Skip to content

පටුනට යන්න

ගෙදරට එකක් එළියට තව එකක් ප්‍රශ්නයක්ද?

ගෙදරට එකක් එළියට තව එකක් ප්‍රශ්නයක්ද?

16වෙනි පරිච්ඡේදය

ගෙදරට එකක් එළියට තව එකක් ප්‍රශ්නයක්ද?

□ බොනවා

□ නරක අයව ආශ්‍රය කරනවා

□ පහත් සංගීතය රස විඳිනවා

□ නරක පැත්තට බර පාටිවලට යනවා

□ හොරෙන් ප්‍රේම සම්බන්ධයක් ගෙනි යනවා

□ ගහ මරාගන්න, අසභ්‍ය දර්ශන තියෙන ෂෝ බලනවා. නැත්නම් ප්‍රචණ්ඩකාරී වීඩියෝ ගේම්ස් ගහනවා

□ අසභ්‍ය වචන පාවිච්චි කරනවා

කලින් පිටුවේ තියෙන මොනවා හරි දෙයක් ඔයා ගෙදරට හොරෙන් කරනවාද? එහෙමනම් ඔයා කරන්නේ වරදක් කියලා ඔයා දන්නවා. සමහරවිට ඒ ගැන ඔයාගේ හිත වධ දෙනවත් ඇති. (රෝම 2:15) ඒ වුණත් ඒ වැරදි ගෙදරට කියනවා තියා, කියන එක ගැන හිතන්නවත් ඔයා කැමති නැතුව ඇති. ගෙදර අයට කිව්වොත් ඒගොල්ලන් කලබල වෙයි කියලත් කේන්ති ගනියි කියලත් හුඟක් දුක් වෙයි කියලත් ඔයා දන්න නිසා නොකියා ඉන්න එක තමයි හොඳම දේ කියලා ඔයා හිතනවා වෙන්න පුළුවන්. ඒත් ඔයා දිගටම ඒ විදිහට වැරදි වැඩ කරනවා නම් ඔයා ගෙනි යන්නේ දෙබිඩි ජීවිතයක්. කෙනෙක් ගෙදරට එක මූණක් එළියට තව මූණක් පෙන්නන්නේ ඇයි?

නිදහස සොයා

ඔයා ටිකෙන් ටික වැඩිහිටි වයසට එද්දී නිදහසේ දේවල් කරන්න, තීරණ ගන්න කැමැත්තක් ඇති වෙන එක සාමාන්‍යයි. බයිබලයෙත් පෙන්නලා තියෙනවා කෙනෙක් හැමදාටම එයාගේ දෙමාපියන් යටතේ ඉන්නේ නැහැ කියලා. (උත්පත්ති 2:24) හැබැයි දෙමාපියන් යටතේ ඉන්න කාලේදී කරන්න කැමති දේවල්වලට ගෙදරින් අවසර ලැබෙන්නේ නැති වුණාම සමහර යෞවනයන් ඒවා හොරෙන් කරන්න පටන්ගන්නවා.

කිම් කියන යෞවනිය මෙහෙම කියනවා. “ගෙදර අය ෂෝ එකක්වත් බලන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. අඩුම තරමේ අපි කැමති සිංදුවක්වත් අහන්න අපේ තාත්තා ඉඩ දෙන්නේ නැහැ.” සමහරක් දෙමාපියන් දරුවන්ට ගොඩක් නීති දාලා තියෙනවා තමයි. ඒක හරි අසාධාරණයි කියලා හිතන ඒ දරුවන් ගෙදරට හොරෙන් දේවල් කරනවා. ඒගොල්ලන්ට ඕනේ අනිත් යෞවනයන් වගේ නිදහසේ ඉන්නයි.

ඉස්කෝලේ ළමයි අතරේ කොන් වෙන්න කැමති නැති නිසාත් සමහර යෞවනයන් දෙබිඩි ජීවිතයක් ගත කරන්න පෙලඹෙනවා. ටැමී කියන යෞවනිය මෙහෙම කියනවා. “අනිත් ළමයි වගේ වෙන්න ඕනේ නිසා මං ඉස්සෙල්ලම නරක වචන කියන්න පටන්ගත්තා. ටික දවසක් යන කොට සිගරට් බොන්න, වෙරි වෙනකම් බොන්න පටන්ගත්තා. මං ගෙදරට හොරෙන් කොල්ලෝ එක්කත් යාළු වෙලා හිටියා.”

පොඩි කාලේ ඉඳලා සාක්ෂිකාරයෙක් විදිහට හැදුණු වැඩුණු පීට් කියන යෞවනයත් දෙබිඩි ජීවිතයක් ගත කරන්න පටන්ගත්තේ ඒ වගේ හේතුවක් නිසයි. “මං සාක්ෂිකාරයෙක් කියලා දැනගත්තොත් ඉස්කෝලේ ළමයි මට විහිළු කරයි කියලා භයක් තිබුණා. ඒ නිසා මාත් ඒගොල්ලෝ වගේම තමයි කියලා මං පෙන්නන්න හැදුවා. නත්තලට මොනවාද හම්බ වුණේ කියලා යාළුවෝ අහපුවාම අපිට නත්තල් නැහැ කියන්නේ නැතුව මං වෙන වෙන බොරු කිව්වා.” ඒ විදිහට පොඩි පොඩි දේවලදීත් බොරු කියන්න පුරුදු වුණු පීට්, යාළුවෝ එක්ක එකතු වෙලා බරපතළ වැරදි කරන්නත් පටන්ගත්තා.

හංගන්න බැහැ

අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟගෙන් සමහරදෙනෙකුත් දෙබිඩි ජීවිත ගත කළා. ඒගොල්ලෝ හොරෙන් වැරදි කරකර ‘“අපි කරන දේවල් දකින්නේ කවුද” කියලා ඇහුවා.’ හැබැයි යෙහෝවා දෙවිට සේවය කරපු යෙසායා කියන අනාගතවක්තෘවරයා ඒගොල්ලන්ට මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවිගෙන් වැරදි හංගන්න උත්සාහ කරන අයට ලැබෙන්නේ දුක පමණයි.’ (යෙසායා 29:15) කරන කියන හැම දෙයක්ම යෙහෝවා දෙවිට පේනවා කියලා ඒගොල්ලන්ට අමතක වුණා. එයාලා කරපු හැම වරදකටම දෙවිට ගණන් දෙන්න අන්තිමට එයාලට සිද්ධ වුණා.

ඔයාත් ඒ වැදගත් කාරණය මතක තියාගන්න. සමහර දේවල් ඔයාට දෙමාපියන්ගෙන් හංගන්න පුළුවන් වුණාට යෙහෝවා දෙවිගෙන් කිසිම දෙයක් හංගන්න බැහැ. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක. අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.” (හෙබ්‍රෙව් 4:13) ඒ නිසා ඔයා හොරෙන් වැරදි කරකර රැස්වීම්වලට ගිහින් බොරු භක්තියක් පෙන්නුවට දෙවි රැවටෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. කෙනෙක් ‘තොල්වලින් දෙවිට ගෞරව කළාට සිත දෙවිගෙන් බොහෝ ඈත් වෙලා’ නම් දෙවි ඒක දන්නවා.—මාක් 7:6.

කෙනෙක් දෙබිඩි ජීවිතයක් ගත කරද්දී ඒක දෙවිට ලොකු දුකක් කියලා ඔයා දැනගෙන හිටියාද? ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට විරුද්ධව වැරදි කළාමත් ‘දෙවිගේ හිතට වේදනා ඇති වුණා’ කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 78:41) එහෙමනම් දෙවි කැමති අකමැති දේවල් ගැන දෙමාපියන්ගෙන් ඉගෙනගෙන තියෙන යෞවනයන් හැංගි හොරා වැරදි කරද්දී දෙවිට කොච්චර දුකක් දැනෙනවා ඇද්ද?—එෆීස 6:4.

හරි දේ කරන්න

ඔයා හොරෙන් කරන වැරදි පිළි අරගෙන ඒ ගැන යෙහෝවා දෙවිට, දෙමාපියන්ට කියන්න ඔයා බැඳිලා ඉන්නවා. එහෙම කරන එකෙන් හොඳක් වෙන්නේ ඔයාටමයි. හැබැයි ඒ ගැන කියන එක ලේසි දෙයක් නෙමෙයි. සමහරවිට එහෙම කළාට පස්සේ අනිත් අයට මූණ දෙන්න ඔයාට ටිකක් අමාරු වෙයි. ඔයාට හික්මවීමකුත් ලැබෙන්න පුළුවන්. (හෙබ්‍රෙව් 12:11) උදාහරණයකට ඔයා දෙමාපියන්ට බොරු කියලා එයාලව රවට්ටලා තියෙනවා නම් දෙමාපියන්ට ඔයා ගැන තියෙන විශ්වාසය ඔයා බිඳලයි තියෙන්නේ. ඒ ගැන එයාලා දැනගත්තට පස්සේ ටික දවසක් යනකම් ඒගොල්ලෝ ඔයාට වෙනදාට වඩා නීති දාන්න ඉඩ තියෙනවා. ඒ වුණත් ඔයා කරපු වැරදි ඒගොල්ලන්ට කියන එක තමයි හොඳම දේ.

මේ උදාහරණය ගැන ටිකක් හිතන්න. ඔයාගේ ගෙවල් පැත්තේ හිඳීගෙන යන වැවක් තියෙනවා. මඩේ එරෙයි කියන භය නිසා ඒ පැත්තට යන්න එපා කියලා ඔයාගේ දෙමාපියන් ඔයාට කියනවා. හැබැයි දවසක් ඔයා අම්මලට හොරෙන් ඒ පැත්තට යනවා. දන්නේම නැතුව වැවේ තියෙන වළකට ඔයාගේ කකුල ගිහින් ඔයා එරෙන්න පටන්ගන්නවා. දැන් ඔයා මොකද කරන්නේ? ලැජ්ජාව නිසා ඔයා සද්ද නැතුව ඉන්නවාද? නැත්නම් ගෙදර අයගෙන් බැණුම් අහන්න තියෙන භය නිසා උදව් ඉල්ලන්නේ නැතුව ඉන්නවාද? ඔයා කීයටවත් එහෙම කරන්නේ නැහැ. ඔයා පුළුවන් තරම් හයියෙන් කෑගහලා උදව් ඉල්ලයි.

ඒ වගේ තමයි ඔයා දෙබිඩි ජීවිතයක් ගත කරනවා නම් ඔයාත් ඉක්මනටම උදව් ඉල්ලන්න ඕනේ. ඔයාගේ අතින් වෙච්ච වැරදි ඔයාට වෙනස් කරන්න බැහැ. හැබැයි ඔයාට පුළුවන් ඒකෙන් පාඩමක් ඉගෙනගෙන අනාගතය හදාගන්න. දෙමාපියන්ට ඔයාගේ වැරදි ගැන කියන එක අමාරු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි තව තව වේදනා දෙනවට වඩා ඒ ගැන කියලා වරද හදාගන්න එක තමයි ඥානවන්තම දේ. ඔයා එහෙම කළොත් යෙහෝවා දෙවි ඔයාට අනිවාර්යයෙන්ම සමාව දෙයි.—යෙසායා 1:18; ලූක් 6:36.

ඒ නිසා ඔයා හොරෙන් කරපු වැරදි ඔක්කෝම දෙමාපියන්ට කියන්න. එහෙම කියද්දී එයාලට ලොකු දුකක් දැනෙයි කියලත් ඔයා තේරුම්ගන්න. ඒගොල්ලෝ දෙන හික්මවීම පිළිගන්න. ඔයා එහෙම කළොත් ඔයාගේ දෙමාපියන්ගේ හිතත් යෙහෝවා දෙවිගේ හිතත් සතුටු කරන්න ඔයාට පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි ඔයාගේ හිතටත් ලොකු සහනයක් දැනෙයි.—හිතෝපදේශ 27:11; 2 කොරින්ති 4:2.

ඊළඟ පරිච්ඡේදය

ඉස්කෝලේ ළමයිව කිට්ටුවෙන් ආශ්‍රය කළාට කමක් නැහැ කියලා ඔයාට හිතිලා ඇති. ඒත් ඔයා මතක තියාගන්න ඕනේ මොනවාද?

බයිබල් උපදෙස

“තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.”—හිතෝපදේශ 28:13.

යෝජනාවක්

ඔයාගේ වැරදි සුළුවට ගන්න එපා. වැරදිවලින් කවදාවත් ගොඩ එන්න බැහැ කියලා හිතලා කලකිරෙන්නත් එපා. යෙහෝවා දෙවි සමාව දෙන්න කැමතියි කියලා මතක තියාගන්න.—ගීතාවලිය 86:5.

මේක දැනගෙන හිටියාද?

වරදක් කළාම හිත වධ දෙන එක හොඳ දෙයක්. මොකද එතකොට වරද හදාගන්න පෙලඹෙනවා. හැබැයි හිත වධ දෙද්දීත් ඒක ගණන් ගන්නේ නැතුව දිගටම වැරදි කළොත් හිත ඒකට පුරුදු වෙනවා. හංවඩු ගහපු හමක් වගේ හිතට කිසිම දෙයක් දැනෙන්නේ නැතුව යනවා.—1 තිමෝති 4:2.

ඔයාට වැඩක්!

මං මෙච්චර කල් දෙබිඩි ජීවිතයක් ගත කළා නම් මං ඒ ගැන කියන්නේ ․․․․․

මට ලැබෙන හික්මවීමට මුහුණ දෙන්න මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● සමහර යෞවනයන් දෙබිඩි ජීවිත ගත කරන්න පටන්ගන්නේ ඇයි?

● දෙබිඩි ජීවිතයක් ගත කරන එකෙන් මුහුණ දෙන්න වෙන නරක ප්‍රතිඵල මොනවාද?

● දෙබිඩි ජීවිතයකින් අයින් වෙන්න උත්සාහයක් දරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

[140වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මං හිතන්නේ හැම සාක්ෂිකාර යෞවනයෙක්ම අනිත් අයට කියන්න ඕනේ අපි බයිබලයේ තියෙන උසස් ප්‍රමිති රකින අය කියලා. ඒක කියන්න අදිමදි කරකර හිටියොත් ප්‍රශ්නවලට පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩියි.’’—ලින්ඩා

[141වන පිටුවේ පින්තූරය]

මඩේ එරෙන කොට ඉක්මනින් උදව් ඉල්ලන්න ඕනේ වගේ දෙබිඩි ජීවිතයෙන් ගොඩ එන්නත් උදව් ඉල්ලන්න ඕනේ