Skip to content

පටුනට යන්න

සියලු දේවල නිර්මාතෘව දැන හඳුනා ගැනීම

සියලු දේවල නිර්මාතෘව දැන හඳුනා ගැනීම

යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන සංඛ සතුටට පත් වුණත් එම පොරොන්දු ඉටු කිරීමට තරම් බලයක් දෙවිට තිබෙනවාද කියා ඔහු කල්පනා කළා. ඒ ගැන ඔහුට පැහැදිලි කර දීමට බුද්ධික යොදාගත්තේ හැමෝටම හුරු පුරුදු තර්කයක් වන හේතුපලවාදයයි.

බයිබලය තුළත් එම සරල තර්කය තිබෙන බව බුද්ධික සංඛට පැහැදිලි කළා. පසුව ඔහු එය බයිබලයෙන් පෙන්නුවා.

  • ‘සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතුයි.’—හෙබ්‍රෙව් 3:4.

“ඔව්, ඒක ඇත්තයි. කිසිම ගෙයක් ඉබේ තැනෙන්නේ නැහැනේ” කියා සංඛ පිළිතුරු දුන්නා.

“මේ කාරණය තව ටිකක් අවබෝධ කරගන්න මේ උදාහරණය ගැනත් හිතන්න සංඛ. කවුරු හරි කෙනෙක් හැදුවේ නැත්නම් ඉබේම කෑමක් පිළියෙල වෙයිද” කියා බුද්ධික ඇසුවා.

අප අවට ඇති සෑම දෙයක්ම ඒ උදාහරණ දෙකට වඩා ඉතා සංකීර්ණ බව බුද්ධික පැහැදිලි කළා. “ටිකක් බලන්න මල් දිහා. ඒවා කොයි තරම් සියුම් සුන්දර නිර්මාණද! ඒ වගේම කඳු පර්වත ගැන හිතන්න. මුහුදු රළ පහරක තියෙන ප්‍රබලත්වය කොයි තරම්ද! අපේ මුළු විශ්වයම මොන තරම් විශාලද! ගෙයක් හදන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගේම ඉදිකරන්නෙක් අවශ්‍ය නම්, කෑමක් පිළියෙල කරන්න යමෙක් අවශ්‍ය නම්, මේ විශ්වයේ තියෙන පුදුමාකාර දේවල් ඉබේ ඇති වුණා කියලා හිතන්න පුළුවන්ද? ඒවාත් අනිවාර්යයෙන්ම කවුරු හරි නිර්මාණය කරලා සෑදුවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?”

බුද්ධික පෙන්වූ තර්කය සංඛට වැටහුණා.

බුද්ධික තවදුරටත් මෙසේ පැවසුවා. “බයිබලයේ සඳහන් වෙන්නේ හැම දෙයක්ම නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා කියලා. ඔහු තමයි හැම දේම හැදුවේ. ඇත්තෙන්ම කාට හරි මේ හැම දෙයක්ම හදන්න පුළුවන් නම් ඔහුට විශාල බලයක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ඒ තැනැත්තාව බයිබලයේ දෙවි හැටියට හඳුන්වන්නේ. දෙවි යන වචනයට බයිබලය ලියපු මුල්ම භාෂාවේ දී තිබූ වචනයේ තේරුම ‘බලවත් තැනැත්තාණන්.’ අද මිනිසුන් දෙවිවරු හැටියට සලකන ගොඩක් අය ඉන්නවා. ඒත් යෙහෝවා දෙවි මේ විශ්වයේ හැම දෙයක්ම හදපු නිසා සියලු බලැති දෙවි හැටියට හඳුන්වන්න පුළුවන් ඔහුව විතරයි.”

සෑම දෙයක්ම නිර්මාණය කර සෑදූ කෙනෙක් සිටිය යුතුයි

යෙහෝවා දෙවි කළ නොයෙකුත් විස්මිත නිර්මාණයන් ගැන බයිබලයේ පැහැදිලි කර තිබෙන ආකාරය කියවා බැලීමෙන් සංඛ පුදුමයට පත් වුණා. පහත දැක්වෙන්නේ බුද්ධික සංඛට පෙන්වූ බයිබල් පද කිහිපයක්.

  • “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”—උත්පත්ති 1:1.

  • “යෙහෝවා දෙවි සැබෑ දෙවි බව තේරුම්ගන්න. අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය.”—ගීතාවලිය 100:3.

  • “අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය, ඔහු තම දෑතින් නිර්මාණය කළ දේට සාක්ෂි දෙයි.”—ගීතාවලිය 19:1.

  • “අහස දිගේ පඩි පේළියක් තැනුවේ කවුද? තමා සෑදූ පොළොවට ඉහළින් වාසස්ථානයක්ද ඉදි කළේ කවුද? මුහුදෙන් වතුර ගෙන පොළොවට වැසි වස්සවන්නේ කවුද? ඔහුගේ නාමය යෙහෝවාය.”—ආමොස් 9:6.

පැහැදිලියි, සියල්ල සෑදුවේ යෙහෝවා දෙවියි. ඔහු ඒවා සෑදුවා පමණක් නෙවෙයි සෑම ජීවියෙකුටම ජීවිතය දුන්නෙත් ඔහුයි. ඒ නිසයි බයිබලයේ යෙහෝවා දෙවි ගැන මෙසේ සඳහන් වෙන්නේ. “ජීවිතයේ උල්පත ඔබය.” (ගීතාවලිය 36:9) අපට ජීවිතය ලබා දුන් නිසා ඔහු තමයි අපේ පියා. “අප සියලුදෙනාටම සිටින්නේ එක පියෙක් නොවෙයිද? අප සියලුදෙනාවම සෑදුවේ එකම දෙවි කෙනෙක් නොවෙයිද” කියා බයිබලයේ සඳහන් වෙනවා.—මලාකි 2:10.

ජීවිතයේ උල්පත යෙහෝවා දෙවියි

එවිට සංඛ මෙසේ පැවසුවා. “ඔව්, ඒක ඇත්ත. අපි අවට තියෙන දේවල් දිහා බලලා ඒ ගැන කල්පනා කරද්දී මේ හැම දෙයක්ම ඉබේ ඇති වෙන්න බැහැ කියලා හිතෙනවා. ඒවා නිර්මාණය කරලා, හදලා, ඒවාට ජීවිතය දීපු කෙනෙක් ඉන්න ඕනේ කියලා දැන් පැහැදිලියි.”

අනූපමාද මෙසේ පැවසුවා. “මේ සෑම දෙයක්ම හදන්න ඔහුට බලයක් තිබුණා නම් බයිබලයේ සඳහන් වෙලා තියෙන ඔහුගේ පොරොන්දු ඉටු කරන්නත් ඔහුට බලයක් තියෙන්න ඕනේ!”

එදින බුද්ධික පැවසූ දේවල් සංඛගේ හා අනූපමාගේ සිතට හොඳින්ම කාවැදුණා. ඒත් මේ සියලු දේවල නිර්මාතෘ කොයි ආකාරයේ පුද්ගලයෙක්ද කියා දැනගැනීමට ඔවුන් තුළ මහත් ආශාවක් ඇති වුණා.