Skip to content

පටුනට යන්න

ගෙදරට හොරෙන් යාළු වෙන එක වැරදිද?

ගෙදරට හොරෙන් යාළු වෙන එක වැරදිද?

2වෙනි පරිච්ඡේදය

ගෙදරට හොරෙන් යාළු වෙන එක වැරදිද?

ජෙසිකාගේ පන්තියේ හිටපු පිරිමි ළමයෙක් එයාට පොඩි කැමැත්තක් පෙන්නුවා. එයා ගැන ජෙසිකා මෙහෙම කියනවා. “ජෙරමි නම් මාර ලස්සනයි. යාළුවෝ ඔක්කොම කිව්වෙත් ඒ වගේ කොල්ලෙක් ආයේ නම් මට හම්බ වෙන්නේ නැහැ කියලයි. ගොඩක් කෙල්ලෝ එයාට ට්‍රයි කළාට එයා කැමැත්තෙන් හිටියේ මට විතරයි.”

දවසක් ජෙරමි කෙළින්ම ඇවිත් ජෙසිකාගෙන් ඇහුවා. ඒත් ජෙසිකා එයාට කිව්වේ එයාගේ ආගමෙන් පිට කෙනෙක් එක්ක යාළු වෙනවාට ගෙදරින් කැමති නැහැ කියලයි. “එහෙනම් අපි ගෙදරට හොරෙන් මේක කරමු” කියලා ජෙරමි කිව්වා.

ඔයාගේ හිත ඇදිලා ගිය කෙනෙක් ඒ වගේ යෝජනාවක් ගෙනාවොත් ඔයා මොනවාද කරන්නේ? ජෙසිකා, ජෙරමි කියපු දේට කැමති වුණා. ජෙසිකා හිතුවේ, “එයාට බයිබලය ගැන කියලා දීලා එයාවත් මගේ ආගමට ගන්න පුළුවන් වෙයි” කියලයි. ඊටපස්සේ මොකද වුණේ කියලා අපි අන්තිමට බලමු. දැන් අපි බලමු සමහරු යාළු වෙලා ඒක ගෙදරට හංගන්නේ ඇයි කියලා.

හංගන්නේ ඇයි?

“අම්මලා ඒකට කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා දන්න නිසා තමයි ඒ ගැන ඒගොල්ලන්ගෙන් හංගන්නේ” කියලා ඩේවිඩ් කියනවා. “ලැබෙන්න ඕනේ නිදහස සීමා වෙලා කියලා හිතුණාමත් සමහරක් අය හිතුවක්කාර විදිහට සම්බන්ධයක් පටන් අරගෙන ඒක ගෙදරට හංගනවා.” එහෙම කියන්නේ ජේන්.

ඔයා හිතන විදිහට සමහරු හොරෙන් යාළු වෙන්නේ ඇයි?

․․․․․

ඔයාට දැන්මම කෙනෙක් එක්ක යාළු වෙන්න එපා කියලා ගෙදරින් කියන්නේ හොඳ හේතුවක් නිසා වෙන්න ඇති. බයිබලයේ කියලා තියෙන්නෙත් ඔයාගේ දෙමාපියන්ට ඔයා කීකරු වෙන්න ඕනේ කියලයි. (එෆීස 6:1) ඒ වුණාට ඔයාට මෙහෙම හිතෙන්න පුළුවන්.

 මට කවුරුත් නැති නිසා මං කොන් වෙලා වගේ.

එයා මගේ ආගමේ නෙමෙයි වුණාට මං එයාට කැමතියිනේ.

මං බඳින වයසක නෙමෙයි ඉන්නේ. ඒත් අපේ සභාවේ කෙනෙක් එක්ක යාළු වෙන්න ආසයි.

ඒ දේවල් ගැන ඔයාගේ අම්මටයි තාත්තටයි කිව්වොත් ඒගොල්ලෝ දෙන උත්තරේ ඔයා දන්නවා ඇති. ඒගොල්ලෝ කියන දේ හරියි කියලත් ඔයා දන්නවා. ඒ වුණාට ඔයාටත් මනාමි කියන යෞවනියට හිතුණු මේ දේම හිතෙන්න පුළුවන්. “හැමෝම වගේ යාළු වෙලා ඉන්න නිසා මටත් කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. එහෙම වෙලාවට දැන්ම කෙනෙක් එක්ක යාළු වෙන්නේ නැතුව ඉන්න තීරණය කළේ අපරාදේ කියලා මට හිතෙනවා. අනික තනියම ඉන්න එක හරි අමාරුයි.” එහෙම හිතපු සමහර අය හොර රහසේ සම්බන්ධයක් පටන් අරන් තියෙනවා.

“කාටවත් කියන්න එපා”

කෙනෙක් හොර රහසේ සම්බන්ධයක් පටන්ගත්තොත් එයාට බොරු රඟපෑමක් කරන්න සිද්ධ වෙනවා. සමහර අය ප්‍රසිද්ධියේ හැසිරෙන්නේ මිතුරන් වගේ. හැබැයි SMSවලින්, ඊ-මේල්වලින්, කෝල්ස්වලින් සම්බන්ධය හොරෙන් කරගෙන යනවා.

ඒ වගේ අය කරන තවත් කපටි වැඩක් තමයි යාළුවෝ කට්ටිය එකතු වෙලා විනෝද වෙමු කියලා දවසක් දාගන්න එක. ඒගොල්ලෝ එහෙම කරන්නේ යාළු වෙලා ඉන්න කෙනාත් එක්ක නිදහසේ කාලය ගත කරන්න ඕන නිසයි. ජේම්ස්ටත් ඒ වගේ වැඩක් වුණා. “යාළුවෝ කට්ටිය එකතු වෙන්න දවසක් දාගෙන තියෙනවා කියලා මටත් ඒකට එන්න කිව්වා. ඉතින් මාත් ගියා. එහේ ගියාට පස්සේ තමයි තේරුණේ ඒක ප්ලෑන් කරලා තිබුණේ යාළු වෙලා හිටපු දෙන්නෙක් නිසා කියලා. ඒ ගැන කාටවත් කියන්න එපා කියලත් අපිට කිව්වා.” ඒකෙන් තේරෙන්නේ ගෙදරට හොරෙන් යාළු වෙලා ඉන්න අයට සම්බන්ධය දිගටම ගෙනි යන්න යාළුවන්ගේ උදව් ඕනේ කියලයි.

“දෙන්නෙක් යාළු වෙලා ඉද්දී අඩුම තරමේ ඒ ගැන එක යාළුවෙක් හරි දන්නවා. හැබැයි යාළුවාව තරහා කරගන්න කැමති නැති නිසා එයා ඒ ගැන කාටවත් කියන්නේ නැහැ” කියලයි කැරල් කියන්නේ. හොරෙන් යාළු වෙලා ඉන්න අයට බොරු කියන්නත් වෙනවා. බෙත් කියන යෞවනිය මෙහෙම කියනවා. “සම්බන්ධය දිගටම තියාගන්න ඕන නිසා ගොඩක් අය ඒගොල්ලෝ යන එන තැන් ගැන ගෙදරට කියන්නේ බොරු.” අවුරුදු 19ක් වයස මිසාකි කළෙත් ඒකමයි. “අම්මලාට මං විස්තර කියද්දී කතන්දර ගොතන්න වුණා. එහෙම කරද්දී මං ගැන පොඩි සැකයක්වත් ඇති වෙන්න මං ඉඩ තිබ්බේ නැහැ. හැබැයි අනිත් දේවලදී මං බොරු කිව්වේ නැහැ. මට ඕන වුණේ මං ගැන ඒගොල්ලන්ට තිබුණු විශ්වාසය දිගටම තියාගන්නයි.”

අනතුරු

හොරෙන් සම්බන්ධයක් පටන්ගන්න ඔයාටත් හිතිලා තියෙනවා නම් නැත්නම් ඔයා දැනටමත් එහෙම කරනවා නම් මේ ප්‍රශ්න දෙක ගැන හිතලා බලන්න.

මේක කොහෙන් කෙළවර වෙයිද? ගොඩක් කල් යවන්නේ නැතුව එයාව බඳින්න පුළුවන් තත්වයකද ඔයා ඉන්නේ කියලා ටිකක් හිතලා බලන්න. ඉවෑන් මෙහෙම කියනවා. “බඳින්න කිසිම අදහසක් නැතුව කෙනෙක් එක්ක යාළු වෙන එක හරියට විකුණන්නේ නැති දෙයක් විකුණනවා කියලා කියනවා වගේ වැඩක්.” බයිබලයේ කියන්නේ, ‘බලාපොරොත්තු වෙන දේ ප්‍රමාද වෙන කොට හිත කලකිරෙනවා’ කියලයි. (හිතෝපදේශ 13:12) එයාගේ හිතට ඒ වගේ දුකක් දෙන්න ඔයා කැමතිද? ඒ විතරක් නෙමෙයි, ඔයා කෙනෙක් එක්ක යාළු වෙලා කියලා ගෙදර අය දන්නේ නැත්නම් ඔයාට හරි මඟ පෙන්වීමක්, උපදෙසක් දෙන්න ඒගොල්ලන්ට බැරි වෙනවා. ඒ නිසා ඔය දෙන්නා අතින් වරදක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.—ගලාති 6:7.

මේ ගැන යෙහෝවා දෙවිට මොනවා හිතෙනවා ඇද්ද? කාටත් හොරෙන් ඔයා යාළු වෙලා ඉන්නවා නම් නැත්නම් හොරෙන් යාළු වෙලා ඉන්න කෙනෙක්ට උදව් කරනවා නම් ඒක කාගෙන් හැංගුවත් යෙහෝවා දෙවිගෙන් නම් හංගන්න බැහැ කියලා මතක තියාගන්න. මොකද බයිබලයේ කියන්නේ, ‘දෙවි ඉදිරියේ හැම දෙයක්ම වැස්මක් නැතුව නිරාවරණය වෙලා තියෙනවා’ කියලයි. (හෙබ්‍රෙව් 4:13) ඒ විතරක් නෙමෙයි, දෙවි කොහොමටවත් කැමති නැති දේවල්වලින් එකක් තමයි “බොරු කියන දිව.” (හිතෝපදේශ 6:16-19) එහෙමනම් ඔයා කරන බොරුව ගැන දෙපාරක් හිතලා බලන එක හොඳ නැද්ද?

ඇත්තම කියන්න

ඔයා කාටත් හොරෙන් යාළු වෙලා ඉන්නවා නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ ගැන ඔයාගේ දෙමාපියන්ට හරි ක්‍රිස්තියානි සභාවේ ඉන්න වැඩිහිටියෙක්ට හරි කියන එක. ඒ වගේම ඔයාගේ යාළුවෙක් එයාගේ සම්බන්ධය ගෙදරට හංගනවා නම් ඒක රහසක් විදිහට තියාගන්න උදව් කරන්නත් එපා. ටිකක් හිතන්න, ඒ සම්බන්ධය නිසා ඔයාගේ යාළුවා මොකක් හරි ප්‍රශ්නයකට පැටලුණොත් ඔයාට කොහොම හැඟෙයිද? ඒ දේට ඔයාත් ටිකක් හරි වග කියන්න ඕනේ නේද?—1 තිමෝති 5:22.

මේ උදාහරණය බලන්න. ඔයාගේ යාළුවෙක්ට දියවැඩියාව තියෙනවා. එයා හොරෙන් පැණි රස කනවා කියලා ඔයා දැනගන්නවා. හැබැයි එයා ඔයාට කියනවා කාටවත් ඒ ගැන කියන්න එපා කියලා. දැන් ඔයා මොකද කරන්නේ? යාළුකම නිසා ඒක රහසක් විදිහට තියාගන්නවාද? නැත්නම් යාළුවාගේ ජීවිතය ගැන හිතලා ඒ ගැන වැඩිහිටියෙක්ට කියනවාද?

ඒ වගේ ඔයාගේ යාළුවෙක් ගෙදරට හොරෙන් කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවා නම් යාළුකම නැති වෙයි කියලා හිතලා ඒ ගැන වැඩිහිටියෙක්ට කියන්නේ නැතුව ඉන්න එපා. මොකද එයා හොඳ යාළුවෙක් නම් පස්සේ කාලයක හරි එයා තේරුම්ගනියි ඔයා එහෙම දෙයක් කළේ එයාගේම හොඳට කියලා.—ගීතාවලිය 141:5.

හැමෝටම කියන්න ඕනේමද?

බඳින වයසක ඉන්න දෙන්නෙක් දෙන්නාට දෙන්නා හොඳට අඳුනගන්නකම් ඒගොල්ලන්ගේ සම්බන්ධය ගැන ප්‍රසිද්ධ කරන්නේ නැතුව ඉන්න තීරණය කරන්න පුළුවන්. ඒක හොර වැඩක් කියලා කියන්න බැහැ. තෝමස් මෙහෙම කියනවා. “සමහරු සම්බන්ධය ගැන හැමෝටම කියන්නේ නැත්තේ දෙන්නාට දෙන්නා අඳුනගන්නත් කලින් ‘බඳින්නේ කවදාද’ කියලා අහලා අනිත් අය විහිළු කරන නිසයි.”

යාළු වෙලා ඉන්න දෙන්නෙක්ට අනිත් අය නිතරම විහිළු කරද්දී හරි තීරණයක් ගන්න ඒ දෙන්නාට අමාරු වෙන්න පුළුවන්. (සලමොන්ගේ ගීතිකාව 2:7) ඒ නිසා යාළු වුණු ගමන්ම ඒ ගැන හැමෝටම කියන්නේ නැතුව ඉන්න ඒගොල්ලෝ තීරණය කරන්න ඉඩ තියෙනවා. (හිතෝපදේශ 10:19) එහෙම කරන එකෙන් “දෙන්නා ගැළපෙනවාද නැද්ද කියලා කල්පනා කරලා බලන්න ඒගොල්ලන්ට කාලය හම්බ වෙනවා. ගැළපෙනවා කියලා හිතුණොත් ඒ ගැන අනිත් අයට කියන්න තීරණය කරයි” කියලා අවුරුදු 20ක් වයස ඇනා කියනවා.

කොහොමවුණත් ඒ ගැන දැනගන්න අයිතියක් තියෙන අයගෙන් ඒක හංගන එක වැරදියි. ඒ කියන්නේ ඔයා යාළු වෙලා ඉන්නවා නම් ඔයාගේ දෙමාපියන්ට නැත්නම් ඔයා යාළු වෙලා ඉන්න කෙනාගේ දෙමාපියන්ට ඒ ගැන කියන එක තමයි හරි දේ. කියන්න බැරි නම් ඒ ඇයි කියලා හිතලා බලන්න. ඔයා ඒ ගැන කියන්නේ නැත්තේ ඔයාගේ සම්බන්ධයට ඒගොල්ලන් අකමැති වෙන්න හොඳ හේතුවක් තියෙනවා කියලා දන්න නිසාද?

“කරන්න ඕනේ මොකද්ද කියලා මට තේරුණා”

අපි මේ පරිච්ඡේදයේ මුලින්ම කතා කරපු ජෙසිකා, එයා වගේ ගෙදරට හොරෙන් පිරිමි ළමයෙක් එක්ක යාළු වෙලා හිටපු එයාගේ යාළුවෙක් ඒ සම්බන්ධය නතර කළා කියලා දැනගත්තා. එයාට තේරුණා යාළුවා කරපු දේ හරියි කියලා. “ඒකෙන් පස්සේ කරන්න ඕනේ මොකද්ද කියලා මට තේරුණා” කියලා ජෙසිකා කිව්වා. ජෙරමි එක්ක තිබුණු සම්බන්ධය එයා නතර කළා. එහෙම කරන එක එයාට ලෙහෙසි වුණේ නැහැ. “මගේ හිත ගිය එකම කෙනා එයායි. එයාගෙන් වෙන් වුණු එක මට දරාගන්න බැරි වුණා. මං සති ගාණක් ඇඬුවා” කියලයි එයා කියන්නේ.

ජෙරමි එක්ක තිබුණු සම්බන්ධය නතර කරන එක ජෙසිකාට අමාරු දෙයක් වුණාට එයා යෙහෝවා දෙවිට ගොඩක් ආදරේ නිසා හරි දේ කරන්න එයාට ලොකු උවමනාවක් තිබුණා. කාලයත් එක්කම ජෙසිකාට දැනුණු වේදනාවත් තුනී වෙලා ගියා. දැන් ජෙසිකා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි එක්ක මට තියෙන බැඳීම වෙනදාට වඩා දැන් ගොඩක් ශක්තිමත්. අපිට අවශ්‍යම වෙලාවේදී මඟ පෙන්වීම් දෙන එක ගැන අපි දෙවිට කොච්චර ස්තුති කරන්න ඕනේද!”

ඊළඟ පරිච්ඡේදය

ඔයා බඳින වයසකයි ඉන්නේ. ඔයාගේ හිත ගිය කෙනෙකුත් ඉන්නවා. ඒත් එයා ඔයාට ගැළපෙනවාද කියලා කොහොමද දැනගන්නේ?

බයිබල් උපදෙස

‘සෑම දෙයකදීම අවංකව කටයුතු කරන්න.’—හෙබ්‍රෙව් 13:18.

යෝජනාවක්

ඔයාගේ සම්බන්ධය ගැන ලෝකෙටම කියන්න ඕනේ නැහැ. හැබැයි ඔයාගේ දෙමාපියන්ට වගේම ඔයා යාළු වෙලා ඉන්න කෙනාගේ දෙමාපියන්ට ඒ ගැන කියන්න.

මේක දැනගෙන හිටියාද?

හොරෙන් යාළු වෙලා ඉන්න දෙන්නෙක් දෙමාපියන්ගේ විශ්වාසය බිඳිනවා. විශ්වාසය සුළුවට ගන්න ඒ වගේ දෙන්නෙක් අතර ශක්තිමත් බැඳීමක් ඇති වෙන්න පුළුවන්ද? මොකද බැඳීමක් ශක්තිමත් වෙන්න විශ්වාසය ඕනේමයි.

ඔයාට වැඩක්!

සභාවේ කෙනෙක් එක්ක මං හොරෙන් යාළු වෙලා ඉන්නවා නම් මං කරන්න ඕනේ මේකයි ․․․․․

මගේ යාළුවෙක් හොරෙන් යාළු වෙලා ඉන්නවා නම් මං කරන්න ඕනේ මේකයි ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● යෞවනයෙක්ට  හිතෙන්න පුළුවන් දේවල් තුනක් 22වෙනි පිටුවේ තද කලු අකුරෙන් තියෙනවා. ඒකෙන් ඔයාට දැනෙන හැඟීම කොයි එකද?

● ඒක මඟහරවා ගන්න කරන්න පුළුවන් මොනවාද?

● යාළුවෙක් හොරෙන් යාළු වෙලා කියලා දැනගත්තාම ඔයා මොනවාද කරන්නේ? එහෙම කරන්නේ ඇයි?

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘හොර රහසේ කරගෙන ගිය සම්බන්ධය මං නතර කළා. ඒත් හැමදාම එයාව ඉස්කොලේදී දකිද්දී මට පුදුම දුකක් දැනුණා. හැබැයි මං දන්නවා යෙහෝවා දෙවි අපිට මඟ පෙන්වීම් දෙන්නේ අපේම හොඳට කියලා. ඒ නිසා ඒවා අදාළ කරගන්න එක තමයි හොඳම දේ.’’—ජෙසිකා

[25වන පිටුවේ පින්තූරය]

දියවැඩියාව තියෙන ඔයාගේ යාළුවෙකුට හොරෙන් පැණි රස කන්න ඔයා උදව් කරනවාද?