Skip to content

පටුනට යන්න

3වන කොටස

විශ්වාසවන්ත මඟ පෙන්වීම් සපයන පොත

විශ්වාසවන්ත මඟ පෙන්වීම් සපයන පොත

බයිබලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අදහස් කිහිපයක් සලකා බලන්න. “මිනිස් ශිෂ්ටාචාරයේ මිනිසා අද්දැක ඇති සෑම දෙයක්ම එකට කැටි කොට දක්වන්නක් ලෙස බයිබලය හැඳින්විය හැක. එය අද්විතීය පොතකි.” (චීනයේ ග්වාන්චෝ සරසවියේ චෝං ෂාන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සඟරාවක්.) “මිනිස් සංහතිය එතෙක් මෙතෙක් ලබා ඇති උතුම්ම භාග්‍යය වන්නේ බයිබලය ඔවුන් අතට පත්ව තිබීමයි. එය සියලුම ජනයා සඳහා ලියවුණු පොතකි. එය සුළු කොට තැකීමට දරන සෑම උත්සාහයක්ම . . . මිනිස් සංහතියට විරුද්ධව කරන බරපතළ අපරාධයකි.” (දහඅටවන සියවසේ ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වූ ඉම්මානුවෙල් කාන්ට්.) “බයිබලයේ බලපෑම යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානීන්ට පමණක් සීමා වී ඇතැයි කිසිසේත් පැවසිය නොහැක. . . . දැන් එය යහපත් ගති පැවතුම් සහ ආගම දහම පිළිබඳ උපදෙස්වලින් සමන්විත නිධානයක් ලෙස සැලකේ. ඇත්තෙන්ම මිනිස් සමාජය සමස්ත ලෝක මට්ටමෙන් එක්සත් වීමේ බලාපොරොත්තුව දිනෙන් දින වැඩි වන මෙවැනි යුගයක, බයිබලයෙහි අන්තර්ගත ඔවදන්වලින් තවත් වටිනා ප්‍රයෝජන නෙළාගත හැකියයි අපේක්ෂා කරන්නට පුළුවන.”—අමෙරිකානා විශ්වකෝෂය.

2 ඔබේ ආගමික පසුබිම කුමක් හෝ වේවා, එවැනි පොතක් පරිශීලනය කිරීමට ඔබ උනන්දු වන්නේ නැද්ද? විසිවන සියවස අවසාන වෙද්දී බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 2,200කට වඩා වැඩියෙන් පරිවර්තනය කර තිබිණ. පොළොවේ ජනයාගෙන් වැඩිදෙනෙකුට තමන්ට කියවන්න සහ තේරුම්ගන්න පුළුවන් භාෂාවකින් එහි පිටපතක් ලබාගත හැකිය. මුද්‍රණ ශිල්පය ලොවට හඳුන්වා දීමෙන් අනතුරුව ලොව පුරා බයිබල් පිටපත් බිලියන හතරක් පමණ බෙදාහැර ඇති බවට ගණන් බලා ඇත.

3 ඔබ ළඟ බයිබලයක් ඇත්නම්, එය විවෘත කොට එහි පටුන දෙස බලන්න කියා ඔබෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. උත්පත්ති සිට එළිදරව් දක්වා බයිබල් පොත්වල නම් ඔබට එහි දැකගත හැකි වේ. ඇත්තටම බයිබලය පොත් 66ක එකතුවක් වන අතර, එය ලිවීමට පුද්ගලයන් 40දෙනෙකු පමණ දායක වී ඇත. පොත් 39කින් යුත් මුල් කොටස බොහෝදෙනා පරණ ගිවිසුම ලෙස හැඳින්වුවත්, එය හෙබ්‍රෙව් ලියවිලි හැටියට හැඳින්වීම වඩාත් නිවැරදිය. ඒ මන්ද කිවහොත්, එම පොත් ලිවීමට ප්‍රධාන වශයෙන් හෙබ්‍රෙව් බස භාවිත කර ඇති නිසාය. පොත් 27කින් යුත් දෙවන කොටස සාමාන්‍යයෙන් අලුත් ගිවිසුම හැටියට හැඳින්වුවත්, එය ලිවීමට ක්‍රිස්තියානි ලේඛකයන් ග්‍රීක් බස භාවිත කළ නිසා, ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි ලෙස එය හැඳින්වීම වඩාත් නිවැරදිය. බයිබලය ලිවීමට අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් ගත විය. එනම්, පො.යු.පෙ. 1513 සිට පො.යු. 98 දක්වා දිවෙන කාලපරිච්ඡේදයයි. මෙම පොත්වල ලේඛකයන් අතර විශේෂ අදහස් හුවමාරුවක් සිදු වූයේ නැත. ඇත්තෙන්ම ඇතැම් පොත් එකම කාලයේදී ලියනු ලැබුවත්, ඒවා ලියූ ලේඛකයන් සිටියේ එකිනෙකාට කිලෝමීටර් දහස් ගණනක් ඈතින්ය. කෙසේවෙතත්, බයිබලයට ඇත්තේ එකම තේමාවකි. සියලුම පොත් එකට එකතු කොට එක ග්‍රන්ථයක් ලෙස සැලකුවොත් එහි පරස්පර විරෝධී අදහස් කිසිවක් දක්නට නොමැත. ‘සියවස් 16ක කාලපරිච්ඡේදයක් පුරා ජීවත් වූ පුද්ගලයන් 40දෙනෙකුට මෙතරම් නිවැරදිව, පරස්පර විරෝධතාවන්ගෙන් තොර පොත් ලිවීමට හැකි වූයේ කෙසේද’ යන ප්‍රශ්නය සලකා බැලීම වැදගත්ය.

‘දෙවි ගුවන් තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරින්නේය. පොළොවද අවකාශයෙහි එල්ලා තබන්නේය.’

4 බයිබලය ලියා අවසන් කර වසර 1,900කට වැඩි කාලයක් ගත වී තිබුණත්, එහි අන්තර්ගත තොරතුරු වර්තමානයේ වෙසෙන පුරුෂයන් සහ ස්ත්‍රීන්ගේ කුතුහලයට හේතු වී තිබේ. නිදසුනකට, ඔබේ බයිබල් පිටපත යෝබ් 26:7ට පෙරළන්න. මෙම පාඨය ලියනු ලැබුවේ පො.යු.පෙ. 15වන සියවසේදී බව මතක තබාගනිමින් එය කියවන්න. එහි මෙසේ පැවසේ. ‘දෙවි ගුවන් තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරින්නේය. පොළොවද අවකාශයෙහි එල්ලා තබන්නේය.’ (අකුරු ඇල කළේ අපය.) දැන් යෙසායා 40:22ට පෙරළන්න. යෙසායා පොත පො.යු.පෙ. අටවන සියවසේ ලියන ලද්දක් බව මතක තබාගන්න. එහි මෙසේ කියවේ. “පෘථිවිචක්‍රය මතුයෙහි [ඉන්නේ ඔහුය]. එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත් [ඔහුය].” මෙම වගන්ති කියවීමෙන් පසු, ඔබේ මනසෙහි ඇඳෙන පින්තූරය කුමක්ද? ඔව්, අභ්‍යවකාශයෙහි ‘එල්ලෙන’ ගෝලාකාර වස්තුවක් ඔබේ මනසේ මැවෙනවා ඇති. නූතන අභ්‍යවකාශ යානාවලින් ගත් ඡායාරූප ඔබ දැක තිබෙනවාද? ‘මෙතරම් ඈත අතීතයක ජීවත් වූ මිනිසුන්ට විද්‍යාව පැත්තෙන් මෙතරම් නිවැරදි දේවල් පවසන්නට හැකි වූයේ කෙසේද’ කියා ඔබ දැන් කල්පනා කරනවා ඇති.

5 බයිබලය සම්බන්ධයෙන් තවත් ප්‍රශ්නයක් සලකා බලමු. බයිබලයෙහි වාර්තා වී ඇති ඉතිහාසය නිවැරදිද? සමහරුන් කියා සිටින්නේ, බයිබලයෙහි සඳහන් සිද්ධීන් කිසිදු ඓතිහාසික පදනමක් නොමැති ප්‍රබන්ධ කථා බවයි. නිදසුනකට, සුප්‍රසිද්ධ ඉශ්‍රායෙල් ජාතික රජෙකු වූ දාවිත් ගැන පළ වූ අදහස් සලකා බලන්න. මෑතක් වන තුරු දාවිත් නමැති පුද්ගලයා සිටි බවට තිබූ එකම සාක්ෂිය බයිබලය විය. ප්‍රමුඛ පෙළේ ඉතිහාසඥයන් ඔහු සැබෑ පුද්ගලයෙකු බව පිළිගත්තත්, ඇතැම් දුර්මතධාරීන් කියා සිටින්නේ ඔහු යුදෙව් ආගමිකයන් විසින් ඔවුන්ගේ වාසිය සඳහා ප්‍රබන්ධ කළ පුද්ගලයෙකු බවයි. මේ සම්බන්ධයෙන් යම් සැබෑ තොරතුරු තිබේද?

“දාවිත්ගේ වංශය” ගැන සඳහන් ශිලා ලේඛනය

6 වර්ෂ 1993දී “දාවිත්ගේ වංශය” යනුවෙන් සඳහන් ශිලා ලේඛනයක් පුරාණ ඉශ්‍රායෙල් නුවරක් වූ දාන්හි නටබුන් අතර තිබී සොයාගන්නා ලදි. මෙම ශිලා ලේඛනය අබලන් වූ ස්මාරකයක කොටසක් විය. පොදු යුගයට පෙර නවවන සියවසේදී පමණ ඉදි කරන ලද මෙය, ඉශ්‍රායෙලිතයන්ට එරෙහිව ලැබූ ජයග්‍රහණයක් සැමරීමට සතුරු ජාතියක් විසින් තනවන ලදි. ඔව්, දාවිත්ට යොමු දක්වන තවත් මූලාශ්‍රයක් ඇත! මෙම සොයාගැනීමෙහි යම් වැදගත්කමක් තිබේද? ඒ පිළිබඳව ටෙල් අවිව් සරසවියේ ඉස්රේල් ෆින්කල්ස්ටයින් මෙම අදහස පළ කළේය. “දාවිත් ගැන සඳහන් ශිලා ලේඛනය සොයාගැනීමෙන් අනතුරුව බයිබලයේ නිරවද්‍යතාවට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සැණෙකින් අතුරුදහන් විය.” තවද, පලස්තීන ප්‍රදේශයේ දශක ගණනාවක් පුරා කැණීම් කටයුතුවල නිරත වී සිටි පුරාවිද්‍යාඥයෙක් වූ මහාචාර්ය විලියම් එෆ්. ඕල්බ්‍රයිට්ද මෙසේ අදහස් පළ කළේය. “කැණීම්වලින් නැවත නැවතත් හෙළි වන සාක්ෂි හේතුවෙන් බයිබලය ඓතිහාසික වශයෙන් ඉතා නිවැරදි වාර්තාවක් බව පිළිගැනීමට සිදු වී ඇත.” නැවතත්, අපට මෙවන් ප්‍රශ්නයක් ඉස්මතු කළ හැකිය. ‘පුරාණ වීර කාව්‍යයන් සහ ප්‍රබන්ධ කථාවලට වෙනස්ව, මෙම ඉපැරණි පොතෙහි සඳහන් වාර්තාවන් ඉතිහාසය හා සසඳද්දී මෙතරම් නිවැරදි වූයේ කොහොමද?’ එනමුත් බයිබලය පිළිබඳව කරන මෙම විවරණය මෙතැනින් නතර නොවේ.

මහා ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රතිරුව සහිත කාසියක්

7 බයිබලය අනාවැකි ඇතුළත් පොතක්ද වේ. (2 පේතෘස් 1:19, 21) “අනාගතවාක්‍යය” කියා පවසද්දී, ඇතැම් පුද්ගලයන් විසින් හිතුමතේට පළ කරන, තවමත් ඉටු නොවූ දේවල් ඔබේ මනසට නැඟෙනවා ඇත. එවැනි අදහස් මොහොතකට පසෙක ලා ඔබේ බයිබලය දානියෙල් 8වන පරිච්ඡේදයට පෙරළන්න. මෙහිදී අං දෙකක් ඇති බැටළුවෙකු සහ “මහත් අඟක්” ඇති රළු එළුවෙකු අතර සිදු වන අරගලයක් ගැන දානියෙල් විස්තර කරයි. මෙම අරගලයෙන් ජය ලබන්නේ රළු එළුවාය. එනමුත් කල් යත්ම උගේ මහත් අඟ බිඳෙන්නේය. එම අඟ වෙනුවට අං සතරක් හටගනී. දානියෙල් දකින මෙම දර්ශනයෙහි තේරුම කුමක්ද? දානියෙල් මෙලෙස විස්තර සපයයි. “නුඹ විසින් දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා නම් මේදියාවේද පර්සියාවේද රජවරුය. රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය. ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.”—දානියෙල් 8:3-22.

“කැණීම්වලින් නැවත නැවතත් හෙළි වන සාක්ෂි හේතුවෙන් බයිබලය ඓතිහාසික වශයෙන් ඉතා නිවැරදි වාර්තාවක් බව පිළිගැනීමට සිදු වී ඇත.”—මහාචාර්ය විලියම් එෆ්. ඕල්බ්‍රයිට්

8 මෙම අනාවැකිය ඉටු වුණාද? දානියෙල් පොත ලියා අවසන් කළේ පො.යු.පෙ. 536දී පමණය. මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් රජු උපන්නේ මින් අවුරුදු 180කට පසුවය, එනම් පො.යු.පෙ. 356දීය. පර්සියානු අධිරාජ්‍යය පරාජය කළේ මොහුය. “මහත් අඟක්” ඇති “රළු එළුවා” ඔහු විය. යුදෙව් ඉතිහාසඥ ජොසීෆස්ට අනුව, ඇලෙක්සැන්ඩර් පර්සියාවට එරෙහිව ජය අත් පත් කරගැනීමට මත්තෙන් යෙරුසලමට ඇතුල් වූ විට, දානියෙල්ගේ පොතේ සඳහන් දේ ඔහුට පෙන්වන ලදි. දානියෙල්ගේ අනාවැකියෙහි ඇලෙක්සැන්ඩර් ගැන සඳහන් වූ මෙම වදන්, පර්සියාවට එරෙහිව ඔහු දියත් කළ යුධ ව්‍යාපාරයට යොමු දක්වා තිබූ බව ඇලෙක්සැන්ඩර් නිගමනය කළ බවට සැල වේ. මේ සියල්ල සනාථ කරගැනීමට ලෝක ඉතිහාසය ගැන පළ වී ඇති අත්පොත් කිහිපයක් බලන්න. පොදු යුගයට පෙර 323දී ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු ඔහුගේ අධිරාජ්‍යය විකාශනය වූ ආකාරය ගැන ඔබට කියවිය හැක. ඔහුගේම සෙන්පතීන් ඔහුගේ අධිරාජ්‍යයේ පාලනය භාරගත් අතර, පො.යු.පෙ. 301 වන විට ‘මහත් අඟ’ වෙනුවට ‘අං සතර’ නැඟී සිටියෝය. ඔව්, එම අධිරාජ්‍යය කොටස් සතරකට බෙදී ගියේය. ‘වසර 200කට පසුව සිදු වන දෙයක් මෙතරම් පැහැදිලිව සහ නිවැරදිව පුරෝකථනය කිරීමට මෙම පොතට හැකි වූයේ කෙසේද’ කියා ප්‍රශ්න කිරීමට නැවතත් අපට හොඳ හේතු නැද්ද?

9 අප ඉහත මතු කළ සෑම ප්‍රශ්නයකටම බයිබලය මෙසේ පිළිතුරු දෙයි. ‘මුළු ලියවිල්ල දේවානුභාවයෙනි, එමෙන්ම එය ප්‍රයෝජනවත්ය.’ (2 තිමෝති 3:16) “දේවානුභාවයෙන්” යන යෙදුමෙහි අර්ථය ඇති සැටියෙන් ගන්නවා නම්, ඉන් අදහස් කරන්නේ “දෙවිගේ මුඛයෙන් නිකුත් කරන ලද්දක්” යන්නයි. මේ අනුව බලන කල, අපට ලැබී ඇති බයිබලයේ තොරතුරු දෙවි විසින් ලේඛකයන් 40දෙනෙකුගේ පමණ මනස් තුළට ඇතුල් කරනු ලැබීය. අප සලකා බැලූ විද්‍යාත්මක, ඓතිහාසික සහ අනාවැකිමය නිදසුන් කිහිපයෙන් අපට එක නිගමනයකට එළඹිය හැක. අද්විතීය වූ මෙම පොත, මිනිස් ප්‍රඥාව ආධාරයෙන් නිර්මිත වූ එකක් නොව නමුත් දේවබලයෙන් ලියවුණු පොතකි. කෙසේවෙතත්, බයිබලයෙහි කර්තෘ වන දෙවිගේ පැවැත්ම ගැන බොහෝදෙනෙක් සැක කරති. ඔබත් ඔවුන් අතර සිටිනවාද?