Skip to content

පටුනට යන්න

1වන කොටස

දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද?

දෙවිට සවන් දෙන්න අපිට පුළුවන් කොහොමද?

දෙවි අපට කියන දේවල් තියෙන්නේ බයිබලයේ. 2 තිමෝති 3:16

සැබෑ දෙවි තම අරමුණු පොතක ලියා තැබීමට මනුෂ්‍යයන්ට මඟ පෙන්නුවා. ඒ පොත තමයි ශුද්ධ බයිබලය. ඒ පොතේ ඇති තොරතුරු ඉතා වැදගත්. එම තොරතුරු ඔබ දැනගන්නවාට දෙවි කැමතියි.

දෙවි තරම් ප්‍රඥාවන්ත කෙනෙක් තවත් නැහැ. ඒ නිසා අපට හොඳම දේ මොකක්ද කියා දෙවි දන්නවා. දෙවි කියන දේට සවන් දීමෙන් ඔබටත් ප්‍රඥාවන්ත විය හැකියි.—හිතෝපදේශ 1:5.

මේ පොළොවේ ජීවත් වන සෑම කෙනෙක්ම බයිබලය කියවනවාට දෙවි කැමතියි. දැන් එය බොහෝ භාෂා ගණනකට පරිවර්තනය කර තිබෙන නිසා ඕනෑම කෙනෙකුට එය කියවන්න පුළුවන්.

ඔබ දෙවිට සවන් දෙන්න කැමති නම් ඔබ බයිබලය කියවා එහි ඇති දේ අවබෝධ කරගත යුතුයි.

ලොව පුරා සිටින මිනිස්සු දෙවි ගැන ඉගෙනගන්නවා. මතෙව් 28:19

බයිබලය තේරුම්ගන්න ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පුළුවන්.

ඔවුන් දෙවි ගැන සැබෑ තොරතුරු ලොව පුරා උගන්වනවා.

ඔවුන් උගන්වන්නේ නොමිලේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයකින්ද දෙවි ගැන ඔබට ඉගෙනගත හැකියි.