Skip to content

පටුනට යන්න

ගේම්ස් ගහන එකේ වරදක් තියෙනවාද?

ගේම්ස් ගහන එකේ වරදක් තියෙනවාද?

30වෙනි පරිච්ඡේදය

ගේම්ස් ගහන එකේ වරදක් තියෙනවාද?

“කොම්පියුටර් ගේම්ස් නම් නියමයි. මොකද ඇත්ත ජීවිතේ කරන්න බැරි දේවල් ගේම්ස්වල කරන්න පුළුවන්” කියලා බ්‍රයන් කියන යෞවනයා කියනවා. ඩෙබොරා කියන යෞවනියත් කොම්පියුටර් ගේම්ස් ගහන්න හරි ආසයි. ඒත් එයා මෙහෙම කියනවා. “ගේම්ස් ගහන්න ගියාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඒකට ඉක්මනට ඇබ්බැහි වෙන්න පුළුවන්.”

ගේම්ස් ගහන එකෙන් ලැබෙන්නේ විනෝදේ විතරක්ම නෙමෙයි. පාළුව, තනිකම මකාගන්නත් ඒක උදව් වෙනවා. සමහර හැකියාවන් තව දියුණු කරගන්නත් ඒකෙන් පුළුවන්. උදාහරණයකට සමහර ගේම්ස් නිසා හොඳට කියවන්න, ගණන් හදන්න පුරුදු වෙනවා. ඒ වගේම ඇඟට අනතුරක් කියලා දැනෙද්දී ඉක්මනින් ක්‍රියාත්මක වෙලා ඒක වළක්වගන්න පුළුවන් හැකියාවත් තව වැඩි වෙනවා. ඉස්කෝලේ ළමයිනුත් අලුත් අලුත් ගේම්ස්වලට ආස නිසා එයාලා වැඩිපුර කතාබහ කරන්නේ ඒගොල්ලෝ ගහන ගේම්ස් ගැනයි. ඔයාත් ඒ ගේම්ස් ගහලා තියෙනවා නම් එයාලගේ කතාබහට එකතු වෙන්න ඔයාටත් පුළුවන්.

හැබැයි ගේම් එකක් තෝරගද්දී පරෙස්සම් වෙන්න ඕන හේතුත් තියෙනවා. ඒ මොනවාද?

භයානක පැත්ත

අද තියෙන හැම ගේම් එකක්ම හොඳයි කියලා කියන්න බැහැ. මොකද හුඟක් ගේම්ස්වල තියෙන්නේ බයිබලයේ හෙළාදැකලා තියෙන දේවල්.—ගලාති 5:19-21.

හරිම ජනප්‍රිය ගේම් එකක් ගැන ඒඩ්‍රියන් කියන යෞවනයා මෙහෙම කියනවා. “ඒ ගේම් එකේ කල්ලිවලට බෙදිලා ගහගන්න ඒවා, කුඩු ගහන ඒවා, එළිපිටම කරන ලිංගික දේවල්, පහත් කතාබහ, ලේ හළාගෙන ගහ මරාගන්න ඒවා තියෙනවා.” තවත් සමහරක් ගේම්ස්වල අද්භූත දේවලුත් තියෙනවා. අලුතෙන් එන ගේම්ස් කලින් තිබුණු ගේම්ස්වලට වඩා හැම අතින්ම අන්තයි. මේ වගේ ගේම්ස් ඔන්ලයින් ගිහින් අනිත් අය එක්ක ගහන්නත් පුළුවන්. ඒ නිසා ඒක සාමාන්‍ය ගේම්ස්වලට වඩා හරිම වෙනස්. ඒකෙන් ලොකු වින්දනයකුත් ලැබෙනවා. ඒ ගැන ජේම්ස් කිව්වේ මෙහෙමයි. “ඉන්ටර්නෙට් ගේම්ස් ගහද්දී ගෙදර ඉඳගෙන ඕනම රටක ඉන්න කෙනෙක් එක්ක තරඟ කරන්න පුළුවන්.”

ඔන්ලයින් ගිහින් එයාලටම කියලා චරිතයක් හදාගෙන (avatars) ගහන ගේම්ස් වර්ගත් අද තියෙනවා. ඒ ගේම්ස්වලට කියන්නේ RPG කියලයි. ඒවා ගහන අයට ගැහැනු චරිතයක් හරි පිරිමි චරිතයක් හරි සතෙක්ගේ චරිතයක් හරි ඒ දෙකම මිශ්‍ර වෙලා හැදුණු අමුතුම චරිතයක් හරි හදාගන්න පුළුවන්. මේ වගේ ගේම්ස් කෙනෙක්ව අමුතුම ලෝකෙකට ගෙනි යනවා. ඒ ලෝකේ ඒ වගේ චරිත හදාගත්ත තව දහස් ගාණක් අය ඉන්නවා. කඩසාප්පු, වාහන, ගෙවල්, නයිට් ක්ලබ්ස්, ගණිකා මඩම් වගේ සමාජයේ තියෙන හැම දෙයක්ම ඒකේ තියෙනවා. මේ ගේම්ස් ගහන අයට පුළුවන් එයාලා හදාගෙන ඉන්න චරිතේ හරහා අනිත් චරිත හදාගෙන ඉන්න අයට පණිවිඩ යවන්න.

ඒ ඔන්ලයින් ලෝකේ පාතාල කල්ලි, ගණිකා වෙළෙන්දෝ, ගණිකාවන්, මංකොල්ලකරුවන්, වංචාකාරයන්, ඝාතකයන් වගේ පහත් චරිත ගොඩක් ඉන්නවා. මේ ගේම්ස් ගහන අයට පුළුවන් ඇත්ත ජීවිතේ කරන්නේ නැති ඕනම දෙයක් ගේම් එකේදී කරන්න. උදාහරණයකට කෙනෙක්ට පුළුවන් එයාගේ චරිතේ පාවිච්චි කරලා ගේම් එකේ ඉන්න වෙන කෙනෙක්ගේ චරිතයක් එක්ක ලිංගික දේවල් කරන්න. ඒකට කරන්න තියෙන්නේ අනිත් චරිතෙට පණ පොවන කෙනාත් එක්ක පණිවිඩ කීපයක් හුවමාරු කරගන්න එක විතරයි. සමහර ගේම්ස්වලින් පුළුවන් පොඩි ළමයිගේ චරිත තෝරගෙන එයාලා එක්ක වුණත් ලිංගික දේවල් කරන්න. ඒ වගේ පහත් දේවල් ගේම්ස්වලට දාලා තියෙන එක සමහර විචාරකයන්ටත් අදහගන්න බැහැ.

ගේම්ස් ගහන්න කලින් හොයලා බලන්න

ගහ මරාගන්න, ලිංගික දේවල් තියෙන ගේම්ස් ගහන අය කියයි “මේක නිකං සෙල්ලමක් විතරයිනේ, ඇත්තට කරන දෙයක් නෙමෙයිනේ” කියලා. හැබැයි ඔයා ඒ වගේ වැරදි අදහස්වලට අහු වෙන්න එපා.

බයිබලයේ මෙහෙම කියනවා. “දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.” (හිතෝපදේශ 20:11) ගහ මරාගන්න, පහත්, නොහොබිනා දේවල් තියෙන ගේම්ස් ඔයා ගහනවා නම් ඔයා නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? නරක දේවල් TV එකෙන් බලන හුඟක් අය ඒ දේවල් කරන්න පෙලඹෙනවා කියලා සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා. හැබැයි විචාරකයෝ කියන්නේ ගේම්ස් ගහන එකෙන් කෙනෙක්ගේ මනසට වෙන බලපෑම TV එකෙන් වෙන බලපෑමට වඩා වැඩියි කියලයි. මොකද TV එකේ යන දේවල් බලන්න විතරයි පුළුවන්. හැබැයි ගේම්ස්වලදී ගහන කෙනාත් ඒකට හවුල් වෙනවා.

මිනී මරන, ලිංගික දේවල් තියෙන ගේම්ස් ගහන එක හරියට විසක් මිශ්‍ර වෙලා තියෙන දෙයක් එක්ක සෙල්ලං කරනවා වගේ වැඩක්. ඒ වගේ දෙයක් එක්ක සෙල්ලං කළාම එකපාරටම හානියක් වෙන එකක් නැහැ. හැබැයි කාලයක් යද්දී ඒ විස ඔයාගේ ඇඟට ගිහින් ඔයාට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. නරක ගේම්ස් ගහන කොට වෙන්නෙත් ඒ වගේ දෙයක්. ලිංගික දේවල් එළිපිටම පෙන්නන, මිනිස්සුන්ව අමු අමුවෙම මරලා දාන ගේම්ස් ගහන කොට ඒ දේවල් ඔයාට සාමාන්‍ය දේවල් වෙන්න පටන්ගන්නවා. කාලයක් යන කොට ඔයාගේ සිතුවිලි ඒ විදිහට හැඩගැහිලා ඔයාත් ඒ දේවල් කරන්න පෙලඹෙන්න පුළුවන්.—එෆීස 4:19; ගලාති 6:7, 8.

හොඳ ගේම්ස් තෝරගන්නේ කොහොමද?

ඔයාගේ දෙමාපියන් ගේම්ස් ගහන්න ඔයාට අවසර දීලා ඇති. එහෙමනම් හොඳ ගේම් එකක් තෝරගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒවා ගහන්න ඔයා කොච්චර වෙලාවක් පාවිච්චි කරනවාද? මේ ප්‍රශ්න ගැන හිතන්න.

මේ ගේම් එක ගැහුවොත් යෙහෝවා දෙවිට මං ගැන මොනවා හිතෙයිද? බයිබලයේ කියන්නේ, “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය” කියලයි. (ගීතාවලිය 11:5) ඒ වගේම ‘අද්භූත දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්’ කියලත් බයිබලයේ කියනවා. (ද්විතීය කතාව 18:10-12) එහෙමනම් ඔයා තෝරගන්න යන ගේම් එකේ ඒ වගේ දේවල් තියෙනවාද කියලා හොයලා බලන්න. මොකද යෙහෝවා දෙවිගේ මිත්‍රයෙක් වෙන්න නම් ඔයා “නපුරට ද්වේෂ කරන්න” ඉගෙනගන්න ඕනේ.—ගීතාවලිය 97:10.

මං හිතන පතන විදිහ ගේම් එක නිසා වෙනස් වෙයිද? ඔයා තෝරගන්න යන ගේම් එක ගැහුවොත් “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලා බයිබලයේ දීලා තියෙන උපදෙස පිළිපදින්න ඔයාට අමාරු වෙයිද කියලා හිතලා බලන්න. (1 කොරින්ති 6:18) මොකද ලිංගික හැඟීම් අවුස්සන දේවල් පෙන්නන, ඒවා ගැන කතාබහ කරන ගේම්ස් ගැහුවොත් ඔයාගේ මනස ධර්මිෂ්ඨ, පවිත්‍ර, නිර්මල දේවලට යොමු කරලා තියාගන්න එක ලේසි නැහැ.—ෆිලිප්පි 4:8.

කොච්චර වෙලාවක් ගේම් ගහනවාද? ඔයා තෝරගත්ත ගේම් එක හොඳ එකක් වෙන්න පුළුවන්. හැබැයි ගේම් ගහද්දී දන්නෙම නැතුව කාලේ ගොඩක් යනවා කියලා අමතක කරන්න එපා. ගේම් ගහන නිසා වැදගත් දේවල් කරගන්න ඔයාට වෙලාව මදි වෙනවාද? එහෙමනම් ගේම් එකක් ගැහුවම කොච්චර වෙලාවක් තිස්සේ ඔයා ඒක ගැහුවාද කියලා ලියාගන්න. ඒක ඔයාට උදව් වෙයි ගේම්ස්වලට දෙන කාලේ අඩු කරලා වැදගත් වැඩවලට ඒ කාලේ දෙන්න.—එෆීස 5:16.

බයිබලයේ කොහෙවත් කියලා නැහැ ඔයා ඔයාගේ මුළු කාලේම පාඩම් වැඩවලට විතරක් දෙන්න ඕනේ කියලා. ඔයාට දුවන්න පනින්න, සෙල්ලං කරන්නත් කාලේ පාවිච්චි කරන්න පුළුවන්. “සිනාසෙන්න කාලයක්ද . . . නටන්න කාලයක්ද” තියෙනවා කියලා බයිබලයේ කියනවා. (දේශනාකාරයා 3:4) ඒ නිසා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවලදී එක තැනකට වෙලා ගේම්ස්ම ගගහා ඉන්නේ නැතුව මොකක් හරි ක්‍රීඩාවක් කරන එක හොඳ දෙයක් නෙමෙයිද? ඒක ඇඟටත් හොඳ ව්‍යායාමයක්.

හොඳ දේ තෝරගන්න එක වැදගත්

ඔයා ඉස්කෝලේ වැඩියෙන්ම ලකුණු ගන්න විෂය මොකද්ද? කිසිම සැකයක් නැහැ ඒ විෂය තමයි ඔයා කැමතිම විෂය. ඒ විෂයට අයිති හැම දෙයක්ම ඔයාට මතක තියෙන නිසා ඒක හොඳට කරන්න ඔයාට පුළුවන්. ඒ වගේ තමයි ඔයාට මොකක් හරි ගේම් එකක් හොඳට ගහන්න පුළුවන් නම් ඒ ගේම් එකට තමයි ඔයා හුඟක් ආස. ඔයා ඒකට ආස නිසා ඒ ගේම් එකේ තියෙන හැම දෙයක්ම ඔයාගේ මතකේ තදින් රැඳෙනවා. එහෙමනම් ඔයා නරක දේවල් තියෙන ගේම් එකකට ආස වුණොත් ඔයාගේ මතකේ රැඳෙන්නෙත් නරක දේවල් තමයි. ඒ නිසා තෝරගන්න කොට හොඳ ගේම් එකක් තෝරගන්න.

යාළුවෝ ගහන්න ආස ගේම් එකක් ඔයාත් ඔහේ තෝරගන්න එපා. මේ පරිච්ඡේදයේ ඉගෙනගත්ත තොරතුරු හිතට ගන්න. “ස්වාමීන්ට ප්‍රසන්න වන්නේ කුමක්ද කියා නිතරම සොයා බලා එය ඔබටම තහවුරු කරගන්න” කියලා බයිබලයේ දීලා තියෙන උපදෙස හොඳට මතක තියාගන්න.—එෆීස 5:10.

ඊළඟ පරිච්ඡේදය

ඔයා සිංදු අහන්න ආසයි නම් ඒකේ වරදක් නැහැ. හැබැයි සිංදු අහන එක ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ වෙලා නම් මොකද කරන්නේ?

බයිබල් උපදෙස

“යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි, නපුරට ද්වේෂ කරන්න.”—ගීතාවලිය 97:10.

යෝජනාවක්

ඔයා ගහන්න කැමති හැම ගේම් එකක් ගැනම පොඩි විස්තරයක් ඒ කියන්නේ ගේම් එකේ කරන්න තියෙන්නේ මොකද්ද, ඒක කරන්නේ කොහොමද කියලා ලියන්න. ඒ ලියාගත්ත දේවල් මේ පරිච්ඡේදයේ තියෙන බයිබල් පදවලට එකඟද කියලා බලන්න. එතකොට ඔයාට පුළුවන් ගේම් එකක් හොඳයිද නරකයිද කියලා තීරණය කරන්න.

මේක දැනගෙන හිටියාද?

ඉන්ටර්නෙට් ගේම්ස් ගහන්න ඇබ්බැහි වෙලා හිටපු අයව පුනරුත්ථාපනය කරන්න නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ පුනරුත්ථාපන කඳවුරක් 2006දී මුල්ම වතාවට විවෘත කළා.

ඔයාට වැඩක්!

ගහ මරාගන්න ගේම් එකක් හරි ලිංගික දේවල් තියෙන ගේම් එකක් හරි යාළුවෙක් මට දුන්නොත් මං මෙහෙම කියනවා ․․․․․

මං සතියකට ගේම්ස් ගහන්නේ පැය ․․․․․ ඒ පැය ගාණට වඩා වැඩිය ගේම්ස් ගහන්නේ නැතුව ඉන්න මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● කෙනෙක් හිතන පතන විදිහ එයා ගහන ගේම්ස් නිසා වෙනස් වෙන්න පුළුවන් කොහොමද?

● ගේම් එකක් තෝරගන්න කොට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ගැන හිතලා බලන එක වැදගත් ඇයි?

● ඔයාගේ නංගි හරි මල්ලි හරි දෙවි අකමැති විදිහේ ගේම් එකක් ගහන්න ඇබ්බැහි වෙලා නම් එයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

[249වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘ගොඩක් ගේම්ස්වල තියෙන්නේ මිනී මැරුම්, පහත් කතාබහ, දුරාචාරය වගේ නරක දේවල් නිසා කාලයක් යන කොට ඒවා සාමාන්‍ය දේවල් කියලා හිතෙනවා. ඒක හරි භයානකයි. මොකද එහෙම හිතද්දී වරදක් වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් වැඩියි. ඒ නිසා ගේම් එකක් තෝරගන්න කොට සැලකිලිමත් වෙන්න.’’—ඒමි

[250වන පිටුවේ පින්තූරය]

මිනී මරන, ලිංගික දේවල් තියෙන ගේම්ස් ගහන එක හරියට විසක් මිශ්‍ර වෙලා තියෙන දෙයක් එක්ක සෙල්ලං කරනවා වගේ වැඩක්. කාලයක් ගියාට පස්සේ තමයි හානිය තේරෙන්නේ