Skip to content

පටුනට යන්න

1වන කොටස

සතුටින් පිරි ජීවිතයක් නිකම්ම සිහිනයක්ද?

සතුටින් පිරි ජීවිතයක් නිකම්ම සිහිනයක්ද?

සංවර්ධිත රටක තිබෙන නිවසක තත්වය කෙලෙස විස්තර කළ හැකිද? සුඛෝපභෝගි භාණ්ඩ රැසකින් පිරී ඇති එම නිවසෙන් කියාපාන්නේ, එහි පදිංචිකරුවන් ඉතා සැපපහසු ජීවිතයක් ගත කරන බවයි. එම නිවසේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වීමට ඔබ කැමතිද? කුමක්ද දැකගත හැක්කේ? ඉතා අප්‍රසන්න අසන්තෝෂයෙන් පිරුණු වාතාවරණයක් දැකගන්නට ලැබීමෙන් ඔබ පුදුමයට පත් වෙනවාද? පවුලේ නහඹර වියේ පසුවන දරු දැරියන් ඔවුන්ගේ දෙමාපියන්ට කතා කරන්නේ කිසිම ගරුසරුවක් නොදක්වමිනි. මව, ඇගේ පුරුෂයාගේ අවධානය ලබාගැනීමට ඉමහත් ආශාවකින් පසු වුණත්, ඔහු එය ගණන් නොගෙන තමාගේ පාඩුවේ සිටීමට කැමැත්තක් දක්වයි. මෙම යුවළගේ මහලු දෙමාපියන් ජීවත් වන්නේ වෙනත් ස්ථානයකයි. තම දූ දරුවන්ගේ ඇසුර ලබන්නට ඔවුන් ආශාවෙන් සිටියත්, ඔවුන්ව අවසාන වරට මුණගැසී ඇත්තේ දැනට මාස ගණනාවකට පෙරයි. දැන් මොහොතකට නතර වී තවත් නිවසක් වෙත යමු. මේ හා සමාන පීඩාවන්ට මුහුණ දෙන වෙනත් පවුලක් එහි සිටියි. එනමුත් ඔවුහු සිය ගැටලුවලට සාර්ථකව මුහුණ දෙමින් සතුටින් පිරි ජීවිතයක් ගත කරති. ඔබ සිතන පරිදි ඊට හේතුව කුමක් වන්නට ඇද්ද?

2 දැන් අපි ලෝකයේ තවත් කොනක සංවර්ධනය වෙමින් පවතින රටක වෙසෙන පවුලක් වෙත යමු. මෙම පවුලේ සාමාජිකයන් හත්දෙනෙකි. ඔවුන් සියලුදෙනාම ජීවත් වන්නේ කඩා වැටෙන්න ඔන්න මෙන්න කියා තිබෙන පැලකයි. ඊළඟ කෑම වේල තමන්ට ලැබෙයිදෝ කියා ඔවුහු නොදනිති. මෙයින් අපට සිහිගන්වන්නේ සාගින්න සහ දුගීකම මෙලොවේ තවමත් දැවෙමින් පවතින ප්‍රශ්න බවයි. එහෙත්, අද දුගීකමින් මිරිකී සිටින පවුල් බොහොමයක් ඊට මුහුණ දෙන්නේ ප්‍රීතිමත් ආකල්පයකිනි. ඒ මන්ද?

3 ධනවත් රටවල පවා මුදල් ගැටලු ඇති විය හැක. ජපානයේ විසූ එක්තරා පවුලක් තමන්ටම කියා නිවසක් මිල දී ගත්තේ ආර්ථිකය ඉතා ඉහළ මට්ටමක පැවති අවධියකයි. ආර්ථිකය තව තවත් දියුණු වේයැයි සිතූ ඔවුන් එම නිවස මිල දී ගත්තේ විශාල බැංකු ණයක් ආධාරයෙනි. එනමුත් ආර්ථිකය හදිස්සියේම පහත වැටුණු විට, ගත් බැංකු ණය සඳහා මාසික ගෙවීම් කිරීම ඔවුන්ට ඉතා අසීරු කාර්යයක් විය. ප්‍රතිඵලයක් වශයෙන්, වැය වූ මුදලට වඩා ඉතා අඩු මුදලකට නිවස විකුණා දැමීමට ඔවුන්ට සිදු විය. දැන් එම පවුල ඒ නිවසෙහි ජීවත් නොවුවත්, ගත් ණය තවමත් ගෙවා දමා නැත. මීට අමතරව, ණයවර පත් (ක්‍රෙඩිට් කාඩ්පත්) පාලනයකින් තොරව පාවිච්චි කිරීම නිසා ගොඩගැසී ඇති බිල්පත් ඉතා අමාරුවෙන් ගෙවා දැමීමට සිදුවීමත් ඔවුන්ට මහත් හිසරදයක් වී තිබේ. පියා අශ්ව රේස්වලට ඔට්ටු දමයි. පවුල ණය බරින් තව තවත් මිරිකෙයි. කෙසේවෙතත්, මේ හා සමාන දේවල් අද්දුටු තවත් පවුල් කිහිපයක්ම යම් සකස් වීම් කර සතුටුදායක ප්‍රතිඵල අද්දකිමින් සිටිති. ඔවුන්ගේ එම සතුටට රහස කුමක්ද කියා දැනගැනීමට ඔබ කැමතිද?

4 ඔබ කොතැනක ජීවත් වුවත් විවිධ පුද්ගලයන් සමඟ වැඩ කිරීමට හෝ ආශ්‍රය කිරීමට සිදුවීම අභියෝගයක් මෙන්ම මහත් කනස්සල්ලට හේතුවක් විය හැක. ඇත්තෙන්ම එය ඔබේ ප්‍රීතිය පවා සොරාගන්නවා විය හැක. රැකියාවේදී අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වීමෙන් ඔබගේ චරිතය ඝාතනය විය හැක. ඔබේ දියුණුවට ඊර්ෂ්‍යා කරන සමහරුන්, ඔබව අසාධාරණ ලෙස විවේචනය කරනවා වන්නට පුළුවන. දිනපතා ඔබ සමඟ වැඩ කරන පුද්ගලයෙකු ඔබව තරහ ගස්සනවා විය හැක. එසේ නැතහොත් අන් අය ඔබව ගණන් නොගෙන සිටිනවා වන්නට පුළුවන. පාසැලේදී, ඔබේ දරුවාට හිරිහැර විඳීමට සිදු විය හැක. තවද තනි මාපියෙකු නම්, ඔබේ ජීවිතය ගැටගසා ගැනීම කොතරම් අසීරුද කියාත්, අන්‍යයන් සමඟ කටයුතු කිරීම කොතරම් අභියෝගයක්ද කියාත් ඔබට හොඳ හැටි තේරෙනවා ඇති. ඇත්තෙන්ම මෙවැනි ගැටලුවලින් බොහෝ පුරුෂයන්ගේ සහ ස්ත්‍රීන්ගේ ජීවිතවලට ඉමහත් පීඩනයක් එල්ල වී තිබෙන බව නිසැකය.

5 මෙවැනි පීඩනයක බලපෑම ක්‍රමක්‍රමයෙන් වැඩි වී හිටිහැටියේම එය දරාගත නොහැකි මට්ටමකට පැමිණ අපගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැක. ඔව්, මානසික පීඩනය නිහඬ මාරයෙක් ලෙස හඳුන්වා ඇත. එය දිගටම පවතින එකක් නම් කෙමෙන් කෙමෙන් කැවෙන විසක් ලෙසද සැලකිය හැක. මිනසෝටා සරසවියේ මහාචාර්යවරයෙකු වන රොබට් එල්. වෙනින්ගා මෙසේ පවසයි. “අස්සක් මුල්ලක් නෑර ලොවේ සෑම තැනකම වෙසෙන වැඩ කරන ජනයාට මානසික පීඩනය සහ මානසික රෝග ලක්ෂණ ඇති වී තිබේ.” මානසික පීඩනය නිසා ඇති වන රෝග හේතුවෙන් එක්සත් ජනපදයට වාර්ෂිකව ඩොලර් බිලියන 200ක පාඩුවක් විඳීමට සිදු වන බව පැවසේ. මානසික පීඩනය දැන් අමෙරිකාවේ නවතම අපනයනය ලෙස හඳුන්වා ඇත. ලෝකයේ ප්‍රධාන භාෂාවන්ගෙන් වැඩි හරියක් ඒ සඳහා වචනයක් හෝ යෙදුමක් පවා භාවිත කරයි. මානසික පීඩනයකින් පසුවන කෙනෙකුට තමා සැලසුම් කළ දේවල් නියමිත කාලයට කරගැනීමට නොහැකි වන විට, ඉමහත් වරදසහිතභාවයේ හැඟීමක් ඇති විය හැක. එය ඔබේත් අද්දැකීමද? මෑතක කළ සමීක්ෂණයකින් හෙළි වූයේ, සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දවසකට පැය දෙකක් මෙලෙස වරදසහගත හැඟීම් සමඟ පොරබදින බවයි. ඒ කෙසේවෙතත්, තවත් සමහරුන් මානසික පීඩනයෙන් ජයගෙන තිබේ.

6 දිනපතා මෙවැනි ගැටලු සමඟ කටයුතු කිරීමට සිදු වුවත් සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට ඔබට හැක්කේ කෙසේද? ඇතැම් අය විශේෂඥයන් විසින් පළ කර ඇති උපකාරක පොත් සහ පත්‍රිකාවලින් උපදෙස් පතති. මෙවැනි පොත් පත්වලින් හොඳ මඟ පෙන්වීමක් ලබාගත හැකිද? එක් නිදසුනක් සලකා බලන්න. දොස්තර බෙන්ජමින් ස්පොක් ලොව පුරා ප්‍රසිද්ධ වූයේ ළමයින් ඇති දැඩි කිරීම හා සම්බන්ධ පොතක් පළ කිරීමත් සමඟය. මෙම පොත භාෂා 42කින් මුද්‍රණය කර ඇති අතර පිටපත් මිලියන 50කට ආසන්න ප්‍රමාණයකින් බෙදාහැර තිබේ. “අමෙරිකාවේ දෙමාපියන්ට වර්තමානයේ තිබෙන ලොකුම ගැටලුව නම්, . . . තම දරුවන් සමඟ ඍජුව කටයුතු කිරීමට නොහැකි වීමයි” කියා ඔහු කීවේය. මෙයට හේතු වී ඇත්තේ ඔහු ඇතුළුව වෙනත් විශේෂඥයන් දුන් උපදෙස් බව ඔහුම පිළිගත්තේය. “අපි දීපු උපදෙස් වැරදියි කියලා තේරුම්ගන්න කොට පරක්කු වැඩියි. ඇත්තටම අපේ මේ හිතුවක්කාර ආකල්ප නිසා දෙමාපියන්ට ඔවුන්ගේ වගකීම් ඉටු කරන්න තිබුණු ආත්ම විශ්වාසය නැති වුණා.” එසේ නම්, මෙලෙස ඇසීම සුදුසුය. ‘දැනුත් අනාගතයේදීත් සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට අපට බියක් සැකක් නොමැතිව අනුගමනය කළ හැක්කේ කාගේ උපදෙස්ද?’