Skip to content

පටුනට යන්න

9වන කොටස

සතුටින් පිරි ජීවිතයක් - දැනුත් සදහටත් භුක්ති විඳින්න!

සතුටින් පිරි ජීවිතයක් - දැනුත් සදහටත් භුක්ති විඳින්න!

දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් වර්ධනය කරගන්නවා නම්, සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වේ

බයිබල් ඉතිහාසයේ ඉතා ප්‍රමුඛ තැනක් ගන්නා පුද්ගලයෙකි ආබ්‍රහම්. හෙතෙම ඌර් නමැති ධනවත් නුවරක සැප පහසු ජීවිතයක් ගත කරමින් සිටියද, එය අත්හැරියේය. ඉන් පිටත්ව ගිය ඔහු, හාරාන් වෙතට පැමිණ යම් කාලයක් එහි දිවි ගෙවීය. අනතුරුව ඔහු එතැනින්ද පිටත්ව ගොස් ස්ථිර පදිංචියක් නොමැති අහිකුණ්ඨකයෙකු මෙන් දිවි ඇති තුරාම කූඩාරම්වල වාසය කළේය. (උත්පත්ති 12:1-3; ක්‍රියා 7:2-7; හෙබ්‍රෙව් 11:8-10) එහෙත්, “ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව ප්‍රාණය හැර නැසී” ගිය බව වාර්තා වී ඇත. (උත්පත්ති 25:8) යම් ආකාරයක කටුක ජීවිතයක් ගත කළත් ආබ්‍රහම්ට පූර්ණ ජීවිතයක්, ඔව්, සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වූයේ කෙසේද? ඔහු වයසින් පූර්ණව සිටියා කීමෙන් අදහස් වන්නේ ආබ්‍රහම් තම ජීවිත කාලයෙහි ඉටු කරගත් දේ ගැන නිකම්ම සෑහීමට පත් වූ මහල්ලෙකුව සිටි බවද? නැත. ආබ්‍රහම්ව පසුව ‘යෙහෝවාගේ මිත්‍රයා’ ලෙස හඳුන්වා ඇත්තේ ඔහුට දෙවි කෙරෙහි කැපීපෙනෙන ඇදහිල්ලක් තිබූ නිසාය. (යාකොබ් 2:23; යෙසායා 41:8) ඔව්, ආබ්‍රහම්ට පූර්ණ අර්ථයකින් යුතුව සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වූයේ ඔහු තම මැවුම්කරු සමඟ අර්ථවත් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය නිසාය.

ආබ්‍රහම්ටත් වඩා සතුටින් පිරි ජීවිතයක් ඔබට ගත කළ හැකිද?

2 වසර 4,000කට පමණ පෙර ආබ්‍රහම් ගත කළාක් මෙන් අර්ථවත්, සතුටින් පිරි ජීවිතයක් ඔබටද ගත කළ හැකිය. ඒ සඳහා දෙවි සමඟ මිත්‍රත්වයක් වර්ධනය කරගැනීම අවශ්‍යය. මුළු විශ්වයේම මැවුම්කරුගේ මිත්‍රයෙකු වීම සිතාගන්නවත් බැරි දෙයක් කියා ඔබ සිතනවා විය හැක. එනමුත් එසේ නොසිතිය යුතුය. ඔබට හැකියි දෙවිගේ මිතුරා වන්න. ඒ කෙසේද? ඔහුව දැන හඳුනාගෙන ඔහුට ප්‍රේම කිරීමෙනි. (1 කොරින්ති 8:3; ගලාති 4:9) ඔබේ මැවුම්කරු සමඟ එවන් සම්බන්ධතාවක් ඇති කරගැනීමෙන් අරුත්බර සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට ඔබට මං උදා කරගත හැකිය.

3 යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව පිළිගැනීමට කැමති අය සඳහා යෙහෝවා සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් සපයා ඇත. (යෙසායා 48:17) යහපත සහ නපුර කුමක්ද කියා ස්වාධීනව තීරණය කිරීමෙන් ආදම් දෙවිට විරුද්ධව කැරලිගැසූ ආකාරය ඔබට මතක ඇති. යෙහෝවා තම පුත්‍රයාගේ මිදීමේ පූජාව මාර්ගයෙන් මිනිස් පවුල මිලයට ගෙන පාපයෙන් සහ මරණයෙන් මිදීමට මඟක් සලසා දී ඇති බව ඇත්තයි. එනමුත් සෑම කෙනෙකුම පෞද්ගලිකව එම මිදීමේ මිලය පිළිගෙන, හරි වැරැද්ද සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගැනීමෙන් වැළකිය යුතුය. ඔව්, යේසුස්ගේ මිදීමේ පූජාව පිළිගන්නා අය සඳහා දෙවි සපයන නීති සහ ප්‍රතිපත්තිවලටද ඔබ යටත් විය යුතුය.

“ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්නුව මැනව”

4 දිගටම බයිබලය පාඩම් කර එහි සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට උත්සාහ කරන්න. එවිට හරි වැරැද්ද පිළිබඳ දෙවිගේ අනර්ඝ ප්‍රමිති සඳහා ඔබ තුළ අගයක් ඇති වෙනවාට සැකයක් නැත. (ගීතාවලිය 19:7-9) යෙහෝවාගේ අනාගතවක්තෘ මෝසෙස් දෙවිට මෙසේ පැවසීය. “එබැවින් මට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනගන්නා පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්නුව මැනව.” (නික්මයාම 33:13) එවන් දෙයක් දෙවිට පවසන්න ඔබ තුළත් පෙලඹීමක් ඇති වන්නේ නැද්ද? (ගීතාවලිය 25:4) මෙම ‘අන්තරා සහිත කාලවල’ මුහුණ දීමට සිදු වන ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති බයිබලයෙහි අන්තර්ගතය. (2 තිමෝති 3:1) ඒවා අධ්‍යයනය කිරීමෙන් ඒ කෙරෙහි ඔබේ අගය තවත් වැඩි වන අතර, යෙහෝවාව වඩාත් හොඳින් දැන හඳුනාගැනීමටත්, ඔහු සමඟ ඇති ඔබගේ මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගැනීමටත් හැකි වේ.

5 ආබ්‍රහම් ‘පූර්ණව, වෘද්ධයෙක්ව’ මිය ගියත්, මරණයට මුහුණ දෙන්න සිදු වන තෙක්, ඇත්තේ ඉතා කෙටි ජීවිතයක් යන කාරණය අප සැමට ප්‍රත්‍යක්ෂය. අප කොතරම් වයසට ගියත්, දිගටම ජීවත් වීමේ ආශාව අප සැම තුළම සහජයෙන්ම පිහිටා ඇත. ඒ, ‘දෙවි [සදාකාලය] මනුෂ්‍යයන්ගේ සිත්වල තබා තිබෙන’ හෙයිනි. “එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා [දෙවි] කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.” (දේශනාකාරයා 3:11, පාද සටහන) අප සදහටම ජීවත් වුවත්, යෙහෝවාගේ සියලු මැවිලි තේරුම්ගැනීමට අපට හැකි වන්නේ නැත. ඔව්, යෙහෝවාගේ පුදුම ක්‍රියා නිරීක්ෂණය කිරීමෙන්, අධ්‍යයනය කිරීමෙන් හා භුක්ති විඳීමෙන් ලැබිය හැකි ආස්වාදයට නිමක් නොමැත!—ගීතාවලිය 19:1-4; 104:24; 139:14.

6 එහෙත්, අදදින ගැටලුවලින් පිරුණු ලොව දෙස බලද්දී, මිහිපිට සදහටම ජීවත් වීම එතරම් සිත්ගන්නා අපේක්ෂාවක් නොවනවා විය හැක. එහෙත් බයිබලය අපට පවසන්නේ “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු” යන්නයි. එමනිසා බියවීමට කිසිදු හේතුවක් නැත. (2 පේතෘස් 3:13) මෙහිදී, “අලුත් අහස” යන යෙදුම නව ස්වර්ගික ආණ්ඩුවට, එනම් මුළු පොළෝ තලයම පාලනය කරන දේවරාජ්‍යයට යොමු දක්වයි. “අලුත් පොළොව” යනු එම රාජ්‍යයේ පාලනයට කීකරුව යටත් වන අයගෙන් සෑදුණු නව මිනිස් සමාජයයි. මෙම පොරොන්දුව සැබෑ කරවීමට යෙහෝවා ළඟදීම ‘පොළොව විනාශකරන්නවුන්ට’ එරෙහිව ක්‍රියා කරනවා ඇත.—එළිදරව් 11:18; 2 පේතෘස් 3:10.

7 ළඟදීම කීමෙන් අදහස් කරන්නේ තව කොතරම් කාලයක්ද? “පවතින ක්‍රමයේ අවසාන කාලපරිච්ඡේදයට . . . ලකුණ” [NW] විස්තර කරද්දී යේසුස් ජාතීන් අතර පවතින යුද්ධද, “නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද,” “වසංගතද,” ‘අධර්මිෂ්ඨකම බෝවීමද’ ගැන සඳහන් කළේය. (මතෙව් 24:3-13; ලූක් 21:10, 11; 2 තිමෝති 3:1-5) ඊළඟට හෙතෙම මෙසේ පුරෝකථනය කළේය. “මේ දේ සිදුවෙනවා දකින කල, [දෙවිගේ] රාජ්‍යය ළඟ බවත් දැනගන්න.” (ලූක් 21:31) ඔව්, යෙහෝවා විසින් දුෂ්ටයන්ව විනාශ කිරීමේ කාලය වේගයෙන් ළඟා වෙයි. *

8 යෙහෝවා විසින් පොළොවෙන් දුෂ්ටකම තුරන් කිරීමේ අවස්ථාව වන ‘සර්වපරාක්‍රමවූ දෙවිගේ මහත් දවසේ යුද්ධයෙන්’ පසු, පෘථිවිය පාරාදීසයක් බවට පත් කරනු ලැබේ. (එළිදරව් 16:14, 16; යෙසායා 51:3) ඉන් අනතුරුව, “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29) එනමුත් මියගොස් ඇති අයට කුමක් සිදු වේද? යේසුස් මෙසේ පැවසීය. “මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද [සිහි කිරීම පිණිස තැනූ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) සෑම පුද්ගලයෙකු ගැනම පෞද්ගලික සැලකිල්ලක් දක්වන යෙහෝවා මරණය නමැති නින්දෙහි සිටින අයව නැවත ජීවත් කරවීමේ ආශාවෙන් සිටියි. ජෛව තාක්ෂණය උපයෝගි කරගනිමින් මිනිස් “ක්ලෝන” (පිටපත්) බිහි කිරීමට විද්‍යාඥයන් උත්සාහ කළත්, එවැනි ක්‍රම යොදාගන්න මැවුම්කරුට අවශ්‍යතාවක් නොමැත. නැවත ජීවත් වීමට අවස්ථාවක් දිය යුතු සෑම පුද්ගලයෙකුගේම සියලු තොරතුරු සිහියේ තබාගන්නා ඔහු, ඔවුන්ව නැවත ජීවත් කරවීමේ හැකියාව ඇතුව සිටියි. ඔව්, පාරාදීස පොළොවක ඔබේ නෑදෑ හිතමිතුරන් ආදිය යළි හමුවීමේ අපේක්ෂාව යථාර්ථවාදී එකකි.

9 පාරාදීසයක ජීවිතය කෙලෙස විස්තර කළ හැකිද? එදාට මැවුම්කරුට එකා මෙන් ප්‍රශංසා පිරිනමන සතුටින් පිරි පුරුෂයන්ගෙන් සහ ස්ත්‍රීන්ගෙන් පොළොව පිරී පවතිනු ඇත. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24; 54:13) කිසිවෙකු කිසිම ආකාරයකින් මානසික පීඩනයකට ලක් වන්නේ නැත. චිත්තවේගීය හෝ මානසික ආබාධවලින් හෝ පෙළෙන්නේ නැත. සියල්ලන්ට ආහාර බහුලව ලබාගත හැකි අතර, දෙවිගේ අරමුණට එකඟව අර්ථවත් වැඩ කටයුතුවල නිරත වීමෙන් ඉමහත් සන්තෝෂයක්ද භුක්ති විඳිය හැක. (ගීතාවලිය 72:16; යෙසායා 65:23) තවද, සතුන් හා සෙසු මනුෂ්‍යයන් සමඟ මෙන්ම වඩාත් වැදගත් ලෙස ‘දෙවි හා සමඟ සමාදානය’ භුක්ති විඳීමටද ඔවුන්ට හැකි වේ.—රෝම 5:1; ගීතාවලිය 37:11; 72:7; යෙසායා 11:6-9.

10 ඒ පාරාදීසයෙහි සිටීමටත් ඉතා සතුටින් පිරි ජීවිතයක් භුක්ති විඳීමටත් ඔබ කුමක් කළ යුතුද? යේසුස් ක්‍රිස්තුස් මෙසේ පිළිතුරු දෙයි. “සදාකාල ජීවනයට මඟ වන්නේ, එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) එමනිසා, යෙහෝවා සහ යේසුස් ක්‍රිස්තුස් ගැන දිගටම දැනුම ලබාගනිමින්, දෙවිට ඔබෙන් ඕනෑ කරන්නේ කුමක්ද යන්න ගැන ඉගෙනගන්න. මින් යෙහෝවා දෙවිව සතුටු කරන්න ඔබට හැකියාව ලැබෙන අතර, සතුටින් පිරි ඉතා අර්ථවත් ජීවිතයක් ගත කිරීමටත් මඟ උදා වනවා නොඅනුමානය.

^ 7 ඡේ. මෙම අනාවැකිය සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතෙහි 9වන පරිච්ඡේදය කියවා බැලිය හැක.