Skip to content

පටුනට යන්න

ඇයි මෙච්චර නීති?

ඇයි මෙච්චර නීති?

22වෙනි පරිච්ඡේදය

ඇයි මෙච්චර නීති?

දෙමාපියන් ඔයාට දාලා තියෙන නීති මොනවාද? ․․․․․

ඒ නීති සාධාරණයි කියලා ඔයා හිතනවාද?

□ ඔව් □ නැහැ

ගෙදරින් ඔයාට දාලා තියෙන නීතිවලින් පිළිපදින්න අමාරුම එක මොකද්ද? ․․․․․

සාමාන්‍යයෙන් දෙමාපියන් දරුවන්ට එක එක නීති දානවා. උදාහරණයකට ඉස්කෝලේ වැඩ කරන්න ඕන වෙලාව, ගෙදර දොරේ කරන්න ඕන වැඩ මොනවාද, කොහේ හරි ගියොත් ගෙදර එන්න ඕනේ වෙලාව, ෆෝන් එක පාවිච්චි කරන්න ඕනේ කොහොමද, කොච්චර වෙලා TV බලන්න පුළුවන්ද, කොම්පියුටර් එකේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද, ඉස්කෝලේ ගිහින් ඉන්න ඕනේ කොහොමද, ආශ්‍රය කරන්න ඕන මොන වගේ අයවද වගේ නීති ඒවාට අයිතියි.

දෙමාපියන් දාලා තියෙන ඒ වගේ නීති නිසා ඔයාව කොටු කරලා කියලා ඔයාට හිතෙනවාද? මේ යෞවනයන් කියන දේ බලන්න.

“කොහේ ගියත් මේ වෙලාව වෙන කොට ගෙදර එන්න ඕනේ කියලා අම්මලා දාලා තිබුණු නීතිය මට හරි වධයක් වුණා. හැබැයි අනිත් ළමයිට නම් ඕන තරම් රෑ වෙනකම් ඉන්න එයාලගේ ගෙවල්වලින් නිදහස දීලා තිබුණා.”ඇලන්.

“මට එන කෝල්ස්, මං ගන්න කෝල්ස් හැම එකක් ගැනම අම්මලා හොයලා බලනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මං තාම පොඩි ළමයෙක් කියලයි.”එලිසබෙත්.

“මගේ යාළුවෝ එක්ක විනෝද වෙන්න ගෙදරින් මට කිසිම ඉඩක් දුන්නේ නැහැ. මට හිතුණේ මට යාළුවෝ ඉන්නවට අම්මලා කැමති නැහැ කියලයි.”නිකෝල්.

යෞවනයන් වැඩිදෙනෙක් පිළිගන්න දෙයක් තමයි දෙමාපියන් නීති දාලා තියෙන්නේ එයාලගෙම හොඳට කියලා. හැබැයි හුඟක් යෞවනයන් ඒ නීති කඩනවා. දෙමාපියන් දාන නීතිවලින් හොඳක් වෙනවා කියලා පිළිගන්නවා නම් ඒ නීති හරි වධයක් කියලා යෞවනයන්ට හිතෙන්නේ ඇයි?

“මං දැන් පොඩි ළමයෙක් නෙමෙයි”

ඔයාගේ දෙමාපියන් හිතන්නේ ඔයාව ආරක්ෂා කරන්න නීති තියෙන්න ඕනේ කියලයි. හැබැයි ඒගොල්ලෝ ඔයාට දාලා තියෙන සමහරක් නීති නිසා ඔයාට දැනෙනවා ඇත්තේ ඒගොල්ලෝ තාම ඔයාට සලකන්නේ පොඩි ළමයෙක්ට වගේ කියලා. ඒ නීති වධයක් කියලා ඔයාට හිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

ගෙදරින් දාලා තිබුණු නීති ගැන බ්‍රියෙල් කියන යෞවනියට හැඟුණෙත් ඒ විදිහටයි. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මගේ දෙමාපියන්ට අමතක වෙලා ඒගොල්ලොත් මගේ වයසේ හිටියා කියලා. ඒගොල්ලෝ මගේ කැමැත්තට පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නැහැ. එයාලා කැමති මං පොඩි බබෙක් වගේ ඉන්නවාටයි.” ඇලිසන් කියන යෞවනියත් එයාට හැඟුණු විදිහ මෙහෙම කියනවා. “මට වයස අවුරුදු 18යි, 10ක් නෙමෙයි කියලා මගේ දෙමාපියන් තේරුම් අරං නැහැ කියලයි මට හිතෙන්නේ. මීට වඩා මාව විශ්වාස කරලා මට ටිකක් නිදහස දෙනවා නම් මං කැමතියි.”

ඔයාට හිතෙන්න පුළුවන් ඔයාගේ සහෝදර සහෝදරියන්ට ඔයාට වඩා වැඩි නිදහසක් දීලා තියෙනවා කියලා. ගෙදරින් දාලා තියෙන නීතිවලට කීකරු වෙන එක අමාරු වෙන්න ඒකත් එක හේතුවක්. යෞවන කාලෙදී එයාට දාලා තිබුණු නීති ගැන මැතිව් මෙහෙම කියනවා. “මගේ නංගියි, නැන්දගේ දුවලයි මොනවා කළත් ගෙදර අයට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං ඒවා කළොත් තමයි ප්‍රශ්නේ.”

නීති නැතුව පුළුවන්ද?

දෙමාපියන්ගේ නීති නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා සමහරවිට ඔයාට හිතෙනවා ඇති. ඒත් ටිකක් හිතන්න, ඒ නීති නැත්නම් ඔයාට ආරක්ෂාවක් තියෙයිද? කීයට ගෙදර ආවත් ගෙදර අයට ප්‍රශ්නයක් නැති, ඕන කෙනෙක් එක්ක ඕන දිහාවක යන්න නිදහස තියෙන, කැමති ඕනම විදිහකට අඳින්න පුළුවන් යෞවන යෞවනියන්ව සමහරවිට ඔයා දන්නවා ඇති. ඒ අයට ඕන ඕන විදිහට දේවල් කරන්න පුළුවන් වෙලා ඇත්තේ එයාලගේ දෙමාපියන් එයාලා ගැන හොයලා බලන්නේ නැති නිසා වෙන්න පුළුවන්. බයිබලයේ කියන්නේ දරුවන්ට ඕන ඕන විදිහට දේවල් කරන්න නිදහස දෙන එක ඥානවන්ත දෙයක් නෙමෙයි කියලයි. (හිතෝපදේශ 29:15) අද සමාජය මෙච්චර නරක අතට හැරිලා තියෙන්නෙත් පොඩි කාලේ ඉඳලා කිසි නීතියක් නැතුව හැදුණු හුඟදෙනෙක්, වැඩිහිටියන් වුණාට පස්සේ එයාලා කැමති කැමති විදිහට දේවල් කරන නිසයි.—2 තිමෝති 3:1-5.

ඒ නිසා අනිත් ළමයිට තරම් ඔයාට නිදහසක් නැහැයි කියලා හිතලා දුක් වෙන්නේ නැතුව ගෙදරින් ඔයාට නීති දාලා තියෙන්නේ ඔයාට තියෙන ආදරේ නිසයි කියලා තේරුම්ගන්න. ඔයාට එහෙම නීති දාන එකෙන් ඔයාගේ දෙමාපියන් ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිවයි. යෙහෝවා දෙවි පුරාණයේ හිටපු ඔහුගේ සේවකයන්ටත් නීති දුන්නා. ඒ ගැන දෙවි කිව්ව දේ බයිබලයේ මෙහෙම තියෙනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.”—ගීතාවලිය 32:8.

ඒ වුණත් සමහර වෙලාවට ඔයාට හිතෙයි, ගෙදරින් දාලා තියෙන නීති තද වැඩියි කියලා. එතකොට මොකද කරන්නේ?

ඔයාට හැඟෙන විදිහ පැහැදිලිව කියන්න

ඔයාට දාලා තියෙන නීති තද වැඩියි කියලා හිතෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාට හැඟෙන විදිහ දෙමාපියන්ට පැහැදිලිව කියන එක. සමහරවිට ඔයා කියයි, ‘මං අම්මලා එක්ක මේ ගැන කොච්චර කතා කළත් වැඩක් නැහැ’ කියලා. එහෙමනම් ඔයාගේ හැඟීම් දෙමාපියන්ට කියන විදිහ තව හදාගන්න උත්සාහ කරන්න. හේතු දෙකක් නිසා එහෙම කරන එක හරිම වැදගත්. (1) ඒකෙන් ඔයාට හැඟෙන විදිහ අම්මලට තේරුම්ගන්න පුළුවන් වෙනවා. (2) දෙමාපියන් ඒ වගේ නීති දාලා තියෙන්නේ ඇයි කියලා ඔයාටත් තේරුම්ගන්න පුළුවන් වෙනවා. ඔයාට ගෙදරින් තව නිදහස දෙනවට ඔයා කැමති නම් ඔයාට හැඟෙන විදිහ පැහැදිලිව කියන්න ඔයා ඉගෙනගන්න ඕනේ. ඒකට උදව් වෙන දේවල් තුනක් දැන් අපි බලමු.

හැඟීම් පාලනය කරන්න ඉගෙනගන්න. “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි” කියලා බයිබලයේ තියෙනවා. (හිතෝපදේශ 29:11) ඒ නිසා අම්මලා මොකක් හරි නීතියක් දැම්මොත් කන්කෙඳිරි ගාන්න, තරහෙන් පැත්තකට වෙලා මූණ එල්ලගෙන ඉන්න, හයියෙන් අඩි පොළොවේ ගහලා කේන්තිය පෙන්නන්න එපා. ඒ විදිහට ඔයා පොඩි ළමයෙක් වගේ හැසිරුණොත් නීති වැඩි වෙනවා මිසක් ඔයාට කිසි බුරුලක් ලැබෙන්නේ නැහැ.

දෙමාපියන්ව තේරුම්ගන්න උත්සාහ කරන්න. ට්‍රේසි කියන සාක්ෂිකාර යෞවනියට ඉන්නේ අම්මා විතරයි. එයා මෙහෙම කිව්වා. “අම්මා මට නීති දැම්මම මං කල්පනා කරලා බලනවා, ඇයි අම්මා මට මේ විදිහට නීති දාන්නේ කියලා. එතකොට මට තේරෙනවා අම්මා එහෙම කරන්නේ මගේම හොඳට කියලා.” (හිතෝපදේශ 3:1, 2) ට්‍රේසි වගේ ඔයාටත් දෙමාපියන්ව තේරුම්ගන්න පුළුවන් වුණොත් ඒගොල්ලන්ගේ හිත රිද්දන්නේ නැතුව ඔයාගේ හැඟීම් කියන්න පුළුවන්.

උදාහරණයකට ඔයාට පාටියකට යන්න ගෙදරින් අවසර දෙන්නේ නැහැ කියලා හිතන්න. දෙමාපියන් එහෙම කරන්නේ ඇයි කියලා ඔයාට හරියට තේරුම්ගන්න පුළුවන් නම් ඒ අය එක්ක වාද කරන්නේ නැතුව ඔයාට මේ විදිහට එයාලගෙන් අහන්න පුළුවන්. “මං අයියා එක්ක හරි අක්කා එක්ක හරි මේ පාටියට යන්නද?” සමහරවිට ඒත් අවසර දෙන එකක් නැහැ. හැබැයි ඒකට හේතුව ඔයා හරියට තේරුම්ගත්තොත් ඔයාට වෙන විසඳුමක් දෙන්න පුළුවන් වෙයි.

විශ්වාසය වැඩි වෙන විදිහට වැඩ කරන්න. හිතන්න, කෙනෙක් බැංකුවෙන් ණයක් ගන්නවා කියලා. එයා හැම මාසෙකම ගෙවන්න ඕන ගාණ කලට වෙලාවට ගෙවනවා. එතකොට බැංකුවට එයා ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා. ඊළඟ පාර එයාට ඊට වඩා ලොකු ණයක් වුණත් දෙන්න බැංකුව භය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි දෙමාපියන් දාලා තියෙන පොඩි පොඩි නීතිවලට ඔයා කීකරු වෙලා එයාලගේ විශ්වාසය දිනාගත්තොත් තිබුණට වඩා නිදහසක් දෙන්න එයාලා භය වෙන්නේ නැහැ. හැබැයි නිතර නිතර ඔයා නීති කඩනවා නම් ඒකෙන් වෙන්නේ තව නීති වැඩි වෙන එකයි.

නීතියක් කැඩුවොත්

දෙමාපියන් ඔයාට දාලා තියෙන නීතියක් ඔයා අතින් කැඩෙන්න පුළුවන්. (ගීතාවලිය 130:3) ඒ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම ඔයාගේ දෙමාපියන්ට කේන්ති යයි. ඒගොල්ලන්ගේ කේන්තිය තව වැඩි වෙන්නේ නැති විදිහට ක්‍රියා කරන්න ඔයාට පුළුවන් කොහොමද?

ඇත්ත කියන්න. නීතියක් කැඩුවේ ඇයි කියලා පැහැදිලි කරද්දී බොරු කතා ගොතන්න එපා. ඒකෙන් වෙන්නේ දෙමාපියන්ට ඔයා ගැන තියෙන විශ්වාසය තවත් අඩු වෙන එකයි. ඒ නිසා ඇත්තම කියන්න. (හිතෝපදේශ 28:13) ඒ වගේම නිදහසට කරුණු කියලා ඔයා අතින් වෙච්ච වරදේ බරපතළකම අඩු කරන්න හදන්න එපා. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි” කියලා බයිබලයේ දීලා තියෙන උපදෙසත් අදාළ කරගන්න.—හිතෝපදේශ 15:1.

සමාව ඉල්ලන්න. දෙමාපියන් එපා කියපු දෙයක් ඔයා කරපු නිසා ඒගොල්ලෝ භය වුණා නම් නැත්නම් කලබල වුණා නම් ඒකට සමාව ඉල්ලන්න. සමහරවිට ඒකෙන් ඔයාට දෙන දඬුවම අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔයා සමාව ඉල්ලන්න ඕනේ අවංකව කියලා මතක තියාගන්න.

දඬුවම පිළිගන්න. (ගලාති 6:7) ඔයාට ලැබෙන දඬුවම තද වැඩි නම් ඒක පිළිගන්න එක එච්චර ලේසි නැහැ. ඒ නිසා ඔයාට කේන්ති ගිහින් දෙමාපියන් එක්ක වාද කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඔයාගේ වරදට ලැබෙන දඬුවම ඔයා පිළිගත්තොත් දෙමාපියන්ට තේරෙයි ඔයා වැඩිහිටියෙක් විදිහට හැසිරෙනවා කියලා. එහෙමනම් නීතියක් කඩලා තියෙන වෙලාවක ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි දෙමාපියන්ගේ විශ්වාසය ආපහු දිනාගන්න පුළුවන් විදිහට වැඩ කරන එක.

අපි බලපු කාරණා තුනෙන් ඔයා අදාළ කරගන්න ඕනේ කියලා හිතන්නේ මොන එකද? ․․․․․

ඔයාට නීති දාන්න දෙමාපියන්ට අයිතියක් තියෙනවා. ඒ නිසා තමයි බයිබලයේ කියන්නේ “ඔබේ පියාගේ ආඥාව පවත්වන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න” කියලා. (හිතෝපදේශ 6:20) දෙමාපියන් දාන නීති නිසා ඔයා කොටු වෙලා කියලා හිතන්න එපා. ඇත්තටම ඔයා කැමැත්තෙන්ම දෙමාපියන්ට කීකරු වුණොත් ඒක ඔයාගේ “යහපතට හේතු වෙයි” කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා.—එෆීස 6:1-3.

තවත් දැනගන්න 1වෙනි පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

ඔයාගේ දෙමාපියන්ගෙන් කෙනෙක් බීමට/කුඩුවලට ඇබ්බැහි වෙලාද? එහෙමනම් එන ප්‍රශ්න දරාගන්න පුළුවන් කොහොමද?

බයිබල් උපදෙස

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න. . . . එය ඔබේ යහපතට හේතු වෙයි.”—එෆීස 6:2, 3.

යෝජනාවක්

ඔයාට තව ටිකක් නිදහස දෙනවට ඔයා කැමති නම් දෙමාපියන්ගේ නීතිවලට කීකරු වෙලා එයාලගේ විශ්වාසය දිනාගන්න.

මේක දැනගෙන හිටියාද?

දෙමාපියන්ගේ නීතිරීති මැද ඇතිදැඩි වෙන දරුවන් පාඩම් වැඩ හොඳට කරනවා කියලත් අනිත් අය එක්ක පෑහිලා සතුටින් ඉන්න එයාලට පුළුවන් කියලත් සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා.

ඔයාට වැඩක්!

දෙමාපියන් දාලා තියෙන නීතියක් මගේ අතින් කැඩුණොත් මං මෙහෙම කියනවා ․․․․․

මං මෙහෙම කළොත් දෙමාපියන්ගේ විශ්වාසය මට දිනාගන්න පුළුවන් ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● ඔයාගේ දෙමාපියන් ඔයා ගැන නිතරම හොයලා බලන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද?

● දෙමාපියන් දාන නීතියකට ඔයා අකමැති වෙන්නේ මොන හේතු නිසාද?

● ඔයාට හැඟෙන විදිහ පැහැදිලිව දෙමාපියන්ට කියන්න නම් ඔයා කරන්න ඕනේ මොනවාද?

[183වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘යෞවන කාලේ අපි හිතන්නේ අපි හැම දෙයක්ම දන්නවා කියලයි. ඒ නිසා දෙමාපියන් මොකක් හරි නීතියක් දැම්මම එයාලා එක්ක තරහා යනවා. හැබැයි එයාලා නීති දාන්නේ අපේම හොඳටයි.’’—මේගන්

[186වන පිටුවේ කොටුව]

මට වෙන්නේ අසාධාරණයක්ද?

‘මට දාලා තියෙන නීතිම පවුලේ අනිත් අයටත් දාන්න බැරි ඇයි’ කියලා ඔයාට හිතිලා ඇති. හැබැයි ටිකක් මෙහෙම හිතන්න. ඔයායි, ඔයාගේ සහෝදර සහෝදරියනුයි සීයට සීයක් එක වගේ නැහැ. ඒ නිසා දෙමාපියන්ට සිද්ධ වෙනවා එක් එක් කෙනාව හොඳට තේරුම් අරගෙන කෙනාගේ හැටියට එයාත් එක්ක කටයුතු කරන්න. ඒකෙන් කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. අවුරුදු 18ක් වයස බෙත් මෙහෙම කියනවා. “මායි, මගේ සහෝදරයයි අහසට පොළොව වගේ. ඒ නිසා මට දාපු නීති එයාට දැම්මේ නැහැ. ඒ කාලේ නම් මට හිතුණේ ඒක හරි අසාධාරණයි කියලා. හැබැයි දැන් මට තේරෙනවා ඒක එහෙම නැහැ කියලා.” ඇත්තටම දෙමාපියන්ගෙන් ඔයාට අසාධාරණයක් වෙනවා කියලා කියන්න පුළුවන් ඔයාගේ උවමනා එපාකම් ගැන එයාලා හිතන්නේ නැත්නම්, එයාලගෙන් මඟ පෙන්වීමක් උදව්වක් ඕන වෙලාවට ඒවා දෙන්නේ නැත්නම් තමයි. ඒ හැම දෙයක්ම ඔයාට ලැබෙනවා නම් ඔයාට අසාධාරණයක් වෙනවා කියලා කියන්න බැහැ.

[189වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබේ සටහන්

හැඟෙන දේ කියන්න

දෙමාපියන් ඔයාගේ වැරැද්දක් අල්ලගෙන ඕනෑවට වඩා බණිනවා කියලා හරි ඔයාට දාලා තියෙන නීති තද වැඩියි කියලා හරි ඔයාට හැඟෙනවා නම් ඒ ගැන ඔයාගේ දෙමාපියන් එක්ක කතා කරන්න. ඒක කරන්න පුළුවන් කොහොමද?

● ඔයාත් සන්සුන්ව ඉන්න, දෙමාපියන්ටත් වැඩ අඩු වෙලාවක් තෝරගන්න.

● ඔයාට හැඟෙන විදිහ අවංකව කියන්න. හැබැයි ඕනෑවට වඩා හැඟීම්බර වෙන්න එපා. කතා කරද්දී ඒක ගෞරවනීයව කරන්න.

දෙමාපියන් ඔයාගේ වැරැද්දක් අල්ලගෙන ඕනෑවට වඩා බණිනවා කියලා හිතෙනවා නම් මෙහෙම කියන්න පුළුවන්. “මගේ වැරදිම හොයන කොට මට දෙයක් හරියට කරන්න අමාරුයි. ඒ ගැන අපි ටිකක් කතා කරමුද?”

ඔයා කොහොමද ඔයාගේ දෙමාපියන්ට ඒ ගැන කියන්නේ?

․․․․․

යෝජනාවක්: ඒ ගැන දෙමාපියන් එක්ක කතා කරන්න 21වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු පාවිච්චි කරන්න. සමහරවිට ඒ පරිච්ඡේදය ඔයාත් එක්ක සාකච්ඡා කරන්න එයාලා කැමති වෙයි.

ඔයාට දාලා තියෙන නීති නිසා ඔයා කොටු වෙලා වගේ කියලා හැඟෙනවා නම් මෙහෙම කියන්න පුළුවන්. “මට තව ටිකක් නිදහස දෙනවට මං ආසයි. ඒ නිසා මං වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියලා පෙන්නන්න මං මොනවාද කරන්න ඕනේ?”

ඔයා කොහොමද ඔයාගේ දෙමාපියන්ට ඒ ගැන කියන්නේ?

․․․․․

යෝජනාවක්: පළවෙනි පොතේ 3වෙනි පරිච්ඡේදය කියවන්න. ඒක කියවද්දී ඔයාට මතු වෙන ප්‍රශ්න ලියන්න.

[184, 185වන පිටුවේ පින්තූරය]

බැංකු ණයක් වෙලාවට ගෙවද්දී විශ්වාසය වැඩි වෙනවා වගේ දෙමාපියන්ගේ නීතිවලට කීකරු වෙද්දී එයාලා ඔයාව වැඩියෙන් විශ්වාස කරයි