Skip to content

පටුනට යන්න

4වන කොටස

අද්විතීය පොතක කර්තෘව හඳුනාගනිමු

අද්විතීය පොතක කර්තෘව හඳුනාගනිමු

අමෙරිකානු ජාතිකයන්ගෙන් සියයට 96ක් පමණ දෙවි කෙනෙකු විශ්වාස කරන බව පැවසුවත්, යුරෝපයේ සහ ආසියාවේ එවන් විශ්වාසයක් තිබෙන්නේ ඊටත් වඩා අඩු පිරිසකටය. කෙසේවෙතත්, ජීවමාන, පෞද්ගලිකත්වයකින් යුත් දෙවි කෙනෙකුව පොදුවේ විශ්වාස නොකරන රටවල පවා, අපගේ විශ්වය බිහිවීමට යම් නොහඳුනන බලවේගයක් හේතු වූවා යන අදහස සෑහෙන දෙනෙක් පිළිගනිති. මෙම පිටුවේ ඡායාරූපයෙන් දක්නට ලැබෙන, යෙන් 10,000 ජපන් මුදල් නෝට්ටුවල සිටින සුප්‍රසිද්ධ ජපන් අධ්‍යාපනවේදී යූකීචි ෆුකුසාවා මෙසේ ලීවේය. “ස්වර්ගය විසින් මනුෂ්‍යයාව තරාතිරම්වලට අනුව උසස් කෙනෙකු හෝ පහත් කෙනෙකු ලෙස මවා නැති බවට කියමනක් තිබේ.” මෙහිදී, “ස්වර්ගය” යන්න භාවිත කිරීමෙන් ෆුකුසාවා යොමු දක්වමින් සිටියේ මිනිසුන්ව බිහි කිරීමට හේතුපාදක වූ ස්වභාවධර්මයේ යම් මූලධර්මයකටය. බොහෝදෙනෙක්, එවන් තේරුම්ගැනීමට අමාරු ‘ස්වර්ගයක්’ ඇති බවට වූ අදහස පිළිගනිති. ඉන් එක් අයෙකි නොබෙල් ත්‍යාගලාභී කෙනීචි ෆූකූවි. ඔහු විශ්වයේ ශ්‍රේෂ්ඨ සැලැස්මක් (ආගමික දෘෂ්ටියකින් බැලුවොත් “දෙවි කෙනෙකු”) ඇති බව පිළිගත් නමුත්, එහි හේතුකාරකය හැඳින්වීමට “ස්වභාවධර්මයේ අරුමයන්” යන යෙදුම යොදාගත්තේය.

වමේ: යූකීචි ෆුකුසාවා; දකුණේ: කෙනීචි ෆූකූවි

2 විශ්වයේ ක්‍රියාකාරිත්වය ඇරඹීමට සදාකාලිකව පවතින යම් කිසිදෙයක් හෝ යම් කෙනෙකු සිටිය යුතු බවට මෙවන් බුද්ධිමත්හු විශ්වාස කළෝය. ඒ මන්ද? මෙම කරුණුවලට ඔබේ අවධානය දෙන්න. “සූර්යයා කොතරම් විශාල තරුවක්ද කිවහොත් එතුළ පෘථිවියට සමාන ග්‍රහයන් මිලියනයක් දැමිය හැක. එනමුත් ක්ෂීර පථය හා සසඳද්දී එය ඇසට නොපෙනෙන දූවිලි අංශුවක් බඳුය. කෙසේවෙතත්, මන්දාකිනි බිලියන ගණනකින් යුත් සුවිශාල විශ්වයේ ක්ෂීර පථය යනු එක් මන්දාකිනියක් පමණි. විද්‍යාඥයන් කර ඇති නිරීක්ෂණවලින් පෙනී යන්නේ මෙම මන්දාකිනි පුදුම වේගයකින් එකිනෙකාගෙන් ඈත් වන බවය. එමනිසා විශ්වය බිහිවීම සඳහා අපට සිතාගත නොහැකි තරම් ප්‍රබල මෙන්ම ක්‍රියාශීලී ශක්තියක් අවශ්‍ය වන්නට ඇති. මෙවන් ශක්තියක ප්‍රභවය කුමක්ද නැත්නම් කවරෙක්ද? බයිබලයෙහි මෙම ප්‍රශ්නය නඟයි. “අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද?” ඊළඟට මෙම පිළිතුර සපයයි. “හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ [දෙවි] ය. [ඔහුගේ] බලයේ මහත්කම නිසා ද [ඔහුගේ] ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.” (යෙසායා 40:25, 26, නව අනුවාදය) මෙම පදයට අනුව, විශ්වය බිහි කිරීමට කවුරු හරි කෙනෙක්, එනම් “ශක්තියේ බලවත්කම” නිකුත් කළ කෙනෙක් සිටි බව පැහැදිලි වේ.

සොම්බ්‍රේරෝ මන්දාකිනිය

3 පෘථිවියේ ජීවීන් බිහි වූ ආකාරය ගැනත් සිතන්න. පරිණාමවාදීන් පවසන පරිදි, එවැන්නක් ඉබේම සිදු වූවා විය හැකිද? ජීව රසායනික විද්‍යාඥ මයිකල් බීහි මෙසේ පවසයි. “ජීවීන් බිහි කිරීමේදී රසායනික ක්‍රියාවලීන් ක්‍රියාත්මක වූ ආකාරය තේරුම්ගැනීම සම්බන්ධයෙන් විද්‍යාව පුදුම දනවන දියුණුවක් ලබා ඇතත්, කනගාටුවට කාරණයක් වන්නේ එම ජීවීන්ගේ මූලාරම්භය පැහැදිලි කිරීමට විද්‍යාව අපොහොසත් වීමය. ඒ මන්ද කිවහොත්, ජීවීන්ගේ සැකැස්ම අණුක මට්ටමින් සලකා බලන විට, ඒවා කොතරම් අලංකාරව හා සංකීර්ණව නිර්මාණය කර ඇද්දැයි පෙනී යන නිසාය. . . . ඇතැම් විද්‍යාඥයන් මුරණ්ඩුය. ඔවුන් තරයේ කියා සිටින්නේ ජීවීන්ගේ මූලාරම්භය පිළිබඳ පැහැදිලි කිරීම් ඉතා ළඟදී නැතහොත් කෙදිනක හෝ හෙළි කරන බවයි. එනමුත් ඔවුන් පළ කරන එවන් අදහස්වලට කිසිදු පදනමක් සම්මත විද්‍යා පොත් පත්වල සොයාගත නොහැක. කෙසේවෙතත් අවධාරණයෙන් සඳහන් කළ යුතු යමක් ඇත. ජීවීන්ගේ අණුක ව්‍යූහය අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ, ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීමට ඩාවින්ගේ මතය යොදාගැනීම සදහටම නිෂ්ඵල එකක් වෙයි කියා සිතීමට ප්‍රබල හේතු ඇති බවය.”

මයිකල් බීහි මෙසේ පැවසීය. “ප්‍රෝටීනයක ව්‍යූහය ත්‍රිමාන හැඩැති පින්තූර ප්‍රහේලිකාවක් හා සැසඳිය හැක.” එනමුත් මිනිස් සිරුරෙහි මෙවැනි ප්‍රහේලිකා සිය දහස් ගණනක් තිබිය හැක. එම ප්‍රහේලිකාවල සුල මුල සෙවීමට විද්‍යාඥයන් උත්සාහ කරමින් සිටියද, ඒවා නිර්මාණය කළේ කවුද යන්න තවමත් ප්‍රශ්නයක්ව පවතී.

4 බුද්ධිමතෙකුගේ මෙහෙයවීමකින් තොරව මිනිසා බිහි වූ බවට පවතින මතය ගැන ඔබට ඇත්තෙන්ම සෑහීමට පත් විය හැකිද? නිදසුනකට, ඇතැමුන්ගේ විශ්වාසයට අනුව “විශ්වයේ සංකීර්ණතම වස්තුව” ලෙස සලකන මිනිස් මොළය සලකා බලමු. ඉන් අනතුරුව, ඒ පිළිබඳව එළඹිය හැකි නිගමනයන්ද සලකා බලමු. වෛද්‍ය රිචඩ් එම්. රෙස්ටැක් මෙසේ පවසයි. “ඉතාමත් දියුණු පරිගණක පද්ධතියක ක්‍රියාකාරිත්වය අඩු තරමින් ගෙමැස්සෙකුගේ මොළයේ ක්‍රියාකාරිත්වයට පවා කිට්ටු කළ නොහැකිය. ඇත්තෙන්ම ගෙමැස්සෙකුගේ මොළය එම පරිගණකයට වඩා දසදහස් ගුණයකින් පමණ දියුණු මට්ටමක පවතී.” මිනිස් මොළය ගෙමැස්සෙකුගේ මොළයට වඩා අතිශයින් සංකීර්ණයි. අපගේ මොළය භාෂා ඉගෙනගැනීමේ හැකියාව ඇතුව නිර්මාණය කර තිබේ. මොළයට යම් හානියක් සිදු වුවහොත් එය පිළිසකර කරගැනීමට සහ ක්‍රමලේඛයන් නැවතත් පිළියෙළ කරගැනීමට මෙන්ම එහි ධාරිතාව වැඩි කරගැනීමට එයට හැකිය. ගෙමැස්සෙකුගේ මොළය අහලකින්වත් තැබිය නොහැකි සුපිරි පරිගණකයකට පවා බුද්ධිමත් නිර්මාතෘවරයෙකු සිටින බව ඔබ පිළිගන්නවාට කිසිදු සැකයක් නොමැත. එසේ නම් මිනිස් මොළය ගැන කුමක් කිව හැකිද? *

5 තම සිරුරේ භෞතික සැකැස්ම කොතරම් පුදුම දනවන්නක්ද කියා මිනිසා හරි හැටි තේරුම් නොගත් කාලයක, එනම් වසර 3,000ක පමණ කාලයකට පෙර මිනිස් සිරුරේ සැකැස්ම ගැන මෙනෙහි කළ බයිබල් ලේඛකයෙක් මෙසේ පැවසීය. “මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.” DNA අණු සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොතිබූ ඔහු මෙසේ ලීවේය. “ඔබේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය, ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය.” (ගීතාවලිය 139:14, 16) “ඔබ” යයි කියමින් ඔහු කතා කරමින් සිටියේ කා ගැනද? ඔව්, “ශක්තියේ බලවත්කම” යොදාගනිමින් විශ්වයේ ඇති සියල්ල බිහි කළේ කවුද?

වැඩි හැකියාවක් ඇත්තේ කුමකටද? දැනට තිබෙන දියුණුම පරිගණකයටද නැත්නම් සාමාන්‍ය ගෙමැස්සෙකුටද?

6 බයිබලයේ මුල්ම පොතෙහි මුල්ම වගන්තිය ඊට මෙසේ පිළිතුරු දෙයි. “පටන්ගැන්මෙහිදී [දෙවි] අහසත් පොළොවත් [මැව්වේය].” (උත්පත්ති 1:1) බයිබලයෙහි කර්තෘද මොහුය. ඔව්, දෙවි ඊට තම ආනුභාවය දුන්නේය. දෙවි තමන් ගැන සපයා ඇති විස්තරවලින් හෙළි වන්නේ අපට ඔහු සමඟ අර්ථවත්, කිට්ටු සම්බන්ධයක් ඇති කරගත හැකි බවය.

^ 4 ඡේ. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ලබාගැනීමට ඔබ කැමති නම්, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතේ 2 සිට 4 දක්වා පරිච්ඡේද කියවිය හැක. එය Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.