38වන පරිච්ඡේද බලන්න

[පාදසටහන්වල]

^ 23 ඡේ. නමුත් දරුවාගේ හිතට වේදනාවක් දී දේවල් කරගන්න උත්සාහ කරන්න එපා.

^ 64 ඡේ. යොවුන් වියේ සිටින ඔබේ දරුවන් ඔවුන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වන නිසා ඔවුන්ගේ ශාරීරික අඩුපාඩු ගැන කතා කරන්න එපා.

^ 113 ඡේ.  පිටු 315-318 දක්වා බලන්න.

^ 168 ඡේ. මෙම කොටස ගැහැනු ළමයින් ගැන කතා කළත් එය පිරිමි ළමයින්ටත් අදාළයි.

^ 188 ඡේ. දෙවි කෙනෙක් ඉන්නවා කියා යෞවනයන්ට තර්කානුකූලව සිතා බලා තේරුම්ගැනීමට උපකාරවත් වන තොරතුරු 2වන පොතේ 36වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා.