Skip to content

පටුනට යන්න

මගේ වියදමට සල්ලි හොයාගන්නේ කොහොමද?

මගේ වියදමට සල්ලි හොයාගන්නේ කොහොමද?

18වෙනි පරිච්ඡේදය

මගේ වියදමට සල්ලි හොයාගන්නේ කොහොමද?

“සාප්පු සවාරි ගිහින් එක එක දේවල් ගන්න මං හරි ආසයි.”—ලෝරිඈන්.

“කඩවල තියෙන සමහර දේවල් දැක්කම ආස හිතෙනවා. ඒත් ඒවා අරං දෙන්න අම්මලා ගාව සල්ලි නැහැ.”—මයික්.

සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලා ඔයාට හිතිලා තියෙනවාද? සමහරවිට ඔයාට එහෙම හිතුණේ ගෙදර වියදමට කීයක් හරි දෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණු නිසා වෙන්න ඇති. නැත්නම් දෙමාපියන්ට බරක් වෙන්නේ නැතුව ඔයාට ඕන කරන දේවල් ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණු නිසා වෙන්න ඇති.

‘දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන’ අයගේ ඕනෑ එපාකම් දෙවි බලාගන්නවා කියලා යේසුස් කිව්වා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි කිසි වැඩක් පළක් කරන්නේ නැතුව ඔහේ හිටියට අපිට ඕන දේවල් අහසින් වැටෙනවා කියලා. අපිට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. (මතෙව් 6:33; ක්‍රියා 18:1-3; 2 තෙසලෝනික 3:10) ඒක ඔයාට කරන්න පුළුවන් කොහොමද?

මේවා කරලා බලන්න

ඔයාට ඕන දේවල් ගන්න නැත්නම් ගෙදර වියදමට කීයක් හරි දෙන්න ඔයා පොඩි වැඩක් කරන්න කැමතියි කියලා දෙමාපියන්ට කියන්න. එයාලා ඒ අදහසට කැමති නම් එහෙම වැඩ කරන්න ඔයාට නීතියෙන් අවසර තියෙනවා නම් මේ යෝජනා හතර අදාළ කරගන්න.

අනිත් අයට කියන්න. ඔයා පොඩි ජොබ් එකක් හොයනවා කියලා දන්න අඳුනන අයට කියන්න. ඒ ගැන කෙළින්ම කියන්න ලැජ්ජයි නම් ඔයාගේ වයසේදී එයාලා මොනවා හරි ජොබ් එකක් කරලා තියෙනවාද කියලා නිකං අහන්න. වැඩිදෙනෙකුට කියන තරමට ජොබ් එකක් හොයාගන්න තියෙන චාන්ස් එකත් වැඩියි.

හොයලා බලන්න. රැකියා අවස්ථාවන් ගැන පත්තරවල, ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන දැන්වීම් කියවලා ඒවාට ලියන්න. කඩසාප්පුවල සේවක සේවිකාවන් අවශ්‍යයි කියලා දැන්වීම් දාලා තියෙනවා නම් ගිහින් කතා කරලා බලන්න. ඩේව් කියන යෞවනයා මෙහෙම කියනවා. “පත්තරවල ජොබ් ගැන දාලා තියෙන දැන්වීම්වලට මං අයදුම්පත් යැව්වා. සමහර ඒවාට මං කෝල් කරලා බැලුවා. මට පොඩි ජොබ් එකක් හොයාගන්න පුළුවන් වුණේ එහෙමයි.”

ඔයාගේ විස්තර තියෙන ලියවිල්ලක් හදලා අනිත් අයට දෙන්න. ඒකට ඔයාගේ ලිපිනය, ටෙලිෆෝන් නොම්බරේ, ඔයාට තියෙන දක්ෂතා, හැකියාවන්, ඔයා කලින් වැඩ කරලා තියෙනවා නම් ඒ විස්තර දාන්න. සමහරවිට ඔයාට හිතෙයි ඒ වගේ ලියවිල්ලකට දාන්න තරම් දක්ෂතා, හැකියාවන් ඔයාට තියෙනවාද කියලා. ඉස්කෝලේදී හරි ගෙදරදී හරි ඔයාට දීපු වැඩක් ඔයා හරියට කරලා ඇති. ඒ කියන්නේ ඔයා වගකීමක් කරට අරන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. සමහරවිට කැඩිච්ච උපකරණයක් ඔයා තාත්තා එක්ක එකතු වෙලා හදලා ඇති. ඒකෙන් තේරෙන්නේ ඒ වගේ වැඩ කරන්නත් ඔයා දක්ෂයි කියලයි. ඔයා ටයිප් කරන්න දන්නවාද? කොම්පියුටර් වැඩ ඔයාට පුළුවන්ද? නැත්නම් ඉස්කෝලේ කරපු ප්‍රොජෙක්ට් එකකට ඔයා හොඳ ලකුණු අරන් තියෙනවාද? ඒ හැම දෙයක්ම ඔයා හදන ලියවිල්ලට දාන්න පුළුවන්. මොකද ජොබ් එකකට කෙනෙක්ව ගද්දී ඒ වගේ සුදුසුකම් බලනවා. ඔයා හදන ඒ ලියවිල්ල ඔයා දන්න අඳුනන අයට දීලා එයාලට කියන්න ඒගොල්ලෝ දන්න කියන කෙනෙක් ජොබ් එකකට කාව හරි හොයනවා නම් ඒක දෙන්න කියලා. ඒ වගේම සමහර ආයතනවලටත් ඒ ලියවිල්ල දෙන්න ඔයාට පුළුවන්.

ඔයාගෙම වැඩක් පටන්ගන්න. ඔයාට මොනවා හරි සංගීත භාණ්ඩයක් හොඳට වාදනය කරන්න පුළුවන්ද? ඔයා ගණිතයට, ඉංග්‍රීසිවලට නැත්නම් වෙන මොනවා හරි විෂයකට දක්ෂද? එහෙමනම් ඔයාට පුළුවන් ළමයිට ටියුෂන් ක්ලාස් කරන්න. ඒ වගේම සතුන්ව ඇති කරලත් ඔයාට පොඩි ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් අය කරන්න එච්චර කැමති නැති වැඩ, උදාහරණයකට වතු සුද්ද කරන වගේ වැඩ කරලත් ඔයාට කීයක් හරි හොයාගන්න පුළුවන්. ඒ වගේ වැඩ කරන්න ලැජ්ජ වෙන්න එපා. මොකද වෙහෙස මහන්සි වෙලා තමන්ගේ දෑතින් වැඩ කරන එක හොඳ දෙයක් කියලයි බයිබලයේ කියන්නේ. (එෆීස 4:28) ඒ විදිහට ඔයාගෙම වැඩක් පටන්ගන්න නම් උනන්දුව, උත්සාහය තියෙන්න ඕන වගේම කැපවීමෙන් වැඩක් කරන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ.

ඔයාගෙම වැඩක් පටන්ගන්න හදිස්සි වෙන්න එපා. ඒ ගැන හොඳට හිතලා බලන්න. ඒ වගේ දෙයක් පටන්ගන්න යන වියදම, ඒකට අයිති අමතර දේවල් ගැනත් කල්පනා කරන්න. (ලූක් 14:28-30) ඔයා පටන්ගන්න හිතාගෙන ඉන්න දේ ගැන දෙමාපියන් එක්ක කතා කරන්න. ඒ වගේ වැඩක් වෙන කවුරු හරි කරලා තියෙනවා නම් ඒ අය එක්කත් කතා කරන්න. ඒ වැඩේට ඔයාට බදු ගෙවන්න වෙයිද, ඔයාට පර්මිට් එකක් ඕනේ වෙයිද කියලත් හොයලා බලන්න.—රෝම 13:1.

වැදගත් දේවල් අතපසු කරන්න එපා

බයිසිකලයක් පදින ගමන් ඔයා බඩු ගොඩක් අරගෙන යන්න හදනවා කියලා හිතන්න. ඔයාට ඒක කරන්න පුළුවන් වෙයිද? ඔයා අරගෙන යන බඩු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න බයිසිකලේ බැලන්ස් කරන එක අමාරුයි. ඒ වගේ තමයි ඔයාත් ඔයාගේ කාලය, ශ්‍රමය ගොඩක් වැය වෙන ජොබ් එකක් හරි වැඩක් හරි පටන්ගත්තොත් අනිත් දේවල් හරියට කරගන්න බැරි වෙයි. ඒකෙන් ඔයාට ඉස්කෝලේ වැඩ අතපසු වෙන්නත් ඔයා ලෙඩ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට බයිබලය කියවන එක, රැස්වීම්වලට යන එක, දේවසේවේ හවුල් වෙන එක අතපසු වෙන්න පුළුවන්. එක යෞවනියකට එහෙම වුණා. “ඉස්කෝලේ යන ගමන් ගොඩක් මහන්සි වෙන ජොබ් එකක් මං කරන්න ගිය නිසා මට හුඟක් වෙලාවට රැස්වීම්වලට යන්න හම්බ වුණේ නැහැ” කියලා එයා කිව්වා.

ඔයාගේ වියදමට සල්ලි හොයාගන්න තියෙන ආසාව නිසා වැදගත් දේවල් අතපසු කරලා වැඩ මත්තෙම නහින්න එපා. මොකද එහෙම කරලා ජීවිතේ සතුට අද්දකින්න බැහැ. යේසුස් කිව්වේ, “දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලයි. (මතෙව් 5:3) ඒ වගේම, “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ” කියලත් යේසුස් කිව්වා. (ලූක් 12:15) ඒක හොඳට හිතට ගත්ත මොරින් මෙහෙම කියනවා. “මං දන්නවා සල්ලි පස්සේ දුවන්න පටන්ගත්තොත් දෙවිට සේවය කරන්න මට කාලේ නැති වෙනවා කියලා. එහෙම වෙන්න මං කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.”

සමහරක් රටවල ජීවත් වෙන යෞවන යෞවනියන්ට ගෙදර වියදම් පිරිමහන්න පැය ගාණක් වැඩ කරන්න වෙනවා. හැබැයි ඔයා ඒ වගේ පසුබිමකින් එන්නේ නැති කෙනෙක් නම් පැය ගාණක් වැඩ කරලා සල්ලි හොයන එකේ තේරුමක් තියෙනවාද? සමීක්ෂණවලින් පෙන්නන්නේ ඉස්කෝලේ යන ගමන් සතියකට පැය 20කට වඩා වැඩ කරන එකෙන් වෙන හානිය ප්‍රයෝජනවලට වඩා වැඩියි කියලයි. බයිබලයේ කියන්නෙත්, ‘වෙහෙස මහන්සි වෙලා බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳයි’ කියලයි.—දේශනාකාරයා 4:6.

ඔයාත් ‘ධනය පසුපස හඹා ගියොත්’ යෙහෝවා දෙවිට සේවය කරන්න ඔයාට තියෙන උනන්දුව ටිකෙන් ටික අඩු වෙලා යයි. (මාක් 4:19) ඒ නිසා ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ මොකක් හරි වැඩක් කරලා අතට කීයක් හරි හොයාගන්න ඔයාට අදහසක් තියෙනවා නම් බයිබලය කියවන එක, රැස්වීම්, දේවසේවේ යන එක වගේ වැදගත් දේවල් අතපසු වෙන්නේ නැති විදිහට වැඩ සැලසුම් කරන්න. එහෙම කරන්න උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කරන්න. එතකොට වැදගත් දේවල් අතපසු කරන්නේ නැතුව හරි ගාණට දේවල් කරන්න දෙවි ඔයාට උදව් කරයි.

තවත් දැනගන්න 1වෙනි පොතේ 21වෙනි පරිච්ඡේදය බලන්න

ඊළඟ පරිච්ඡේදය

සල්ලි කීයක් හරි අතේ තියෙද්දී ඔයා ඔහේ වියදම් කරනවාද? අරපරෙස්සමින් වියදම් කරන්න පුළුවන් කොහොමද?

බයිබල් උපදෙස

“අලසයාට දහසකුත් ආශාවන් තිබුණත් ඔහුට ඒ කිසිවක් ලැබෙන්නේ නැත. නමුත් උත්සාහවන්තයාගේ ආශාවන් ඉෂ්ට වෙයි.”—හිතෝපදේශ 13:4.

යෝජනාවක්

ඇබෑර්තු ඇත කියලා දැන්වීම් දාලා නැති ආයතනවලටත් ඔයාගේ විස්තර තියෙන ලියවිල්ල යවන්න.

මේක දැනගෙන හිටියාද?

සමහර ආයතනවල ඇබෑර්තු තිබුණට වැඩි හරියක් ඒවාට දැන්වීම් දාන්නේ නැහැ. රැකියා 100ක් තියෙනවා නම් දැන්වීම් දාන්නේ 15කට විතරයි.

ඔයාට වැඩක්!

මං මෙහෙම කළොත් ජොබ් එකක් හොයාගන්න තියෙන ඉඩකඩ වැඩියි ․․․․․

මං සතියකට වැඩ කරන්නේ පැය ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● සල්ලි ටිකක් හොයාගත්තොත් හොඳයි කියලා ඔයාට හිතෙන්නේ ඇයි?

● ජොබ් එකක් කළොත් ඔයාට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද?

● සල්ලිවලට ආසාවක් ඇති කරගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන් කොහොමද?

[153වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්නේ නැතුව අලුත් අලුත් දේවල් ගන්න හදනවා නම් කවදාවත් සතුටින් ඉන්න බැහැ. මොකද හැමදාම ගන්න තව අලුත් දෙයක් තියෙනවා.’’—ජොනතන්

[155වන පිටුවේ කොටුව]

සල්ලිවලට ආසාව, ජීවිතේට වේදනාව

දක්ෂ සූපවේදියෙකුට මුවහත් පිහිය වටිනා ආයුධයක්. ඒත් මුවහත් පිහියක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැති කෙනෙක්ට ඒකෙන් අනතුරක් වෙන්න පුළුවන්. සල්ලිත් හරියට මුවහත් පිහියක් වගේ. ඒකෙන් ප්‍රයෝජන තිබුණට පරෙස්සම් වුණේ නැත්නම් හානියක් වෙන්න පුළුවන්. සල්ලිවලට තියෙන ආසාව නිසා සමහර අය යාළුකම්, පවුල් බැඳීම් නැති කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවිගෙන් ඈත් වෙලා තියෙනවා. අන්තිමේදී ඒගොල්ලෝ ‘පිහියකින් ඇනගන්න කොට ඇති වෙන වේදනාවට සමාන වේදනාවක් අද්දකිනවා.’ (1 තිමෝති 6:9, 10) ඒකෙන් තේරෙන්නේ සල්ලි අවශ්‍ය වුණාට ඒකට ආස කළොත් ජීවිතේට වේදනාව එකතු වෙනවා කියලයි.

[153වන පිටුවේ පින්තූරය]

පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් දේවල් කරන්න ගියොත් ඔයාට එකක්වත් හරියට කරන්න බැරි වෙයි