Skip to content

පටුනට යන්න

ප්‍රශ්න ගැටලුවලට හේතුව?

ප්‍රශ්න ගැටලුවලට හේතුව?

බුද්ධික, යෙහෝවා දෙවි ගැන සංඛට පහදා දුන් සියල්ලට ඔහුගේ සිත ඇදී ගියත් ඔහුගේ සිතේ පුංචි කුහුලක් තිබුණා. ඒ නිසා ඔහු බුද්ධිකගෙන් මෙසේ ඇසුවා. “යෙහෝවා දෙවිට මේ හැම දෙයක්ම නිර්මාණය කරන්න තරම් බලයක් තිබුණා නම් ඒ වගේම ඔහු ප්‍රේමණීය දෙවි කෙනෙක් නම් ඇයි ලෝකයේ මේ තරම් ප්‍රශ්න ගැටලු තියෙන්නේ? ඇයි අපි මේ තරම් දුක් විඳින්නේ?”

“ඔයාට ඒ වගේ හිතුණ එක සාධාරණයි සංඛ. ගොඩක් අය ඒ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරනවා. ඔයාට මතකද අපි දෙවිගේ යහපත් ගතිලක්ෂණ ගැන කතා කළා? එච්චර යහපත් දෙවි කෙනෙක් පොළොවේ ඉන්න ඔහුගේ දරුවන් දුක් විඳින එක බලාගෙන ඉඳියි කියලා ඔයා හිතනවද? අද අපි අද්දකින තත්වයට හේතුව මොකක්ද කියලා තේරුම්ගන්න නම් මිනිසා සම්බන්ධයෙන් දෙවි මුලින්ම අරමුණු කළ දේ අපි දැනගන්න ඕනේ. ඒ අරමුණ ඉටු නොවුණේ ඇයි කියලත් දැනගන්න ඕනේ” කියා බුද්ධික පැවසුවා.

යෙහෝවා දෙවි පොළොවේ සෑම දෙයක්ම නිර්මාණය කළාට පසු ඔහුට ඒ පිළිබඳව හැඟුණේ කොහොමද කියා සංඛට පැහැදිලි කිරීමට බුද්ධික මෙම බයිබල් පදය යොදාගත්තා.

  • “දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලුවේය. ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව ඔහු දුටුවේය.”—උත්පත්ති 1:31.

යෙහෝවා දෙවි පොළොවේ නිර්මාණය කළ සෑම දෙයකටම වඩා උසස්ම නිර්මාණය වුණේ මිනිසායි. ඔහු ස්ත්‍රියව ඒව ලෙසත් පුරුෂයාව ආදම් ලෙසත් හැඳින්වූවා. ඔවුන්ව සෑදුවේ කිසි අඩුපාඩුවක් නැති පරිපූර්ණ පුද්ගලයන් ලෙසයි. ඔවුන්ට සදාකාලයටම මේ පොළොවේ ජීවත් වීමේ හැකියාවද තිබුණා. ඔවුන් ජීවත් වුණේ දෙවි ඔවුන්ට ලබා දුන් ඒදන් කියා හැඳින්වූ උයනකයි. ජීවිතය සතුටින් ගත කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම එහි තිබුණා. කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. (උත්පත්ති 2:8, 9) ඒ විතරක් නෙවෙයි, දරුවන් බිහි කර මිනිස් පවුල පොළොව පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රස්තාවද යෙහෝවා දෙවි ඔවුන්ට ලබා දුන්නා. (උත්පත්ති 1:28) කල් යත්ම මේ මුළු පොළොවම පාරාදීසයක් වී සියලු මිනිසුන් එක පවුලක් මෙන් සතුටින් ජීවත් වෙනවා දැකීම දෙවිගේ අරමුණ වුණා. දෙවි මිනිසුන්ට ලබා දුන්නේ මොන තරම් ලස්සන ජීවිතයක්ද!

දෙවිගේ අරමුණ ඉටු නොවීමට හේතුව පහදා දීමට බුද්ධික තවත් බයිබල් පදයක් සංඛට පෙන්නුවා.

  • “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

ආදම් සහ ඒවට තම ජීවිතය දිගටම පවත්වාගැනීමටත් ඔවුන්ට දුන් පාරාදීසය රැකගැනීමටත් යම් නීතිරීති යෙහෝවා දෙවි ඉතාමත් ප්‍රේමණීය පියෙකු ලෙස ඔවුන්ට ලබා දුන්නා. (උත්පත්ති 2:15-17) නමුත් තමන් දුන් නීතිරීතිවලට යටත් වීමට යෙහෝවා දෙවි ඔවුන්ට බල කළේ නැහැ. ඒ වෙනුවට ප්‍රේමණීය, කීකරු දරුවන් ලෙස ඔවුන් ඒවාට කැමැත්තෙන්ම යටත් වෙනවා දකින්න ඔහු ආශා කළා. අද අපට කැමති දෙයක් කිරීමට නිදහස තිබෙනවා වගේ ඔවුන්ටත් නිදහස තිබුණා. ඔවුන් කළේ කුමක්ද?

කනගාටුවට කරුණක් වන්නේ ආදම් සහ ඒව ඔවුන්ගේ නිර්මාතෘගේ මඟ පෙන්වීම්වලට කීකරු නොවී තම හිතුමනාපෙට ක්‍රියා කිරීමයි. ඔවුන් පාපයට වැටුණේ ඒ නිසයි. පාපය යනු දෙවිගේ නීතියට අකීකරු වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආදම් සහ ඒව වයසට ගොස් මිය ගියා. දෙවිගේ නීතිවලට අකීකරු වුණොත් සිදු වන්නේ එයයි කියා දෙවි ඔවුන්ට කලින්ම කියා තිබුණා.—උත්පත්ති 2:17.

අපි සියලුදෙනාම ආදම් සහ ඒවගේ දරුවන් නිසා අපත් පව්කාරයෝ. ඒ නිසයි අපත් වයසට ගොස් මිය යන්නේ. එහෙත් මනුෂ්‍යයන් සඳහා වූ යෙහෝවා දෙවිගේ මුල් අරමුණ තවමත් වෙනස් වී නැහැ කියා බුද්ධික පැහැදිලි කළා. ප්‍රේමණීය පියෙකු ලෙස යෙහෝවා දෙවි සියලුම මනුෂ්‍ය වර්ගයා පාරාදීස පොළොවක ජීවත් වෙනවා දැකීමට ආශා කරනවා. බුද්ධික ඒ සම්බන්ධයෙන් බයිබල් පදයක් සංඛටත් අනූපමාටත් පෙන්නුවා.

  • “අහස නිර්මාණය කළ යෙහෝවා දෙවි, සැබෑ දෙවිය. ඔහු පොළොවද නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.”—යෙසායා 45:18.

මනුෂ්‍ය වර්ගයා සඳහා දෙවිගේ අරමුණ සැබෑ වෙයි

බුද්ධික බයිබලයේ සඳහන් ප්‍රීතිමත් පොරොන්දු ගැන සංඛට හා අනූපමාට නැවත මතක් කළා. අසනීප, දුක, වේදනාව තවත් නැහැ. කෑම හිඟයක් නැහැ. නිවාස ප්‍රශ්න නැහැ. කිසිවෙකුවත් මිය යන්නේ නැහැ. මේ සෑම දෙයක්ම දෙවිගේ නොවෙනස් වන මුල් අරමුණට ඇතුළත් දේවල්. පාරාදීස පොළොවක ජීවිතය කිසිදා නිමා නොවන එකක්. එම පොරොන්දුව ගැන සඳහන් වී ඇති බයිබල් පදයක් බුද්ධික ඔවුන්ට පෙන්නුවා.

  • “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

යෙහෝවා දෙවිගේ පොරොන්දුව එයයි. අනිවාර්යයෙන්ම එය ඉටු වෙයි.