ඔයාට ආදර්ශයක්—හෙබ්‍රෙව් තරුණයෝ
ඔයාට ආදර්ශයක්—හෙබ්‍රෙව් තරුණයෝ
බැබිලෝනියේ දූරා කියන සමභූමියේ නෙබුකද්නෙෂර් රජ රන් රූපයක් හැදුවා. හැමෝම ඒ රූපයට වැඳ වැටිලා නමස්කාර කළත් හනනියා, මිෂායෙල්, අෂරියා කියන තුන්දෙනා එහෙම කළේ නැහැ. ඒ වෙලාවේ රූපයට නමස්කාර කරපු අයගෙන් එයාලට ලොකු පීඩනයක් ආවා. ඒ විතරක් නෙමෙයි රූපයට වඳින්න කියලා රජත් ඒ තුන්දෙනාට තර්ජනය කළා. ඒත් එයාලා හරිම ගෞරවයෙන් වගේම ස්ථිරව යෙහෝවා දෙවිට හැර වෙන කිසිම කෙනෙක්ට නමස්කාර කරන්නේ නැතුව ඉන්න එයාලා අරන් තියෙන තීරණය ගැන රජුට කිව්වා.—දානියෙල් 1:6; 3:17, 18.
ඒ තුන්දෙනාව වහලුන් විදිහට බැබිලෝනියට ගේද්දී එයාලා හිටියේ යෞවන වයසේ. හැබැයි ඒ වයසෙත් එයාලා දෙවිට විශ්වාසවන්තව හිටියා. එක අවස්ථාවක දෙවි කන්න එපා කියලා තිබුණු සමහර කෑම එයලට දුන්නම එයාලා ඒවා කන්න බැහැ කිව්වා. ඒගොල්ලෝ පොඩි වයසේ ඉඳලම දෙවිට විශ්වාසවන්තව හිටපු හින්දා තමයි පස්සේ කාලෙක එයාලට ආපු ලොකු ප්‍රශ්නවලදීත් හරි දේ කරන්න පුළුවන් වුණේ. (දානියෙල් 1:6-20) දෙවිට විශ්වාසවන්තව ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ කියලා එයාලා තේරුම් අරන් හිටියා. කොච්චර පීඩන ආවත් ඒ අය වගේ දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔයාත් අධිෂ්ඨානයක් අරන් ඉන්නවාද? ඔයා දැන් ඉඳලම පොඩි දේවල්වලදීත් දෙවිට විශ්වාසවන්තව හිටියොත් තමයි පස්සේ කාලෙක ලොකු ප්‍රශ්න ආවත් දෙවිට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වෙන්නේ.—හිතෝපදේශ 3:5, 6; ලූක් 16:10.