Skip to content

පටුනට යන්න

විශ්වාස කළ හැකි පොරොන්දු

විශ්වාස කළ හැකි පොරොන්දු

බුද්ධික පැවසූ දේවල් ගැන සංඛ බැරෑරුම් ලෙස කල්පනා කළා. බයිබලය ගැන යම් තොරතුරු මීට පෙරද සංඛ අසා තිබුණා. එය ශුද්ධ පොතක් ලෙසත් ඔහු සැලකුවා. නමුත් අනාගතයේ සිදු වන දේවල් බයිබලයේ කලින්ම ලියා තිබෙන බව ඔහු දැනගත් පසු එය නිකම්ම නිකන් පැරණි ශුද්ධ පොතක් පමණක් විය නොහැකි බව ඔහුට හැඟුණා. බයිබලය ලියූ අය විද්‍යාත්මක තොරතුරු හා ඓතිහාසික තොරතුරු කලින්ම දැනගත්තේ කෙසේද කියා ඔහු කල්පනා කළා.

පසුවදා බුද්ධිකව හා පූර්ණිමාව මුණගැසීමට ගිය ඔවුන් මෙසේ ඇසුවා. “බුද්ධික, බයිබලය ලිව්ව අය කලින්ම ඒ තොරතුරු දැනගත්තේ කොහොමද?”

දෙවි තම පොරොන්දු ලියා තැබුවේ අපේ ප්‍රයෝජනය සඳහායි

බුද්ධික කාරණය පැහැදිලි කරන්න පටන්ගත්තා. “බයිබලය ලියූ අය හරියට ලේකම්වරු වගෙයි. ඒ අය තමන්ගේ අදහස් නෙවෙයි වෙන කෙනෙකුගේ අදහස් තමයි ලිව්වේ. කර්තෘ වෙන්නේ ඒ අදහස් දීපු කෙනා. අපි හැමෝටම ජීවිතය දුන්නෙත් එයායි. එයා තමයි අපි හැමෝගේම පියා.”

“අපි හැමෝගේම පියා! ඒ කවුද?” සංඛ ඇසුවා.

“ඒ පියාගේ නම බයිබලයේ තියෙනවා.” බුද්ධික එසේ පවසා ගීතාවලිය 83:18වන පදයට පෙරළා කියෙව්වා.

  • “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”

බුද්ධික තවත් බයිබල් පදයක් පෙන්නුවා. එහි යෙහෝවා දෙවිව හඳුන්වා තිබෙන්නේ ‘අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා හා මුල පටන්ම ඒ ගැන දැනුම් දෙන තැනැත්තා ලෙසටය. ඒ වගේම මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද බොහෝ කලකට පෙර දැනුම් දුන් තැනැත්තා ලෙසටය.’ (යෙසායා 46:10) බුද්ධික ඒ පදය මෙසේ පැහැදිලි කර දුන්නා. “අපිට වඩා අපේ තාත්තලාට ජීවිතය ගැන අද්දැකීම් හා දැනුමක් තියෙනවා වගේ, අපි හැමෝගේම පියා වන යෙහෝවා දෙවිට අපි හැමෝටම වඩා විශාල දැනුම් සම්භාරයක් හා ප්‍රඥාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුට පුළුවන් අනාගතයේ මොනවද වෙන්නේ කියලත් කියන්න. ඒ නිසා ඔහුට හැකි වුණා බයිබල් ලේඛකයන්ට අනාගතයේ සිදු වන දේවල් ගැන ලියන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න.”

එවිට සංඛ මෙසේ ඇසුවා. “මගෙයි අනූපමාගෙයි අනාගතය ගැනත් යෙහෝවා දෙවි දන්නවාද?”

“හොඳ ප්‍රශ්නයක් සංඛ ඇහැව්වේ. යෙහෝවා දෙවි අපි එක් එක් කෙනාගේ අනාගතය මොන වගේ වෙයිද කියලා කලින්ම තීරණය කරලා නැහැ. ඒත් ඔහු දන්නවා අපේ ප්‍රශ්න ගැටලු මොනවද කියලා. ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්න හරියට පියෙක් තම දරුවන්ට උපකාර කරන්න ආසාවෙන් ඉන්නවා වගේ ඔහුත් අපට උපකාර කරන්න ආසාවෙන් ඉන්නවා.”

යෙහෝවා දෙවි සතුට හා සැනසුම පිරුණු ජීවිතයක් ඔවුන්ට ලබා දෙන ආකාරයත් ඔවුන් දැන් ගන්නා තීරණ අදට වගේම ඔවුන්ගේ අනාගතයට බලපාන ආකාරයත් බයිබලයෙන් දැනගන්න පුළුවන් කියා බුද්ධික සංඛට පැවසුවා.

සංඛට තර්කය පැහැදිලි වුණා. ‘පියෙක් හැටියට මම, මගේ දරුවන්ට සන්තෝෂවත් අනාගතයක් සලසා දෙන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා නම් දෙවි ඊට වඩා කොයි තරම් දේවල් කරයිද’ කියා ඔහු කල්පනා කරන්න පටන්ගත්තා. බයිබලයේ සඳහන් දෙවිගේ තවත් පොරොන්දු කිහිපයක් බුද්ධික ඔවුන්ට පෙන්නුවා. ඊළඟට සඳහන් වෙන්නේ ඒවායින් කිහිපයක්.

  • “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.”—ගීතාවලිය 46:9.

  • “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය.”—යෙසායා 65:21, 22.

  • “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

  • “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.

අනාගතයේදී උදා වන ප්‍රීතිමත් කාලය ගැන බයිබලයේ සඳහන් වෙනවා

බයිබලයේ සඳහන් ඒ පොරොන්දු කෙරෙහි සංඛගේ සිත ඇදී ගියා. අසනීප හා මරණය නැති, ආහාර බහුල වශයෙන් තිබෙන, ඒ වගේම සියලුදෙනාටම සාධාරණව සලකන කාලයක ජීවත් වීම ගැන සිතද්දී ඔහුගේ සිතට ඉමහත් සතුටක් දැනුණා. ඒ කාරණාවලට අනූපමාගේ සිතත් ඇදී ගියා. ඒත් ඒ පොරොන්දු ඇත්තටම ඉටු වෙයිද කියා ඇය කල්පනා කළා.

“ඔයාට මම කියපු දේවල් එකපාරටම පිළිගන්න අමාරුයි කියලා මට තේරෙනවා. ඒත් අනූපමා, මේ ගැන ටිකක් හිතන්න. බයිබලයේ අනික් අනාවැකි අකුරටම ඉටු වුණා නම් අනාගතය ගැන කියලා තියෙන මේ අනාවැකිත් ඉටු වෙයි කියලා අපිට හිතන්න බැරිද? ඒවා අනිවාර්යයෙන්ම ඉටු වන බව බයිබලයේ කර්තෘ වන දෙවිම මේ විදිහට සහතික කරලා තියෙනවා. ‘ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය.’”—එළිදරව් 21:5.