Skip to content

පටුනට යන්න

විනෝද වෙන්න කරන්න පුළුවන් මොනවාද?

විනෝද වෙන්න කරන්න පුළුවන් මොනවාද?

32වෙනි පරිච්ඡේදය

විනෝද වෙන්න කරන්න පුළුවන් මොනවාද?

ම් අදහස් හරිද වැරදිද කියලා ලකුණු කරන්න.

බයිබලයේ පෙන්නලා තියෙන විදිහට . . .

කිසිම ක්‍රීඩාවක් කරන්න බැහැ.

□ හරි □ වැරදියි

කිසිම ෆිල්ම් එකක්, TV එකේ යන නාට්‍යයක් බලන්න බැහැ.

□ හරි □ වැරදියි

ඩාන්ස් කරන එක සුදුසු නැහැ.

□ හරි □ වැරදියි

යෞවන කාලේ කියන්නේ හරිම ක්‍රියාශීලී, ජවයෙන් පිරුණු කාලයක්. (හිතෝපදේශ 20:29) ඒ නිසා ඕනම යෞවනයෙක් කැමති දුවලා පැනලා විනෝද වෙන්න.

සමහරවිට අනිත් ළමයි හිතනවා ඇති ඔයා බයිබලයේ කියලා තියෙන විදිහට ජීවත් වෙන නිසා ඔයාට කවදාවත් විනෝද වෙන්න බැහැ කියලා. හැබැයි විනෝද වෙන එක වැරදියි කියලා බයිබලයේ කියලා තියෙනවාද? හරිද වැරදිද කියලා ලකුණු කරන්න තිබුණු අදහස් තුන ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා බැලුවොත් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්.

බයිබලයේ පෙන්නලා තියෙන විදිහට, කිසිම ක්‍රීඩාවක් කරන්න බැහැ.

වැරදියි. ක්‍රීඩකයෙක් පුහුණු වීම් කටයුතුවල යෙදුණොත් එයාට ඒකෙන් ප්‍රයෝජන තියෙනවා කියලා බයිබලයේ කියනවා. (1 තිමෝති 4:8) ඒකෙන් තේරෙන්නේ ශරීරයට ව්‍යායාමයක් වෙන විදිහේ ක්‍රීඩාවක් කරන එක වැරදි නැහැ කියලයි. ඒ වගේ ක්‍රීඩා ගොඩක් අද තියෙනවා. ක්‍රිකට්, එල්ලේ, වොලිබෝල්, ෆුට්බෝල්, ටෙනිස්, බයිසිකල් පදින එක ඒ වගේ ක්‍රීඩා කීපයක් විතරයි. ඒ වගේ ක්‍රීඩාවලින් ව්‍යායාමයක් විතරක් නෙමෙයි හොඳ විනෝදෙකුත් ලැබෙනවා.

ක්‍රීඩාව හොඳ දෙයක් වුණාට ඒක ඔයාගේ ජීවිතේ කරගන්න එපා. ක්‍රීඩකයෙක්ට පුහුණු වීම්වලින් ප්‍රයෝජන තියෙනවා කියලා කිව්වට ඒ ප්‍රයෝජන අල්පයි කියලත් බයිබලයේ කියනවා. හැබැයි ‘දෙවි කෙරෙහි භක්තියක් තියෙනවා නම් හැම අතින්ම ප්‍රයෝජන ලබන්න පුළුවන්’ කියලයි බයිබලයේ කියන්නේ. ඒක ක්‍රීඩාවක් කරලා ලැබෙන ප්‍රයෝජන එක්ක කොහොමටවත් සමාන කරන්න බැහැ. මොකද දෙවි ගැන භක්තියක් තියෙනවා නම් ‘දැන් භුක්ති විඳින ජීවිතයේදීත් අනාගත ජීවිතයේදීත් හුඟක් ආශීර්වාද ලබාගන්න පුළුවන්.’ ඒ නිසා ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ වෙන්න ඕනේ දෙවිට විශ්වාසවන්තව ඉන්න එකයි. ක්‍රීඩාවක් තෝරගද්දීත් ඒක මතක තියාගන්න. පහළ තියෙන ප්‍රශ්න තුන ඒක කරන්න ඔයාට උදව් වෙයි.

1. අනතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩිද? එක එක අය කියන නිසාවත් අනිත් ළමයි රස කරකර කියන කතා නිසාවත් ක්‍රීඩාවක් කරන්න යන්න එපා. ඊට කලින් මේ දේවල් ගැන හිතන්න. මේ ක්‍රීඩාවෙන් කොච්චර අනතුරු වෙලා තියෙනවාද? අනතුරු වළක්වගන්න කරලා තියෙන්නේ මොනවාද? අනතුරු අඩු කරගන්න නම් මොන වගේ භාණ්ඩ, මොන වගේ පුහුණුවක් ඕනෙද? ඇත්තයි ඕනම ක්‍රීඩාවකින් අනතුරු වෙන්න පුළුවන්. ඒත් ඔයා කරන්න යන ක්‍රීඩාව හදලා තියෙන්නේ තව කෙනෙක්ට අනතුරක් කරන්නම නම් ඒ ක්‍රීඩාව හොඳයිද?

ජීවිතේ කියන්නේ හරිම වටින දෙයක්. අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟට දෙවි දීලා තිබුණු නීතියෙන් ඒක පැහැදිලි වෙනවා. අත්වැරදීමකින් හරි කෙනෙක්ගේ ජීවිතේට අනතුරක් වුණොත් ඒක සුළුපටු දෙයක් විදිහට සලකන්න ඒ නීතියෙන් කිසිම ඉඩක් දුන්නේ නැහැ. (නික්මයාම 21:29; ගණන් කතාව 35:22-25) ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟ අනතුරු වළක්වගන්න හැම පියවරක්ම ගත්තා. (ද්විතීය කතාව 22:8) අද ඉන්න දෙවිගේ සේවකයනුත් ජීවිතේ වටින දෙයක් විදිහට සලකලා අනතුරු මඟහරින්න පියවර ගන්න ඕනේ.

2. ආශ්‍රය කරන්න වෙන්නේ මොන වගේ අයවද? ඔයා මොකක් හරි ක්‍රීඩාවකට දක්ෂ නම් ඉස්කෝලේ ළමයි, ගුරුවරු ඔයාට කියයි කොහොමහරි ඉස්කෝලේ ටීම් එකට සෙල්ලං කරන්න කියලා. ඔයාත් ඒකට ආස වෙයි. හැබැයි ඊට ඉස්සෙල්ලා ඔයා මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් කරන්නේ, මැචස් ගහන්නේ ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ. ඔයා ක්‍රීඩාවට දක්ෂ නම් ඔයාව වැඩිපුර මැචස්වලට ගනියි. ඔයා එච්චර දක්ෂ නැත්නම් තව ප්‍රැක්ටිස් කරලා කොහොමහරි හොඳට සෙල්ලං කරන්න ඕනේ කියලා ඔයාට හිතෙයි. ඒ වගේම ටීම් එකට සෙල්ලං කරද්දී ඒකේ ඉන්න අයව ඔයාට කිට්ටුවෙන් ආශ්‍රය කරන්න වෙනවා.

දැන් මේ ගැන හිතන්න. බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට ගරු කරන්නේ නැති අයව ඔයා වැඩියෙන් ආශ්‍රය කළොත් දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔයාට ලේසි වෙයිද? (1 කොරින්ති 15:33) ටීම් එකට සෙල්ලං කරන්න ඕනේ නිසා අනිත් හැම දෙයක්ම කැප කරන්න ඔයා ලෑස්තිද?

3. කොච්චර වෙලාවක්, කොච්චර සල්ලි යයිද? බයිබලයේ මෙහෙම කියනවා. ‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න.’ (ෆිලිප්පි 1:10) මේ ප්‍රශ්න ගැන හිතන එක ඒක කරන්න ඔයාට උදව්වක් වෙයි. මේ ක්‍රීඩාව නිසා ඉස්කෝලේ වැඩ, දෙවිට කරන සේවය අතපසු වෙයිද? මේකට කොච්චර සල්ලි යයිද? එච්චර සල්ලි වියදම් කරන්න අම්මලට පුළුවන්ද?

බයිබලයේ පෙන්නලා තියෙන විදිහට, කිසිම ෆිල්ම් එකක්, TV එකේ යන නාට්‍යයක් බලන්න බැහැ.

වැරදියි. අද තියෙන හැම ෆිල්ම් එකක්ම, නාට්‍යයක්ම නරකයි කියලා කියන්න බැහැ. * බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න. සියලු ආකාර දුෂ්ටකමින් වැළකී සිටින්න.” (1 තෙසලෝනික 5:21, 22) ඒකෙන් තේරෙන්නේ බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට පටහැනි දේවල් පෙන්නන ෆිල්ම්ස්, නාට්‍ය බලන එක තමයි හොඳ නැත්තේ කියලා.

ෆිල්ම් එකක් බලන්න යන එක යාළුවෝ එක්ක විනෝද වෙන්න පුළුවන් හොඳ විදිහක්. දකුණු අප්‍රිකාවේ ඉන්න එක යෞවනියක් කළේ මොකක් හරි හොඳ ෆිල්ම් එකක් ආවම එයාගේ යාළුවන්ට කෝල් කරලා ඒ ගැන කියන එකයි. ඒ යාළුවෝ අනිත් යාළුවන්ටත් කෝල් කරලා ඒ ගැන කියනවා. ඊටපස්සේ එයලා එකතු වෙලා උදේ වරුවක ගිහින් ඒ ෆිල්ම් එක බලනවා. ෆිල්ම් එක ඉවර වුණාම කට්ටියම එයාලගේ දෙමාපියන් එක්ක කොහේ හරි ගිහින් කෑමක් ගන්නවා.

ඉස්සර කාලේ අද වගේ TV, ෆිල්ම්ස් තිබුණේ නැහැ. ඒ කාලේ හිටපු අය එකට එකතු වෙලා කතන්දර කිව්වා. ඒක හරියට අද අපි ෆිල්ම් එකක් නැත්නම් TV එකේ නාට්‍යයක් බලනවා වගේ තමයි. යේසුස්ටත් පුදුම හැකියාවක් තිබුණා මිනිසුන්ගේ හදවතට දැනෙන විදිහට කතන්දර කියලා වටිනා පාඩම් උගන්නන්න. උදාහරණයකට සමරිතානු ජාතිකයා ගැන යේසුස් කියපු කතන්දරේ ඕනම කෙනෙකුගේ හිතට වදිනවා. ඒ වගේම ඒකෙන් ඉගෙනගන්න ගොඩක් පාඩම් තියෙනවා.—ලූක් 10:29-37.

අද ගොඩක් ෆිල්ම්ස් හදන අයත් ඒවා හදන්නේ මිනිසුන්ගේ හිත්වලට ලොකු බලපෑමක් කරන්න පුළුවන් විදිහටයි. කෙනෙක් හිතන පතන විදිහ වෙනස් කරන්න වුණත් ඒවාට පුළුවන්. උදාහරණයකට සමහර ෆිල්ම්ස්වල ප්‍රධාන චරිත නීති විරෝධි දේවල් කරනවා. තවත් අය පහත් විදිහට හැසිරෙනවා. හැබැයි ඒ ෆිල්ම්ස් හදලා තියෙන විදිහ නිසා බලන අය හිතන්නේ ඒ දේවල් වැරදි නැහැ කියලයි. පරෙස්සම් වුණේ නැත්නම් ඔයාත් එහෙම හිතන්න පෙලඹෙන්න පුළුවන්. ඒ අනතුරට වැටෙන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන් කොහොමද?

ෆිල්ම් එකක් හරි TV එකේ යන නාට්‍යයක් හරි බලන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න ගැන හිතන්න. මේක බැලුවොත් අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න මං පෙලඹෙයිද? (එෆීස 4:32) නැත්නම් කාට හරි විපතක් වුණාම ඒ ගැන සතුටු වෙන්න මේක මාව පොලඹවයිද? (හිතෝපදේශ 17:5) මේක බැලුවොත් ‘නපුරු දේට ද්වේෂ කරන්න’ මට තව අමාරු වෙයිද? (ගීතාවලිය 97:10) නැත්නම් ‘නපුරු අය’ ගැන මගේ හිතේ අනුකම්පාවක් ඇති වෙයිද?—ගීතාවලිය 26:4, 5.

ඔයාට කරන්න පුළුවන් තවත් දෙයක් තමයි ෆිල්ම් එක මොන වගේද කියලා කලින් දැනගන්න එක. ඒකට ඒ ෆිල්ම් එක ගැන දීලා තියෙන විස්තර, ප්‍රචාරණ දැන්වීම් උදව් වෙයි. හැබැයි ඒ දේවල් සීයට සීයක් විශ්වාස කරන්න එපා. (හිතෝපදේශ 14:15) මොකද ෆිල්ම් එකක් ගැන දීලා තියෙන විස්තරේ තියෙන්නේ ඒ ෆිල්ම් එක ගැන තවත් කෙනෙක්ගේ අදහසක් විතරයි. ඒ වගේම ප්‍රචාරණ දැන්වීම්වල කවදාවත් ෆිල්ම් එකේ තියෙන නරක දේවල් පෙන්නන්නේ නැහැ. එක යෞවනියක් මෙහෙම දෙයක් කිව්වා. “ෆිල්ම් එකේ රඟපාන්නේ කවුද කියලා දැනගත්තම ඒක හොඳයිද නරකයිද කියලා හිතාගන්න පුළුවන්.”

ඔයාට කරන්න පුළුවන් තවත් දෙයක් තමයි සභාවේ ඉන්න අනිත් යෞවනයන්ගෙන් අහලා බලන එක. හැබැයි මේක මතක තියාගන්න. හුඟක් වෙලාවට තව කෙනෙක් ෆිල්ම් එකක් ගැන කියන්නේ ඒ ෆිල්ම් එකේ එයා කැමති දේවල් ගැනයි. ඒකේ තියෙන නරක දේවල් ගැන කියන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා ෆිල්ම් එකේ නරක දේවල් තියෙනවාද කියලා අහන්න. ඒකේ ගහ මරාගන්න, අසභ්‍ය, අද්භූත දර්ශන තියෙනවාද කියලා අහන්න. මොකක් හරි ෆිල්ම් එකක් බැලුවට කමක් නැද්ද කියලා දෙමාපියන්ගෙනුත් අහලා දැනගන්න පුළුවන්. “ෆිල්ම් එකක් බලන්න ඉස්සෙල්ලා මං ඒ ගැන අම්මලගෙන් අහනවා. බැලුවට කමක් නැහැ කියලා එයාලා කිව්වොත් විතරයි මං ඒක බලන්නේ.” එහෙම කියන්නේ වැනෙසා කියන යෞවනියයි.

ෆිල්ම් එකක් හරි TV එකේ යන නාට්‍යයක් හරි තෝරලා බේරලා බලන එක සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් කියලා හිතන්න එපා. මොකද ඔයා බලන්න තෝරගන්න නාට්‍යවලින්, ෆිල්ම්ස්වලින් ඔයාගේ හිතේ තියෙන්නේ මොන වගේ ආසාවන්ද කියලා හෙළි වෙනවා. (ලූක් 6:45) ඔයා ආශ්‍රය කරන්න කැමති මොන වගේ අයවද කියලත් පහත් කතාබහ, පහත් හැසිරීම ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද කියලත් ඔයා බලන දේවලින් පැහැදිලි වෙනවා. ඒ නිසා ඔයා බලන දේවල් ගැන හුඟක් සැලකිලිමත් වෙන්න.

බයිබලයේ පෙන්නලා තියෙන විදිහට, ඩාන්ස් කරන එක සුදුසු නැහැ.

වැරදියි. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟව රතු මුහුද හරහා අරන් ගිහින් ඊජිප්තු හමුදාව අතින් එයාලව බේරගත්තට පස්සේ ඊශ්‍රායෙල් කාන්තාවන් රබන් ගගහා නැටුවා කියලා බයිබලයේ තියෙනවා. (නික්මයාම 15:20) ඒ වගේම අකීකරු පුතා ගැන යේසුස් කියපු කතන්දරේ ඒ පුතා ආපහු ගෙදර ආවම තාත්තා ලොකු සංග්‍රහයක් සූදානම් කළා කියලත් ඒකේ ‘නැටුම් ගැයුම්’ තිබුණා කියලත් යේසුස් කිව්වා.—ලූක් 15:25.

පවුලේ අය, යාළුවන් එකතු වුණාම බාල මහලු හැමෝම නටලා විනෝද වෙන එක හුඟක් රටවල අද සාමාන්‍ය දෙයක්. ඒ විදිහට විනෝද වෙන එක බයිබලයේ හෙළාදැකලා නැහැ. හැබැයි “ඝෝෂාකාරී උත්සවවලට” හවුල් වෙන එක වැරදියි කියලා බයිබලයේ කියලා තියෙනවා. (ගලාති 5:19-21) බයිබලයේ තියෙන මේ විස්තරයෙනුත් ඒක පැහැදිලියි. “හිමිදිරි පාන්දරින්ම නැඟිට මත්පැන් සොයා ගොස් රෑ යාමය දක්වාම බොමින් වෙරිමත් වී සිටින අයට අත් වන්නේ දුක පමණි. වීණාවේ, කුඩා වීණාවේ, බට නළාවේ සහ රබානේ මිහිරි හඬ ඔවුන්ගේ උත්සවවලදී ඇසෙයි. ඔවුහු වයින් බොමින් ප්‍රීති වෙති. එහෙත් යෙහෝවා දෙවිගේ ක්‍රියා ඔවුහු ගණනකටවත් ගන්නේ නැත.”—යෙසායා 5:11, 12.

වෙරි වෙන්න බොන එක, දෙවනත් වෙන්න සිංදු දාන එක ඒ වගේ උත්සවවල සාමාන්‍ය දේවල්. ඒවා ඉවර වෙන්නේ රෑ ජාමේ. ඒවාට යන අය හැසිරෙන්නේ එයාලා කරන කියන දේවල් ගැන දෙවිට ගණන් දෙන්න ඕනේ නැති විදිහටයි. එහෙමනම් යෙහෝවා දෙවි ඒ වගේ ඝෝෂාකාරී උත්සව පිළිකුල් කරන එක ගැන පුදුම වෙන්න ඕනෙද!

ඔයාටත් පාටි එකකට යන්න ආරාධනාවක් ලැබුණොත් ඒකේ කට්ටිය ඩාන්ස් කරන්න යනවා කියලා ඔයා දන්නවා නම් මේ දේවල් ගැන හිතන්න. ‘මේකට එන්නේ කවුද? එයාලගේ චරිතේ කොහොමද? පාටි එකේ වැඩකටයුතු බලාගන්නේ කවුද? වැඩිහිටි අය එනවාද? මං මේ පාටි එකට යනවට ගෙදර අය කැමති වෙයිද? පාටි එකට එන කට්ටිය කොහොම ඩාන්ස් කරයිද?’ ඒ වගේ ප්‍රශ්න ගැන හිතන එක හරිම වැදගත්. මොකද ලිංගික හැඟීම් අවුස්සන විදිහේ ඩාන්ස් අද හුඟක් ජනප්‍රියයි. ඔයාත් ඒ විදිහේ ඩාන්ස්වලට හවුල් වුණොත් නැත්නම් ඒවා දිහා බලාගෙන හිටියොත් “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියලා බයිබලයේ දීලා තියෙන උපදෙස පිළිපදින්න ඔයාට ලේසි වෙයිද?—1 කොරින්ති 6:18.

නයිට්ක්ලබ් එකකට ගිහින් ඩාන්ස් කරමු කියලා කවුරු හරි ඔයාට කිව්වා කියලා හිතන්න. එහෙම යන එක වැරදිද? ෂෝන් කියන යෞවනයා නිතරම වගේ නයිට්ක්ලබ්වලට ගිය කෙනෙක්. නයිට්ක්ලබ්ස් ගැන ෂෝන් මෙහෙම කියනවා. “ඒවාවල දාන සිංදු, තියෙන ඩාන්ස් හරිම පහත්. ගොඩක් අය එතැනට එන්නේ එදා රෑ ගත කරන්න කාව හරි හොයාගන්නයි.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තට පස්සේ ඒ වගේ තැන්වලට යන එක ෂෝන් නතර කළා. “නයිට්ක්ලබ්ස් කියන්නේ ක්‍රිස්තියානීන්ට යන්න සුදුසු තැන් නෙමෙයි” කියලා ෂෝන් කියනවා.

විමසිල්ලෙන් ඉන්න!

සෙබළෙක්ට ලේසියෙන්ම පහර දෙන්න පුළුවන් එයා යුද්ධ කරකර ඉන්න වෙලාවෙද නැත්නම් යාළුවොත් එක්ක විවේකයෙන් ඉන්න වෙලාවෙද? යුද්ධ කරන්න කිසිම සූදානමක් නැතුව විවේකයෙන් ඉන්න කොට තමයි පහර දෙන්න ලේසිම. ටිකක් හිතන්න. ඔයා අතින් බයිබලයේ තියෙන ප්‍රතිපත්තියක් කැඩෙන්න ඉඩකඩ වැඩි මොන වගේ වෙලාවලදීද? ඔයා ඉස්කෝලේ ඉන්න වෙලාවලදීද? නැත්නම් යාළුවොත් එක්ක විනෝදෙන් කාලේ ගෙවන කොටද? සාමාන්‍යයෙන් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති කැඩෙන්න පුළුවන් අවස්ථාවන් ගැන ඔයා ඉස්කෝලේදී ඉන්නේ හරිම විමසිල්ලෙන් නිසා ප්‍රතිපත්තියක් කැඩෙන්න තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි විනෝදෙන් ඉන්න වෙලාවලදී එච්චර හිතන්නේ බලන්නේ නැති නිසා ප්‍රතිපත්තියක් කැඩෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඒ වගේ වෙලාවලදී විමසිල්ලෙන් ඉන්න.

ඔයා ඒ විදිහට බයිබලයේ තියෙන ප්‍රතිපත්ති රකින්න උත්සාහ කරද්දී සමහර ළමයි ඔයාට විහිළු කරයි. සභාවේ ඉන්න යෞවන යෞවනියන් වුණත් ඔයාට කියන්න පුළුවන් ඔයා හරි අමුතුම කෙනෙක් කියලා. ඒ වගේ දේවල් කියන අයගේ හෘදය සාක්ෂිය හංවඩු ගහපු හමක් වගේ දැඩි වෙලයි තියෙන්නේ කියලා මතක තියාගන්න. ඒ නිසා හරි වැරැද්ද අතර වෙනස එයාලට පැහැදිලිව තේරෙන්නේ නැහැ. (1 තිමෝති 4:2) හැබැයි ඔයා දිගටම ‘දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වගන්න’ උත්සාහ කරන්න.—1 පේතෘස් 3:16.

වැදගත්ම දේ වෙන්නේ යාළුවෝ ඔයා ගැන හිතන දේ නෙමෙයි, යෙහෝවා දෙවි ඔයා ගැන හිතන දේයි. බයිබලයේ තියෙන ප්‍රතිපත්ති රකින්න ඔයා උත්සාහ කරද්දී යාළුවෝ ඔයාට විහිළු කරනවා නම් එයාලා හොඳ යාළුවෝ කියලා කියන්න බැහැ. (හිතෝපදේශ 13:20) ඔයා විනෝද වුණත් වෙන මොන දේ කළත් බයිබලයේ තියෙන ප්‍රතිපත්ති රකිනවාද නැද්ද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ කියලා කවදාවත් අමතක කරන්න එපා.—හිතෝපදේශ 4:23.

තවත් දැනගන්න 1වෙනි පොතේ 37වෙනි පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

අසභ්‍ය පින්තූර අද ඕන කෙනෙක්ට හරිම ලේසියෙන් බලන්න පුළුවන්. ඒවායින් වැළකෙන්නේ කොහොමද?

[පාදසටහන]

බයිබල් උපදෙස

“තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න. . . . ඔබේ සිතේ ආශාවන් ඉටු කරගන්න. ඔබේ ඇස්වලට ප්‍රිය කරන දේ ලබාගන්න. එහෙත් ඔබ කරන සෑම දෙයක් ගැනම සැබෑ දෙවිට ගණන් දිය යුතු බව අමතක නොකරන්න.”—දේශනාකාරයා 11:9.

යෝජනාවක්

හැම මාසෙකම TV බලන වෙලාව අඩු කරලා පවුලක් හැටියට එකතු වෙලා විනෝද වෙන්න ඒ වෙලාව පාවිච්චි කරමුද කියලා ඔයාගේ දෙමාපියන්ගෙන් අහන්න.

මේක දැනගෙන හිටියාද?

ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට කරපු නමස්කාරයේ සංගීතයටයි, නැටුම් ගැයුම්වලටයි වැදගත් තැනක් තිබුණා.—ගීතාවලිය 150:4.

ඔයාට වැඩක්!

ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ ටීම් එකකට සෙල්ලං කරන්න කියලා මට කිව්වොත් මං මෙහෙම කියනවා ․․․․․

යාළුවොත් එක්ක එකතු වෙලා ෆිල්ම් එකක් බලද්දී ඒක එච්චර හොඳ නැහැ කියලා තේරුණොත් මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් ක්‍රීඩා කරන එක වැරදි ඇයි?

● ෆිල්ම් එකක් හොඳයිද නරකයිද කියලා ඒක බලන්න කලින් තීරණය කරන්න පුළුවන් කොහොමද?

● සුදුසු ඩාන්සින් ස්ටයිල් එකක් කියන්නේ මොන වගේ එකකටද?

[269වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මං ඩාන්ස් කරන්න හරිම ආසයි. ඒත් දෙමාපියන් දීපු උපදෙස් මං හිතට ගත්ත නිසා ඒක මගේ ජීවිතේ වැදගත්ම දේ කරගන්නේ නැතුව ඉන්න මට පුළුවන් වෙලා තියෙනවා.’’—ටීනා

[268වන පිටුවේ පින්තූරය]

විවේකයෙන් ඉද්දී සෙබළෙක්ට පහර දෙන්න ලේසියි. ඒ වගේ ඔයාත් යාළුවෝ එක්ක විනෝදෙන් ඉද්දී ප්‍රතිපත්තියක් කැඩෙන්න තියෙන ඉඩකඩ වැඩියි