Skip to content

පටුනට යන්න

කේන්තිය, දුක පාලනය කරගන්නේ කොහොමද?

කේන්තිය, දුක පාලනය කරගන්නේ කොහොමද?

26වෙනි පරිච්ඡේදය

කේන්තිය, දුක පාලනය කරගන්නේ කොහොමද?

ගින්දර කියන්නේ ප්‍රයෝජනවත් දෙයක්. උදාහරණයකට උයන්න පිහන්න ගින්දර නැතුවම බැහැ. හැබැයි ගින්දර ඔහේ ඇවිළෙන්න ඉඩහැරියොත් ඒකෙන් ලොකු හානියක් වුණත් වෙන්න පුළුවන්.

හැඟීම් කියන්නෙත් ගින්දර වගේ දෙයක්. ඒවා පාලනය කරගත්තොත් අනිත් අයත් එක්ක පෑහිලා සතුටින් ඉන්න පුළුවන්. හැබැයි පාලනය කරගත්තේ නැත්නම් ඒකෙන් හානියක් වෙන්න පුළුවන්.

යොවුන් වියේ ඉන්න ඔයාටත් දුක, වේදනාව, කේන්තිය වගේ හැඟීම් නිතරම ඇති වෙන්න පුළුවන්. ඒවා පාලනය කරගන්න ඉගෙනගන්න එක හරිම වැදගත්. ඒක කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.

කේන්තියක් ඇති වෙද්දී

කෙනෙක් මොකක් හරි අසාධාරණයකට මුහුණ දෙද්දී එයාට ලොකු වේදනාවක්, දුකක් දැනෙනවා. සමහරක් අයට ඒ වගේ වෙලාවලදී ගොඩක් කේන්ති යනවා. (හිතෝපදේශ 22:24; 29:22) ඒක හරිම භයානක දෙයක්. මොකද ඒ වගේ කේන්ති ගියාම කරන්නේ මොනවාද කියලවත් ඒ කෙනාට තේරෙන්නේ නැහැ. ඔයාත් මොකක් හරි අසාධාරණයකට මුහුණ දෙන කොට ඔයාට ඇති වෙන කේන්තිය පාලනය කරගන්න පුළුවන් කොහොමද?

වෙච්ච දේ අමතක කරලා දාන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න. * (ගීතාවලිය 4:4) එහෙම කරද්දී දෙවිට යාච්ඤා කරන එකත් හරිම වැදගත්. සමහරවිට ඔයාට හිතෙයි වෙච්ච දේ අමතක කරලා කේන්තිය හිතින් අහක් කරගන්න එක තමයි හොඳම දේ කියලා. එහෙම කරන එකෙන් ඔයාට ලොකු සහනයක් අද්දකින්න පුළුවන්. (ගීතාවලිය 37:8) එකට එක කරන එකෙන් වෙන්නේ ප්‍රශ්නේ තවත් දුර දිග යන එක විතරයි.—1 තෙසලෝනික 5:15.

හැබැයි වෙච්ච දේ අමතක කරලා දාන්න බැරි නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්? බයිබලයේ කියන්නේ, “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත” කියලයි. (දේශනාකාරයා 3:7) ඒ නිසා පුළුවන් නම් ඔයාට රිද්දපු කෙනාත් එක්ක ඒ ගැන කතා කරන්න. ඒක නුවණට හුරු දෙයක් නෙමෙයි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාගේ දෙමාපියන් එක්ක හරි විශ්වාසවන්ත යාළුවෙක් එක්ක හරි ඒ ගැන කතා කරන්න. ඔයාට රිද්දන කෙනා ඒක කරන්නේ හිතාමතාමයි කියලා ඔයාට තේරුණොත් වෙනදට වඩා එයාට කාරුණිකව සලකන්න උත්සාහ කරන්න. ඔයාට කේන්ති යන්නේ මොන වගේ දේවලටද කියලා අඳුනගන්නත් කේන්තිය පාලනය කරගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන හිතලා බලන්නත්  221වෙනි පිටුවේ තියෙන කොටුව ඔයාට උදව් වෙයි.

ඔයාට රිද්දපු කෙනා ගැන හිතේ තරහක් තියාගන්නේ නැතුව ඉන්න ඔයාට උදව් කරන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් කියන්න. ඒ වගේම මේකත් මතක තියාගන්න. වෙච්ච දේ ඔයාට වෙනස් කරන්න බැහැ. හැබැයි වෙච්ච දේ ගැන ඔයාට හැඟෙන විදිහ වෙනස් කරන්න පුළුවන්. ඔයා දිගින් දිගටම ඒ ගැන හිතහිත තරහෙන් හිටියොත් ඔයා හරියට බිලි කටුවකට අහු වුණු, මුකුත් කරකියාගන්න බැරි මාළුවෙක් වගේ. මොකද එතකොට ඔයාව පාලනය කරන්නේ ඔයාට රිද්දන කෙනයි. ඊට වඩා හොඳ නැද්ද ඔයාගේ හැඟීම් ඔයාම පාලනය කරගන්න එක.—රෝම 12:19.

දුකක් දැනෙද්දී

“ළඟකදී ඉඳලා මට කිසිම දෙයක් කරන්න ආසාවක් නැහැ. මට මාවම එපා වෙලා. සමහර දවස්වල මං නිදාගන්න ගියාම හොඳටම අඬනවා.” එහෙම කිව්වේ ලෝරා. හුඟක් යෞවනයන්ට ලෝරාට හැඟුණු විදිහට හැඟෙනවා. දෙමාපියන්, ගුරුවරුන්, යාළුවන් එයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් නිසාත් නව යොවුන් වියට එද්දී ශරීරයේ, හැඟීම්වල වෙන වෙනස්කම් නිසාත් පොඩි පොඩි අඩුපාඩුකම් වෙද්දී තමන්ට මුකුත් හරියට කරන්න බැහැ කියලා හැඟෙන නිසාත් යෞවනයන්ට ලොකු කලකිරීමක්, දුකක් දැනෙනවා. සමහරවිට ඔයාටත් ඒ වගේ හැඟීම් ඇති වෙනවා ඇති.

කලකිරීමක්, දුකක් දැනෙද්දී සමහර යෞවනයන් ඒගොල්ලන්ටම රිද්දවගන්නවා. * එහෙම කරන්නේ ඒගොල්ලන්ට දැනෙන මානසික පීඩනය පිට කරන්නයි. ඔයාටත් පවුලේ අය නිසා හරි යාළුවෝ නිසා හරි දරාගන්න බැරි ලොකු පීඩනයක් දැනෙද්දී ඒක පිට කරන්න ඔයා ඔයාවම රිද්දවගන්නවාද?

එහෙමනම් ඒ වගේ පීඩනයක් දැනෙද්දී අම්මා හරි තාත්තා හරි එක්ක නැත්නම් සභාවේ ඉන්න අද්දැකීම් තියෙන කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන්න. එහෙම කතා කරද්දී ඔයාට දැනෙයි එයාලා හරියට ‘විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයන්’ වගේ කියලා. (හිතෝපදේශ 17:17) අවුරුදු 16ක් වයස ලිලියානා එයාගේ හිතට දැනුණු වේදනාව ගැන සභාවේ වැඩිහිටි සහෝදරියන් කීපදෙනෙක් එක්ක කතා කළා. එයා මෙහෙම කියනවා. “එයාලා මට වඩා වයසින් වැඩි අය නිසා ඒගොල්ලෝ දීපු මඟ පෙන්වීම් මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. දැන් එයාලා මගේ හොඳ යාළුවෝ.” * ඩේන් කියන යෞවනියට එයාට දැනුණු දුක, කලකිරීම අඩු කරගන්න පුළුවන් වුණේ එයා වැඩිපුර දේවසේවේ ගිය නිසයි. ඒ ගැන එයා මෙහෙම කියනවා. “වැඩිපුර සේවේ ගිය කාලේ තමයි මගේ ජීවිතේ සතුටුම කාලේ.”

දරාගන්න බැරි තරමටම දුකක් දැනෙන වෙලාවලදී යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න අමතක කරන්න එපා. ගොඩක් ප්‍රශ්න ගැටලු අද්දැක්ක, දෙවිගේ සේවකයෙක් වුණු දාවිත් මෙහෙම කිව්වා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය.” (ගීතාවලිය 55:22) ඔයාට දැනෙන දුක ගැන යෙහෝවා දෙවි දන්නවා. ඒ විතරක් නෙමෙයි දෙවි ‘ඔයා ගැන සැලකිලිමත්.’ (1 පේතෘස් 5:7) සමහර වෙලාවට ඔයාට ඔයා ගැනම ලොකු කලකිරීමක් දැනෙන්න පුළුවන්. එහෙම වෙලාවලදී යෙහෝවා දෙවි ‘ඔයාට වඩා හොඳට ඔයාගේ හිත ගැන දන්නවා’ කියලත් ඔයාගේ හැඟීම් ඔහු තේරුම්ගන්නවා කියලත් මතක තියාගන්න. (1 යොහන් 3:20) ඔයාට දැනෙන වේදනාව ඔයාගෙන් අහක් කරන්න දෙවිට පුළුවන්.

ඔයාට දැනෙන දුක, කලකිරීම කාලයක් පුරා තියෙන දෙයක් නම් සමහරවිට ඒකට හේතුව සෞඛ්‍ය ගැටලුවක් වෙන්න පුළුවන්. උදාහරණයකට ඔයාට තියෙන්නේ මානසික අවපීඩනය වෙන්න ඇති. * එහෙමනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක හොඳ දෙයක්. ඒ වගේ සෞඛ්‍ය ගැටලුවක් තියෙන එක ගැන ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මානසික අවපීඩනය හරි ඒ වගේ වෙන සෞඛ්‍ය ගැටලුවක් හරි තිබුණු ගොඩක් යෞවනයන් ප්‍රතිකාර අරගෙන ඒකෙන් ගොඩ ඇවිත් තියෙනවා. හැබැයි ඔයාට තියෙන ගැටලුව ඔයා ගනන් ගන්නේ නැතුව හිටියොත් තත්වේ තවත් බරපතළ වෙන්න පුළුවන්.

හැඟීම් හරියට ගින්දර වගේ. පාලනය කරගත්තොත් ප්‍රයෝජනවත්. හැබැයි පාලනය කරගන්න බැරුව ගියොත් ප්‍රශ්න ගොඩයි. ඒ නිසා හැඟීම්වලට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැතුව ඔයා හැඟීම් පාලනය කරගන්න ඉගෙනගන්න. හැබැයි ඒක දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට කාලයක් යයි.

ඊළඟ පරිච්ඡේදය

ඔයා හැම දෙයක්ම කිසිම අඩුවක් නැතුව තිතටම කරන්න හදන කෙනෙක්ද? ඔයාගේ අතින් අඩුපාඩුවක් වුණාම ඒක දරාගන්න ඉගෙනගන්නේ කොහොමද?

[පාදසටහන්වල]

^ 8 ඡේ. ඔයාට කේන්ති යන්නේ ළමයි ඔයාට කරදර, හිරිහැර කරන නිසා නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න මේ පොතේ 14වෙනි පරිච්ඡේදය කියවන්න. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් කරපු කියපු දෙයක් නිසා ඔයාට කේන්තියක් දැනෙනවා නම් 10වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.

^ 13 ඡේ. ඇඟ කපාගෙන, පුච්චගෙන, සූරගෙන, තමන්ටම ගහගෙන වගේ ක්‍රමවලින් තමන්වම රිද්දවගන්නවා.

^ 14 ඡේ. ඔයාගේ හැඟීම් ගැන තව කෙනෙක් එක්ක ඔයාට කෙළින් කතා කරන්න බැරි නම් ඒ ගැන ලියුමක ලියන්න. නැත්නම් ෆෝන් එකෙන් කියන්න. කෙනෙක්ව විශ්වාස කරලා ඔයාගේ හිතේ තියෙන දේවල් කියන එක තමයි ඔයාට දැනෙන දුක අඩු කරගන්න තියෙන මුල්ම පියවර.

^ 16 ඡේ. මානසික අවපීඩනය ගැන තව දැනගන්න 1වෙනි පොතේ 13වෙනි පරිච්ඡේදය බලන්න.

බයිබල් උපදෙස

“නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න. දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න.”—රෝම 12:21.

යෝජනාවක්

දවසේ වෙච්ච හොඳ දෙයක් ගැන අම්මට හරි තාත්තට හරි හැම දවසකම කියන්න. ඒක පොඩි දෙයක් වුණාට කමක් නැහැ. එතකොට බරපතළ ප්‍රශ්නයක් ආවමත් ඒ ගැන කතා කරන්න ඔයාට ලේසි වෙයි. එයාලත් ඔයාට ඇහුම්කන් දෙයි.

මේක දැනගෙන හිටියාද?

ඇති තරම් විවේකය, සමබර කෑම බීම ලැබුණේ නැති වුණාම කේන්තිය, දුක වගේ හැඟීම් පාලනය කරගන්න ටිකක් අමාරුයි.

ඔයාට වැඩක්!

මට පාලනය කරගන්න අමාරුම හැඟීම ․․․․․

ඒක පාලනය කරගන්න මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● තරහෙන් වැඩ කරනවට යෙහෝවා දෙවි අකමැති ඇයි?

● කේන්තිය පාලනය කරගත්තේ නැත්නම් මොන වගේ හානිකර දේවල් වෙන්න පුළුවන්ද?

● දුක, කලකිරීම දරාගන්න මොන වගේ දේවල් ඔයාට උදව් වෙයිද?

[223වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මං ගැන සැලකිලිමත්, මගේ හිතේ තියෙන දේවල් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා දැනගෙන හිටපු එක කලකිරුණු වෙලාවලදී මට ලොකු ශක්තියක් වුණා.’’—ජෙනිෆර්

[221වන පිටුවේ වගුව⁄පින්තූර]

 ඔබේ සටහන්

කේන්තිය පාලනය කරගන්න

කොටුව පුරවන්න

සිදුවීම

පන්තියේ ළමයෙක් කැපිල්ලට කතා කරනවා

කරන්න හිතෙන දේ

මාත් එයාට කැපිල්ලක් දානවා

කරන්න ඕන දේ

ගණන් ගන්නේ නැතුව ඉඳලා ඒවාට මට තරහා යන්නේ නැහැ කියලා පෙන්නනවා

සිදුවීම

නංගි මගෙන් අහන්නේ නැතුව මගේ සපත්තු දෙක අරන්

කරන්න හිතෙන දේ

මාත් එයාට ඒකම කරනවා

කරන්න ඕන දේ

․․․․․

සිදුවීම

අද සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ කියලා අම්මා කියනවා

කරන්න හිතෙන දේ

․․․․․

කරන්න ඕන දේ

․․․․․

[220වන පිටුවේ පින්තූරය]

තරහෙන් ඉන්න කෙනෙක් හරියට බිලි කටුවකට අහු වුණු මාළුවෙක් වගේ. දෙන්නවම පාලනය කරන්නේ වෙන කෙනෙක්