Skip to content

පටුනට යන්න

2වන කොටස

සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම සඳහා යෝජනා කිහිපයක්

සතුටින් පිරි ජීවිතයක් ගත කිරීම සඳහා යෝජනා කිහිපයක්

ඔබ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට උපදෙස් පතන්නේ කාගෙන්ද? සමහරවිට විශ්වාසවන්ත මිතුරෙකුගෙන් හෝ අද්දැකීම් සම්භාරයක් ඇති උපදේශකයෙකුගෙන් විය හැක. එසේ නැතහොත්, අද්දැකීම් ලත් මහලු කෙනෙකුගෙන් ඔබ ප්‍රයෝජනවත් යෝජනා කිහිපයක් ලබාගන්නවා විය හැක. ඔබට පුස්තකාලයකින්ද තොරතුරු රැසක් ලබාගත හැක. ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක් හෝ වේවා, ගැටලු විසඳාගැනීමේදී ප්‍රයෝජනවත් වන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් සලකා බැලීම යහපති. මේ සම්බන්ධයෙන් කදිම උපදෙස් කිහිපයක් ඔබ ඉදිරියෙහි තැබීමට කැමැත්තෙමු.

“දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න”

2 පවුල් ජීවිතය: හානිකර බලපෑම්වලින් පිරුණු ලොවක තම දරුවන් ඇති දැඩි කිරීම බොහෝ දෙමාපියන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ. එනිසා මතු දැක්වෙන උපදේශය සලකා බැලීම වටී. “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.” 1 වයසින් වැඩෙත්ම දරුවන්ට ‘මාර්ගයක්,’ එනම් නිශ්චිත ප්‍රමිති මාලාවක් අවශ්‍යය. දැන් දැන් විශේෂඥයන් වැඩි වැඩියෙන් කියා සිටින්නේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා හොඳ නීති පැනවීම අත්‍යවශ්‍ය බවය. දෙමාපියන් ඥානවන්තව කල්පනා කර යම් ප්‍රමිති මාලාවක් පිහිටුවන විට, දරුවන්ට ඉන් සුරක්ෂිත බවක් දැනේ. මෙම උපදෙසද සලකා බලන්න. “ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.” 2 මෙහිදී “ඉපල” යන්නෙන් අදහස් කරන්නේ දෙමාපියන්ට තිබෙන අධිකාරයයි. දරුවන් නොමඟ නොයන පිණිස දෙමාපියන් මෙම අධිකාරය ප්‍රේමනීය ලෙස හෙබවිය යුතුය. එසේ කළහොත් දෙමාපියන් අතින් දරුවන්ව යම් හිරිහැරවලට හෝ අඩන්තේට්ටම්වලට ලක් නොවේ. මේ සම්බන්ධයෙන්ද තවත් උපදේශයක් සලකා බැලීම වටී. “නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.” 3

“හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය”

3 සෑම කෙනෙක්ම සතුටින් පිරි පවුල් ජීවිතයක් ගත කිරීම ගැන සිහින මවයි. ඒ සඳහා පදනම සපයන්නේ සැමියා සහ බිරිඳ අතර පවතින යහපත් සබඳතාවයි. මෙවන් සබඳතාවක් පවත්වාගෙන යෑමට උපකාරවත් වන උපදෙස් තිබේද? “හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය. හැම භාර්යාවක් ම තම ස්වාමි පුරුෂයාට ගෞරව දැක්විය යුතු ය.” 4 ඔව්, පවුල් සම්බන්ධතා පහසුවෙන්ම පවත්වාගෙන යෑමට එකිනෙකාට ප්‍රේමය සහ ගෞරවය දැක්වීම මහෝපකාරි වේ. “මන්ත්‍රණය [අවංක අදහස් හුවමාරුව] නැති කල යෝජනා නිෂ්ඵල” 5 වන බැවින්, ඉහත සඳහන් උපදෙස් අදාළ කරගනිමින් සාර්ථක වීමට නම් අදහස් හුවමාරු කරගැනීමේ වැදගත්කම අවතක්සේරු නොකළ යුතුය. අවංක අදහස් හුවමාරුවක් පවත්වාගෙන යෑමට නම්, අප අපගේ සහකරු හෝ සහකාරියගේ හැඟීම් තේරුම්ගැනීමට උත්සාහ කළ යුතු අතර, ඔහුට හෝ ඇයට තම හැඟීම් පහසුවෙන් ප්‍රකාශ කිරීමට හැකි වාතාවරණයක් සැකසිය යුතුය. එමෙන්ම, “මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය; නැණනුවණ ඇති අය එය ඇදගනිති” 6 යන ඔවදනද සිතේ තබාගැනීම නුවණට හුරුය.

ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටිය යුතු අතර, කිට්ටු සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මූලික පියවර ගත යුතුය

4 මහලු වියේ පසු වන බොහෝදෙනෙකුට තනිකම සමඟ සාර්ථකව කටයුතු කිරීම ප්‍රබල අභියෝගයක් වී ඇත. සම්ප්‍රදායානුකූලව දෙමාපියන්ට කෙලෙහිගුණ දක්වන රටවල පවා මහලු වියේ පසු වන අයව නොසලකා හැරීම වැඩි වෙමින් පවතී. ඔවුන්ගේ දරු දැරියන් මතු දැක්වෙන ඔවදන් සිහි කරගැනීම නුවණට හුරු දෙයක් නොවේද? ‘නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න.’ 7 “මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.” 8 “තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නාදමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙක්ය.” 9 අනික් අතට මහලු දෙමාපියන්ද ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටිය යුතු අතර, කිට්ටු සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මූලික පියවර ගත යුතුය. “හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි; කවර උවදෙසකට වුව ද කිපෙයි” 10 යන්න සැලකිල්ලට ගත යුතු උපදෙසක් වේ.

5 මත්පැන් භාවිතය: ‘මුද්‍රිකපානය ජීවිතය ප්‍රීතිමත් කරන’ 11 බවත්, මත්පැන් පානය කරන අයට ‘සිය අවාසනාව අමතක කළ හැකි’ 12 බවත් සැබෑවක් විය හැකිය. කෙසේවෙතත්, මුළා නොවන්න! “මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.” 13 අධික ලෙස මත්පැන් පානය කිරීමේ ප්‍රතිඵල ගැන මදක් කල්පනා කර බලන්න. “අන්තිමේදී එය සර්පයෙකු මෙන් හපාකා, පොළඟෙකු මෙන් දෂ්ටකරයි. නුඹේ ඇසට අද්භූත දේවල් පෙනෙන්නේය, නුඹේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය. . . . මට කොයි වේලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමි.” 14 මද වශයෙන් මත්පැන් පාවිච්චි කිරීමෙන් යම් ප්‍රයෝජන තිබුණද, එය අනිසි ලෙස භාවිත නොකිරීමට වගබලා ගත යුතුය.

6 මුදල් පාලනය: සමහර අවස්ථාවලදී පැනනඟින මූල්‍ය ගැටලු මඟහරවා ගත හැක්කේ මුදල් ඥානවන්තව පාලනය කිරීමෙනි. මතු දැක්වෙන උපදෙස සලකා බලන්න. “මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න. මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇඳීමට පමුණුවන්නේය.” 15 මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන්ද සූදුව වැනි පුරුදුවලින්ද වැළකී සිටීමෙන්, මුදල් නාස්තිය මඟහරවා ගත හැකි අතර ඔබට ඔබගේ පවුලේ අවශ්‍යතා සපුරාලීමට එම මුදල් භාවිත කළ හැක. තවත් සමහරුන්ට ඔවුන්ගේ අයවැය සමබරව තබාගැනීමට නොහැකි වීම නිසා එකතු වී ඇති ණය ගෙවා දැමීමට දිනපතාම රෑ බෝවන තුරු වැඩ කිරීමට සිදු වේ. ගත් ණයක පොලිය ගෙවා දැමීම සඳහා තවත් ණයක් ගැනීමට පවා සමහරු පෙලඹෙති. මෙවන් අයට මතු දැක්වෙන ඔවදන උපකාරවත් වනවාට සැකයක් නැත. “නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය.” 16 එමෙන්ම මෙවැනි ප්‍රශ්න අපගෙන්ම අසාගැනීම යෝග්‍යය. ‘මම ගන්න ආසාවෙන් සිටින දේ මට ඇත්තටම අවශ්‍යද? මේ ඇඳුම ගත්තායින් පස්සේ මම කී පාරක් ඒක අඳියිද?’ පුවත්පතකට ලිපි ලියන්නෙක් මෙසේ පැවසීය. “මිනිසාගේ අවශ්‍යතාවන් සීමාසහිත වුවත්, ඔහුගේ වුවමනාවන්ට සීමාවක් නොමැති තරම්ය.” එමනිසා, මෙම අවවාදය සලකා බැලීම වටී. “අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමු. . . . වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී . . . බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.” 17

7 බොහෝ දුරට මූල්‍ය ගැටලු විසඳාගැනීමට උත්සාහවන්තකම සහ කඩිසරකම අවශ්‍ය වේ. “අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න. . . . ‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට දිළිඳුකම සොරෙකු මෙන් . . . එනු ඇත.” 18 “කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” 19 මේ අනුව, කල්තියා විය හියදම් ගණන් බැලීමෙන් සහ ලැබෙන ආදායමින් වියදම් පිරිමසා ගන්නා ආකාරය සැලසුම් කිරීමෙන් බොහෝ ගැටලු මඟහරවා ගත හැක.

“තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද?”

8 කෙසේ නමුත්, අපට පාලනය කළ නොහැකි හේතු නිසා අප දුගීකමින් මිරිකී සිටිනවා නම් කුමක් කළ හැකිද? නිදසුනකට, ඔබ වැඩ කරන්න කැමැත්තෙන් සිටියත් රටේ අවිනිශ්චිත ආර්ථික වාතාවරණය නිසා ඔබේ රැකියාව ඔබට අහිමි විය හැක. එසේ නැතහොත්, ජනගහනයෙන් වැඩි පිරිසක් ඉතා දුගී ජීවිතයක් ගත කරන රටක ඔබ ජීවත් වනවා වන්නට පුළුවන. මෙවැනි අවස්ථාවලදී ඔබ අසරණ වී ඇද්ද? මතු දැක්වෙන උපදෙස් සලකා බලන්න. “ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ.” 20 “තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.” 21 එසේ නම්, රැකියාවක් හෝ යම් වැඩක් සොයාගැනීමට උපකාරවත් වන යම් ශිල්පයක් ඔබට ඉගෙනගත හැකිද?

“අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ”

9 මතු දැක්වෙන උපදෙසෙහි යම් පරස්පර විරෝධතාවක් ඇතැයි පෙනෙන්නට තිබුණත්, එය පිළිපැදීමෙන් කදිම ප්‍රතිඵල නෙළාගත හැක. “අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. . . . ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙන් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ.” 22 මින් අදහස් කරන්නේ යමක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඔබ අනුන්ට දිය යුතු බව නොවේ. මෙයින් ඔබ වර්ධනය කරගැනීමට උත්සාහ කරන්නේ ත්‍යාගශීලී ස්වභාවයයි. “ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.” 23 අගහිඟකම් පවතින කාලයක ඔබ ත්‍යාගශීලීව ඔබ සතු දේ අන්‍යයන් සමඟ බෙදාගන්නා විට, ත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වීමට අන්‍යයන් තුළද ඔබ පෙලඹීමක් ඇති කරවන අතර සමහරවිට යම් දිනක ඉන් ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත.

10 මානව සබඳතා: ප්‍රඥාවන්ත රජෙක් වරක් මෙසේ නිරීක්ෂණය කළේය. “මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.” 24 ඇත්තෙන්ම බොහෝ මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර ඇත්තේ ඊර්ෂ්‍යාව හේතුවෙන් ඉස්මතු වන තරඟකාරි ස්වභාවය නිසාය. තම අසල්වැසියා අඟල් 32 රූපවාහිනියක් මිල දී ගෙන ඇති බව දකින පුද්ගලයෙක්, ගොස් අඟල් 36ක එකක් මිල දී ගනියි. එසේ කරන්නේ ඔහුගේ අඟල් 27 රූපවාහිනියේ කිසිම දෝෂයක් නොතිබෙද්දීමය. ඊර්ෂ්‍යාවෙන් පෝෂණය වන එවැනි තරඟකාරි ස්වභාවයක් ඉතා නිෂ්ඵලය. එය සුළං රොදක් ඇල්ලීමට දරන උත්සාහයක් මෙනි. ඇත්තෙන්ම එය හිස් වූ, ප්‍රතිඵල රහිත වෑයමකි. මෙය සාධාරණ තර්කයක් නොවේද?

කෝපය නමැති ප්‍රබල හැඟීම පාලනය කරගැනීමට ඔබට හැක්කේ කෙසේද?

11 ඇතැම් අවස්ථාවලදී, යමෙකු ඔබට පැවසූ දේ නිසා ඔබ අමනාපයෙන් සිටිනවා විය හැක. එනමුත් මෙම වටිනා උපදේශය සලකා බලන්න. “කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.” 25 සමහරවිට, මෙවන් කෝපයක් ඇතිවීමට හොඳ හේතු තිබිය හැක. එනමුත් පුරාණ ලේඛකයෙකු දුන් මෙම අවවාදය සැලකිල්ලට ගන්න. “කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.” 26 කෝපය කියන්නේ ඉතා ප්‍රබල හැඟීමකි. එය සමඟ කටයුතු කිරීමට ඔබට හැක්කේ කෙසේද? “සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.” 27 ඔව්, වෙනත් වචනවලින් කිවහොත් ඔබ ඔබගේ බුද්ධිය පාවිච්චි කළ යුතුය. ගැටලුවක් පැන නැඟුණු අවස්ථාවකදී ඔබගේ බුද්ධිය පාවිච්චි කරමින් ඔබට ඔබගෙන්ම මෙසේ අසාගත හැක. ‘ඔහු එහෙම ක්‍රියා කළේ ඇයි? එහෙම ක්‍රියා කරන්න ඔහුට බලපාපු යම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තිබුණාද?’ මෙහිදී බුද්ධියට අමතරව, කෝපය සමඟ කටයුතු කිරීමට උපකාරවත් වන තවත් ගුණාංග කිහිපයක් සඳහන් කිරීම වටී. “දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න. එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් ඇත් නම්, එකිනෙකාට කමා කරන්න. . . . මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න.” 28 ඔව්, මිනිස් සබඳතාවලදී පැනනැඟිය හැකි ගැටලු බොහොමයක් නිරාකරණය කරගැනීමට ප්‍රේමය ඉවහල් වේ.

12 එනමුත්, සාමදායී මිනිස් සබඳතා පවත්වාගෙන යෑමට ඉමහත් බාධාවක් වන “කුඩා අවයවයක්” ඇත. එය නම් දිව වේ. මතු දැක්වෙන වචන සැබෑවක් නොවේද? “දිව දමනයකරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරලිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය.” 29 එමනිසා මෙම උපදෙස් සිහියට ගැනීම වටී. “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.” 30 කෙසේවෙතත්, දිව පාවිච්චි කරද්දී තවත් දෙයක් මතක තබාගැනීම අවශ්‍යය. ප්‍රශ්නයක් නැති බව කියමින් ඔබගේ සැබෑ හැඟීම් වසං කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති විය හැක. එසේ නැතහොත් සමාදානය පවත්වාගැනීමේ චේතනාවෙන් පොඩි බොරුවක් පැවසීමට පෙලඹෙන්නට පුළුවන. මෙවැනි මවාපෑම්වලින් ඔබ වැළකිය යුතුය. “‘ඔව්’ නම් ඔව් කියාද ‘නැත’ නම් නැත කියාද පැවසීම ප්‍රමාණවත්ය. මන්ද ඊට වැඩි දෙයක් එන්නේ දුෂ්ට කෙනෙක්ගෙන්ය.” 31

13 ඔබට අන්‍යයන් සමඟ සමාදානයෙන් කල් ගෙවිය හැක්කේ කෙසේද? මෙම ප්‍රතිපත්තිය සලකා බලන්න. “සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න.” 32 ඔබ මෙම ප්‍රතිපත්තිය රකිනවා නම්, බොහෝදෙනෙකු රන් අණ ලෙස හඳුන්වන අණට එකඟව ඔබ ජීවත් වනවා කියා පැවසිය හැක. එම අණ නම් මෙයයි. “අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න.” 33

14 මානසික පීඩනය: පීඩනයෙන් පිරුණු මෙලොවෙහි ඔබගේ හැඟීම් පාලනය කර සමබරතාව රැකගත හැක්කේ කෙසේද? “සතුටු සිත මුහුණ එළිය කරයි; සෝ දුක සිත දෙදරවයි.” 34 ඔබට හරිව පෙනෙන දේ අනුන් නොසලකා හරින විට, ඔබගේ සතුට පහසුවෙන්ම නැති වී යා හැක. එනමුත් මෙම අවවාදය සිහියට ගැනීම උචිතය. “පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවන්න. පමණට වඩා ඥානවන්තයෙක් නොවන්න. එසේ වීමෙන් ඔබ නැසී යන්නේ කුමට ද?” 35 කෙසේවෙතත්, ඔබගේ ජීවිතය කනස්සල්ල ඇති කරවන අද්දැකීම්වලින් පිරී තිබෙනවා විය හැක. තත්වය එය නම්, ඔබ කුමක් කළ යුතුද? “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි” 36 කියා මතක තබාගන්න. ඔව්, ඔබට දිරිගැන්වීමක් ලැබෙන “කාරුණික වචන” ගැන මෙනෙහි කිරීමෙන් යම් සහනයක් ලබාගන්නට පුළුවන. ඇත්තෙන්ම, අසීරු තත්වයන් මැද ඒකාන්ත ආකල්පයක් පවත්වාගැනීම ඔබගේ සෞඛ්‍යයට පවා හිතකර විය හැක. “සතුටු සිත මහා ඖෂධයකි.” 37 අනුන් ඔබ ගැන සලකන්නේ නැති බවක් හැඟෙන විට ඔබ කලකිරීමට පත් වෙනවා නම්, මතු දැක්වෙන ඔවදන ක්‍රියාවට නැංවිය හැක. “ලැබීමට වඩා දීම භාග්‍යවන්ත ය.” 38 ඔව්, ඒකාන්ත ආකල්පයක් පවත්වාගැනීමෙන් දිනපතා මුහුණ දෙන පීඩාවන් සමඟ සාර්ථකව කටයුතු කරන්න ඔබට හැකි වෙයි.

15 විසි එක්වන සියවසට පා තබා ඇති ඔබට ඉහත සඳහන් ඔවදන් ප්‍රායෝගිකයි කියා සිතෙනවාද? එම ඔවදන් සියල්ල රැගෙන ඇත්තේ බයිබලයෙනි. අන් සෑම මූලාශ්‍රයකටම වඩා අප බයිබලය වෙතට යොමු විය යුත්තේ මන්ද? බයිබලයෙහි සඳහන් ප්‍රතිපත්ති ඕනෑම යුගයකට අදාළ වන බව නැවත නැවත ඔප්පු වී ඇති නිසාය. නිදසුනකට, කාන්තා විමුක්ති සංවිධානයට සම්බන්ධව සිටි යාසුහීරෝගේ සහ කායෝකෝගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන් යුග දිවියට පා තැබුවේ යාසුහීරෝ නිසා කායෝකෝ ගැබ්ගත් බැවිනි. එනමුත්, වැඩි කලක් යන්නට මත්තෙන් මූල්‍ය ගැටලු සහ නොයෙකුත් මතභේද ඇති වූ නිසා ඔවුහු සිය විවාහය කටු ගා දැමුවෝය. පසුව, ඔවුහු දෙදෙනාම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තෝය. එනමුත් අනික් කෙනා පාඩම් කරන බවක් දෙදෙනාම දැන සිටියේ නැත. තම තමන්ගේ ජීවිතය ප්‍රබල ආකාරයකින් වෙනස් වී ඇති බව දෙදෙනාම දුටුවෝය. එමනිසා යාසුහීරෝ සහ කායෝකෝ නැවතත් විවාහ වන්න තීරණය කළෝය. දැන් පවා ඔවුන්ගේ ජීවිත ගැටලුවලින් තොර නොවුවත්, මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා බයිබල් ප්‍රතිපත්ති ඔවුන්ට මහෝපකාරි වේ. තවද එම ගැටලු නිරාකරණය කරගැනීමට දෙදෙනාම යම් පරිත්‍යාගයන් කිරීමට හොඳ උත්සාහයක් දරති. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙස බැලුවොත්, ජීවිතයට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් නෙළාගත හැකි කදිම ප්‍රතිඵල මොනවාද කියා ඔබටම අවබෝධ කරගත හැක. එසේ නම්, බයිබලයට එකඟව ජීවත් වීමට උත්සාහ කරන මෙම ජන පිරිස පවත්වන රැස්වීම්වලට යන්න කියා ඔබව දිරිගන්වන්නට කැමැත්තෙමු.

16 බයිබලය නිධානයක් බඳුය. මසුරන් වටින දැනුම් සම්භාරයකින් පිරී ඇති මෙය ඔබගේ ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම නිරන්තරයෙන්ම ලබා දෙයි. ඉහත උපුටා දැක්වූ උපදෙස් ඒ දැනුම් සම්භාරයෙන් බිඳක් පමණි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබල් ප්‍රතිපත්ති තම ජීවිතවලට අදාළ කරගැනීමට කැමැත්තක් දක්වන්නේ යම් හේතූන් නිසාය. ඔවුන්ගේ කැමැත්තට හේතු වන දේ සොයාගන්නත්, බයිබලය පිළිබඳ මූලික කරුණු කිහිපයක් දැනගන්නත් ඔබට ඇරයුම් කරන්නට කැමැත්තෙමු.