Skip to content

පටුනට යන්න

හිත පාලනය කරගන්නේ කොහොමද?

හිත පාලනය කරගන්නේ කොහොමද?

29වෙනි පරිච්ඡේදය

හිත පාලනය කරගන්නේ කොහොමද?

“මං හැම තිස්සෙම කෙල්ලෝ ගැනමයි හිතන්නේ. ඒක හරි පිස්සුවක්. ඒ නිසා මට වෙන කිසි දෙයක් හරියට කරන්න බැහැ” කියලා මයිකල් කියන යෞවනයා කියනවා.

මයිකල් වගේ ඔයාත් ඔයාගේ දවසේ වැඩි හරියක් ගෙවන්නේ ගැහැනු ළමයි ගැන නැත්නම් පිරිමි ළමයි ගැන හිතහිතද? සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති ඒ වගේ සිතුවිලි ඔයාගේ ඔළුවට එකපාරටම එනවා කියලා. මයිකල් මෙහෙමත් කියනවා. “ඒ වගේ සිතුවිලි ඔළුවට ආවම මුළු ඔළුවම අවුල් වෙනවා. කරන්නේ මොනවාද කියලවත් තේරෙන්නේ නැහැ. ඒ සිතුවිලි කොච්චර ප්‍රබල වෙන්න පුළුවන්ද කියනවා නම් ලස්සන කෙල්ලෙක් දැක්කම එයාව තව ටිකක් හොඳට බලන්න තියෙන ආසාව නිසා යන්න ළඟ පාරක් තිබුණත් ලොකු වටයක් ගහන්න පෙලඹෙනවා. නැත්නම් යන්න ආපු ගමන අමතක කරලා එයා ඉන්න පැත්තට ඇදිලා යනවා.”

ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක් ගැන හිතන එකවත් පිරිමි ළමයෙක් ගැහැනු ළමයෙක් ගැන හිතන එකවත් වැරදියි කියලා කියන්න බැහැ. මොකද ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක්ටත් පිරිමි ළමයෙක් ගැහැනු ළමයෙක්ටත් ආකර්ෂණය වෙන එක සාමාන්‍ය දෙයක්. යෙහෝවා දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඒ විදිහටයි. හැබැයි ලිංගික ආසාවන් ඉටු කරගන්න දෙවි අවසර දීලා තියෙන්නේ බැඳලා ඉන්න දෙන්නෙක් අතරේ විතරයි. ඒ නිසා යෞවන කෙනෙක් හැටියට ඔයාට ඒ වගේ හැඟීම් ඇති වෙද්දී ඔයාට හිතෙන්න පුළුවන් ඔයා හරිම කැත හිතක් තියෙන නරක කෙනෙක් කියලා. එහෙම හිතලා කලකිරෙන්න එපා. ඔයාගේ උත්සාහය තියෙනවා නම් ඒ වගේ හැඟීම් පාලනය කරගෙන නිර්මලව ඉන්න ඔයාට පුළුවන්. ඒකට උදව් වෙන දේවල් දෙකක් දැන් බලමු.

ආශ්‍රය කරන අය ගැන පරෙස්සම් වෙන්න. ඉස්කෝලේ ළමයි ලිංගික දේවල් ගැන කතාබහ කරද්දී කොන් වෙන්න තියෙන අකමැත්ත නිසා ඒ කතාබහට හවුල් වෙන්න ඔයාත් පෙලඹෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නේ ලිංගික හැඟීම් පාලනය කරගන්න තවත් අමාරු වෙන එක විතරයි. ඒ නිසා හොඳම දේ තමයි ඒ වගේ කතාබහක් පටන්ගද්දිම එතැනින් අයින් වෙලා යන එක. හැබැයි එහෙම කරද්දී ඔයා එයාලට වඩා හොඳයි කියලා පෙන්නන්න හදන්න එපා. එහෙම කළොත් තමයි ළමයි ඔයාට විහිළු කරන්නේ.

අහන, බලන දේ ගැන පරෙස්සම් වෙන්න. හැම ෆිල්ම් එකක්ම, සිංදුවක්ම නරකයි කියලා කියන්න බැහැ. ඒත් දැන් තියෙන හුඟක් ෆිල්ම්ස්, සිංදු හදලා තියෙන්නේ ලිංගික හැඟීම් අවුස්සන විදිහටයි. බයිබලයේ කියන්නේ, “අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු” කියලයි. (2 කොරින්ති 7:1) ඒ නිසා ඒ වගේ ෆිල්ම්ස්, සිංදු අහන්න බලන්න එපා. *

ස්වයංවින්දනයෙන් වළකින්න

සමහර යෞවනයන් එයාලට ඇති වෙන ලිංගික හැඟීම් පාලනය කරගන්නවා වෙනුවට ස්වයංවින්දනයේ යෙදිලා ඒවා ඉටු කරගන්නවා. හැබැයි ඒක භයානකයි. බයිබලයේ කියන්නේ, ‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දමන්න’ කියලයි. (කොලොස්සි 3:5) ඒත් ස්වයංවින්දනයේ යෙදෙන එකෙන් වෙන්නේ කාමාශාව හිතෙන් අහක් කරලා දාන එක නෙමෙයි කාමාශාව තව තවත් අවුස්සන එකයි.

කෙනෙක් ස්වයංවින්දනයේ යෙදෙද්දී එයා එයාගේ වැරදි ආසාවන්ට වහලෙක් වෙනවා. (තීතස් 3:3) ඒ නිසා ඒ නරක පුරුද්ද අත්හරින්න නම් එයාට කාගේ හරි උදව් ඕනේ. ඔයාත් ඒ නරක පුරුද්දට ඇබ්බැහි වෙලා නම් විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඒ ගැන කතා කරලා ඒකෙන් ගොඩ එන්න උදව් ඉල්ලන්න. අවුරුදු ගාණක් තිස්සේ ඒ නරක පුරුද්දට වැටිලා හිටිය කෙනෙක් මෙහෙම කිව්වා. “මට තිබුණු ප්‍රශ්නේ ගැන යෞවන කාලෙදිම කාත් එක්ක හරි කතා කරන්න තරම් හයියක් මට තිබුණා නම් කොච්චර හොඳයිද! එහෙම නොකරපු නිසා අවුරුදු ගාණක් තිස්සේ මං හිතින් දුක් වින්දා. කාගෙවත් මූණ බලලා කතා කරන්නවත් මට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ ඔක්කොටම වඩා මට දුක යෙහෝවා දෙවි එක්ක මට තිබුණු බැඳීම පලුදු වුණු එක ගැනයි.”

ඔයාට තියෙන ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න පුළුවන් කා එක්කද? දෙමාපියන්ගෙන් එක් කෙනෙක් එක්ක කතා කරනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් සභාවේ ඉන්න අද්දැකීම් තියෙන වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරන්න. ඕනේ නම් ඔයාට මෙහෙම කතාව පටන්ගන්න පුළුවන්. “මට ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන්ද ටිකක් ඒ ගැන කතා කරන්න?”

ඔන්ඩ්‍රේ එහෙම කළා. එයා එයාගේ සභාවේ හිටිය වැඩිමහල්ලෙක් එක්ක ඒ ගැන කතා කළා. “මගේ ප්‍රශ්නේ ගැන කියද්දී එයාගේ ඇස්වලට කඳුළු ආවා. යෙහෝවා දෙවි තාමත් මට ආදරෙයි කියලා එයා මට මතක් කරලා දුන්නා. ඒ වගේම මේ ප්‍රශ්නේ මට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කියලත් එයා කිව්වා. මේ පුරුද්දෙන් ගොඩ එන්න එයා මට උදව් කරන්නම් කියලත් මේ ගැන තොරතුරු තියෙන අපේ පොත් පත් තව හොයලා මට ගෙනල්ලා දෙන්නම් කියලත් එයා පොරොන්දු වුණා. එයාත් එක්ක කතා කළාට පස්සේ මේ පුරුද්ද අත්හරින්න ඕනේ කියලා මට තිබුණු අධිෂ්ඨානය තවත් වැඩි වුණා. මගේ අතින් ආයේ මේ වරද වුණත් මං උත්සාහය අත්හරින්නේ නැහැ.”

මාරියෝ එයාට තිබුණු ප්‍රශ්නේ ගැන කතා කළේ එයාගේ තාත්තත් එක්ක. තාත්තා තරහා ගන්නේ නැතුව හරිම ඉවසීමෙන් එයාත් එක්ක කතා කළා. යෞවන කාලේ එයාටත් ඒ පුරුද්දෙන් ගොඩ එන්න අමාරු වුණා කියලා තාත්තා මාරියෝට කිව්වා. “තාත්තා හරිම අවංකව දේවල් කතා කරපු නිසා මේ පුරුද්ද කොහොමහරි අත්හරින්න ඕනේ කියලා මට හිතුණා. තාත්තට ඒක කරන්න පුළුවන් වුණා නම් මටත් මේකෙන් ගොඩ එන්න පුළුවන්. තාත්තා මාව තේරුම් අරන් මාත් එක්ක කතා කරපු නිසා මගේ හිතේ තිබුණු හැම දෙයක්ම මං එයාට කියලා ඇඬුවා.”

ඔන්ඩ්‍රේයි මාරියෝයි වගේ ඔයාටත් පුළුවන් මේ නරක පුරුද්දෙන් ගොඩ එන්න. ඒත් ඔයා ආපහු ඒ වරදට වැටුණොත් ඒකෙන් ගොඩ එන්න ඔයා ගන්න උත්සාහය අත්හරින්න එපා. *

සිතුවිලි පාලනය කරගන්න

යේසුස්ගේ අනුගාමිකයෙක් වුණු පාවුල් මෙහෙම කිව්වා. “මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි.” (1 කොරින්ති 9:27) ඔයාත් කරන්න ඕනේ ඒකම තමයි. ලිංගික හැඟීම් ඇති වුණාම ඒවාට ඉඩ දෙන්නේ නැතුව කොහොමහරි ඒවා පාලනය කරගන්න ලොකු උත්සාහයක් ගන්න. පොඩි වෙලාවකට හරි වෙන දේකට මනස යොමු කරන එක ඒ වගේ හැඟීම් හිතින් අහක් කරගන්න ඔයාට උදව් වෙයි. පුළුවන් නම් මොනවා හරි ව්‍යායාමයක් කරන්න. බයිබලයේ කියන්නෙත් ව්‍යායාම කරන එකෙන් ප්‍රයෝජන තියෙනවා කියලයි.—1 තිමෝති 4:8.

ඒ වගේ හැඟීම් ඇති වුණාම ඒවා පාලනය කරගන්න උදව් ඉල්ලලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. එක යෞවනයෙක් මෙහෙම කියනවා. “ලිංගික හැඟීම් ඇති වෙද්දී ඒවා පාලනය කරගන්න උදව් කරන්න කියලා මං දෙවිට හරිම උවමනාවෙන් යාච්ඤා කරනවා.” හැබැයි මේක මතක තියාගන්න. ඒ වගේ හැඟීම් ඔයාගේ හිතින් දෙවි සම්පූර්ණයෙන්ම අහක් කරලා දාන්නේ නැහැ. ඒ වෙනුවට ඒ සිතුවිලිවලට වහල් වෙන්නේ නැතුව හොඳ දේවල් ගැන හිතන්න දෙවි ඔයාට උදව් කරයි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. විනෝදෙට කරන දේවල් ගැන 8වෙනි කොටසේ වැඩි විස්තර සාකච්ඡා කරනවා.

^ 14 ඡේ. වැඩි විස්තර දැනගන්න 1වෙනි පොතේ 25වෙනි පරිච්ඡේදය බලන්න.

බයිබල් උපදෙස

“නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.”—ෆිලිප්පි 4:8.

යෝජනාවක්

ස්වයංවින්දනය අත්හරින්න අදිටනක් ගත්තට පස්සේ ආයෙමත් ඒකට වැටුණොත් ඒ පුරුද්ද අත්හරින්න බැහැ කියලා හිතන්න එපා. ඒකට ආයේ වැටුණු හේතුව තේරුම් අරන් ඒක නොකර හිටියොත් ඒ පුරුද්ද අත්හරින්න පුළුවන්.

මේක දැනගෙන හිටියාද?

ඔයාගේ සිතුවිලි ඔයාගේ ක්‍රියාවලටත් ගතිපැවතුම්වලටත් බලපානවා.—යාකොබ් 1:14, 15.

ඔයාට වැඩක්!

ගැහැනු ළමයි ගැන/පිරිමි ළමයි ගැන නිතරම හිතන්නේ නැතුව ඉන්න මං මෙහෙම කරනවා ․․․․․

පන්තියේ ළමයි අතරේ යන කතාබහක් නරක පැත්තට හැරුණොත් මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● ගැහැනු ළමයෙක් ගැන/පිරිමි ළමයෙක් ගැන හිතේ ආසාවක් ඇති වෙන එක ලොකු වරදක් කියලා කියන්න බැරි ඇයි?

● ඔයාට ඇති වෙන ලිංගික හැඟීම් පාලනය කරගන්න එක වැදගත් ඇයි?

● ඔයාගේ හැඟීම් ඇවිස්සෙන්න පුළුවන් ඔයා මොන වගේ දේවල් අහන්න, බලන්න ගියොත්ද?

● කතාබහක් නරක පැත්තට හැරුණොත් එතැනින් අයින් වෙන්න ඕනේ ඇයි?

[240වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘ලිංගික හැඟීම් අවුස්සන දේවල් මගේ මනසට ආපුවම මං ඉක්මනට වෙනස් දෙයක් ගැන හිතන්න පටන්ගන්නවා. හැඟීම් පාලනය කරගන්න ඒක මට උදව් වුණා. කාලයත් එක්කම ඒ වගේ හැඟීම් හිතට එන එක අඩු වෙනවා කියලා මං මතක තියාගත්තා.’’—ස්කොට්

[239වන පිටුවේ පින්තූරය]

ඔයාගේ කොම්පියුටර් එකට වයිරස් ඇතුල් වෙන්න ඔයා ඉඩ දෙනවාද? එහෙමනම් ඔයාගේ මනසට ලිංගික හැඟීම් අවුස්සන දේවල් දාගන්නේ ඇයි?