Skip to content

පටුනට යන්න

5වන කොටස

දෙවිව හඳුනාගනිමු

දෙවිව හඳුනාගනිමු

උපදෙස් අවශ්‍ය වූ විටෙක, ඔබ ගොස් විශ්වාසවන්ත කෙනෙකුව හමු වනවාට සැකයක් නැත. මෙවැනි විශ්වාසවන්ත කෙනෙකුගෙන් උපදෙස් ලැබුණු විට, ඉන් වහාම ප්‍රතිඵල ලැබුණත් නැතත්, ඔහුගේ උපදෙසට එකඟව ක්‍රියා කරන්න ඔබ නැඹුරු වෙනවා ඇත. බයිබලයෙහි ඇති ප්‍රායෝගික උපදෙස්වලින් ඇත්තටම ප්‍රයෝජන ලබන්න නම්, එහි කර්තෘව හොඳින් දැන හඳුනාගත යුතුය. ඔව්, ඔබට ඔහුගේ ‘මිත්‍රයෙක්’ වීමට පවා හැක.—යෙසායා 41:8.

යෙසායා පොතේ හෙබ්‍රෙව් පිටපතක දක්නට ලැබෙන දිව්‍ය නාමය

2 කෙනෙකුව මිතුරෙකු ලෙස දැන හඳුනාගන්නා විට, ඔබ මුලින්ම කැමති වන්නේ ඔහුගේ නම දැනගැනීමටයි. බයිබලයෙහි සඳහන් දෙවිට නමක් ඇද්ද? ඔහු මෙසේ ප්‍රකාශ කරයි. “මම [යෙහෝවාය]; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.” (යෙසායා 42:8) ඔව්, දෙවිගේ නාමය “යෙහෝවා” වේ. හෙබ්‍රෙව් බසින් එය ලියන්නේ මෙසේය: יהוה (එය කියවිය යුත්තේ දකුණේ සිට වමටය), ඒ නාමය බයිබලයෙහි හෙබ්‍රෙව් ලියවිලිවල 7,000 වාරයකට ආසන්න ප්‍රමාණයක් සඳහන් වේ. එම දිව්‍ය නාමයට “ඔහු සිදුවීමට සලස්වයි” යන අදහස මුසු වී ඇත. මින් අදහස් කරන්නේ තමාගේ අරමුණ ඉටු කිරීමට ඕනෙම තත්වයකට පත් වී ඕනෙම දෙයක් කිරීමට දෙවිට හැකි බවය. ඒ වගේම තමාගේ අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය අයුරින් තම නිර්මාණ වුණත් යොදා ගන්නා බවය. තවද දෙවිගේ නාමය හෙබ්‍රෙව් බසින් වර නැඟී ඇති ආකාරයෙන් ඇඟවෙන්නේ, යෙහෝවා අතීතයේ යම් දේවල් සිදු කර ඇති බවත්, දැන් යම් දේවල් සිදු කරමින් සිටින බවත්ය. ඔව්, දෙවි තම අරමුණු සම්බන්ධයෙන් ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටියි. එසේ නම්, දෙවි යම් පැහැදිලි කළ නොහැකි බලවේගයක් නොව, ජීවමාන දෙවි කෙනෙකි.

3 මැවුම්කරු වශයෙන් සියල්ල නිර්මාණය කළේ යෙහෝවාය. (උත්පත්ති 1:1) “අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමානවූ දෙවි” වන්නේ ඔහුය. (ක්‍රියා 14:15) මුල් මිනිසුන් දෙදෙනා වන ආදම් සහ ඒව ඇතුළුව අනිකුත් සියලුම දේවල් මැව්වේ යෙහෝවාය. එමනිසා, දෙවි “ජීවනයේ උල්පත” වේ. (ගීතාවලිය 36:9) තවද ජීවයේ අඛණ්ඩ පැවැත්ම රඳා පවතින්නේද ඔහු මතය. “[ඔහු] අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, [තමන්] ගැන සාක්ෂි නොදී” සිටියේ නැතැයි පැවසිය හැක්කේ එම නිසාය. (ක්‍රියා 14:17) අප්‍රිකාවේ සහ ආසියාවේ වෙසෙන බොහෝදෙනෙක් තම මුතුන්මිත්තන්ට වන්දනාමාන කරති. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ ජීවිත ඔවුන්ට ලැබී ඇත්තේ එම මුතුන්මිත්තන්ගෙන් වන බැවිනි. එසේ නම්, මුල් මිනිසුන් දෙදෙනාව මවා ඔවුන්ට සිය වර්ගයා බෝ කිරීමේ හැකියාව දුන්නාවූද, අනිකුත් සියලු ජීවීන් මැවුවාවූද, ඒවායේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නාවූද තැනැත්තාට අප තව කොතරම් ණයගැති විය යුතුද? ඇත්තෙන්ම මෙම කාරණය ගැන ගැඹුරින් සිතා බලන විට, යෙහෝවාට මෙසේ ප්‍රශංසා කිරීමට අප පෙලඹෙන්නේ නැද්ද? ‘යෙහෝවා, අපගේ දෙවියනි, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවන ලද්දේය.’—එළිදරව් 4:11.

4 බයිබලයෙහි පිටු තුළින්, ඔබේ මැවුම්කරු වන යෙහෝවාව දැන හඳුනාගැනීමට හා ඔහු කෙබඳු ආකාරයේ දෙවි කෙනෙකුද කියා හොඳ හැටි වටහාගැනීමට හැකිය. ‘දෙවි ප්‍රේමයය’ කියා බයිබලය හෙළි කරයි. (1 යොහන් 4:16; නික්මයාම 34:6, 7) උත්පත්ති සිට එළිදරව් දක්වා, එනම් බයිබලය මුල සිට අග දක්වා කියවද්දී, යෙහෝවා ඇත්තෙන්ම ප්‍රේමනීය දෙවි කෙනෙකු බව එහි සඳහන් වාර්තා රැසකින් අපට ප්‍රත්‍යක්ෂ වේ. එසේ නම්, ඔබේ මැවුම්කරුව දැන හඳුනාගැනීමට උපකාරයක් වශයෙන් දේවවචනය දිනපතා කියවීම ඔබගේ පුරුද්දක් කර නොගන්නේ මන්ද? බයිබලයෙහි අඩංගු දේවල් ගැන හොඳ අවබෝධයක් ඇති අයගේ උපකාරයද ඇතුව එය ගැඹුරින් අධ්‍යයනය කරන්න. (ක්‍රියා 8:26-35) එසේ අධ්‍යයනය කරද්දී, දෙවි යුක්තිය ඉෂ්ට කරන කෙනෙකු බවත්, සදහටම දුෂ්ටකමට ඉඩ නොදෙන බවත් ඔබට පැහැදිලි වේවි. (ද්විතීය කථාව 32:4) සාමාන්‍යයෙන්, මිනිසෙකුට අන්‍යයන් කෙරෙහි ප්‍රේමය සහ යුක්තිය සමබරව ප්‍රකාශ කිරීම පහසු දෙයක් නොවේ. එනමුත්, ප්‍රඥාවන්තව කටයුතු කරන යෙහෝවා මනා සමබරතාවකින් ඒවා ප්‍රකාශ කරයි. (රෝම 11:33; 16:27) තවද දෙවි සර්වබලධාරීය. එමනිසා, තම අරමුණු ඉටු කරගැනීම සඳහා කළ යුතු දේ කිරීමට අවශ්‍ය බලය ඔහු සතුය. (උත්පත්ති 17:1) ඔබ බයිබලයෙහි තිබෙන ඥානවන්ත උපදෙස් අදාළ කරගැනීමට උත්සාහ කරනවා නම්, ඔබේ මැවුම්කරු කොතරම් ශ්‍රේෂ්ඨ කෙනෙකුද කියාත්, ඔහුගේ උපදෙස් පිළිපැදීමෙන් අපට නිසැකවම ප්‍රයෝජන ලැබේයයි කියාත් ඔබට හොඳ හැටි තේරුම්ගත හැකි වේ.

යාච්ඤාව මාර්ගයෙන් ඔබ යෙහෝවාට සමීප නොවන්නේ මන්ද?

5 දෙවි වෙතට එළඹෙන්න තවත් මාර්ගයක්ද ඇත. එනම් යාච්ඤාවයි. යෙහෝවා ‘යාච්ඤා අසන තැනැත්තා’ වේ. (ගීතාවලිය 65:2) ඔහු “අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ” තැනැත්තෙක්ය. (එපීස 3:20) එහෙත්, උදව්වක් අවශ්‍ය වූ විටෙක පමණක් ඔබ ළඟට එන “මිතුරෙකුව” ඔබ සලකන්නේ කෙසේද? ඔබ එවන් කෙනෙකුට එතරම් ප්‍රිය නොකරනවා විය හැක. මේ අනුව, යාච්ඤාව නමැති වරප්‍රසාදයෙන් ප්‍රයෝජන ගනිද්දී, දෙවිගෙන් දේවල් ඉල්ලීමට පමණක් නොව, ඔහුට ස්තුති කිරීමට හා ප්‍රශංසා කිරීමටත් අමතක නොකළ යුතුය.—පිලිප්පි 4:6, 7; 1 තෙසලෝනික 5:17, 18.