Skip to content

පටුනට යන්න

ආදරය වෙනුවෙන් ඕනෑම දෙයකට ඉඩ දීම හරිද?

ආදරය වෙනුවෙන් ඕනෑම දෙයකට ඉඩ දීම හරිද?

24වෙනි පරිච්ඡේදය

ආදරය වෙනුවෙන් ඕනෑම දෙයකට ඉඩ දීම හරිද?

හෙදර්, මයික්ව දැන හඳුනා ගෙන මාස දෙකයි. නමුත් ඇයට දැනෙන්නේ ඔහුව කාලයක් තිස්සේ හඳුනනවා වගෙයි. ඔවුන් නිතර කෙටි පණිවිඩ හුවමාරු කරගත්තා. වරු ගණන් දුරකථනයෙන් කතා කෙරුවා. ඔවුන්ගේ සිතුම් පැතුම්ද එක වගේ! එක දවසක් රෑ හදපානේ ඔවුන් කාර් එකේ තනි වුණා. ඒ වෙලාවේ මයික්ට කතාබහ කරනවාට වඩා වැඩි යමක් අවශ්‍ය වුණා.

ගෙවී ගිය මාස දෙකේදී ඔවුන් තම ආදරය ප්‍රකාශ කළේ අත් ඇල්ලීමෙන් හා පුංචි හාදුවක් දීමෙනුයි. ඊට වැඩි දෙයක් කිරීමට හෙදර් කැමති වුණේ නැහැ. ඒත් මයික්ගේ ආදරය නැති කරගන්නත් ඇය කැමති නැහැ. ඔහු තරම් ඇයව වර්ණනා කරපු, විශේෂ සැලකිල්ලක් දක්වපු කෙනෙක් ඇයට හිටියේ නැහැ! ඒ නිසා ඇය මෙහෙම හිතුවා. ‘අපි පෙම්වතුන් නිසා මයික්ට මොන දේ කරන්න ඉඩ දුන්නත් කමක් නෑ.’

ඊළඟට සිදු වෙන්නේ මොකක්ද කියලා ඔබට සිතාගන්න පුළුවන්. ඒත් ඔබට තේරුම්ගන්න බැරි දෙයක් තිබෙනවා. ඒ, හෙදර් සහ මයික් ලිංගික ඇසුරේ යෙදුණොත් එය ඔවුන්ගේ ජීවිතවලට කොයි තරම් නරක බලපෑමක් ඇති කරයිද කියන කාරණය.

උදාහරණයකට ඔබ ගුරුත්වාකර්ෂණය නමැති නීතිය නොතකා උස් තැනක සිට පැන්නොත් සිදු වන දේ ඔබ දන්නවා. “වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුයි” කියා දෙවි දී ඇති නීතිය නොසලකා හැරියොත් සිදු වෙන්නේද ඒ හා සමාන දෙයක්. (1 තෙසලෝනික 4:3) බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘වේශ්‍යාකම් කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.’ (1 කොරින්ති 6:18) විවාහ වීමට පෙර ලිංගික ඇසුරේ යෙදීමෙන් කෙනෙකුට මුහුණ දීමට සිදු විය හැකි අහිතකර ප්‍රතිඵල තුනක් පහත සඳහන් කරන්න.

1 ․․․․․

2 ․․․․․

3 ․․․․․

ලිංගිකව බෝ වන රෝග, අනවශ්‍ය ගැබ්ගැනීම් හෝ දෙවිගේ අනුමැතිය අහිමි වීම වැනි දේවල් ඔබ සඳහන් කරන්න ඇති. ඒවා දෙවි දුන් සදාචාර ප්‍රතිපත්ති කැඩීම නිසා අත් වන භයානක ප්‍රතිඵලයි.

ඒ ගැන ඔබ දැන සිටියත් ලිංගික ඇසුරේ යෙදෙන්න ඔබට පෙලඹීමක් ඇති විය හැකියි. ‘මට මුකුත් වෙන්නේ නැහැ. ඔය හැමෝම කරන්නේ’ කියා ඔබ තර්ක කළ හැකියි. තමන් ලැබූ ලිංගික අද්දැකීම් ගැන ඔබේ පාසැලේ මිතුරන් මහ ඉහළින් වර්ණනා කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට එයින් කිසි හානියක් වී නැහැයි කියාත් ඔබට සිතෙන්න පුළුවන්. ලිංගික ඇසුරේ යෙදීමෙන් පෙම්වතාට ඔබ තවත් ළං වෙයි කියා හෙදර් මෙන් ඔබත් සිතන්න ඉඩ තියෙනවා. ‘ඔයා තවමත් පිරිමි ළමයෙක් එක්ක එකට ඉඳලා නැද්ද’ කියා ඔබේ මිතුරන් ඔබට සමච්චල් කරනවාත් ඇති.

මේ ගැන සිතන්න. යෞවනයන් වැඩි පිරිසක් ලිංගික ඇසුරේ යෙදෙන බව වාර්තාවලින් ඔප්පු වෙන බව ඇත්තයි. නමුත් විවාහයට පෙර හැමෝම ලිංගික ඇසුරේ යෙදෙන්නේ නැහැ. උදාහරණයකට ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය අවසන් කළ යෞවනයන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙක්ම ලිංගික ඇසුරේ යෙදී තිබෙන බව වාර්තා වෙනවා. නමුත් එයින් ඔප්පු වෙන්නේ තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් එසේ කර නැති බවයි. එය සැලකිය යුතු ප්‍රමාණයක්! විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදුණු යෞවනයන් බොහෝදෙනෙක් පහත සඳහන් අමිහිරි ප්‍රතිඵල එකකට හෝ මුහුණ දෙනවා කියා සමීක්ෂකයන් පවසනවා.

පළමුවෙනි අමිහිරි ප්‍රතිඵලය දැඩි කනගාටුව. විවාහ වීමට පෙර ලිංගික ඇසුරේ යෙදී ඇති අයගෙන් වැඩිදෙනෙක් තමන් එසේ කිරීම ගැන පසුව දැඩි සේ කනගාටු වෙනවා.

දෙවෙනි අමිහිරි ප්‍රතිඵලය අවිශ්වාසය. ලිංගික ඇසුරේ යෙදීමෙන් පසු ‘ඔහු හෝ ඇය තව කීදෙනෙක් සමඟ මේ විදිහට හිටියාද කියා’ දෙදෙනාම සැක කිරීමට පටන්ගනියි.

තුන්වෙනි අමිහිරි ප්‍රතිඵලය මඟහැර යෑම. සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් කැමති තමාව ආරක්ෂා කරන කෙනෙකුට මිස තමාගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා කෙනෙකුට නොවෙයි. ඒ වගේම ලිංගික ඇසුරේ යෙදීමෙන් පසු බොහෝ පිරිමි ළමයින්ට තම පෙම්වතිය කෙරෙහි මුලින් තිබූ ආකර්ෂණය අඩු වී යනවා.

පිරිමි ළමයින් වැඩිදෙනෙක් පවසන්නේ තමන් සමඟ ලිංගික ඇසුරේ යෙදුණු ගැහැනු ළමයෙකු සමඟ කිසි දිනක විවාහ නොවන බවයි. ඔවුන් විවාහ කරගන්න කැමති චරිතවත් ගැහැනු ළමයෙකුවයි.

ඔබ ගැහැනු ළමයෙක් නම් ඉහත කී තොරතුරු ගැන පුදුම වෙනවා ඇති. ඔබ තුළ කෝපයක් පවා ඇති විය හැකියි. මේ දේ මතක තබාගැනීම වැදගත්. චිත්‍රපටවල හා රූපවාහිනි වැඩසටහන්වල පෙන්වන්නේ විවාහ වීමට පෙර ලිංගික ඇසුරේ යෙදීම සාමාන්‍ය දෙයක් හැටියටයි. නමුත් රැවටෙන්න එපා! එවැනි දෙයකට යමෙකු ඔබව පොලඹවනවා නම් ඔහු සිතන්නේ ඔහු ගැන විතරයි. (1 කොරින්ති 13:4, 5) ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙක් ඔබව මානසිකව හා ශාරීරිකව වේදනාවට පත් කරයිද? (හිතෝපදේශ 5:3, 4) ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙක් ඔබ සහ දෙවි අතර තිබෙන මිත්‍රත්වය අනතුරේ හෙළයිද?—හෙබ්‍රෙව් 13:4.

ඔබ පෙම්වතෙක් නම් මෙම පරිච්ඡේදයේ සඳහන් දේවල් ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියා කල්පනා කර බලන්න. මේ ගැන ටිකක් සිතන්න. ‘මගේ පෙම්වතියට මම ඇත්තටම ආදරෙයිද?’ ඔබ ඔව් කියා පිළිතුරු දෙනවා නම් ඒ ආදරය ඔබ පෙන්වන්නේ කොහොමද? දෙවිගේ නීතිවලට කීකරු වීමට තරම් ආත්ම ශක්තියක් තිබෙන බව පෙන්වීමෙන් හා වැරදි පෙලඹීමක් ඇති විය හැකි අවස්ථාවලදී ප්‍රඥාවන්තව කටයුතු කිරීමෙන් ඔබට ඒ දේ කළ හැකියි. ඒ වගේම සෑමවිටම ඇගේ යහපත ගැන සිතීමෙන්ද ඔබට ඒ දේ කළ හැකියි. ඔබට එවැනි ගුණාංග තිබෙනවා නම් ඔබේ පෙම්වතියත්, බයිබලයේ සඳහන් වන ෂූලම්මීය ස්ත්‍රිය ඇගේ පෙම්වතා ගැන කියූ ලෙස ඔබ ගැන කියයි. “මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකාරයා ඔහුයි.” (සලමොන්ගේ ගීතිකාව 2:16) වෙන විදිහකින් කියනවා නම් ඇයට ඔබ කෙරෙහි තිබෙන ආදරයත් ගෞරවයත් වැඩි වෙයි.

ඔබ ගැහැනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් විවාහ වීමට පෙර ලිංගික ඇසුරේ යෙදීමෙන් ඔබේ වටිනාකම නැති වී යයි. (රෝම 1:24) ලිංගික ඇසුරේ යෙදුණු පසු බොහෝදෙනෙකුට තමන් දැන් වටින්නේ නැහැයි කියා සිතෙනවා. තමන් සතු වටිනා දෙයක් සොරා ගත්තා යන හැඟීම ඔවුන්ට ඇති වී තිබෙනවා. ඔබට එවැනි දෙයක් සිදු වෙන්න කවදාවත් ඉඩ දෙන්න එපා! “ඔයා මට ආදරෙයි නම් බැහැ කියන්නේ නැහැ” කියමින් කෙනෙක් ඔබව පොලඹවා ගැනීමට උත්සාහ කළොත් ස්ථිරව මෙහෙම කියන්න. “ඔයා මට ඇත්තටම ආදරෙයි නම් මේ වගේ දෙයක් මගෙන් ඉල්ලන්නේ නැහැ!”

ඔබේ ශරීරය ඉතාමත් අනර්ඝ බව මතක තබාගන්න. එමෙන්ම වේශ්‍යාකමින් වැළකී සිටින්න කියා දෙවි දී තිබෙන ආඥාවට කීකරු වීමට තරම් ආත්ම ශක්තියක් ඔබට තිබෙන බවත් පෙන්වන්න. එවිට ඔබ යම් දවසක විවාහ වුණොත් ලිංගික ඇසුරේ යෙදීමෙන් සතුටක් ලබන්න ඔබට පුළුවන් වෙයි. විවාහ වීමට පෙර එවැනි ඇසුරක් පවත්වා ඇති අය මුහුණ දෙන කනස්සල්ල, පසුතැවිල්ල හා අනාරක්ෂිත බව ඔබට අද්දකින්න සිදු වෙන්නේ නැහැ.—හිතෝපදේශ 7:22, 23; 1 කොරින්ති 7:3.

තවත් දැනගැනීමට 2වන පොතේ 4වන සහ 5වන පරිච්ඡේද බලන්න

ඊළඟ පරිච්ඡේදය

ස්වයංවින්දනය බරපතළ වරදක්ද?

බයිබල් උපදෙස

‘වේශ්‍යාකම වෙතින් පලා දුවන්න. වේශ්‍යාකම් කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.’—1 කොරින්ති 6:18.

යෝජනාවක්

මේ දේ මතක තබාගන්න: ඔබ විරුද්ධ ලිංගයේ කෙනෙක් සමඟ හැසිරෙන ආකාරය ඔබේ දෙමාපියන් දකිද්දී ඔබට ලැජ්ජාවක් ඇති වෙනවා නම් ඉන් පැහැදිලි වෙන්නේ ඔබ එවන් ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

පිරිමි ළමයින් තම පෙම්වතිය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් පසුව ඇයව අත්හැර වෙනත් කෙනෙකුට ආකර්ෂණය වෙන්න ඉඩ තිබෙනවා.

ගත හැකි පියවර

විරුද්ධ ලිංගයේ කෙනෙක් සමඟ සිටින විට මම මඟහැරිය යුතු තත්වයන් ․․․․․

විරුද්ධ ලිංගයේ කෙනෙකුට මාව පාළු තැනකදී මුණගැසීමට ඕනේ වුණොත් මම මෙහෙම කියනවා ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදීමට ආශාවක් ඇති වුණත් ඔබ එයින් වැළකී සිටිය යුත්තේ ඇයි?

● යමෙකු තමා සමඟ ලිංගික ඇසුරේ යෙදෙන්න කියා පැවසුවොත් ඔබ කරන්නේ කුමක්ද?

[176වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘ඔබ සැබෑ ක්‍රිස්තියානියෙක් නිසා ඔබට තිබෙන හොඳ ගුණාංගවලට අන් අය ආකර්ෂණය වෙනවා. ඒ නිසා පරෙස්සම් වෙන්න. වැරදි දෙයක් කරන්න කියලා පොලඹවද්දී ඒක ප්‍රතික්ෂේප කරන්න. ඔබ තුළ ඇති යහපත් ගුණාංග රැකගන්න. ඒවා නැති කරගන්න එපා!’’ —ජොෂුවා

[176, 177වන පිටුවේ පින්තූරය]

විවාහයට පෙර ලිංගික ඇසුරේ යෙදීම හරියට වටිනා චිත්‍රයක් පාපිස්සක් ලෙස භාවිත කරනවා හා සමානයි