Skip to content

පටුනට යන්න

6වන කොටස

යෙහෝවා අපව මැව්වේ මන්ද?

යෙහෝවා අපව මැව්වේ මන්ද?

සාලමොන් ජීවිතයේ අරුත හා සම්බන්ධ ප්‍රශ්නය සලකා බැලීය

යෙහෝවාව දැන හඳුනාගැනීමෙන් ඔබට යම් ප්‍රයෝජනයක් තිබේද? එසේය, බිලියන ගණනක් ඉමහත් සේ ව්‍යාකූලත්වයට පත් කර ඇති ‘අප මිහිපිට සිටින්නේ මන්ද?’ යන ප්‍රශ්නයට පිළිතුර ඔබට එමගින් සොයාගත හැකි වේ. ඒ ප්‍රශ්නය ගැන ඔබත් කල්පනා කර ඇද්ද? අතීතයේදී “වස්තුවෙනුත් ප්‍රඥාවෙනුත් පොළොවේ සියලු රජවරුන්ට වඩා උතුම්ව සිටි” රජෙක් ජීවිතයේ අරමුණ හා සම්බන්ධ එම ප්‍රශ්නය ගැනම සලකා බැලීය. (2 ලේකම් 9:22; දේශනාකාරයා 2:1-13) ඒ රජ සාලමොන්ය. ඔහු බලයෙන්, ධනයෙන් සහ ප්‍රඥාවෙන් අනූන වූ කෙනෙකි. ජීවිතයේ අරමුණ සම්බන්ධයෙන් කළ විමසා බැලීමෙන් ඔහු යම් නිගමනයකට එළඹුණාද? ඔහුට සවන් දෙමු. “මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, [ඔහුගේ] ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය.” (දේශනාකාරයා 12:13, න. අ.) සාලමොන් අපගෙන් බහුතරයකට වඩා බොහෝ අද්දැකීම් ලත් කෙනෙකු වූ නිසා, අඩු තරමින් ඔහු එළඹුණු නිගමනය ගැන සලකා බැලීමවත් වටී.—දේශනාකාරයා 2:12.

2 දෙවිට ගරුබිය දක්වන්න කියා සාලමොන් පැවසූ විට, ඔහු අදහස් කළේ අප අපැහැදිලි, අදෘශ්‍යමාන බලවේගයකට බිය වන්නාක් මෙන් දෙවි කෙරෙහි ත්‍රාසයක් ඇති කරගත යුතු බව නොවේ. අප බෙහෙවින් ආදරේ කරන කෙනෙකුව අසතුටු කිරීමට තිබෙන බලවත් අකමැත්ත ඉන් අදහස් වේ. යමෙකු කෙරෙහි ඔබ තුළ ගැඹුරු ආදරයක් ඇත්නම්, සෑම අවස්ථාවකදීම ඔහුව සතුටු කරන්නත්, ඔහුගේ සිතට වේදනාවක් ගෙන දිය හැකි ඕනෑම දෙයකින් වැළකී සිටින්නත් ඔබ තුළ අවංක ආශාවක් තිබෙන බවට සැකයක් නැත. යෙහෝවා සඳහා ගැඹුරු ප්‍රේමයක් වර්ධනය වෙද්දී, ඔබ තුළත් එවැනි ආශාවක් ජනිත වෙයි.

3 අපගේ මැවුම්කරු කැමති දේවල් සහ අකමැති දේවල් මොනවාද කියාත්, පොළොව මැවීමේ අරමුණ කුමක්ද කියාත් ඔබට දැනගත හැක්කේ බයිබලය කියවීමෙනි. “පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ” තැනැත්තා වශයෙන් බයිබලය යෙහෝවාව විස්තර කරන අතර, “එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ” තැනැත්තා හැටියටද ඔහුව හඳුන්වා දෙයි. (යෙසායා 45:18) යෙහෝවා පොළොව සූදානම් කළේ මනුෂ්‍ය වාසය සඳහාය. පොළොවත් එහි ජීවත් වන සියලු සත්වයන්වත් රැකබලා ගැනීම එම මනුෂ්‍යයන්ගෙන් අපේක්ෂා කෙරිණ. (උත්පත්ති 1:28) එසේ නම්, යෙහෝවා මනුෂ්‍යයන්ව මැව්වේ පොළොවේ භාරකාරයන් ලෙස සේවය කිරීමට පමණක්ද?

ආදම් සහ ඒවට දෙවි සමඟ කිට්ටු සම්බන්ධතාවක් තිබිණ

4 නැත. ඊටත් වඩා උතුම් අරමුණක් තිබිණ. පළමු මිනිසා වූ ආදම්ට යෙහෝවා සමඟ අර්ථවත්, කිට්ටු සම්බන්ධතාවක් තිබුණේය. තම මැවුම්කරු සමඟ කෙළින්ම අදහස් හුවමාරු කරගැනීමට ආදම්ට හැකි විය. දෙවි ඔහුට පැවසූ දේවලට සවන් දෙන්න සහ යෙහෝවාට තමාගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඔහුට හැකියාව තිබුණේය. (උත්පත්ති 1:28-30; 3:8-13, 16-19; ක්‍රියා 17:26-28) එමනිසා, යෙහෝවාව වඩාත් හොඳින් දැන හඳුනාගෙන ඔහු සමඟ වඩාත් ගැඹුරු සම්බන්ධයක් වර්ධනය කරගැනීමට ආදම් සහ ඒවට ඉන් මහඟු ප්‍රස්තාවක් විවෘත විය. යෙහෝවාව හඳුනාගෙන ඔහුව අනුකරණය කිරීමෙන් ඔවුන්ට බෙහෙවින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වනවා නොඅනුමානය. මන්ද, ඔහු “සන්තෝෂවත් දෙවි” වන හෙයිනි. (1 තිමෝති 1:11, NW) “සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ” දෙවි වශයෙන්, යෙහෝවා ඒදන් උයන නමැති පාරාදීසයක මුල් මනුෂ්‍යයාව පදිංචි කෙරෙව්වේ සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුවය.—1 තිමෝති 6:17; උත්පත්ති 2:8, 9, 16, 17.

මිනිස් සෛල සම්බන්ධයෙන් මෑතකදී සොයාගත් දේවලින් අනාවරණය වන්නේ කුමක්ද?

5 සදාකල් ජීවත් වීම? විකාරයක් යයි පවසමින් එම අදහස ඔබ ප්‍රතික්ෂේප කරනවා විය හැක. එනමුත් එය ඇත්තටම විකාරයක්ද? ජීවීන්ගේ සෛල ගෙවී යෑමට හේතුකාරකය තමන් තේරුම්ගෙන ඇතැයි ඇතැම් විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. සෛලයක වර්ණදේහවල අග ටෙලමිය වශයෙන් හඳුන්වන යමක් පිහිටා ඇත. ජානවල තොරතුරු මෙහි ඇතුළත් කර ඇති බවට විශ්වාස කෙරෙන අතර, සෛලයක් බෙදෙන සෑම අවස්ථාවකදීම එය කෙටි වේ. සෛලයක් 50 වාරයක් සිට 100 වාරයක් දක්වා බෙදී යෑමේදී ටෙලමිය ගෙවී යන අතර, බොහෝ සෛලවල බෙදී යෑමේ ක්‍රියාවලියද නතර වේ. කෙසේවෙතත්, ටෙලමියරේස් නමැති එන්සයිමය ආධාරයෙන් මිනිස් සෛල දිගටම, නොනැවතී බෙදී යන බව මෑතකදී විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මෙම එන්සයිමය මාර්ගයෙන් යෙහෝවා අපට සදාකාල ජීවනය දානය කරන බවක් මින් අදහස් නොකළද, එක දෙයක් පැහැදිලිය. සදාකල් ජීවත් වීම නමැති සංකල්පය විකාරයක් නොවේ!

6 මුල්ම පුරුෂයාව සහ ස්ත්‍රියව සදාකාලික ජීවිතයක් භුක්ති විඳීම සඳහා මවනු ලැබූ බවට බයිබලයෙහි සඳහන් වාර්තාව විශ්වාස කළ හැක්කකි. යෙහෝවාගේ අරමුණ වූයේ මනුෂ්‍යයන් සමඟ දිනෙන් දින වර්ධනය වන සදාකාලික සම්බන්ධතාවක් ඇති කරගැනීමය. තවද, පොළොව මත වෙසෙන මනුෂ්‍යයන් වශයෙන් ඔවුන් සඳහා දෙවි අරමුණු කර තිබූ දේ හොඳින් තේරුම්ගැනීමත්, එම අරමුණට එකඟව ක්‍රියා කිරීමත් ඔවුන්ගෙන් අපේක්ෂා කෙරිණ. ඒ අතරතුරේදී ඔවුන් තම ස්වර්ගික පියාණන් සමඟ කිට්ටු බැඳීමක් වර්ධනය කරගත යුතු විය. ඔවුන්ගේ ජීවිතය නිරස එකක් වනු ඇතැයි සිතිය නොහැක. සන්තෝෂයෙන් ජීවත් වන අංග සම්පූර්ණ දරු දැරියන්ගෙන් පොළොව පිරවීමේ සුවිශේෂ අපේක්ෂාව ආදම් සහ ඒවට තිබිණ. ඒත් සමඟම සදහටම තම ජීවිතයට අරුතක් හා තෘප්තියක් ගෙන දෙන කාර්යයන් යෙහෝවාගෙන් ලැබීමටද ප්‍රස්තාව තිබිණ. ඇත්තෙන්ම සතුටින් පිරි ජීවිතයකට කදිම පදනමක් දමා තිබිණ.—උත්පත්ති 1:28.