Skip to content

පටුනට යන්න

විසඳුම ඇති තැන

විසඳුම ඇති තැන

තම අසල්වැසියන් වූ බුද්ධික හා පූර්ණිමා අනික් අයට වඩා වෙනස්ව සතුටින් කල් ගෙවන බව අනූපමා කාලයක සිට දැක තිබුණා. ඒ ගැන ඇය සංඛටද පැවසුවා. පූර්ණිමාගෙන් ඊට හේතුව දැනගන්න අනූපමාට අවශ්‍ය වුණා.

පූර්ණිමාව හමු වී ඒ ගැන ඇගෙන් ඇසූ විට ඇය මෙසේ පැවසුවා. “ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලුම තමයි අපිටත් තියෙන්නේ. ඒත් අනූපමා, අපිට ඒවාට විසඳුමක් හොයාගන්න පුළුවන් වුණා. ඒ විසඳුම තිබුණේ පොතක. අපි කොයි තරම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නත් අපේ පවුලේ ප්‍රීතිය දිගටම තියාගන්න ඒ පොතේ උපදෙස් අපිට ප්‍රයෝජනවත් වෙනවා.”

තමන් පැවසූ දේ ගැන අනූපමාට මහත් කුතුහලයක් ඇති වුණ බව දැක්ක පූර්ණිමා, තවදුරටත් ඒ පොත ගැන ඇයට මෙසේ පැවසුවා. “ඒ පොත හුඟක් පැරණි පොතක්. ඒක ලිව්වේ මැදපෙරදිග රටවලයි. ඒත් ඒ පොතේ තියෙන උපදෙස් ඕනෑම ආගමක ඉන්න කෙනෙකුට ප්‍රයෝජනවත්. භාෂා සිය ගණනකට ඒ පොත පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඒක කියවලා ප්‍රයෝජන ගන්න පුළුවන්.” දැනඋගත් බොහෝදෙනෙක් එම පොතෙන් යම් උපුටා දැක්වීම් කර තිබෙන බවත් බොහෝ රටවල නීති සම්පාදනය කිරීම සඳහා ඒ පොත උපයෝගි කරගෙන තිබෙන බවත් පූර්ණිමා පැවසුවා.

ඒ පොත කොයි වගේ එකක්ද කියා දැකගන්න අනූපමාට ඉමහත් ආශාවක් ඇති වුණා. එදිනම සවස් වරුවේ ඇය පූර්ණිමාගේ නිවසට ගියා. එවිට පූර්ණිමා ජීවිතයට වැදගත් වන යම් කාරණා සම්බන්ධයෙන් එම පොතේ ඇති උපදෙස් ඇයට පෙන්නුවා. පහත සඳහන් වෙන්නේ ඇය පෙන්වූ පද කිහිපයක්.

දරුවන්ව හදා වඩා ගැනීම

  • “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”

  • “පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න.”

රැකියාව හා මුදල් පරිහරණය

  • “සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි. ඒ වෙනුවට ඔහු අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි.”

  • “යමෙකු වැඩ කරන්න අකමැති නම් ඔහු කෑම නොකා සිටිය යුතුයි.”

මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය

  • “අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.”

  • “වයින් සමච්චල් කරන්නෙකි. මත්පැන් කෝලහල ඇති කරන්නෙකි. එයින් මුළාව යන්නෝ අඥානයෝය.”

සදාචාරය

  • “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.”

  • “වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුයි.”

  • ‘කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත.’

පවුලේ අයට ගෞරව කිරීම

  • “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.”

  • “ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න. ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.”

  • “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”

ඔබ ළඟ බයිබලයක් තිබෙනවා නම් ඉහත සඳහන් තොරතුරු සොයා බැලීමට මෙම බයිබල් පද උපකාරවත් වෙයි.

හිතෝපදේශ 22:6; එෆීස 6:4

එෆීස 4:28; 2 තෙසලෝනික 3:10

2 කොරින්ති 7:1; හිතෝපදේශ 20:1

හෙබ්‍රෙව් 13:4; 1 තෙසලෝනික 4:3; මතෙව් 5:28

එෆීස 6:2; හිතෝපදේශ 23:22; එෆීස 5:33