Skip to content

පටුනට යන්න

ප්‍රේමයෙන් පූර්ණ යුක්තිගරුක දෙවි කෙනෙක්

ප්‍රේමයෙන් පූර්ණ යුක්තිගරුක දෙවි කෙනෙක්

අපේ දෙමාපියන්ගේ ගතිලක්ෂණ අප තුළ තිබෙනවා

බුද්ධික, සංඛ හා අනූපමාගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “දෙමාපියන්ගේ ගතිලක්ෂණ ළමයෙක් තුළ පිහිටලා තියෙන විදිහ ඔයාලා දැකලා තියෙනවද?”

එවිට සංඛ මෙසේ පිළිතුරු දුන්නා. “ඔව්! මම නිතරම කියනවා අපේ දුව පෙනුමෙනුත් ගතිගුණවලිනුත් හුඟක්දුරට එයාගේ අම්මා වගේ කියලා.”

“ඒක ඇත්ත. එයා එයාගේ අම්මා වගේමයි. ඒ වගේම අපි දිහාත් දෙවිගේ අනෙකුත් නිර්මාණ දිහාත් බැලුවම අපේ පියා වන යෙහෝවා දෙවි කොයි වගේ කෙනෙක්ද කියා තේරුම්ගන්න අපිට පුළුවන්” කියා බුද්ධික පැවසුවා.

“ඔයා කියන දේ හරි. මම කවදාවත් ඒ විදිහට හිතුවේ නැහැ” කියා සංඛ පැවසුවා.

එවිට බුද්ධික බයිබලයේ රෝම 1:20හි සඳහන් වෙන දේ සංඛට පෙන්නුවා. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.” එය එසේ වන්නේ කොහොමද කියා සංඛට දැනගන්න අවශ්‍ය වුණා.

“තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොයි තරම් ආදරෙයිද කියලා ටිකක් හිතලා බලන්න සංඛ. ඔයා වගේ ගුණ යහපත් තාත්තලා දරුවන්ට කොයි තරම් ආදරයෙන් සලකනවාද! සමහර වෙලාවට දරුවෙක් එයාගේ තාත්තාට කිසි ගෞරවයක් නැති අකීකරු දරුවෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ තාත්තා දරුවාට තියෙන ආදරය අඩු කරන්නෙවත් දෙන්න ඕනේ දේවල් නොදී ඉන්නෙවත් නැහැ. තාත්තා කෙනෙක් ඒ වගේ කටයුතු කරන්නේ ඇයි? ඊට හේතුව යෙහෝවා දෙවි දෙමාපියන්ව නිර්මාණය කරලා තියෙන්නේ දරුවන්ට ඒ වගේ ප්‍රේමයක් හා සෙනෙහසක් දැක්වීමේ හැකියාව ඇතුවයි. මිනිසුන් හැටියට අපිට ඒ වගේ ප්‍රේමයක් තියෙනවා නම් අපිව නිර්මාණය කළ දෙවි කොයි තරම් ප්‍රේමණීය කෙනෙක් වෙන්න ඕනේද?”

ජීවිතය පවත්වාගෙන යෑමට යෙහෝවා දෙවි අවශ්‍ය සෑම දෙයක්ම සපයනවා

බුද්ධික මෙසේද පැවසුවා. “අපි යෙහෝවා දෙවිව දන්නේ නැති වුණත් ඔහු තමන් නිර්මාණය කරපු දේවලින් අපට අවශ්‍ය දේවල් සපයනවා. මතෙව් 5:45හි යෙහෝවා දෙවි ගැන මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ‘ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීම සඳහා එසේ කරන්න. මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.’ අපි වර්ෂාවෙන් හා හිරු එළියෙන් ප්‍රයෝජන ලබන්නේ නැද්ද? අපේ ජීවිතය පවත්වාගන්නත් අවශ්‍ය ආහාර වගා කරගන්නත් වර්ෂාව හා හිරු එළිය අත්‍යවශ්‍යයි. අපි ඒ දේවල් අගය කළත් නැතත් දෙවි ඒවා අපට සපයනවා. එයින් පෙනී යන්නේ නැද්ද යෙහෝවා දෙවි ප්‍රේමණීය දෙවි කෙනෙක් කියලා? ඇත්තෙන්ම බයිබලයේ යෙහෝවා දෙවිගේ ප්‍රධාන ගතිලක්ෂණය ලෙස හඳුන්වන්නේ ප්‍රේමයයි. පළමුවෙනි යොහන් 4:8හි සඳහන් වෙන්නේ ‘දෙවි ප්‍රේමය’ කියලා.”

බුද්ධික ඊළඟට දෙවිගේ යුක්තිය ගැන පැහැදිලි කර දීමට සංඛට මෙසේ පැවසුවා. “ඔයා ගුණ යහපත් තාත්තා කෙනෙක් හැටියට ඔයාගේ දරුවන්ට සලකන්නේ එක හා සමානවයි. අනික් අයට ගෞරවයෙන් සලකන, වගකීම් හරි හැටි ඉටු කරන ඒ වගේම යුක්තිගරුක අය ලෙස හැදී වැඩීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔයා දරුවන්ට ලබා දෙනවා. එයින් පෙනෙන්නේ මිනිසුන් හැටියට අපි යුක්තිය හා සාධාරණකම වැනි ගුණාංගවලට ආසාවක් දක්වනවා කියන කාරණයයි. අප තුළ ඒ වගේ ආසාවක් තියෙන්නේ ඇයි? ඒ අපේ නිර්මාතෘ යුක්තිසහගත දෙවි කෙනෙක් නිසයි. ඔහුගේ ගතිලක්ෂණ අපි තුළත් තියෙනවා.”

ඉන්පසු යෙහෝවා දෙවි ගැන බයිබලයේ සඳහන් පද කිහිපයක් බුද්ධික සංඛට හා අනූපමාට පෙන්නුවා.

  • “දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.”—ද්විතීය කතාව 32:4.

  • “ඔහු ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙකි.”—ගීතාවලිය 33:5.

යෙහෝවා දෙවි අපව සෑදුවේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුවයි. එයින් පැහැදිලි වෙන්නේ දෙවිගේ ගතිලක්ෂණ යම් දුරකට පෙන්වීමට අපටත් හැකි බවයි. ඒ නිසා අපත් ඔහු මෙන් යුක්තියට ප්‍රිය කරනවා. (උත්පත්ති 1:27) නමුත් යෙහෝවා දෙවි යුක්තිගරුක දේ කුමක්ද කියා අපට තනිව තීරණය කිරීමට ඉඩ දී නැහැ. අප විසින් පිළිපැදිය යුතු නීති හා ප්‍රතිපත්ති ඔහු පෙන්වා දී තිබෙනවා. දෙවිගේ නීති පිළි නොපදින විට සිදු වන්නේ අයුක්තිසහගත ක්‍රියායි.

බුද්ධික මෙවැනි දෙයක්ද ඇසුවා. “ඔයාලා දන්නවද, හුඟක් රටවල ක්‍රියාත්මක වන නීතිරීති හදන්න අවුරුදු දහස් ගණනකට කලින්, බයිබලයේ ඒ වගේ නීති සඳහන් වෙලා තිබුණා කියලා?” එය ඇසූ විට සංඛ හා අනූපමා පුදුමයට පත් වුණා.

“උදාහරණයකට බොහෝ රටවල මිනී මැරීම, සොරකම, දුරාචාරය වැනි දේ නීති විරෝධී දේවල් කියලා නීති පද්ධතියේ සඳහන් වෙනවා. ඒත් ඒ හැම එකක්ම වැරදි දේවල් කියලා බයිබලයේ සඳහන් වුණේ මීට අවුරුදු 3,500කට කලිනුයි. යෙහෝවා දෙවි දීලා තියෙන ඒ නීතිරීතිවලට එකඟව ජීවත් වෙද්දී අපි පෙන්වන්නේ දෙවිගේ යුක්තිය හා සාධාරණකමයි. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතයට සතුට හා සැනසීමද ලැබෙනවා” කියා බුද්ධික පැහැදිලි කළා.

වැරදි ක්‍රියාවලට එරෙහිව ඇති නීතිරීතිවලින් පෙන්වන්නේ යෙහෝවා දෙවිගේ යුක්තියයි

බුද්ධික පැවසූ සෑම දේටම හොඳින් සවන් දුන් සංඛ හා අනූපමා යෙහෝවා දෙවි කොතරම් ප්‍රේමණීය හා යුක්තිසහගත දෙවි කෙනෙක්ද කියා තේරුම්ගත්තා. මිනිසුන් අන් අය සමඟ කටයුතු කරන විට ප්‍රේමයෙන් හා යුක්තියෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් බව ඔවුන් කොයි කවදත් පිළිගත් දෙයක්. ඔවුන් සෑමවිටම තම දරුවන් සමඟ ප්‍රේමයෙන් හා සාධාරණ ලෙස කටයුතු කිරීමට වෑයම් කළා. ඔවුන් සතු මේ ගතිලක්ෂණ තම නිර්මාතෘ වන යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන බව ඔවුන්ට දැන් අවබෝධ වුණා.

යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ දැනගැනීමට ලැබීම ගැන සංඛ බොහෝ සෙයින් සතුටට පත් වුණා. ඒ නිසා ඔහු යෙහෝවා දෙවිව සැබෑ පුද්ගලයෙකු ලෙස සලකන්න පටන්ගත්තා. තම භාර්යාවටත් දරුවන්ටත් ප්‍රේමය පෙන්වීමට තව තවත් වෑයම් කළ යුතුයි කියා ඔහුට හැඟුණා. එමෙන්ම සියලුදෙනා සමඟ ප්‍රේමණීයව හා සාධාරණව කටයුතු කිරීමෙන් යෙහෝවා දෙවිව අනුකරණය කළ යුතුයි කියාත් ඔහුට සිතුණා.

“ඔයා හරි සංඛ” කියා බුද්ධික සතුටින් පැවසුවා. “බයිබලයේ සඳහන් වෙන්නෙත් ඒ දේමයි. මම ඒක ඔයාට පෙන්වන්නම්” කියා ඔහු බයිබලය පෙරළා ඒ පදය ඔහුට ඇසෙන සේ කියෙව්වා.

  • “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.

යෙහෝවා දෙවිට ප්‍රේමය හා යුක්තිය පමණක් නෙවෙයි තවත් සිත්ගන්නා ගතිලක්ෂණ තිබෙන බව බුද්ධික පැවසුවා. ඒ නිසා සංඛට හා අනූපමාට යෙහෝවා දෙවි ගැන තව තවත් දැනගැනීමට ආශාවක් ඇති වුණා.