Skip to content

පටුනට යන්න

ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් තිබේද?

ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් තිබේද?

සංඛ බොහෝ ප්‍රශ්න ගැටලුවලින් හෙම්බත් වී සිටින කෙනෙක්. හොඳ වැටුපක් ලැබෙන ස්ථිර රැකියාවක් සොයාගැනීමට ඔහු කාලයක සිට වෙහෙසෙනවා. ඔහුගේ එකම අරමුණ තම දරු පවුල රැකගෙන ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීමයි. නමුත් ඒ සිහිනය සැබෑ කරගැනීම තමන්ට එතරම් පහසු දෙයක් නොවන බව ඔහු හොඳින්ම දන්නවා. දැනට තමන්ට කළ හැකි එකම දේ වන්නේ තම සෞඛ්‍යය රැකගෙන රැකියාව දිගටම කරගෙන යෑමයි කියා ඔහු සිතනවා. එවිට දරුවන්ගේ කුසගින්න නිවීමට හා ගෙවල් කුලී ගෙවීමට යම් මුදලක් හරිහම්බ කරගැනීමට ඔහුට හැකි වෙයි. ඔහු නිතර දෙවේලේ කල්පනා කරන්නේ ‘මට මොනවා හරි වුණොත් මගේ දරුවන්ගේ අනාගතයට මොනවා වෙයිද’ කියායි.

අනූපමා සංඛගේ බිරිඳයි. ඇයත් කල් ගෙවන්නේ කනස්සල්ලෙන්. මෑතක සිට ඔවුන් දෙදෙනා අතර තිබූ බැඳීම දුර්වල වී තිබෙනවා. තම දරුවන්ට මඟ පෙන්වීම් ලබා දෙමින් ඔවුන්ව හොඳින් හදා වඩා ගැනීමට තම ස්වාමිපුරුෂයාගේ සහාය ඇය බලාපොරොත්තු වෙනවා. නමුත් සංඛට තම පවුල වෙනුවෙන් වැය කිරීමට කාලයක් නැහැ. වැඩ නිම වී නිවසට පැමිණෙන විට ඔහු සිටින්නේ හොඳටම වෙහෙසට පත් වෙලයි. ඒ නිසා සංඛ හා අනූපමා අතර නිතර නිතර බහින් බස් වීම් ඇති වෙනවා. එය ඇත්තටම අනූපමාගේ සිතට දුකක්. මන්දයත් දරුවන් ඉදිරියේ එසේ හැසිරීම කොහෙත්ම සුදුසු නැති බව ඇය දන්නවා. ඇගේ සිතට වධ දෙන තවත් දෙයක් තිබෙනවා. ඒ, හදිසියේවත් දරුවෙකු අසනීප වුණොත් බෙහෙත් කිරීම සඳහා මුදල් සොයාගන්නේ කොහෙන්ද යන්නයි. එවැනි දෙයක් ගැන සිතන්නවත් ඇය කැමති නැහැ.

අසල්වැසියන්ද යම් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ඔවුන් දෙදෙනාට පෙනී ගියා. කලින් තම අසල්වැසියන් අන් අයගේ ඕනෑ එපාකම් සොයා බලමින් එක පවුලක් මෙන් තමන් සමඟ එකට කාලය ගත කළ හැටි මේ යුවළට සිහිපත් වෙනවා. නමුත් දැන් ඔවුන්ට හැඟෙන්නේ තම අසල්වැසියන්ට එකිනෙකාව ඇසුරු කරන්න කාලය නැති බවයි. තමන්ගේ නෑ හිතමිතුරන්ද තමන් අද්දකින ප්‍රශ්න ගැටලුවලට සමාන ප්‍රශ්නවලින් හෙම්බත් වී අනාගතය ගැන කනස්සල්ලෙන් සිටින බව ඔවුන්ට වැටහුණා. ඇත්තෙන්ම සෑම කෙනෙකුම සිටින්නේ කුමන හෝ ප්‍රශ්නයකට මුහුණ දෙමිනුයි. තමන් මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුමක් සොයාගන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියා අනූපමා සිතුවා. නමුත් ඔවුන් දෙදෙනා කොතරම් වෑයම් කළත් තමන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් සොයාගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ.

දිනක් සංඛ හා අනූපමා ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ගැන කතා කරමින් සිටියා.

“අපේ ප්‍රශ්නවලට කොහෙන් හරි විසඳුමක් සොයාගන්න පුළුවන් නම් කොයි තරම් හොඳද” කියා සංඛ පැවසුවා.

“අනේ, මමත් ඒ ගැනම තමයි හැම වෙලාවෙම හිතන්නේ. එහෙම වුණා නම් අපේ මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි” කියා අනූපමා පැවසුවා.

එවිට සංඛ පැවසුවේ මෙවන් දෙයක්. “ජීවිතය ගැන හුඟක් අය එක එක විදිහේ දර්ශනවාදී අදහස් පළ කරනවා. ප්‍රශ්නවලට විසඳුමක් තියෙනවා කියලා හැම ආගමකම වගේ කියනවා. ඒත් හරි දේ මොකක්ද කියලා අපි කොහොමද දැනගන්නේ? අපිට පුළුවන්ද හැම ආගමක් ගැනම හොයලා බලන්න? අනික ඒ එක ආගමකින්වත් මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් දීලා නැහැ. මට හිතෙන්නේ ආගම් ගැන හොයලා බලන එක බොරු වැඩක් කියලයි.”

සංඛ කියූ දේට අනූපමා එකඟ වුණත් තමන් මුහුණ දෙන ප්‍රශ්නවලට කොහේ හෝ විසඳුමක් තිබිය යුතු බව ඇය විශ්වාස කළා. ඒ විසඳුම සොයාගන්න ඇයට මහත් ඕනෑකමක්ද තිබුණා.

සමහරවිට ඔබේ ජීවිත කතාවත් සංඛගේ හා අනූපමාගේ ජීවිත කතාවට සමාන ඇති. කොයි කවුරුත් නිරෝගිකම, මානසික සුවය, ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීම වැනි කාරණා ගැන සැලකිලිමත් වෙනවා. නමුත් ඒවා අත් කරගැනීම සිතන තරම් ලෙහෙසි දෙයක් වී නැහැ. එසේනම් අප අද්දකින ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් සොයාගත හැකිද?