Skip to content

පටුනට යන්න

මෙහෙම දෙමාපියන් එක්ක ජීවත් වෙන්නේ කොහොමද?

මෙහෙම දෙමාපියන් එක්ක ජීවත් වෙන්නේ කොහොමද?

23වෙනි පරිච්ඡේදය

මෙහෙම දෙමාපියන් එක්ක ජීවත් වෙන්නේ කොහොමද?

“තාත්තා ගෙදරින් ගියේ කාර් එක හදන්න යනවා කියලයි. හැබැයි දවස පුරාම එක කෝල් එකක්වත් තාත්තගෙන් ආවේ නැහැ. අම්මා තාත්තට කීප සැරයක්ම කෝල් කළා. ඒත් තාත්තා ෆෝන් එක ඉස්සුවේ නැහැ. අම්මගේ මූණ දැක්කම මට තේරුණා අම්මා ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ කියලා. ‘මං තාත්තව බලලා එන්නම්’ කියලා කියාගෙන අම්මා ගෙදරින් පිටත් වුණා.

“ටික වෙලාවකින් අම්මා තනියෙන් ගෙදර ආවා. ‘තාත්තා හිටියේ නැද්ද’ කියලා මං අහපුවම අම්මා කිව්වා ‘නැහැ’ කියලා.

“එතකොට මට තේරුණා තාත්තා ආපහු පරණ සෙල්ලම පටන් අරං කියලා. අපේ තාත්තා ආයෙත් කුඩු ගහන්න අරගෙන. තාත්තා ගෙදර ආවම මායි අම්මයි හිටියේ පුදුම භයෙන්. පහුවෙනිදා දවසම මං තාත්තත් එක්ක එක වචනයක්වත් කතා කළේ නැහැ. මට ඒ ගැන පස්සේ දුකත් හිතුණා.”—කැරන්, 14.

කැරන්ගේ අද්දැකීමට සමාන අද්දැකීම්වලට අද ගොඩාක් යෞවනයන් මුහුණ දෙනවා. ඔයාගෙත් අම්මා හරි තාත්තා හරි කුඩුවලට නැත්නම් මත්පැන්වලට ඇබ්බැහි වෙලා නම් ඔයාට ලොකු කලකිරීමක්, කේන්තියක් වගේම ලැජ්ජාවක් ඇති වෙන්න පුළුවන්.

මේරිගේ අද්දැකීම ටිකක් බලන්න. එයාගේ තාත්තා හරියට බොන කෙනෙක්. එයා ගෙදර අයට නරක වචන කියලා බණිනවා, ගහනවා. හැබැයි එයා අනිත් අය ඉස්සරහා ඉන්නේ හරිම හොඳ කෙනෙක් වගේ. ඒ නිසා, “ඔයගොල්ලන්ට ඉන්නේ කොච්චර හොඳ තාත්තා කෙනෙක්ද” කියලා සමහර අය මේරිට ඇවිල්ලා කියනවා. එතකොට මේරිට ඇති වෙන්නේ පුදුම තරහක්. *

ඔයාගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් බීමට/කුඩුවලට ඇබ්බැහි වෙලා නම් ඒක දරාගන්න ඔයාට පුළුවන් කොහොමද?

ඇබ්බැහි වෙන්න හේතුව තේරුම්ගන්න

“හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා සෑමවිටම නිසි මඟ පෙන්වීම් ලබාගනියි” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 1:5) වෙනත් විදිහකින් කියනවා නම් හොඳට හිතලා බලලා වැඩ කරන කෙනෙක් මොකක් හරි ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී ඒ ගැන කරුණු කාරණා හොඳට හොයලා බලනවා. ඒ නිසා ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඇබ්බැහි වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද, ඇබ්බැහි වෙන්නේ මොන වගේ අයද, ඒකට හේතුව මොකද්ද කියලා හොයලා බලන එක.

එහෙම කරුණු හොයලා බලද්දී ඔයා තේරුම්ගනියි බීමට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කියන්නේ ඉඳලා හිටලා වැටෙනකම් බොන කෙනෙක්ට නෙමෙයි, මත්පැන්වලට ලොල්, ඒවා නැතුවම බැරි කෙනෙක්ට කියලා. එහෙම කෙනෙක්ට බොන්න පටන්ගත්තම සීමාවකුත් නැහැ. එයාගේ පවුලේ අයට, එයාගේ රැකියාවට, එයාගේ සෞඛ්‍යයට ඒ පුරුද්ද නරක විදිහට බලපානවා.

ජානවල තියෙන යම් බලපෑමක් නිසාත් සමහර අය බීමට ඇබ්බැහි වෙන්න පුළුවන්. හැබැයි හුඟක් අය ඇබ්බැහි වෙන්නේ එයාලට එයාලා ගැනම තියෙන කලකිරීම නිසයි. (හිතෝපදේශ 14:13) ඒ අයගෙන් සමහරදෙනෙක් හැදිලා වැඩිලා තියෙන්නේ බීමට ඇබ්බැහි වුණු දෙමාපියන් යටතෙයි. එයාලගේ කටුක ළමා කාලය අමතක කරලා දාන්න මඟක් හැටියට තමයි එයාලා බීමට පුරුදු වෙලා තියෙන්නේ. කෙනෙක් කුඩුවලට ඇබ්බැහි වෙන්නෙත් ඒ වගේ හේතු නිසයි.

ප්‍රශ්නවලින් මිදෙන්න හිතාගෙන බීමට/කුඩුවලට ඇබ්බැහි වුණාට ඇත්තටම ඒකෙන් වෙන්නේ ප්‍රශ්න තවත් වැඩි වෙන එකයි. මොකද එයාට හරියට හිතලා බලලා වැඩ කරන්න, හැඟීම් පාලනය කරගන්න බැහැ. ඒ නිසා තමයි ඔයාගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක් බීමට/කුඩුවලට ඇබ්බැහි වෙලා නම් ඒකෙන් මිදෙන්න උදව් කරන්න පුළුවන්, විශේෂ පුහුණුවක් ලබලා ඉන්න කෙනෙක් ළඟට යන එක හරිම වැදගත් වෙන්නේ.

ලැබෙන්නේ නැති දේ ගැන දුක් වෙන්න එපා

ඔයාගේ අම්මා හරි තාත්තා හරි නරක පුරුද්දකට ඇබ්බැහි වෙන්න ඇත්තේ ඇයි කියලා තේරුම්ගත්තට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ තමයි. හැබැයි එයාව තව ටිකක් තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙනවා.

උදාහරණයකට ඔයාගේ තාත්තගේ කකුල කැඩිලා නම් ඔයාත් එක්ක ෆුට්බෝල් ගහන්න යන්න තාත්තා එයි කියලා ඔයා බලාපොරොත්තු වෙනවාද? නැහැ. තාත්තගේ කකුල හොඳ වෙනකම් එයාට කරන්න පුළුවන් දේවල් සීමිතයි කියලා ඔයා තේරුම්ගන්නවා. තාත්තගෙන් ලැබෙන්නේ නැති දේ ගැන හිතලා දුක් වෙන්නේ නැතුව ඉන්න ඒක ඔයාට උදව්වක්.

කකුල කැඩිලා වැඩිය මුකුත් කරගන්න බැරුව ඉන්න තාත්තා වගේ තමයි බීමට හරි කුඩුවලට හරි ඇබ්බැහි වෙලා ඉන්න කෙනාත් ඉන්නේ. මොකද ඒ වගේ කෙනෙක්ට සාමාන්‍ය කෙනෙක් වගේ හිතලා බලලා වැඩ කරන්න බැහැ. ඔයාගේ අම්මා හරි තාත්තා හරි මේ නරක පුරුද්දට වැටිලා තියෙන්නේ විහින් නිසා ඔයාට එයා එක්ක තරහක් ඇති වෙන එක සාධාරණයි. හැබැයි එයා මේ නරක පුරුද්දෙන් මිදෙන්න අවශ්‍ය උදව් ගන්නකම් ඔයා වෙනුවෙන් එයාට කරන්න පුළුවන් දේවල් සීමිතයි කියලා අමතක කරන්න එපා. එතකොට ඔයා වෙනුවෙන් වෙන්න ඕන යුතුකම් එයා අතින් ඉටු නොවෙද්දී දුක් වෙන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන් වෙයි.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

ඔයාගේ අම්මා හරි තාත්තා හරි නරක පුරුද්දෙන් මිදෙනකම් ඔයාට ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙයි. හැබැයි ඒවාට මුහුණ දෙන්න මේ දේවල් ඔයාට උදව්වක්.

නරක පුරුද්දේ ප්‍රතිඵලවලින් එයාව ආරක්ෂා කරන්න ඔයා බැඳිලා නැහැ. ඒ ප්‍රතිඵලවලට වග කියන්න ඕනේ ඇබ්බැහි වෙලා ඉන්න කෙනාමයි. (ගලාති 6:5) ඒ නිසා එයා අද්දකින නරක ප්‍රතිඵලවලින් එයාව ආරක්ෂා කරන්න ඔයා පියවර ගන්න අවශ්‍ය නැහැ. උදාහරණයකට එයාගේ බොස්ට බොරු කියලා එයාව බේරගන්න එක ඔයාගේ වගකීමක් කියලා හිතන්න එපා. ඒ වගේම එයා බීලා වැටිලා ඉන්නවා නම් එයාව උස්සගෙන යන එක ඔයාගේ වැඩක් කියලා හිතන්න එපා.

නරක පුරුද්දෙන් ගොඩ එන්න උදව් ගන්න කියලා දිරිගන්වන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි නරක පුරුද්දකට වැටිලා නම් ඒක පිළිගන්න එක එයාට අමාරු වෙයි. ඒ නිසා එයා හොඳ සිහියෙන් ඉන්න වෙලාවක එයාගේ පුරුද්ද නිසා පවුලට වෙන හානිය ගැනත් ඒ පුරුද්දෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද කියලත් එයාත් එක්ක ටිකක් කතා කරන්න. ඇබ්බැහි වෙලා නැති ඔයාගේ අම්මා හරි තාත්තා හරි තමයි එයාත් එක්ක ඒ ගැන කතා කරන්න ඕනේ. ඒ සාකච්ඡාවට පවුලේ වැඩිමල් දරුවනුත් හවුල් වෙන එක හොඳයි.

මේ ප්‍රශ්න ගැන හිතලා බලලා, පුළුවන් නම් ඒවාට උත්තර ලියන එකත් එයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ‘මං දිගටම මේ විදිහට බොන එකෙන් නැත්නම් කුඩු ගහන එකෙන් මටයි මගේ පවුලේ අයටයි මොනවා වෙයිද? මං මේ පුරුද්ද අත්හැරියොත් වෙන්නේ මොනවාද? මේ පුරුද්දෙන් ගැලවෙන්න මං මොනවාද කරන්න ඕනේ?’

අනතුරක් නම් එතැනින් අයින් වෙන්න. බයිබලයේ කියන්නේ, “රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න” කියලයි. (හිතෝපදේශ 17:14) ඒ නිසා රණ්ඩුවක් ඇති වෙයි කියලා හිතෙනවා නම් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ කාමරේට හරි යාළුවෙක්ගේ ගෙදරකට හරි යන එක. හැබැයි ඔයාට නැත්නම් පවුලේ වෙන කෙනෙක්ට අනතුරක් වෙන්නයි යන්නේ කියලා තේරුණොත් ඉක්මනින් උදව් ඉල්ලන්න.

ඔයාට හැඟෙන විදිහ නිසා කලකිරෙන්න එපා. ඇබ්බැහි වෙලා ඉන්න කෙනා ගැන ඔයාගේ හිතේ කේන්තියක්, අකමැත්තක් තියෙන නිසා සමහරවිට ඔයාගේ හිත ඔයාට දොස් කියන්න පුළුවන්. හැබැයි ඔයාට ලැබෙන්න ඕන ආදරේ, සැලකිල්ල ලැබෙන්නේ නැති වුණාම ඒ ගැන කේන්තියක් ඇති වෙන එක සාධාරණයි. ඇත්තයි, දෙමාපියන්ට ගෞරව කරන්න කියලා බයිබලයේ කියලා තියෙනවා. (එෆීස 6:2, 3) ඒත් ඒකෙන් අදහස් කරන්නේ එයාලා කරන හැම දෙයක්ම ඔයා අනුමත කරන්න ඕනේ කියලා නෙමෙයි. (රෝම 12:9) බයිබලයේ ගෞරවය කරන්න කියද්දී ඒකෙන් අදහස් කරන්නේ දෙමාපියන් හැටියට එයාලට තියෙන වගකීමට ගරු කරන එකයි. ඒක හරියට පොලිස් නිලධාරියෙකුට, නඩු විභාග කරන කෙනෙකුට එයාගේ තනතුර නිසා ගරු කරනවා වගේ. ඔයාගේ හිතේ කේන්තියක්, අකමැත්තක් තියෙන නිසා ඔයා නරක කෙනෙක් කියලා හිතන්න එපා. ඇත්තටම ඔයාට කේන්තියක්, අකමැත්තක් දැනෙන්නේ ඔයා ඒ පුරුද්දට අකමැති නිසයි.—හිතෝපදේශ 23:29-35.

දිරිගැන්වීමක් ලැබෙන අයව ආශ්‍රය කරන්න. ගෙදර නිතර නිතර ප්‍රශ්න ගැටලු තියෙන නිසා කාලයත් එක්ක ඔයා ඒවාට හුරු වෙලා ඔයාට ඒවා සාමාන්‍ය දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා යෙහෝවා දෙවිට ළැදි, ප්‍රශ්න එද්දී ඉක්මනින් සැලෙන්නේ නැති අයව ආශ්‍රය කරන එක හරි වැදගත්. සාමාන්‍ය පවුලක තියෙන්න ඕන වාතාවරණය මොන වගේද කියලා හිතට ගන්න ඒ වගේ අයගේ ආශ්‍රය ඔයාට උදව් වෙයි. ඒ වගේම ලොකු දිරිගැන්වීමක් ලබන්නත් ගෙදර ප්‍රශ්න ටිකකට අමතක කරලා සහනයක් ලබන්නත් ඔයාට පුළුවන් වෙයි.—හිතෝපදේශ 17:17.

උදව් ගන්න. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක කතා කරන එක ඔයාට ලොකු ශක්තියක් වෙයි. සභාවේ ඉන්න වැඩිමහල්ලන් ඕන වෙලාවක ඔයාට උදව් කරන්න ලෑස්තියි. බයිබලයේ කියන්නේ ඒගොල්ලෝ, “සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද . . . වියළි දේශයක ගලා බසින දිය පහරවල් මෙන්ද කාන්තාර ප්‍රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක් මෙන්ද වන්නෝය” කියලයි. (යෙසායා 32:2) ඒ නිසා එයාලා ළඟට ගිහින් ගෙදර ප්‍රශ්න ගැන කතා කරලා උදව් ඉල්ලන්න ලැජ්ජ වෙන්නවත් භය වෙන්නවත් එපා.

අපි සාකච්ඡා කරපු කරුණු හයෙන් ඔයා මුලින්ම අදාළ කරගන්න ඕනේ කියලා හිතන්නේ මොන එකද? ․․․․․

ගෙදර තියෙන වාතාවරණය වෙනස් කරන්න ඔයාට බැරි වෙයි. ඒත් ගෙදර ප්‍රශ්න නිසා කලකිරිලා ඔයාගේ ජීවිතේ කටුක එකක් කරගන්න එපා. ඔයා නිතරම හරිදේ කරන්න. බයිබලයේ කියන්නෙත්, “ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න” කියලයි. (ෆිලිප්පි 2:12) ඔයා හරි දේ කරන්න උත්සාහ කරද්දී බීමට/කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න අම්මා නැත්නම් තාත්තා ඒ පුරුද්දෙන් මිදෙන්න සමහරවිට පියවර ගන්න ඉඩ තියෙනවා.

ඊළඟ පරිච්ඡේදය

දෙමාපියන් නිතර රණ්ඩු වෙනවා නම් මං මොකද කරන්නේ? ඔයාට දැනෙන භය, කේන්තිය, දුක දරාගන්නේ කොහොමද?

[පාදසටහන]

^ 7 ඡේ. බීමට ඇබ්බැහි වෙලා ඉන්න අම්මා හරි තාත්තා හරි ඔයාට ගහනවා නම් නිතරම බණිනවා නම් ඔයාට විශ්වාස කරන්න පුළුවන් වැඩිහිටියෙක් එක්ක ඒ ගැන කතා කරන්න. ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් සභාවේ වැඩිමහල්ලෙක් නැත්නම් අද්දැකීම් තියෙන වෙනත් කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්.

බයිබල් උපදෙස

“වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි.”—හිතෝපදේශ 19:11.

යෝජනාවක්

ඇබ්බැහි වෙලා ඉන්න කෙනාව පිළිකුල් කරන්නේ නැතුව එයාගේ නරක පුරුද්ද පිළිකුල් කරන්න.—හිතෝපදේශ 8:13; යූද් 23.

මේක දැනගෙන හිටියාද?

බයිබලයේ “ගෞරව කරන්න” කියද්දී අදහස් කරන්නේ කෙනෙක්ට තියෙන අධිකාරිය පිළිගන්න එකයි. (එෆීස 6:1, 2) ඒ නිසා දෙමාපියන් කරන වැරදි දේවල් අනුමත නොකරන එක ඒගොල්ලන්ට කරන අගෞරවයක් නෙමෙයි.

ඔයාට වැඩක්!

අම්මා හරි තාත්තා හරි මට නරක විදිහට බණිනවා/ගහනවා නම් මං මෙහෙම කරනවා ․․․․․

නරක පුරුද්දෙන් මිදෙන්න උදව් ඉල්ලන්න ඕන ඇයි කියලා මං මේ විදිහට පැහැදිලි කරලා දෙනවා ․․․․․

මේ කාරණා ගැන මං අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● සමහරක් අය බීමට/කුඩුවලට ඇබ්බැහි වෙන්නේ ඇයි?

● ඔයාගේ අම්මා හරි තාත්තා හරි නරක පුරුද්දකට වැටිලා නම් ඒකේ ප්‍රතිඵලවලින් එයාව ආරක්ෂා කරන්න ඔයා බැඳිලා නැත්තේ ඇයි?

● ගෙදර තියෙන වාතාවරණය නිසා කලකිරෙන්නේ නැතුව ඉන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

[192වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘දෙමාපියන්ගේ වැඩ නිසා මට ඉස්සරහටත් ලැජ්ජ වෙන්න වෙයි කියලා මං දන්නවා. ඒත් ඒවා දරාගන්න යෙහෝවා දෙවි මට ශක්තිය දෙයි කියලා මට විශ්වාසයි.’’—මැක්ස්වෙල්

[198වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් කෙනෙක් දෙවිගෙන් ඈත් වුණොත්

දෙමාපියන්ගෙන් කෙනෙක් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති පිළිපදින එක නතර කරලා ක්‍රිස්තියානි සභාවෙන් අයින් වෙන්න තීරණය කළොත් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

● දෙමාපියන් කරන වැරදිවලට ඔයා දෙවිට ගණන් දෙන්න ඕනේ නැහැ කියලා මතක තියාගන්න. අපි දෙවිට ගණන් දෙන්න ඕනේ අපි කරන කියන දේවල්වලටයි.—රෝම 14:12.

● පවුලේ ප්‍රශ්න ගැටලු නැති යෞවන යෞවනියන් එක්ක ඔයාව සසඳන්න එපා. (ගලාති 5:26) තාත්තා පවුල අත්හැරලා ගියාට පස්සේ ඒකට මුහුණ දීපු විදිහ ගැන එක යෞවනයෙක් මෙහෙම කියනවා. “නැති දේවල් ගැන හිතහිත දුක් වෙනවට වඩා තියෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා හිතන එක ගොඩක් ප්‍රයෝජනවත්.”

● දිගටම ගෞරවයෙන් සලකන්න. එයා ඔයාට කරන්න කියන දේවල් දෙවිගේ ප්‍රතිපත්ති එක්ක ගැටෙන්නේ නැත්නම් ඒවාට කීකරු වෙන්න. ඔයාගේ දෙමාපියන් දෙවිට නමස්කාර කළත් නැතත් එයාලට ගරු කරන එක දෙවි ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. (එෆීස 6:1-3) දෙමාපියන් අතින් වැරදි සිද්ධ වුණත් ඔයා දිගටම එයාලට ගෞරව කරද්දී, කීකරු වෙද්දී පැහැදිලි වෙන්නේ ඔයා යෙහෝවා දෙවිට ආදරේ කියලයි.—1 යොහන් 5:3.

● යෙහෝවා දෙවිට ළැදි අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න. ඔයාට ලොකු පවුලක් ඉන්නවා කියලා එතකොට ඔයාට දැනෙයි. (මාක් 10:30) තාත්තා සභාව අත්හැරලා ගියාට පස්සේ ඩේවිඩ් කියන යෞවනයාට හිතුණේ එයාවයි, එයාගේ පවුලේ අයවයි සභාවේ ඉන්න අය ගණන් ගන්න එකක් නැහැ කියලයි. ඒත් ඩේවිඩ් හිතාගෙන හිටපු විදිහ වැරදියි. එයා මෙහෙම කියනවා. “සභාවේ අය අපිට සලකපු විදිහේ කිසිම වෙනසක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ අපිට තාමත් ආදරෙයි, අපි ගැන සැලකිලිමත් කියලා ඒකෙන් මට තේරුණා.”

[194වන පිටුවේ පින්තූරය]

නරක දේකට ඇබ්බැහි වුණු කෙනෙක් ආබාධිතයෙක් වගේ නිසා එයා යුතුකම් හරියට ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ