Skip to content

පටුනට යන්න

අරපරෙස්සමින් වියදම් කරන්න පුරුදු වෙන්නේ කොහොමද?

අරපරෙස්සමින් වියදම් කරන්න පුරුදු වෙන්නේ කොහොමද?

19වෙනි පරිච්ඡේදය

අරපරෙස්සමින් වියදම් කරන්න පුරුදු වෙන්නේ කොහොමද?

වියදම් කරන්න තව සල්ලි තිබුණා නම් හොඳයි කියලා ඔයාට හිතිලා තියෙනවාද?

□ කවදාවත් හිතිලා නැහැ

□ ඉඳලා හිටලා හිතෙනවා

□ නිතරම හිතෙනවා

අතේ සල්ලි නැති වුණත් එක එක දේවල් ගන්න ඔයා පෙලඹෙනවාද?

□ කවදාවත් නැහැ

□ ඉඳලා හිටලා ගන්නවා

□ නිතරම ගන්නවා

ඔයාට අවශ්‍ය නැති වුණත් ‘සේල්’ දාලා තියෙන නිසා ඔයා දේවල් ගන්නවාද?

□ කවදාවත් නැහැ

□ ඉඳලා හිටලා ගන්නවා

□ නිතරම ගන්නවා

හිතේ හැටියට වියදම් කරන්න කොයි වෙලේවත් සල්ලි ඔයාගේ අතේ නැහැ කියලා ඔයාට හිතෙනවාද? එහෙම නැත්නම් තව කීයක් හරි වැඩියෙන් හම්බ වුණා නම් ඔයා ආස කරන එක එක දේවල් ගන්න තිබුණා කියලා හිතෙනවාද? එක යෞවනියක් මෙහෙම කියනවා. “මගේ යාළුවෝ එයාලත් එක්ක විනෝද වෙන්න යන්න මටත් එන්න කියනවා. මාත් ආසයි යන්න. ඒත් ඒවාට යන්න අතේ හොඳට සල්ලි තියෙන්න ඕනේ. සල්ලි නැති නිසා මට එන්න බැහැයි කියලා කියන්නත් ලැජ්ජයි.”

ඔයාට තව සල්ලි තිබුණා නම් කරන්න පුළුවන් දේවල් ගැන හිතහිත දුක් වෙන්නේ නැතුව ඔයාගේ අතේ තියෙන සල්ලි අරපරෙස්සමින් වියදම් කරන්න පුරුදු වෙන එක හොඳ දෙයක් නෙමෙයිද? සමහරවිට ඔයා හිතනවා ඇති වැඩිහිටි වයසට ආවම සල්ලි අරපරෙස්සමින් පාවිච්චි කරන්න ඉගෙනගන්න පුළුවන් කියලා. ඒත් ටිකක් හිතන්න, ඔයා පීනන්න දන්නේ නැතුව එකපාරටම ගිහින් ගඟකට පනිනවාද? පැන්නට පස්සේ අත පය එහෙට මෙහෙට ගහලා පීනගන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවාද? ඊට වඩා හොඳ නැද්ද ඒක කරන්න කලින් පීනන්න ටිකක් හරි පුරුදු වෙන එක?

ඒ වගේ තමයි සල්ලි අරපරෙස්සමින් පාවිච්චි කරන්න ඉගෙනගන්න ඔයා වැඩිහිටි වයසට එනකම් හිටියොත් ඒක කරන්න ඔයාට අමාරු වෙයි. ඒ නිසා දැන් ඉඳලම සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුරුදු වෙන එක තමයි හොඳම දේ. “මුදල ආරක්ෂාවක්” කියලා බයිබලයේ කියලා තියෙනවා. (දේශනාකාරයා 7:12) හැබැයි සල්ලි ආරක්ෂාවක් වෙන්නේ ඒක හරියට පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටියොත් විතරයි. සල්ලි අරපරෙස්සමින් පාවිච්චි කරද්දී ඔයා වගකීමෙන් වැඩ කරන කෙනෙක් කියන හැඟීම ඔයාට ඇති වෙයි. ඒ වගේම ඔයාගේ දෙමාපියන්ට ඔයා ගැන තියෙන විශ්වාසයත් තව වැඩි වෙයි.

අහලා දැනගන්න

ගෙදර වියදමට මාසෙට කොච්චර ගාණක් යනවාද කියලා ඔයා දෙමාපියන්ගෙන් අහලා තියෙනවාද? ලයිට්වලට, වතුරවලට කොච්චර ගෙවනවාද කියලා ඔයා දන්නවාද? කෑම බීමවලට, වාහනයක් තියෙනවා නම් ඒකට, කුලියට ඉන්නවා නම් ගෙවල් කුලිවලට, ගේ හදන්න ලෝන් එකක් අරන් තියෙනවා නම් ඒකට කොච්චර වියදමක් යනවාද කියලා ඔයා දන්නවාද? ඒ දේවල් ගැන ඔයාගේ දෙමාපියන්ගෙන් අහන්න. ගෙදර බිල් අරන් බලන්න. එයාලා ඒ වගේ අත්‍යවශ්‍ය දේවල්වලට හැම මාසෙකම සල්ලි වෙන් කරන්නේ කොහොමද කියලා අහන්න. මොකද කවදා හරි දවසක ඔයාටත් ඒක කරන්න වෙන නිසා ඒ ගැන දැනගෙන ඉන්න එක හොඳයි.

බයිබලයේ කියන්නේ, “ප්‍රඥාවන්ත කෙනෙක් උපදෙස්වලට සවන් දී තව තවත් ඉගෙනගනියි. හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා සෑමවිටම නිසි මඟ පෙන්වීම් ලබාගනියි” කියලයි. (හිතෝපදේශ 1:5) ඒ උපදෙස අදාළ කරගත්ත ඇනා, හිතලා බලලා සල්ලි පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙමාපියන්ගෙන් ඇහුවා. එයා මෙහෙම කියනවා. “බජට් එකක් හදලා අවශ්‍යම දේවල්වලට සල්ලි වෙන් කරන්නේ කොහොමද කියලා තාත්තා මට කියලා දුන්නා. කරපු වියදම්, කරන්න තියෙන වියදම් ලියලා තියාගන්න එක කොච්චර ප්‍රයෝජනවත්ද කියලත් තාත්තා මට පෙන්නලා දුන්නා.”

අරපරෙස්සමින් සල්ලි වියදම් කරන්න පුළුවන් කොහොමද කියලා ඇනාගේ අම්මත් එයාට කියලා දුන්නා. “කඩේකට ගිහින් එකපාරටම දෙයක් ගන්නේ නැතුව ඒක ඊට වඩා අඩුවට වෙන කඩවල තියෙනවාද කියලා බලන්න කියලා අම්මා මට ඉගැන්නුවා. අතේ පොඩි ගාණක් තිබුණත් ඒකෙන් ගොඩක් වැඩ කරගන්න අම්මා හොඳට දන්නවා” කියලා ඇනා කියනවා. දෙමාපියන්ගේ උපදෙස් ඇනාට උපකාරවත් වුණේ කොහොමද? ඒ ගැන ඇනා මෙහෙම කියනවා. “දැන් මට තනියම මගේ වියදම් බලාගන්න පුළුවන්. මං වියදම් කරන්නේ හොඳට හිතලා බලලයි. මං කාටවත් ණය නැති නිසා මගේ හිතටත් බරක් නැහැ.”

අභියෝග අඳුනගන්න

අරපරෙස්සමින් වියදම් කරන්න පුරුදු වෙන එක කියන තරම් ලේසි නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙදර වියදම්වලින් වැඩි හරියක්ම බලාගන්නේ ඔයාගේ දෙමාපියන් නම් ඔයාට කිසි බරක් නැති නිසා හම්බ වෙන සල්ලි හිතේ හැටියට වියදම් කරන්න ඔයා පෙලඹෙන්න පුළුවන්. අනික, හොඳට වියදම් කරලා කැමති කැමති දේවල් ගන්න කොට ඒක හරි විනෝදයි කියලා හිතෙනවා ඇති.

හැබැයි අතේ තියෙන ගාණට වඩා ඔයා වියදම් කරනවා නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර අය ඒ විදිහට වියදම් කරන්න පෙලඹෙන්නේ යාළුවෝ නිසයි. අවුරුදු 21ක් වයස එලෙනා මෙහෙම කියනවා. “මගේ යාළුවෝ විනෝද වෙන්න කරන්නේ සාප්පු සවාරි යන එක. එයාලා හිතන්නේ සල්ලි වියදම් කරන තරමට තමයි සතුට වැඩි කියලා.”

ඔයා යාළුවෝ එක්ක ඉද්දී ගොඩක් වියදම් කරන්නේ ඔයාට එහෙම කරන්න පුළුවන්කමක් තියෙන නිසාද නැත්නම් යාළුවෝ කරන නිසාද? ගොඩක් අය සල්ලි වියදම් කරන්නේ යාළුවෝ අතරේ හොඳ තැනක් තියාගන්න ඕන නිසයි. එයාලට ඕනේ හොඳ ගතිගුණ ඇති කරගෙන අනිත් අයගේ හිත දිනාගන්නවා වෙනුවට තියෙන දේවල් පෙන්නලා පිළිගැනීම ලබාගන්නයි. යාළුවෝ නිසා ඔයාත් අත දිග ඇරලා වියදම් කරන්න පුරුදු වුණොත් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඔයා ඒ විදිහට වියදම් කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ණයට අරගෙන හරි නම් ඒක භයානකයි.

වියදම් පාලනය කරන්න

දහ අතේ ණය වෙනවට, පඩිය එක දවසින් වියදම් කරනවට, ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන්න පුළුවන් උපරිමෙන් වියදම් කරනවට වඩා හොඳ නැද්ද එලෙනා වගේ වියදම් පාලනය කරන්න ඉගෙනගන්න එක. එයා මෙහෙම කියනවා. “මං යාළුවොත් එක්ක විනෝද වෙන්න යන්න ඉස්සෙල්ලා වියදම් කරන්නේ මෙච්චරයි කියලා තීරණය කරනවා. මං අරං යන්නේ ඒ ගාණ විතරයි. ඒ විතරක් නෙමෙයි සාප්පු සවාරි යද්දී මං යන්නේ හැම කඩේකටම වගේ ගිහින් හොඳට හොයලා බලලා බඩු ගන්න, පරෙස්සමින් සල්ලි වියදම් කරන අය එක්ක.”

ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් මේ දේවල් ප්‍රයෝජනවත් වෙයි.

● ඔයා කාඩ් එක පාවිච්චි කරලා ගත්ත බඩුවල වාර්තාවක් තියාගන්න. මාසේ අන්තිමට බැංකුවෙන් හම්බ වෙන වාර්තාවත් එක්ක ඔයාගේ වාර්තාව සසඳලා බලන්න. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයා ගෙවන්නේ ගත්ත බඩුවලටමද කියලා.

● කාඩ් එකේ බිල පුළුවන් තරම් ඉක්මනට ගෙවන්න. පුළුවන් නම් සම්පූර්ණ ගාණම එකපාර ගෙවන්න.

● ක්‍රෙඩිට් කාඩ් නොම්බරේ හරි ඒකේ කල් ඉකුත් වෙන දවස හරි ෆෝන් එකෙන් නැත්නම් ඔන්ලයින් එකෙන් දෙන කොට ගොඩක් පරෙස්සම් වෙන්න.

● ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා සල්ලි ගන්න එපා. මොකද සල්ලි ගත්තම ගෙවන්න වෙන පොලිය ගොඩක් වැඩියි.

● ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක වෙන කාටවත් දෙන්න එපා.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් සල්ලි ටිකක් වැඩියෙන් තියෙනවා නම් වියදම් පාලනය කරන්න ඉගෙනගන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේ උදාහරණය ගැන ටිකක් හිතන්න. කාර් එකක ටැංකිය පිරෙන්න පෙට්‍රල් තිබුණට ඒක එළවන කෙනා පාලනයක් නැතුව හරි ඇස් බැඳගෙන හරි එළෙව්වොත් අනතුරක් නැතුව එයාට ගමන යන්න බැහැ. ඒ වගේ තමයි කොච්චර සල්ලි තිබුණත් අරපරෙස්සමින් වියදම් කරන්න දන්නේ නැත්නම් අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

සමහරවිට ඔයා හිතනවා ඇති ඔයා සල්ලි වියදම් කරන්නේ හොඳට හිතලා බලලා කියලා. ගිය මාසේ ඔයා කීයක් වියදම් කළාද, වියදම් කළේ මොනවටද කියලා ටිකක් කල්පනා කරලා බලන්න. ඔයාට ඒවා මතක නැද්ද? එහෙමනම් සල්ලි අරපරෙස්සමින් වියදම් කරන්න මේ යෝජනා අදාළ කරගෙන බලන්න.

1. වාර්තාවක් හදාගන්න. ඔයාට හම්බ වුණු සල්ලි ගාණයි ඒක හම්බ වුණේ කවදාද කියලයි ලියාගන්න. ඊටපස්සේ මාසේ පුරා ඔයා ගත්තේ මොනවාද කියලත් ඒවාට කීයක් ගියාද කියලත් ලියන්න. මාසේ අන්තිමට ඔයාට ලැබුණු ගාණයි ඔයා වියදම් කරපු ගාණයි එකතු කරලා බලන්න. මේ විදිහට අඩුම තරමින් එක මාසෙකට හරි වාර්තාවක් හදාගන්න.

2. බජට් එකක් හදාගන්න.  එකසිය හැටතුන්වෙනි පිටුවේ තියෙන කොටුව බලන්න. මාසෙකට ඔයාට සල්ලි කොච්චරක් හම්බ වෙනවාද කියලා පළවෙනි තීරුවේ ලියන්න. දෙවෙනි තීරුවේ, එක එක දේවල්වලට ඔයා වියදම් කරන්න හිතාගෙන ඉන්න ගාණ වෙන වෙනම ලියන්න. (ඒවාට කොච්චරක් විතර වියදම් වෙයිද කියලා හිතාගන්න පළවෙනි යෝජනාවේ කියපු විදිහට හදාගත්ත වාර්තාව උදව් වෙයි.) මාසේ අන්තිමට ඒවාට ඇත්තටම කොච්චර වියදම් කළාද කියලා තුන්වෙනි තීරුවේ ලියන්න. ඔයා වියදම් කරන්න හිතපු නැති දේවල්වලටත් වියදම් වුණා නම් ඒකත් ලියන්න.

3. වියදම අඩු කරන්න. සමහර දේවල්වලට ඔයා හිතුවට වඩා වියදම් කරලා නම් නැත්නම් ඔයා ණය වෙලා නම් ඔයාගේ වියදම් අඩු කරගන්න. ණය ඉක්මනින් ගෙවන්න. ආයෙත් ණය වෙලා දේවල් කරන්නේ නැතුව ඉන්න වගබලා ගන්න.

සල්ලිවලින් ප්‍රයෝජන තියෙනවා. හැබැයි ඒකට සල්ලි හරි විදිහට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න ඕනේ. හුඟක් අය සල්ලි හම්බ කරන එක, අරපිරිමැස්මෙන් වියදම් කරන එක සලකන්නේ හරිම වැදගත් දේවල් විදිහටයි. හැබැයි මැතිව් කියන යෞවනයා කියන මේ දේ අමතක කරන්න එපා. “සල්ලි ප්‍රයෝජනවත් තමයි. ඒත් ඒක ජීවිතේ වැදගත්ම දේ නෙමෙයි. යෙහෝවා දෙවිට දෙන තැනයි පවුලේ අයට දෙන තැනයි කවදාවත් සල්ලිවලට දෙන්න හොඳ නැහැ.”

ඊළඟ පරිච්ඡේදය

ඔයා දුප්පත් පවුලක කෙනෙක්ද? එහෙමනම් ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කොහොමද?

බයිබල් උපදෙස

“මුදල ආරක්ෂාවක් . . . නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.”—දේශනාකාරයා 7:12.

යෝජනාවක්

බඩු ගන්න යන්න ඉස්සෙල්ලා ගන්න ඕනෙ මොනවාද කියලා ලියාගන්න. ඒ බඩු ටික ගන්න ඕන කරන ගාණ විතරක් අරන් යන්න. ලියාගත්ත බඩු විතරක් ගන්න.

මේක දැනගෙන හිටියාද?

ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල රුපියල් 1,00,000 කියලා හිතන්න. ඒකට පොලිය 2%ක් නම් මාසෙකට ගෙවන්න ඕන අඩුම ගාණ ඔයා ගෙව්වොත් ඔයාට ඒක ගෙවලා ඉවර කරන්න අවුරුදු 8 1/2 යනවා. ඒ වෙන කොට ඔයා 62,900ක් වැඩිපුර ගෙවලා තියෙයි.

ඔයාට වැඩක්!

මගේ වියදම අඩු කරන්න මං මෙහෙම කරනවා ․․․․․

ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා මොකක් හරි ගන්න කලින් මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● දැන් ඉඳලම සල්ලි අරපරෙස්සමින් වියදම් කරන්න ඉගෙනගන්න ඕනේ ඇයි?

● සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක ඔයාට අමාරු වෙන්න පුළුවන් ඇයි?

● ඔයාට තියෙන සල්ලිවලින් අනිත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

[162වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘බජට් එකක් හදලා ඒකේ විදිහට වියදම් කරද්දී ඉතිරියක් තියෙනවා. අවශ්‍ය නැති දේවල්වලට වියදම් කරන්නේ නැතුව ඉන්න එතකොට පුළුවන්.’’—ලියා

[158වන පිටුවේ කොටුව]

සල්ලිවලින් ඔයා ගැන හෙළි වෙන දේ

ඔයාට තියෙන සල්ලි ඔයා නිතරම පාවිච්චි කරන්නේ අනිත් අයට උදව් කරන්න නම් ඒකෙන් තේරෙන්නේ ඔයා ඇත්තටම අනිත් අය ගැන සැලකිලිමත් කියලයි. (යාකොබ් 2:14-17) ඒ වගේම ඔයා සැබෑ නමස්කාරයේ වැඩවලට සම්මාදම් කරනවා නම්, ‘ඔයාට තියෙන වටිනා දේවල් යෙහෝවා දෙවිට ලබා දී ඔහුව ගෞරවයට පත් කරනවා’ කියලා ඒකෙන් හෙළි වෙනවා. (හිතෝපදේශ 3:9) හැබැයි ඔයා නිතරම සල්ලි වියදම් කරන්නේ ඔයාට ඕන දේවල්, ඔයා කැමති දේවල් ගන්න විතරක් නම් ඒකෙන් තේරෙන්නේ ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි කියලයි.

[163වන පිටුවේ වගුව⁄පින්තූරය]

 ඔබේ සටහන්

මගේ මාසේ බජට් එක

පිටපත් කරන්න!

ලැබෙන සල්ලි

ගෙදරින්

ජොබ් එකෙන්

වෙනත්

එකතුව

රු.․․․․․

වියදම් කරන්න හිතාගෙන ඉන්න ගාණ

කෑමට

․․․․․

ඇඳුම්වලට

․․․․․

ෆෝන් එකට

․․․․․

විනෝදයට

․․․․․

සම්මාදම්

․․․․․

ඉතිරි කිරීමට

․․․․․

වෙනත්

․․․․․

එකතුව

රු.․․․․․

වියදම් වුණු ගාණ

කෑමට

․․․․․

ඇඳුම්වලට

․․․․․

ෆෝන් එකට

․․․․․

විනෝදයට

․․․․․

සම්මාදම්

․․․․․

ඉතිරි කිරීමට

․․․․․

වෙනත්

․․․․․

එකතුව

රු.․․․․․

[160වන පිටුවේ පින්තූරය]

කිසිම පාලනයක් නැතුව සල්ලි වියදම් කරන එක හරියට ඇස් බැඳගෙන කාර් එකක් එළවනවා වගේ