ඉමහත් ප්‍රඥාවක් හා බලයක් සතු දෙවි කෙනෙක්
දෙවි නිර්මාණය කළ දේවලින් ඔහුගේ අනිකුත් ගතිලක්ෂණද හෙළි වෙන බව බුද්ධික පැහැදිලි කළා. ඔහු සංඛට හා අනූපමාට බයිබලයේ සිත්ගන්නාසුලු පදයක් පෙන්නුවා.
-
“යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.”—ගීතාවලිය 104:24.
“පුංචි කෘමියෙක් දිහා බලලා වුණත් යෙහෝවා දෙවිට කොයි තරම් ප්‍රඥාවක් තියෙනවද කියලා දැනගන්න අපිට පුළුවන්. උදාහරණයකට කුහුඹුවන් දිහා බැලුවොත් උන්ට සහජයෙන්ම ප්‍රඥාව උරුම වෙලා තියෙනවා. ඒ ගැන බයිබලයෙත් සඳහන් වෙනවා” කියා බුද්ධික පැවසුවා.
කුහුඹුවන් කඩිසරව තමන්ගේ කෑම රැස් කරගන්නා ආකාරය ගැන බුද්ධික සංඛට මතක් කර දුන්නා. එලෙස කෑම රැස් කරගත යුතුයි කියා උන් දන්නේ කොහොමද? ඒ පිළිබඳව එක් බයිබල් ලේඛකයෙක් පැවසුවේ කුහුඹුවන් “සහජයෙන්ම ප්‍රඥාවන්තය” කියායි. කුහුඹුවන්ට ඒ හැකියාව ලබා දුන්නේ කවුද? බයිබලයේ පවසන්නේ අහස, පොළොව සෑදූ යෙහෝවා දෙවි ඒ හැකියාව උන්ට ලබා දුන් බවයි.—හිතෝපදේශ 30:24, 25.
“ඒක ඇත්ත, සහජයෙන්ම ප්‍රඥාවන්ත ඒ කෘමීන් දිහා බැලුවම උන්ව කවුරු හරි කෙනෙක් නිර්මාණය කරන්න ඇති කියලා මටත් හිතෙනවා” කියා සංඛ පැවසුවා.
“ඇත්තටම අපි ජීවත් වෙන්නෙත් යෙහෝවා දෙවිගේ ප්‍රඥාව නිසයි” කියා බුද්ධික පැවසූ විට සංඛට හා අනූපමාට කුතුහලයක් ඇති වුණා. එය එසේ වන්නේ කොහොමද කියා ඔවුන්ට දැනගන්න අවශ්‍ය වුණා.
පොළොව ජීවයේ පැවැත්මට සුදුසුම ආකාරයට සකස් වී තිබීම ඇත්තෙන්ම පුදුමයක් බව බුද්ධික පැහැදිලි කළා. පෘථිවිය තම කක්ෂය වටා
හා සූර්යයා වටා නිසි වේගයෙන් ගමන් කරන නිසා සූර්යයාගෙන් ලැබෙන ශක්තිය පෘථිවියේ සෑම පැත්තකටම සමබර ලෙස ලැබෙනවා. පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා වායුගෝලයේ ඇති අත්‍යවශ්‍ය වායු පිටතට යෑම වළක්වනවා. නමුත් ගුරුත්වාකර්ෂණය අපට එහා මෙහා යෑමට නොහැකි වන සේ අපව පොළොවටම ඇද තබාගන්නේ නැහැ. ඒ වගේම ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ජලය පෘථිවියේ ඕනෑ තරම් තිබෙනවා. පස, ඛනිජ ලවණ හා පෝෂණ කොටස්වලින් අනූනයි. ඒවා ජලය සමඟ මිශ්‍ර වන අතර ගස් වැල් එම පෝෂ්‍ය කොටස් උරාගන්නවා.“මේ හැම දෙයක්ම අහම්බෙන් ඇති වුණ දේවල් නෙවෙයි. යෙහෝවා දෙවිගේ අසීමිත ප්‍රඥාව තිබුණේ නැත්නම් මේ එක දෙයක්වත් ඇති වෙන්නේ නැහැ” කියා බුද්ධික පැවසුවා.
සංඛ හා අනූපමා කිසිවක් නොකීවත් එය පිළිගත් බව ඔවුන්ගේ මුහුණුවලින් පෙනුණා.
බුද්ධික ඊළඟට පැවසුවේ යෙහෝවා දෙවිගේ තවත් ගතිලක්ෂණයක් වන බලය ගැනයි. සංඛට යෙහෝවා දෙවිගේ බලය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද කියා දැනගැනීමට ආශාවක් ඇති වුණා. ඒ නිසා බුද්ධික බයිබලයෙන් මෙම පදය පෙන්නුවා.
-
“විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.”—යෙරෙමියා 32:17.
“සූර්යයාගේ බලය ගැන සලකා බලද්දී යෙහෝවා දෙවිට කොයි තරම් බලයක් තියෙනවද කියලා අපට තේරුම්ගන්න පුළුවන්” කියා බුද්ධික පැවසුවා. “කාෂ්ටක අව්වේ යන කොට දැනෙන රස්නය ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද සූර්යයා කොයි තරම් බලයක් නිකුත් කරනවද කියලා?”
“ඔව්. සාමාන්‍යයෙන් පායන කාලෙට ඉන්න බැරි තරම් රස්නයක් දැනෙනවා” කියා සංඛ පැවසුවා. ඊට අනූපමාද එකඟ වුණා.
සූර්යයාගේ කේන්ද්‍රයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් කියා තමන් පොතකින් කියවා තිබූ බව බුද්ධික ඔවුන්ට පැවසුවා. ඔබ සූර්යයාගේ කේන්ද්‍රයෙන් ඇල්පෙනෙත්ති තුඩක තරම් කුඩා අංශුවක් පොළොව මත තැබුවොත් එයින් නිකුත් වන උෂ්ණත්වයෙන් හානියක් නැතුව ඔබට සිටින්න හැකි වන්නේ එම ස්ථානයේ සිට කිලෝමීටර් 150ක් පමණ ඈතින් සිටියොත් පමණයි. සෑම තත්පරයකදීම සූර්යයා නිකුත් කරන ශක්ති ප්‍රමාණය න්‍යෂ්ටික බෝම්බ මිලියන සිය ගණනක් පිපිරීමෙන් ඇති වන ශක්තියට සමානයි.
“සූර්යයාට මෙතරම් බලයක් තියෙනවා නම් සූර්යයාව නිර්මාණය කරපු තැනැත්තාට කොයි තරම් බලයක් තියෙන්න ඕනේද! යෙහෝවා දෙවිට තියෙන අතිමහත් බලය ගැන ඔයාට තේරුම්ගන්න මම ඔයාට පෙන්නුවේ පොඩි උදාහරණයක් විතරයි. ඇත්තෙන්ම දෙවිට තියෙන බලය කොයි තරම්ද කියලා අපිට හිතාගන්නවත් බැහැ” කියා බුද්ධික පැවසුවා.
මේ සෑම විස්මිත දෙයක්ම ඉබේ ඇති විය නොහැකියි කියා බුද්ධික පැවසූ විට එය තර්කානුකූලයි කියා සංඛට හා අනූපමාට සිතුණා. අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිව අපට නොපෙනුණත් ඔහු ඉතා ප්‍රේමණීය, ප්‍රඥාවන්ත, යුක්තිසහගත හා අතිමහත් බලයක් සතු සැබෑ පුද්ගලයෙක් කියා ඔහු නිර්මාණය කර තිබෙන දේවලින් පෙනෙන බව ඔවුන් වටහාගත්තා.