Skip to content

පටුනට යන්න

සතුට හා සැනසුම වැඩි ඈතක නොවේ!

සතුට හා සැනසුම වැඩි ඈතක නොවේ!

එකිනෙකාට ප්‍රේමයෙන් සලකන ගුණ යහපත් මිනිසුන්ගෙන් අනාගතයේදී මේ පොළොව පිරී යනවා කියා සිතන විටත් සංඛට හා අනූපමාට ඉමහත් සතුටක් දැනුණා. කුසගින්න, ලෙඩ දුක්, මරණය නැති ලොවක සියලුදෙනාම සතුටින් හා සාමයෙන් ජීවිතය ගත කිරීම මොන තරම් සුන්දර අද්දැකීමක් වෙයිද කියා ඔවුන් සිතුවා. ඒ සියල්ල ඉක්මනින්ම සිදු වෙනවා නම් කොතරම් හොඳද කියා ඔවුන් කල්පනා කළා.

“කවදද මේ පොරොන්දු ඉටු වෙන්නේ?” එය දැනගන්නා තුරු සංඛට ඉවසිල්ලක් තිබුණේ නැහැ.

“මම හිතුවා ඔයා ඊළඟට ඒ ප්‍රශ්නය අහයි කියලා. ඔයා අහලා තියෙනවද යේසුස් ගැන” කියා බුද්ධික සංඛගෙන් ඇසුවා.

“ඔව්. ඔහු ගොඩක් නැණවත් දේවල් උගන්වපු කෙනෙක් කියලා මම අහලා තියෙනවා. ඒත් මම අහපු ප්‍රශ්නෙට ඒක අදාළ වෙන්නේ කොහොමද” කියා සංඛ ඇසුවා.

“ඔයා දැන් මගෙන් අහපු ප්‍රශ්නයම මීට අවුරුදු 2,000කට විතර කලින් යේසුස් මේ පොළොවේ ජීවත් වෙද්දී එයාගේ අනුගාමිකයෙනුත් ඔහුගෙන් ඇහැව්වා. ඒක වෙන්නේ කොයි කාලයේද කියලා දැනගන්න යේසුස් ඔවුන්ට එක්තරා සිද්ධීන් මාලාවක් ගැන කිව්වා. ඒ සිද්ධීන් මාලාව ‘ලකුණක්’ හැටියට බයිබලයේ සඳහන් වෙනවා. ඒ ලකුණට අයත් සිද්ධීන් සියල්ල ඉටු වෙද්දී ඒ පොරොන්දු ඉටු වීමේ කාලය ළඟ බව දැනගන්න පුළුවන් කියලා යේසුස් පැවසුවා” කියා බුද්ධික පැහැදිලි කළා.—මතෙව් 24:3.

දෙවිගේ රාජ්‍යය ළඟ බව පෙන්වන ‘ලකුණට’ අදාළ සිද්ධීන් ඔබට පෙනෙනවාද?

“ලකුණක්? අපි ආසයි ඒ ලකුණට ඇතුළත් සිද්ධීන් මොනවද කියලා දැනගන්න” කියා සංඛ පැවසුවා.

“ඒ ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙනවා” කියා පවසමින් බුද්ධික බයිබලය පෙරළා පද කිහිපයක් කියෙව්වා.

  • “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි.”—මතෙව් 24:7.

  • “එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්.”—මතෙව් 24:7.

  • ‘අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වෙයි.’—මතෙව් 24:12.

  • ‘මහත් භූමිකම්පා ඇති වෙයි.’—ලූක් 21:11.

  • ‘එක් තැනක් පාසා තවත් තැනක වසංගත ඇති වෙයි.’—ලූක් 21:11.

එම පද පෙන්වූ විගස සංඛ හා අනූපමා පැවසුවේ ඒ දේවල් අද දිනත් සිදු වන බවයි. ඒ නිසා ඉදිරියේදී තත්වය මීටත් වඩා දරුණු විය හැකිද කියා ඔවුන් සිතුවා.

එවිට බුද්ධික මෙසේ පැහැදිලි කළා. “ඇත්තටම අපි කනස්සලු වෙනවා වෙනුවට සතුටු වෙන්න ඕනේ. මේ ලකුණට අයත් සිද්ධීන් ඉටු වෙනවා කියන්නේ යෙහෝවා දෙවි මේ පොළොව පාලනය කරන කාලය ළඟයි කියන එකයි. බයිබලයේ එම පාලනය එහෙමත් නැත්නම් ආණ්ඩුව හඳුන්වන්නේ දෙවිගේ රාජ්‍යය කියලා.” ඉන්පසු බුද්ධික දෙවිගේ රාජ්‍යය මගින් ඉටු කරන දේ පිළිබඳ බයිබල් පදයක් පෙන්නුවා.

  • “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානියෙල් 2:44.

“දෙවිගේ රාජ්‍යය මුළු පොළොවම පාලනය කරන කොට සියලු දුෂ්ටකම්, අයුක්තිය හා දූෂණය මුළුමනින්ම නැති වී යනවා. ඒ ගැන හිතන කොටත් අපිට මොන තරම් සතුටක් දැනෙනවද” කියා බුද්ධික තවදුරටත් පැවසුවා.

මේ සෑම දෙයක්ම ඇසූ පසු සංඛට හා අනූපමාට ඒ සාමකාමී කාලයේ ජීවත් වීමට දැඩි ආශාවක් ඇති වුණා.

“ඒ ප්‍රීතිමත් අනාගතය ලබාගන්න නම් අපි මොනවද කරන්න ඕනේ” කියා සංඛ ඇසුවා.

“සාමාන්‍යයෙන් සංඛ, වටිනා දෙයක් ලබාගන්න නම් අපිත් යමක් දෙන්න ඕනේ නේද? ටිකක් හිතන්න ආදම් සහ ඒව නැති කරගත් දේ ගැන. ඔවුන්ට ලැබුණ ඒ වටිනා ජීවිතය නැති වුණේ ඇයි” කියා බුද්ධික ඇසුවා.

“ආදම් සහ ඒවට එයාලා භුක්ති විඳිමින් හිටපු ප්‍රීතිමත් ජීවිතය නැති වුණේ දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වුණේ නැති නිසා නේද” කියා සංඛ පැවසුවා.

“ඔයා කිව්ව දේ හරි. යෙහෝවා දෙවි අපෙනුත් යමක් බලාපොරොත්තු වෙනවා. අපිට පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ඕනේ නම් අපි ඔහු ගැන ඉගෙනගෙන ඔහුගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඕනේ” කියා බුද්ධික පැහැදිලි කළා.

ඉහත කී දේවල් සාධාරණයි කියා සංඛ පිළිගත්තා. නමුත් දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ ඉටු කරන්නේ කෙසේද කියා ඔහු කල්පනා කළා.

සතුට හා සැනසුම සොයාගත හැකි මාර්ගයේ යන්න කියා යෙහෝවා දෙවි අපට ආරාධනා කරනවා

බුද්ධික ඔහුව මෙසේ දිරිමත් කළා. “යෙහෝවා දෙවිට කීකරු වෙන එක අමාරු දෙයක් නෙවෙයි. ඔහු ප්‍රේමණීය පියෙක් නිසා අපේම යහපතට හේතු වන දේවල් තමයි ඔහු අපට කරන්න කියන්නේ. ඔහු අපිට සාමකාමී නව ලොවේ ජීවිතයක් ලබාගන්නා විදිහ ගැන විතරක් නෙවෙයි ඒ සඳහා අපට ඕනෑ කරන මඟ පෙන්වීම්ද ලබා දෙනවා. යෙහෝවා දෙවි අපිට ආදරයෙන් කරන මේ ආරාධනය බලන්න.”

  • “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය. එමෙන්ම, වැලි මෙන් විශාල දරු පරම්පරාවක් ඔබෙන් පැවතෙන්නේය. මම ඊශ්‍රායෙල් යන නාමය මාගේ මතකයෙන් පහ නොකරන්නෙමි. එම නාමය මැකී යන්නත් මම ඉඩ නොදෙන්නෙමි.”—යෙසායා 48:17-19.

සංඛට හා අනූපමාට ඒ වදන්වලින් විශාල දිරිගැන්වීමක් ලැබුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ තමන්ගේ පවුලේ අය සමඟ සතුට හා සැනසුම ලබා දෙන ජීවන මාර්ගයේ යෑමටයි. තමන්ගේ දරුවන් සමඟ සාමකාමී ධර්මිෂ්ඨ ලොවේ ජීවත් වීම කොතරම් සුන්දර අද්දැකීමක් වෙයිද කියා ඔවුන් කල්පනා කළා.

“යෙහෝවා දෙවි උගන්වන දේවල් ඉගෙනගෙන ඒ අනුව ජීවත් වෙන්න වෑයම් කළොත් මේ හැම ආශීර්වාදයක්ම අද්දකින්න ඔයාලටත් පුළුවන් වෙයි” කියා බුද්ධික ඔවුන්ට පැවසුවා.

“අපි කොහොමද මේ දේවල් ඉගෙනගන්නේ? ඔයාටයි පූර්ණිමාටයි බැරිද අපිට උදව් කරන්න” කියා සංඛ මහත් ආශාවෙන් ඇසුවා.

“අපි ආසයි ඔයාලට උදව් කරන්න. සැබෑ සතුට හා සැනසුම හොයාගන්න ඔයාලට උපකාරවත් වන දෙයක් අපි ළඟ තියෙනවා.”