හිරිහැරවලින් බේරෙන්නේ කොහොමද?
14වෙනි පරිච්ඡේදය
හිරිහැරවලින් බේරෙන්නේ කොහොමද?
හරිද වැරදිද කියලා ලකුණු කරන්න.
1. කරදර, හිරිහැර කරනවා කියන්නේ ඇඟට හානියක් වෙන දෙයක් කළොත් විතරයි.
□ හරි
□ වැරදියි
2. ලිංගික අපයෝජනයක් කියන්නේ බලහත්කාරයෙන් මොකක් හරි කරන්න හැදුවොත් විතරයි.
□ හරි
□ වැරදියි
3. ගැහැනු ළමයිනුත් අනිත් අයට කරදර, හිරිහැර කරනවා.
□ හරි
□ වැරදියි
4. කවුරු හරි ඔයාට කරදර කරනවා නම්, ලිංගික හිරිහැරයක් කරනවා නම් කරන්න දෙයක් නැහැ.
□ හරි
□ වැරදියි
ඉස්කෝලේ ළමයිගේ කරදර, හිරිහැර නිසා ගොඩක් අය ඉස්කෝලේ යන්නේ හරි භයෙන්. අවුරුදු 16ක් වයස රයන් මෙහෙම දෙයක් කිව්වා. “මට ඉස්කෝලේට යන්න විනාඩි 15යි යන්නේ. හැබැයි ඒක මට පැය ගාණක් වගේ. මොකද බස් එකේ ඉන්න කට්ටියක් හැමදාම මට කරදර කරනවා. ඒගොල්ලෝ මට එක එක දේවල් කියනවා විතරක් නෙමෙයි සමහර වෙලාවට මට ගහනවා.” සමහර අයට තවත් විදිහේ කරදර වෙනවා. “ඉස්කෝලේ හැමෝම අතරේ ප්‍රසිද්ධ කොල්ලෙක් දවසක් කොරිඩෝ එකේදී මාව අල්ලගෙන මට යන්න බැරි වෙන විදිහට කොටු කරගත්තා. එයා හරිම කැත විදිහට මාව අල්ලන්න ගත්තා. එපා කියලා කිව්වට එයා ඒක ගණන් ගත්තේ නැහැ. එයා හිතුවේ මං එහෙම කිව්වට ඇත්තටම මං ඒකට කැමතියි කියලයි.” එහෙම කිව්වේ අනීතා කියන යෞවනියයි. ඉස්කෝලේ ළමයි සමහරක් අයට ඉන්ටර්නෙට් එකෙනුත් කරදර කරනවා.
ඔයාටත් අනිත් ළමයි ඒ වගේ කරදර කරනවාද? එහෙමනම් ඒගොල්ලන්ගෙන් බේරෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා. ඒවා මොනවාද කියලා දැනගන්න කලින් මුලින් තිබුණු අදහස් හතරේ ඇත්ත නැත්ත බලමු.
1. වැරදියි. හිරිහැර, කරදර කරනවා කියන්නේ අතින් පයින් කරන දේවල්වලට විතරක් නෙමෙයි. තර්ජන, අපහාස, සමච්චල් වගේ දේවලුත් ඒකට අයිතියි.
2. වැරදියි. අපහසුතාවට පත් වෙන විදිහට ශරීරයේ එක එක අංග ගැන කෙනෙක්ට කෙළින්ම කියන එකත් කැත විහිළු කරන එකත් නරක විදිහට කෙනෙක් දිහා බලාගෙන ඉන්න එකත් ලිංගික අපයෝජනයක්.
3. හරි. ගැහැනු පිරිමි දෙගොල්ලන්ම අනිත් අයට කරදර, හිරිහැර කරනවා.
4. වැරදියි. ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා.
කරදරවලින් බේරෙන්න නම් . . .
සමහර අය අනිත් අයට කරදර, හිරිහැර කරන්නේ ඒගොල්ලන්ව කේන්ති ගස්සවලා අවුස්සගන්න ඕනේ නිසයි. ඒ වගේ දෙයක් ඔයාට වුණොත් ‘අමනාප වෙන්න ඉක්මන් වෙන්න එපා’ කියලා බයිබලයේ තියෙන උපදෙස අදාළ කරගන්න. (දේශනාකාරයා 7:9) මොකද ඔයා ‘නපුරට නපුර කරන්න’ ගියොත් ඒක හරියට ගින්නකට භූමිතෙල් වීසි කරනවා වගේ. (රෝම 12:17) එහෙමනම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?
කියන දේවල් ලොකුවට ගණන් ගන්න එපා. කවුරු හරි සමච්චල් කළේ විහිළුවට වගේ නම් කේන්ති ගන්නේ නැතුව හිනා වෙලා ඒක අමතක කරලා දාන්න. එක යෞවනයෙක් මෙහෙම කිව්වා. “අනිත් අය අනම් මනම් කියද්දී කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ කනෙන් අහලා ඒ කනෙන් පිට කරන එක.” කියන දේවල් ඔයා එච්චර ගණන් ගන්නේ නැහැ කියලා තේරුණාම සමච්චල් කරන එක නතර කරන්න ඉඩ තියෙනවා.
සන්සුන්ව ඉන්න. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 15:1) හිරිහැරවලට මුහුණ දෙද්දී සන්සුන්ව ඉන්න එක අමාරුයි තමයි. ඒත් ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඒකෙන් ප්‍රශ්නයක් දුර දිග යන එක වළක්වන්න පුළුවන්. බයිබලයේ මෙහෙමත් කියනවා. “මෝඩයා තම කෝපය මුළුමනින්ම පිට කරයි. නමුත් ඥානවන්තයා අවසානය දක්වාම සන්සුන්ව සිටියි.” (හිතෝපදේශ 29:11) ඒ වගේ වෙලාවක සන්සුන්ව ඉන්න එක බියගුලුකමක් නෙමෙයි. ඇත්තටම හිරිහැර කරන කෙනාට වඩා සන්සුන්ව ඉන්න කෙනා ශක්තිමත්. එයාගේ හිතේ භයක්, කේන්තියක් නැහැ. ඒ නිසා තමයි, “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්ය” කියලා බයිබලයේ කියන්නේ.—හිතෝපදේශ 16:32.
ආරක්ෂා වෙන්න පියවර ගන්න. කරදර, හිරිහැර කරන අය සීමාව ඉක්මවලා යනවා කියලා ඔයාට තේරුණොත් එතැනින් අයින් වෙන්න විදිහක් හිතන්න. බයිබලයෙත් කියන්නේ, ‘රණ්ඩුවක් පටන්ගන්න කලින් එතැනින් අහක් වෙන්න’ කියලයි. (හිතෝපදේශ 17:14) ගහන්නයි යන්නේ කියලා තේරුණොත් එතැනින් දුවලා යන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඒකත් බැරි නම් වෙන විදිහකින් අනතුර මඟහරින්න බලන්න.
දැනුම් දෙන්න. ඉස්කෝලේ වෙන්නේ මොනවාද කියලා දැනගන්න ඔයාගේ දෙමාපියන්ට අයිතියක් තියෙනවා. ඒ වගේම ඔයාට එන කරදරවලින් බේරිලා ඉන්න ඔයා මොනවාද කරන්න ඕනේ කියලා හොඳ උපදෙස් දෙන්න එයාලට පුළුවන්. සමහරවිට ඒගොල්ලෝ කියයි ඔයාගේ ප්‍රශ්නේ ගැන පන්ති භාර ගුරුවරයාට හරි ප්‍රින්සිපල්ට හරි කියන්න කියලා. ඒ අයටයි ඔයාගේ දෙමාපියන්ටයි පුළුවන් වෙයි තව කරදර වැඩි වෙන්නේ නැති විදිහට ඒක විසඳන්න.
මේක මතක තියාගන්න. සාමාන්‍යයෙන් කෙනෙක් හිරිහැර කරන්නේ අනිත් කෙනාව අවුස්සන්නයි. හැබැයි ඔයා කේන්ති ගන්නේ නැතුව සන්සුන්ව ඉද්දී එයා හිතපු දේ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අයගේ ඇම ගිලින්න එපා. කලින් කතා කරපු යෝජනා අදාළ කරගෙන එයාව මඟහරින්න.
ලිංගික හිරිහැරවලින් බේරෙන්න නම් . . .
ලිංගික හිරිහැරයකට ඔයා මුහුණ දෙනවා නම් ඔයාට ඒ ගැන කේන්තියක් ඇති වෙන එක සාධාරණයි. හැබැයි ප්‍රශ්නේ තමයි ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද කියන එක. මේ යෝජනා ටික බලන්න.
කැමති නැහැ කියලා කෙළින්ම කියන්න. ඔයා ස්ථිරවම එහෙම කිව්වේ නැත්නම් කරදර කරන කෙනා හිතයි එයා කරන දේට ඔයාගේ අකමැත්තක් නැහැ කියලා. ලැජ්ජාවෙන් ඇඹරීඇඹරී හිටියොත් එයා ඔයාව වැරදියට තේරුම්ගනියි. ඒ නිසා ඔයාගේ අකමැත්ත කෙළින්ම කියන්න. (මතෙව් 5:37) ඒක තමයි ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ.
අකමැත්ත ප්‍රසිද්ධියේ පෙන්නන්න. කරදර කරපු කෙනාගෙන් බේරුණු විදිහ ගැන අනීතා මෙහෙම කියනවා. “‘මාව අල්ලන්න එපා’ කියලා හයියෙන් කියලා මං එයාගේ යාළුවෝ ඉස්සරහම එයාව
ලැජ්ජා කළා. එතකොට එයාගේ යාළුවෝ ඔක්කොම එයාට හිනා වුණා. ඒකෙන් පස්සේ ටික දවසක් යනකම් එයා මාව මඟහැරියා. ඊටපස්සේ දවසක ඇවිත් එයා කරපු දේට සොරි කියලත් කිව්වා. එයා කොච්චර වෙනස් වුණාද කියනවා නම් දවසක් වෙන කෙනෙක් මට කරදර කරන්න හදද්දී එයා මාව බේරගත්තා.”කියන දේ අහන්නෙම නැත්නම් එතැනින් අයින් වෙන්න. පුළුවන් නම් දුවන්න. එයාගෙන් බේරිලා යන්න විදිහක් නැත්නම් ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් මොනවා හරි දෙයක් කරලා එතැනින් බේරිලා යන්න ඔයාට අයිතියක් තියෙනවා. (ද්විතීය කතාව 22:25-27) එක සාක්ෂිකාර යෞවනියක් මෙහෙම කිව්වා. “දවසක් කොල්ලෙක් මාව අතින් ඇදලා ගත්තා. එතකොට මං අත දිග ඇරලා එයාට හොඳ පාරක් දීලා එතැනින් දිව්වා.”
කාට හරි කියන්න. අවුරුදු 16ක් වයස ඇන්ඩ්‍රියා මෙහෙම කියනවා. “හොඳ යාළුවෙක් කියලා මං හිතපු පිරිමි ළමයෙක් නිතර නිතර මට කරදර කරන්න පටන්ගත්තා. මං ඒවාට කැමති නැහැ කියලා කියන්න කියන්න එයා මට තව වැඩියෙන් කරදර
කළා. ඒක එයාට සෙල්ලමක් වුණා. මං හිතුවා ඒ ගැන අම්මලට කියන එක හොඳයි කියලා.” ඇන්ඩ්‍රියාගේ දෙමාපියන් එයාට දීපු උපදෙස් එයාට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඔයාගේ දෙමාපියන්ටත් ඒ විදිහට ඔයාට උදව් කරන්න පුළුවන්.කරදරවලට, ලිංගික හිරිහැරවලට මුහුණ දෙද්දී ඒක දරාගන්න අමාරුයි. බයිබල් ප්‍රතිපත්ති රකින යෞවන යෞවනියන් එකට එක කරන්නෙවත් කාටවත් හිරිහැර කරන්නෙවත් නැහැ තමයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ වගේ දේවල් වෙද්දී ඒවා දරාගෙන ඔහේ ඉන්න ඕනේ කියලා. මේ පරිච්ඡේදයෙන් බලපු තොරතුරු අදාළ කරගෙන ඒ දේවලින් බේරෙන්න පුළුවන්.
තවත් දැනගන්න 1වෙනි පොතේ 18වෙනි පරිච්ඡේදය බලන්න
ඉස්කෝලේ ළමයිගෙන් එන බලපෑම හරි ප්‍රබලයි. ඒකට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
බයිබල් උපදෙස
“මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.”—රෝම 12:18.
යෝජනාවක්
අනිත් අය ඔයාට නිතරම කරදර කරනවා නම් එකට එක කරන්නේ නැතුව කරදර කරන එක නතර කරන්න කියලා කෙළින්ම කියන්න. ඔයා එයාලට භයයි කියලා පෙන්නන්න එපා. පුළුවන් නම් එතනින් අයින් වෙන්න. දිගටම කරදර කරනවා නම් ඒ ගැන කාට හරි කියන්න.
මේක දැනගෙන හිටියාද?
කල්ලිවල අය අඳින්නේ පළඳින්නේ එයාලටම විශේෂ විදිහකට. කරදරවලින් බේරිලා ඉන්න නම් ඒ වගේ අඳින්න එපා. කල්ලියක හිටපු කෙනෙක් මේ විදිහේ දෙයක් කිව්වා. “අපේ කල්ලියේ නැති කෙනෙක් අපි වගේ ඇඳගෙන හිටියොත් අපි එයාව ලෙහෙසියෙන් අත්හරින්නේ නැහැ. එක්කෝ එයා කල්ලියට බැඳෙන්න ඕනේ නැත්නම් ගුටි කන්න ඕනේ.”
ඔයාට වැඩක්!
කවුරු හරි කෙනෙක් මට සමච්චල් කළොත් මං මෙහෙම කරනවා ․․․․․
අනිත් අයගේ කරදරවලින් බේරිලා ඉන්න මං මෙහෙම කරනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● නිර්භීතව හා සන්සුන්ව ඉන්න එකෙන් අනිත් අයගෙන් එන කරදර අඩු කරගන්න පුළුවන් නිසා ඒ පැතිවලින් දියුණු වෙන්න පුළුවන් කොහොමද?
● ලිංගිකව හිරිහැර සිද්ධ වෙනවා නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද? (ඒ වගේ අවස්ථාවන් හිතින් මවාගෙන බේරෙන්න පුළුවන් කොහොමද කියලා කල්පනා කරන්න.)
● ලිංගික හිරිහැර බරපතළ දෙයක් කියලා ඔයා සලකන්න ඕනේ ඇයි?
[123වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘රණ්ඩුවක් පටන්ගන්නයි යන්නේ කියලා තේරුණොත් එතැනින් අයින් වෙන්න. සමහරු එතැනින් යන්නේ නැතුව ඉන්න එකෙන් තමයි ප්‍රශ්නවලට පැටලෙන්නේ.’’—හයිරෝ
[125වන පිටුවේ කොටුව]
ලිංගික හිරිහැරවලින් බේරිලා ඉන්නේ කොහොමද?
අනිත් අයට ඔයා ගැන ආසාවක් ඇති වෙන විදිහට හැසිරෙන්න එපා. ‘කෙනෙක් ගින්දර ළයට ගත්තොත් එයාගේ ඇඳුම් පිච්චෙන්නේ නැතුව තියෙයිද’ කියලා බයිබලයේ අහනවා. (හිතෝපදේශ 6:27) ඔයා ගැන ආසාවක් ඇති වෙන විදිහට හැසිරෙන එකත් හරියට ගින්දර එක්ක සෙල්ලම් කරනවා වගේ.
ආශ්‍රය කරන අය ගැන දෙපාරක් හිතන්න. සාමාන්‍යයෙන් ඔයා ආශ්‍රය කරන අය දිහා බලලා තමයි අනිත් අය ඔයා මොන වගේ කෙනෙක්ද කියලා හිතාගන්නේ. “කොල්ලෝ විහිළු කරනවට කැමති, ඒ අයගේ අවධානය ගන්න හදන අයත් එක්ක ඔයා නිතර ආශ්‍රය කළොත් පිරිමි ළමයි ඔයාටත් හිරිහැර කරන්න තියෙන ඉඩකඩ වැඩියි” කියලා එක යෞවනියක් කියනවා.—1 කොරින්ති 15:33.
විනීතව අඳින්න. ඔයා අවිනීතව ඇන්දොත් ඒකෙන් පෙන්නන්නේ අනිත් අයගේ අවධානය ගන්න ඔයා කැමතියි කියලයි.—ගලාති 6:7.
ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා කියන්න. එතකොට ඔයා බයිබලයේ තියෙන ප්‍රතිපත්ති රකින කෙනෙක් කියලා හැමෝම දැනගන්නවා.—මතෙව් 5:15, 16.
[124වන පිටුවේ පින්තූරය]
කරදර කරන කෙනාට එකට එක කරන එක හරියට ගින්නකට භූමිතෙල් වීසි කරනවා වගේ
[127වන පිටුවේ පින්තූරය]
ලිංගිකව හිරිහැර කරන්න එද්දී අයින් වෙන්න කියලා කෙළින් කියන්න