Skip to content

පටුනට යන්න

7වන කොටස

සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම මෙතරම් දුෂ්කර මන්ද?

සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම මෙතරම් දුෂ්කර මන්ද?

තම ජීවිතයට සැබෑ අරුතක් එක් කරගැනීම බොහෝදෙනෙකුට ඉතා දුෂ්කර වී තිබෙන්නේ මන්ද? මෙම තත්වය මතු දැක්වෙන වදන්වලින් මොනවට කියාපායි. “මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත. ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය. නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය.” (යෝබ් 14:1, 2, න. අ.) මිනිස්වර්ගයා ඉදිරියෙහි තිබූ දීප්තිමත් අනාගතය බොඳ වී ගියේ පාරාදීසයේ විසූ මුල් මිනිස් යුවළ විසින් කරන ලද යම් දෙයක් හේතුකොටගෙනය.

2 මිනිස්වර්ගයා සැබෑ සතුටක් භුක්ති විඳීමට නම්, ඔවුන් දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් තබාගත යුතුයි. හොඳ සම්බන්ධතාවක් යනුවෙන් අදහස් කරන්නේ වෙනත් කෙනෙකුගේ බලපෑම නොමැතිව කෙනෙකු කැමැත්තෙන්ම ඇති කරගන්නා සම්බන්ධතාවකි. (ද්විතීය කථාව 30:15-20; යෝෂුවා 24:15) යෙහෝවා බලාපොරොත්තු වන්නේ තමන්ට ඇති ප්‍රේමය නිසා හෘදයෙන්ම කීකරු වීමත් ඔහුට නමස්කාර කිරීමත්ය. (ද්විතීය කථාව 6:5) එමනිසා, මුල් මිනිසාට තමන්ගේ හෘදයාංගම පක්ෂපාතකම ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දෙමින් යෙහෝවා විසින් ඒදන් උයනේදී තහංචියක් පනවන ලදි. දෙවි ආදම්ට මෙසේ පැවසීය. “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.” (උත්පත්ති 2:16, 17) මෙය ඉතා සරල පරීක්ෂණයක් විය. උයනෙහි තිබූ සියලු ගස් අතුරෙන් එක ගසක පමණක් ගෙඩි නොකෑමට යෙහෝවා ආදම්ට අණ කළේය. මෙම ගසින් නියෝජනය වූයේ කුමක්ද? එනම් සර්වඥාන මැවුම්කරුට යහපත සහ නපුර කුමක්ද කියා තීරණය කිරීමට අයිතිය තිබූ බවයි. මුල් මිනිසා, දෙවිගෙන් ලද මෙම ආඥාව “[තමාට] සුදුසු සහකාරියක්” ලෙස යෙහෝවා ලබා දුන් තම භාර්යාවටද දැන්වීය. (උත්පත්ති 2:18) මෙම විධිවිධානයට එකඟව ජීවත් වීම ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ නැත. දෙවිගේ පාලනය යටතේ සිටියදී, හෘදයාංගම කෘතඥතාවකින් යුතුව ඔහුගේ කැමැත්තට යටත් වෙමින් හා ඔවුන්ගේ මැවුම්කරු මෙන්ම ජීවනදායකයාට තම ප්‍රේමය ප්‍රකාශ කරමින් ජීවත් වීම ඉතා සතුටුදායක විය.

3 කෙසේවෙතත්, දිනක් සර්පයෙකු සහ ඒව අතර සංවාදයක් ඇති විය. සර්පයා මෙසේ ඇසීය. “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා [දෙවි] කීවාද”? එයට පිළිතුරු වශයෙන් ඒව පැවසුවේ, “උයන මැද තිබෙන ගහේ” ගෙඩි, එනම් යහපත හා නපුර දැනගැනීමේ ගසේ ගෙඩි පමණක් කෑම තහනම් කර තිබෙන බවයි. ඔවුන් “නොනසින පිණිස” එයින් නොකෑ යුතු බවත් ඇය පැවසීය.—උත්පත්ති 3:1-3.

4 කවුද මේ සර්පයා? මෙම “පුරාණ සර්පයා” ‘මුළු ලෝකයා රවටන්නා වන සාතන්යයි කියන ලද යක්ෂයා’ බව බයිබලයෙහි එළිදරව් පොතේ පෙන්වා දෙයි. (එළිදරව් 12:9) දෙවි සාතන් නමැති යක්ෂයාව මැව්වාද? නැත, යෙහෝවාගේ ක්‍රියාවල කිසිදු දෝෂයක් නොමැත. ඒවා කවදත් යහපත්ය. (ද්විතීය කථාව 32:4) එසේ නම්, දෙවිට විරුද්ධව නැඟී සිටීමෙන් මෙම අදෘශ්‍යමාන පුද්ගලයා යක්ෂයෙකු (“අපහාස කරන්නෙකු”) සහ සාතන් කෙනෙකු (“විරුද්ධකාරයෙකු”) බවට පත් වූයේය. ඔහු “තමාගේ තෘෂ්ණාවෙන් අදිනු” ලැබීය. ඒ තෘෂ්ණාව වූයේ දෙවිගේ තැන ගැනීමයි. මේ නිසා, ඔහු මැවුම්කරුට විරුද්ධව කැරලිගසන්න පටන්ගත්තේය.—යාකොබ් 1:14.

5 සාතන් නමැති යක්ෂයා ඊළඟට ඒවට මෙසේ පැවසීය. ‘නුඹලා ඇත්තටම නසින්නේ නැත; මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.’ (උත්පත්ති 3:4, 5) යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් ගෙඩි කෑම ප්‍රිය දෙයක් ලෙස පෙන්වීමට සාතන් උත්සාහ කළේය. වෙනත් වචනවලින් කිවහොත් ඔහුගේ තර්කය වූයේ, ‘දෙවි ඔබට යම් හොඳ දෙයක් නොදී ඉන්නවා. කාලා බලන්න. එතකොට ඔබත් දෙවි වගේ වෙයි. හොඳ නරක මොකක්ද කියලා ඔබටම තීරණය කරගන්න පුළුවන් වෙයි’ යන්නය. සාතන් අදදිනත් පාවිච්චි කරන්නේ ඒ තර්කයමයි. එමගින් දෙවිට සේවය කිරීමෙන් බොහෝදෙනෙකුව වැළැක්වීමට ඔහු උත්සාහ දරයි. ‘ඔබට නිදහස තිබෙනවා සිතේ හැටියට කටයුතු කරන්න. ඔබට ජීවිතය දුන් තැනැත්තා ගැන සිතන්න යන්න එපා. ඔබට ඕන දේ කරන්න’ යනුවෙන් ඔහු පවසයි.—එළිදරව් 4:11.

6 ක්ෂණිකවම, ඒ ගසේ ගෙඩි ආකර්ෂණීය බවත්, ඒවා කෑ යුතුම බවත් පෙනී ගියේය. ඒව ගෙඩියක් කඩා කෑවාය! අනතුරුව ඇගේ පුරුෂයාටද එය දුන්නාය. තමා කරන්නට යන දෙයෙහි ප්‍රතිවිපාක දැන දැනම ආදම් සිය භාර්යාවගේ හඬට සවන් දී ගෙඩිය කෑවේය. එහි ප්‍රතිඵලය? යෙහෝවා ස්ත්‍රියට මෙම දඬුවම දුන්නේය. “නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේය.” පුරුෂයා ලැබූ දඬුවම? “නුඹ නිසා භූමිය ශාපලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; නුඹ වනයේ පලා කන්නෙහිය; නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” ඔව්, සතුටින් පිරි ජීවිතයක් තනිවම සොයාගැනීමට ආදම් සහ ඒවට සිදු විය. දිව්‍ය අරමුණෙන් බැහැර වූ යම් ක්‍රම තුළින් සතුටින් පිරි ජීවිතයක් භුක්ති විඳීමට මනුෂ්‍යයන් දරන ප්‍රයත්න සාර්ථක වනු ඇද්ද? පාරාදීසමය උයනක් බලාකියා ගැනීමත්, එම පාරාදීසය පොළොව පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රීතිමත් රාජකාරියත් වෙනුවට ජීවිතය ගැටගසා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඔවුන්ට සිදු විය. ඔව්, තම මැවුම්කරුගේ ගෞරවය උදෙසා ඔවුන් අතින් කිසිදු දෙයක් සිදු වූයේ නැත.—උත්පත්ති 3:6-19.

7 යහපත සහ නපුර දැනගැනීමේ ගසෙන් ගෙඩි කෑ දවසේදීම මුල් මිනිස් යුවළ දෙවිගේ දෘෂ්ටිකෝණයට අනුව මියගියේය. එදා සිට ඔවුන් පිවිසුණේ භෞතික මරණයකින් කෙළවර වන මාර්ගයකටය. ඔවුන් මියගිය විට ඇත්තටම සිදු වූයේ කුමක්ද? මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් බයිබලය අපව මෙසේ දැනුවත් කරයි. “ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.” (දේශනාකාරයා 9:5, න. අ.; ගීතාවලිය 146:4) මරණයෙන් පසු නොනැසී පවතින “ආත්මයක්” නොමැත. පාපයට දඬුවම දැවෙන අපායක හෝ නිරයක සදාකල් වධහිංසා ලැබීම නොව, මරණයයි. තවද මරණය ස්වර්ගයේ හෝ දිව්‍ය ලෝකයක සදාතනික සැපතක් අත් කරගැනීමට මඟක්ද නොවේ. *

8 පාන් පුලුස්සන තැටියක කඩතොල්ලක් ඇති විට, එම තැටියේ පුලුස්සන සෑම පාන් ගෙඩියකම එම කඩතොල්ලේ සලකුණ දැකගත හැකිවාක් මෙන්, අසම්පූර්ණකමට පත් වූ මුල් මිනිසා සහ ස්ත්‍රිය අසම්පූර්ණ දරුවන් ජනිත කළෝය. බයිබලය මෙසේ පැහැදිලි කරයි. “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) මෙයින් පැහැදිලි වන්නේ, අප සියලුදෙනාම පාපය සහිතව මෙලොවට බිහි වී ඇති බවත්, එයින් අපට නිෂ්ඵල දිවියක් ගත කිරීමට සිදු වී ඇති බවත්ය. ඔව්, ආදම්ගෙන් පැවතෙන්නන්ට ජීවිතය බලාපොරොත්තු සුන් කරවන වෙහෙසකාරි අද්දැකීමක් වී ඇත. මෙයින් ගැළවීමට මඟක් ඇද්ද?

^ 7 ඡේ. මළවුන්ගේ තත්වය සම්බන්ධයෙන් ඔබ වැඩිමනත් තොරතුරු ලබාගැනීමට කැමති නම්, What Happens to Us When We Die? යන විවරණිකාව කියවිය හැක. එය Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.