Skip to content

පටුනට යන්න

විශිෂ්ට පොතක්

විශිෂ්ට පොතක්

පූර්ණිමා තමාට පැවසූ දේවල් ගැන එදින සවස අනූපමා සංඛට විස්තර කළා. සංඛටත් ඒ ගැන උනන්දුවක් ඇති වුණා. ඒත් බොහෝදෙනෙක් ප්‍රශ්න ගැටලුවලට නොයෙක් ආකාර විසඳුම් ඉදිරිපත් කරන නිසා ඇය පැවසූ දේ ඔහු එතරම් විශ්වාස කළේ නැහැ. ඒ කෙසේවෙතත් බුද්ධික සමඟ කතා කර බැලිය යුතුයි කියා සංඛ සිතුවා. ඊළඟ සෙනසුරාදා ඔහුව හමු වූ විට සංඛ ඔහුගෙන් ඒ ගැන ඇසුවා.

එවිට බුද්ධික මෙවැනි දෙයක් පැවසුවා. “පූර්ණිමා කිව්ව දේවල් සඳහන් වෙලා තියෙන්නේ බයිබලයේ. මම කාලයක් තිස්සේ ඒක කියවනවා. මට හොඳටම විශ්වාසයි බයිබලයේ තියෙන දේවල් හරි කියලා.”

මෙතරම් කාලයක් තමන්ගේ සිතට වධ දෙමින් තිබූ කාරණා ගැන සංඛ පැවසුවා. “ආගම් නම් හුඟක් තියෙනවා. එක එක විදිහේ දර්ශනවාදී අදහස්වලිනුත් කිසිම අඩුවක් නැහැ. ඒ හැම එකකින්ම කියන්නේ තමන් ළඟ විසඳුම් තියෙනවා කියලා. ඒත් බලන්න බුද්ධික, හැමෝම වගේ දුක් විඳිනවා. දුප්පත්කම තවම විසඳිලා නැහැ. ආගම්වලින්වත් දර්ශනවාදී අදහස්වලින්වත් පුළුවන් වෙලා තියෙනවාද ඒවාට විසඳුමක් දීලා, යුද්ධ, ජාතිවාදය වගේ දේවල් නැති කරලා හොඳ පාලනයක් ඇති කරන්න? නැහැනේ! එහෙනම් බයිබලයේ තියෙන දේවල් ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද?”

ඒ අවස්ථාවේදී බුද්ධික, මේ බයිබල් පද දෙක සංඛට පෙන්නුවා. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” සහ “මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම හොඳින් දනිමි.” සංඛ ඒ වදන් සත්‍යයක් බව පිළිගත්තා. හේතුව සංඛ ජීවත් වන රටේ විතරක් නෙවෙයි බටහිර රටවලත් ඒ පදවල සඳහන් දේ ඇත්තටම සිදු වෙනවා.

බයිබලය විශ්වාස කිරීමට තවත් හේතු බොහොමයක් තිබෙන බව බුද්ධික, සංඛට පැවසුවා. “පූර්ණිමා, අනූපමාට පෙන්නුවේ අපේ ජීවිතය සාර්ථක කරගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් කිහිපයක් විතරයි. අපි අද්දකින ගැටලුවලට හේතුව මොකක්ද කියලත් බයිබලයේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ වගේම බයිබලයේ තියෙන කාරණා විද්‍යාවටත් එකඟයි.”

එහෙත් සංඛට බයිබලය ගැන තවමත් විශ්වාසයක් ඇති වුණේ නැහැ. “බයිබලය පරණ පොතක්නේ. ඉතින් අපි මේ කාලයේ අද්දකින ප්‍රශ්නවලට විසඳුම් මේ පොතේ තියෙන්නේ කොහොමද? අනික බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවට එකඟයි කියලා කියන්නේ කොහොමද” කියාත් සංඛ ඇසුවා. ඒ වගේම ඔහුට බයිබලයේ කර්තෘ කවුද කියලත් දැනගන්න අවශ්‍ය වුණා.

“බයිබලයට කුඩා පොත් 66ක් ඇතුළත් වෙනවා. ඒක තරමක් විශාල පොතක්. ඒක ලියන්න ලේඛකයෝ 40කට වඩා වැඩි පිරිසක් හවුල් වුණා. බයිබලය ලියලා ඉවර කරන්න අවුරුදු 1,600ක විතර කාලයක් ගත වුණා. ඒක ලියලා ඉවර වුණේ මීට අවුරුදු 1,900කට කලිනුයි. ඒ ලේඛකයන්ට විද්‍යාව ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඒත් ඒගොල්ලන් ලිව්ව දේවල් හරි කියලා ප්‍රසිද්ධ විද්‍යාඥයන් හොයාගත්තේ අවුරුදු දහස් ගණනකට පස්සෙයි. උදාහරණයකට එක බයිබල් ලේඛකයෙක් ලිව්වා, පොළොව ‘හිස් අවකාශයේ එල්ලා තැබුවේය’ කියලා. තවත් ලේඛකයෙක් ලිව්වා පෘථිවිය ගෝලයක් කියලා. මේ දේවල් බයිබලය ලියන කාලයේදී කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ඒවා විද්‍යාඥයන් හොයාගත්තේ මෑතකදීයි.”

“හරි පුදුමයි! මට හිතාගන්නවත් බැහැ” කියා සංඛ පැවසුවා. තවත් සිත්ගන්නාසුලු කාරණයක් සංඛට පෙන්වීමට බුද්ධිකට හිතුණා. ඒ බයිබලයේ සඳහන් අනාවැකියක් ගැනයි.

“ප්‍රබල ආණ්ඩුවක බිඳ වැටීමක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වුණේ ඒ සිද්ධිය වෙන්න අවුරුදු 200කට කලිනුයි. ඒ තමයි බැබිලෝනිය කියන අධිරාජ්‍යය. ඒක පරාජය වෙනවා කියලා විතරක් නෙවෙයි පරාජය කරන්නේ කොහොමද කියලත් සඳහන් වෙලා තිබුණා. පුදුමේ කියන්නේ ඒක යටත් කරගන්නා රජුගේ නමත් ඒකේ සඳහන් වුණා. ඒ වෙන කොට ඒ රජ ඉපදිලාවත් නැහැ. ඒ වගේ සිද්ධීන් සිය ගණනක් බයිබලයේ සඳහන් වෙලා තියෙනවා” කියා බුද්ධික පැහැදිලි කළා.

සංඛ, බුද්ධික කියූ දේවල් ගැන කල්පනා කරමින් සිටින විට ඔහුගේ සිතට වධ දෙමින් තිබූ තවත් කාරණයකට හේතුව බුද්ධික පැහැදිලි කළා. “සංඛ, ඔයා දන්නවාද අපි හැමෝටම දුෂ්කර තත්වයන්වලට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා බයිබලයේ මීට අවුරුදු 1,900කට කලින් සඳහන් වෙලා තිබුණා කියලා?” පසුව බුද්ධික බයිබලයේ සඳහන් ඒ කොටස ඔහුට ඇසෙන සේ කියෙව්වා.

  • අද දින අප අද්දකින බොහෝ ප්‍රශ්න ගැටලු ගැන බයිබලයේ කලින්ම සඳහන් කර තිබුණා

    “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.”

ලෝකය පුරා යුද්ධ, නොයෙකුත් ලෙඩ රෝග, සාගත, භූමිකම්පා, නීති විරෝධි ක්‍රියා සිදු වෙනවා කියලත් බයිබලයේ සඳහන් වී තිබෙන බව බුද්ධික සංඛට පැවසුවා.

සංඛයි, ඔහුගේ බිරිඳයි අද්දකිමින් සිටින බොහෝ ප්‍රශ්න ගැටලු ගැන බයිබලයේ කලින්ම සඳහන් වී තිබෙන බව දුටු විට සංඛට දෙනෙත් අදහාගත නොහැකි වුණා.

“හරි පුදුමයි!” එයයි සංඛගේ මුවින් පිට වුණේ.