Skip to content

පටුනට යන්න

දහහතරවෙනි පරිච්ඡේදය

දයාවෙන් පාඩමක් ඉගෙනගත් කෙනෙක්

දයාවෙන් පාඩමක් ඉගෙනගත් කෙනෙක්

1. යෝනාට ගමන් කිරීමට සිදු වුණේ මොන වගේ මාර්ගයකද? නිනිවයට ළඟා වෙද්දී ඔහුට දැනුණේ කොහොමද?

යෝනා දැන් නිනිවය බලා පිටත් වීමට සූදානමින් සිටිනවා. ඒ සඳහා ඔහුට කිලෝමීටර් 800ක පමණ දුරක් යෑමට තිබෙනවා. ගොඩබිමෙන් මේ ගමන යෑමට සමහරවිට මාසයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත වෙයි. මේ ගමන යෑම සඳහා කෙටි මාර්ගයක් තෝරාගන්නවාද නැත්නම් වඩාත් ආරක්ෂිත මාර්ගයක් තෝරාගන්නවාද කියා තීරණය කිරීමට යෝනාට සිදු වෙනවා. අවසානයේදී ඔහු තෝරාගන්නේ සිරියානු කාන්තාරයේ මායිම අසලින් වැටී තිබුණු මාර්ගයයි. ඒ ගමනේදී යුප්‍රටීස් වැනි ගංඟා තරණය කරන්නත් සිරියාව, මෙසපොතේමියාව සහ ඇසිරියාව වැනි පළාත්වල නන්නාඳුනන අයගේ නිවෙස්වල නවාතැන් ගැනීමටත් ඔහුට සිදු වෙනවා. දිනෙන් දින නිනිවයට ළඟා වෙද්දී ඔහුගේ හද ගැස්ම එන්න එන්නම වැඩි වෙන්න ඇති.

2. තමන්ට ලැබුණු පැවරුමෙන් පලා යෑම නිෂ්ඵල බව යෝනා තේරුම්ගත්තේ කොහොමද?

2 දෙවිගෙන් ලැබුණු පැවරුමෙන් පලා යෑමට තැත් කිරීමෙන් කිසිම පලක් නැති බව යෝනා දැන් හොඳින්ම තේරුම්ගෙන තිබෙනවා. අපි කලින් පරිච්ඡේදයේ සලකා බැලූ ලෙස යෝනා තම පැවරුමෙන් පලා යෑමට හැකි උපරිමය කළත් ඉන් පලක් වුණේ නැහැ. ඔහු නැවේ ගමන් කරමින් සිටියදී දරුණු චණ්ඩ මාරුතයක් ඇති වීමට සැලැස්වීමෙන් හා ආශ්චර්යවත් ලෙස මත්ස්‍යයෙකුගේ බඩේ දවස් තුනක් සිටීමට සැලැස්වීමෙන් යෙහෝවා දෙවි ඔහුට වටිනා පාඩමක් ඉගැන්නුවා. ඒ සෑම දෙයක්ම අද්දුටු යෝනා දැන් පෙරටත් වඩා වැඩියෙන් කීකරු වීමටත් යටහත් වීමටත් ඉගෙනගෙන තිබෙනවා.—යෝනා 1වෙනි සහ 2වෙනි පරිච්ඡේද.

3. යෙහෝවා දෙවි යෝනාට සැලකුවේ කොහොමද? මතු වන ප්‍රශ්නය කුමක්ද?

3 දෙවන වතාවේදී නිනිවයට යන්න කියා යෙහෝවා දෙවි යෝනාට පැවසූ විට ඔහු අදිමදි නොකර කැමැත්තෙන්ම ඒ ගමන ගියා. (යෝනා 3:1-3 කියවන්න.) මුහුදේ ගිලී මිය යෑමට ඉඩ නොදුන් යෙහෝවා දෙවි ඔහුගේ ජීවිතය බේරාගත්තා. යෝනා කළ වරදට දඬුවම් කරනවා වෙනුවට කීකරුකම පෙන්වීමට දෙවි ඔහුට තවත් අවස්ථාවක් දුන්නා. එලෙස යෙහෝවා දෙවි යෝනාට බොහෝ සේ දයාන්විතව සලකා තිබුණා. එතරම් දයාවක් අද්දුටු යෝනා තමන්ගේ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන අන් අයට දයානුකම්පිතව සලකන්න ඉගෙනගත්තාද? පව්කාරකම උරුම වී තිබෙන අපට අන් අයට දයාන්විතව සැලකීම පහසු දෙයක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් අපිට යෝනාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියා බලමු.

නොසිතූ ප්‍රතිචාරයක්

4, 5. යෙහෝවා දෙවි නිනිවය ‘විශාල නුවරක්’ ලෙස හැඳින්වූයේ ඇයි? ඉන් ඔහු ගැන හෙළි වෙන්නේ මොනවාද?

4 යෙහෝවා දෙවි නිනිවය දෙස බැලුවේ යෝනා නිනිවය දෙස බැලූ ආකාරයට නෙවෙයි. යෙහෝවා දෙවි ‘නිනිවය ඉතා වැදගත් මෙන්ම විශාල නුවරක්’ ලෙස සැලකුවා. (යෝනා 3:3) තුන්වතාවක්ම ඔහු නිනිවය ‘විශාල නුවරක් [හෙවත් මහත් නුවරක්]’ ලෙස හඳුන්වා තිබෙනවා. (යෝනා 1:2; 3:2; 4:11) දෙවි නිනිවය එතරම් වැදගත් නුවරක් ලෙස සැලකුවේ ඇයි?

5 නිනිවය නෝවාගේ ජලගැල්මෙන් පසුව නිම්රොද් ඉදි කළ විශාල නුවරවල් අතරින් එකක්. එම නගරයට අයත් තවත් නගර රැසක්ම තිබුණු නිසා එම නගරය වටා ගමන් කිරීමට දින තුනක් ගත වෙනවා. (උත්. 10:11; යෝනා 3:3) නිනිවය නගරයේ දේවාල, දැවැන්ත පවුරු ඇතුළු සුවිශාල ගොඩනැඟිලි රැසක් තිබුණු නිසා අනිකුත් නගර අතරින් එය කැපී පෙනුණා. නමුත් යෙහෝවා දෙවි නිනිවය විශාල නුවරක් ලෙස හැඳින්වූයේ ඒ කිසිවක් නිසා නොව එහි සිටි මිනිසුන් නිසයි. අනිකුත් නගරවලට සාපේක්ෂව එහි විශාල ජනගහනයක් සිටියා. ඔවුන් මොන තරම් වැරදි දේවල් කළත් දෙවි ඔවුන් ගැන සැලකිලිමත් වුණා. දෙවිට සෑම මිනිස් ජීවිතයක්ම වටිනවා. ඒ නිසා ඔහු මහත් ආශාවකින් බලා සිටින්නේ මිනිසුන් තමන් අතින් සිදු වන වැරදි ගැන පසුතැවිලි වී නැවත නිවැරදි මාර්ගයට එන තුරුයි.

නිනිවය ඉතා දූෂිත දේවලින් පිරුණු නගරයක් බව යෝනා තේරුම්ගත්තා

6. (අ) නිනිවයට ඇතුල් වූ යෝනාට භයක් දැනෙන්න ඇත්තේ ඇයි? (පාදසටහනද බලන්න.) (ආ) විනිශ්චය පණිවිඩය පැවසූ යෝනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 නිනිවය නගරයට ඇතුල් වන යෝනා එහි සිටි අධික ජනගහනය දැකීමෙන් තවත් බියට පත් වෙන්න ඇති. එහි ජනගහනය 1,20,000කටත් වඩා වැඩියි. * මිනිසුන් වැඩි පිරිසක් සිටින ස්ථානයක් සොයාගැනීමට ඔහු වෙහෙස නොබලා දවසක් පුරාම නගරයේ ගමන් කරනවා. සමහරවිට ඔහු එසේ කරන්න ඇත්තේ දෙවිගේ විනිශ්චය පණිවිඩය පැවසීමට වඩාත්ම සුදුසු ස්ථානයක් තෝරාගැනීමට විය හැකියි. ඇසිරියානු භාෂාව කතා කරන මේ ජනයාට දෙවිගේ පණිවිඩය පැවසීමට ඔහු එම භාෂාව ඉගෙනගත්තාද? නැත්නම් යෙහෝවා දෙවි ආශ්චර්යවත් ලෙස එම භාෂාව කතා කිරීමට හැකියාව ලබා දුන්නාද? ඒ ගැන අපි දන්නේ නැහැ. සමහරවිට ඔහු ඒ සඳහා භාෂා පරිවර්තකයෙකුව යොදාගන්න ඇති. කොහොමවුණත් යෝනා තමන් වෙතට වැඩි අවධානයක් ගන්නවා වෙනුවට පණිවිඩය වෙත වැඩි අවධානයක් යොමු කළා. ඔහු ඉතාමත් සරලව සහ පැහැදිලිව මෙසේ පවසනවා. “තව දවස් හතළිහකින් නිනිවය විනාශ වෙනවා.” (යෝනා 3:4) යෝනා ඉතා නිර්භීත ලෙස නැවත නැවතත් ඒ පණිවිඩය මිනිසුන්ට දැනුම් දුන්නේ ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු නිසයි. අද අපිත් වෙන කවරදාටත් වඩා වැඩියෙන් නිර්භීතකම සහ දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය වර්ධනය කරගත යුතු නැද්ද!

තමන් වෙතට වැඩි අවධානයක් ගන්නවා වෙනුවට යෝනා පණිවිඩය සරලව ඉදිරිපත් කළා

7, 8. (අ) නිනිවයේ වැසියන් යෝනාගේ පණිවිඩයට ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? (ආ) රජු ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද?

7 නිනිවයේ වැසියන්ට දෙවිගේ පණිවිඩය අසන්න ලැබෙද්දී ඔවුන් කෝප වී දරුණු ලෙස ක්‍රියා කරයි කියා යෝනා බලාපොරොත්තු වෙන්න ඇති. නමුත් ඔහු එම පණිවිඩය පවසද්දී එහි වැසියන් ඉතා ඕනෑකමින් එයට සවන් දෙනවා. එම ආරංචිය ලැව් ගින්නක් මෙන් නිනිවය පුරාම පැතිර යනවා. දැන් නගරයේ වැසියන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ යෝනා පැවසූ විනාශයයි. (යෝනා 3:5 කියවන්න.) දුප්පත් පොහොසත්, බාල මහලු සෑමදෙනාම නිරාහාරව සිටිමින් තමන්ගේ පව් ගැන පසුතැවීමට පටන්ගන්නවා. මේ ගැන රජුට ආරංචි වීමට වැඩි වේලාවක් ගත වෙන්නේ නැහැ.

පණිවිඩය ප්‍රකාශ කරන්න යෝනාට එඩිතරකම සහ දෙවි කෙරෙහි විශ්වාසය අවශ්‍ය වුණා

8 යෝනාගේ පණිවිඩය දැනගන්නා රජු, රාජකීය වස්ත්‍ර ගලවා ගෝණිරෙදි ඇඳ ‘අළු ගොඩක හිඳගනිමින්’ නුවරේ වැසියන් මෙන් පසුතැවීමට පටන්ගන්නවා. ඔහු තම අධිපතීන් සමඟ එකතු වී සියලු වැසියන් නිරාහාරව සිටිය යුතු බවට නියෝගයක් නිකුත් කරනවා. එපමණක් නෙවෙයි නගරයේ වැසියන් සියලුදෙනාට ගෝණි රෙදි ඇඳගන්න කියාත් ඔවුන් ඇති කරන සතුන්ටත් එසේ ගෝණි රෙදි අන්දවන්න කියාත් ඔහු අණ කරනවා. * තම රට වැසියන් බරපතළ වැරදි සිදු කර ඇති බව රජු ඉතා යටහත්පහත් ලෙස පිළිගන්නවා. රට වැසියන් දිගින් දිගටම පසුතැවෙනවා දකිද්දී යෙහෝවා දෙවි ඔවුන්ට දයානුකම්පිතව සලකයි කියාත් රජු සිතනවා. ‘සමහරවිට සැබෑ දෙවි අපිට අනුකම්පා කරාවි. ඔහුගේ කෝපය පහ වී මේ විපත අප පිට නොගෙන ඒමට ඔහු තීරණය කරන්නත් ඉඩ තිබෙනවා’ කියා සෙනඟට පවසන්නේ ඒ නිසයි.—යෝනා 3:6-9.

9. නිනිවයේ වැසියන් ගැන විවේචකයන් පවසන්නේ මොනවාද? නමුත් ඔවුන් වැරදි බව අපි දන්නේ කොහොමද?

9 නමුත් ඇතැම් විවේචකයන් පවසන්නේ යෝනා පැවසූ පණිවිඩයට නිනිවයේ වැසියන් එතරම් ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වූවා කියා පිළිගන්න බැරි බවයි. නමුත් අතීතයේ සිටි මිනිසුන් දෙවිවරුන්ට බියක් දැක්වූ නිසාත් ඉක්මනින්ම වෙනස් වන ස්වභාවයක් තිබුණු නිසාත් එලෙස පසුතැවිලි වීම සාමාන්‍ය දෙයක් බව බයිබල් විශාරදයන් පවසනවා. එපමණක් නෙවෙයි නිනිවයේ වැසියන් පසුතැවිලි වූ ආකාරය ගැන යේසුස් පවා සඳහන් කළා. (මතෙව් 12:41 කියවන්න.) ඔහු ඒ ගැන එතරම් නිසැකකමකින් කතා කළේ සිදු වූ ඒ සියල්ල ස්වර්ගයේ සිටියදී ඔහු හොඳින්ම දුටු නිසයි. (යොහ. 8:57, 58) මිනිසුන්ගේ සිතුවිලි හොඳින්ම තේරුම්ගන්න හැකියාව තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. ඒ නිසා බරපතළ වැරදි කර තිබෙන අය කිසි දිනක පසුතැවෙන එකක් නැහැයි කියා සිතීමට අපි ඉක්මන් නොවිය යුතුයි.

දෙවි පෙන්වූ දයාව

10, 11. (අ) නිනිවයේ වැසියන් පසුතැවිලි වෙන බව දුටු යෙහෝවා දෙවි ක්‍රියා කළේ කොහොමද? (අ) දෙවි ගත් තීරණය වැරදි නැති බව අපි දන්නේ කොහොමද?

10 නිනිවයේ වැසියන් පසුතැවිලි වෙන බව දුටු යෙහෝවා දෙවි ක්‍රියා කළ ආකාරය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “ජනයා තම දුෂ්ටකම් අත්හැර ඇති බව සැබෑ දෙවි දුටුවේය. ඒ නිසා ඔවුන්ට දඬුවම් කිරීමට ගත් තීරණය දෙවි වෙනස් කළේය. ඔහු ඔවුන් පිටට ඒ විපත ගෙනාවේ නැත.”—යෝනා 3:10.

11 නිනිවයේ වැසියන්ව විනාශ කිරීමට යෙහෝවා දෙවි ගත් තීරණය වැරදි බව ඉන් අදහස් කරන්නේ නැහැ. බයිබලයේ යෙහෝවා දෙවිව හඳුන්වා තිබෙන්නේ සියල්ලේදී යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක් ලෙසයි. (ද්විතීය කතාව 32:4 කියවන්න.) නිනිවයේ වැසියන් ඔවුන් කළ වැරදි ගැන කොතරම් පසුතැවිලි වෙනවාද කියා දෙවි හොඳින්ම දුටුවා. ඒ නිසා දෙවි කලින් තීරණය කර තිබුණු ලෙස ඔවුන්ට දඬුවම් කිරීමට අවශ්‍ය වුණේ නැහැ. යෙහෝවා දෙවි ඔවුන්ට දයානුකම්පිතව සැලකුවා.

12, 13. (අ) යෙහෝවා දෙවි සාධාරණ, දයාන්විත හා තත්වයට අනුව හැඩගැසෙන කෙනෙක් බව පැහැදිලි වුණේ කොහොමද? (ආ) යෝනා පැවසුවේ බොරු අනාවැකියක්ද?

12 ආගමික නායකයන් උගන්වන දේවල් නිසා බොහෝ අය සිතන්නේ දෙවි නපුරු දුෂ්ට කෙනෙක් කියායි. නමුත් ඇත්තෙන්ම දෙවි එවැනි කෙනෙක් නෙවෙයි. ඔහු ඉතාමත් සාධාරණ, දයානුකම්පිත හා තත්වයන්ට අනුව හැඩගැසෙන කෙනෙක්. දුෂ්ට මිනිසුන්ව විනාශ කිරීමට ඔහු තීරණය කරන අවස්ථාවලදී එසේ කිරීමට කලින් ඔහු ඒ ගැන අනතුරු අඟවනවා. ඔහු එසේ කරන්නේ නිනිවයේ මිනිසුන් මෙන් ඔවුනුත් තමන්ගේ වැරදි ගැන පසුතැවී හරි මාර්ගයට එනවා දැකීමට ඔහු කැමති නිසයි. (එස. 33:11) යෙහෝවා දෙවි යෙරෙමියාටද මෙවැනි දෙයක් පවසා තිබුණා. “ජාතියක් හෝ රාජ්‍යයක් පෙරළා දමා එය විනාශ කර දමන බව යම් අවස්ථාවක මා ප්‍රකාශ කළත් ඒ ජාතිය තමන් ගිය වැරදි මාර්ගවලින් ඉවත් වී හරි මාර්ගයට පැමිණියොත් මම ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට ගත් තීරණය වෙනස් කරමි.”—යෙරෙ. 18:7, 8.

යෙහෝවා දෙවි කැමති, නිනිවයේ මිනිසුන් මෙන් දුෂ්ට අයත් තමන්ගේ වැරදි ගැන පසුතැවී හරි මාර්ගයට එනවාටයි

13 යෝනා පැවසුවේ බොරු අනාවැකියක්ද? නැහැ. යෝනා එම අනාවැකිය පැවසුවේ අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ලෙසයි. එම අනතුරු ඇඟවීම නිසා නිනිවයේ වැසියන් ඔවුන් කළ වැරදි ගැන පසුතැවිලි වුණා. ඒ නිසා දෙවි ඔවුන්ට දඬුවම් කළේ නැහැ. නමුත් නිනිවයේ වැසියන් නැවතත් ඔවුන්ගේ දුෂ්ට මාර්ගවලට හැරුණොත් ඔවුන්ට දෙවිගේ විනිශ්චය අත් වෙයි. පසු කාලයේදී සිදු වුණේ එයයි.—ශෙප. 2:13-15.

14. යෙහෝවා දෙවි නිනිවය විනාශ නොකිරීම ගැන යෝනාට හැඟුණේ කොහොමද?

14 යෙහෝවා දෙවි නිනිවය විනාශ නොකිරීම ගැන යෝනාට කෙසේ හැඟෙයිද? ‘දෙවි ගත් තීරණය ගැන අසතුටු වූ යෝනා බොහෝ සෙයින් කෝප වෙනවා.’ (යෝනා 4:1) ඔහු කළ යාච්ඤාවේදී දෙවිට වරද පටවමින් පැවසුවේ මෙවැනි දෙයක්. මට මගේම රටට වෙලා ඉන්න තිබුණා. දෙවි කවදාවත් නිනිවයේ වැසියන්ව විනාශ කරන්නේ නැති බව මම දැනගෙන හිටියා. ඒ නිසා තමයි මම ගිය වතාවේත් තර්ෂිෂ්වලට ගියේ. එලෙස තමන් කළ වරදට නිදහසට කරුණු ඉදිරිපත් කළ ඔහු ජීවත් වෙනවා වෙනුවට මැරුණා නම් හොඳයි කියාත් පවසනවා.යෝනා 4:2, 3 කියවන්න.

15. (අ) යෝනා එතරම් කලකිරීමට හේතුව කුමක් වෙන්න ඇතිද? (ආ) යෙහෝවා දෙවි ඒ අවස්ථාවේදී කටයුතු කළේ කොහොමද?

15 යෝනා එතරම් කලකිරෙන්නේ ඇයි? ඒ අවස්ථාවේදී ඔහුගේ මනසේ මොන වගේ සිතුවිලි ඇති වෙන්න ඇතිද කියා අපි ස්ථිරවම දන්නේ නැහැ. ඔහු ස්ථිර ලෙසම නිනිවයේ වැසියන්ට පැවසුවේ ඔවුන් විනාශ වෙනවා කියලයි. ඔහු පැවසූ දේ නිනිවයේ වැසියන් විශ්වාස කළා. නමුත් යෝනා පැවසූ ලෙස විනාශය පැමිණියේ නැහැ. ඒ නිසා මිනිසුන් තමන්ට උසුළුවිසුළු කරයි කියාත් බොරු අනාගතවක්තෘවරයෙක් ලෙස හංවඩු ගසයි කියාත් යෝනා භය වෙන්න ඇති. නිනිවයේ වැසියන්ගේ පසුතැවීම ගැනවත් යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වීම ගැනවත් ඔහු සතුටු වුණේ නැහැ. උඩඟු ලෙස ඔහු තමා ගැන සිතන්න පටන්ගත්තා. ඒ වුණත් දයාවෙන් පිරි යෙහෝවා දෙවි වැඩි අවධානයක් දුන්නේ යෝනා සතු යහපත් ගතිගුණවලටයි. ඔහුගේ උඩඟු හැසිරීම නිසා ඔහුට දඬුවම් කරනවා වෙනුවට යෙහෝවා දෙවි ඉතා කාරුණිකව ඔහුගෙන් මෙසේ අසනවා. “ඔබට කෝප වීමට සාධාරණ හේතුවක් තිබෙනවා කියා ඔබ සිතනවාද?” (යෝනා 4:4) දෙවි ඇසූ එම ප්‍රශ්නයට යෝනා පිළිතුරු දුන්නාද නැද්ද කියා බයිබලයේ සඳහන් වී නැහැ.

16. ඇතැම් අයට යෙහෝවා දෙවි ක්‍රියා කර තිබෙන ආකාරය සාධාරණ නැහැ කියා සිතෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? යෝනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 යෝනා ක්‍රියා කළ ආකාරය සම්පූර්ණයෙන්ම වැරදියි කියා සමහරවිට ඔබට සිතෙයි. පව්කාරකම උරුම කරගෙන සිටින අපි හැමෝටමත් යම් අවස්ථාවලදී දෙවි ක්‍රියා කරන ආකාරය සාධාරණ නැහැ කියා හැඟෙන්න පුළුවන්. උදාහරණයකට සමහර අයට මෙහෙම සිතෙන්න ඉඩ තියෙනවා. යම් විනාශයක් නතර කිරීමට තිබුණා, නැත්නම් යම් දුෂ්ට කෙනෙකුව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්න තිබුණා, එසේත් නැත්නම් මේ තරම් කල් නොදමා දුෂ්ට සමාජය විනාශ කර දමන්න තිබුණා කියා හැඟෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අපිට යෝනාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවා දෙවි සෑම විටම නිවැරදි බවත් සකස් කරගත යුත්තේ අපේ ආකල්ප බවත් මතක තබා ගනිමු.

යෝනා ඉගෙනගත් වටිනා පාඩම

17, 18. (අ) නිනිවයෙන් පිට වන යෝනා කරන්නේ මොනවාද? (ආ) යෝනාට ලබු වැල ගැන හැඟෙන්නේ කොහොමද?

17 කලකිරී සිටින යෝනා නිවස බලා යනවා වෙනුවට නැඟෙනහිර දෙසින් පිහිටි කඳුකර පළාතකට ගොස් නිනිවය පෙනෙන දුරකින් පැලක් අටවාගන්නවා. යෝනා එසේ කරන්නේ නගරය විනාශ වෙයිද නැද්ද කියා දැක බලා ගැනීමේ අරමුණ ඇතුවයි. සමහරවිට නිනිවය විනාශ වෙනවාට ඔහුගේ යටි හිතේ ආශාවක් තියෙන්න ඇති. ඔහුට තිබුණු වැරදි ආකල්පය නිවැරදි කරගැනීමට යෙහෝවා දෙවි උපකාර කළේ කොහොමද?

18 යෙහෝවා දෙවි එක රැයක් ඇතුළත ලබු වැලක් වැවෙන්න සලස්වනවා. ඉතා සරුවට වැවී තිබෙන එම ලබු වැල දැකීමෙන් යෝනාට දැනෙන්නේ පුදුම සතුටක්. තමන් අටවාගත් පැලෙන් ලැබුණු සිසිලට වඩා වැඩි සිසිලක් මේ ලබු වැල නිසා ලැබෙනවා. ඔහු සිතුවේ තමන්ට තවමත් යෙහෝවා දෙවිගේ අනුමැතිය හා ආශීර්වාදය තිබෙන බවට එය කදිම සාක්ෂියක් කියායි. කොහොමවුණත් යෝනාට සිසිලසක් ලබා දෙනවාට වඩා යෙහෝවා දෙවිට අවශ්‍ය වුණේ යෝනාගේ හදවතට දැනෙන ආකාරයෙන් වටිනා පාඩමක් කියා දීමටයි. පසුවදා අලුයම වෙද්දී ඒ ලබු වැල කා දමන්න යෙහෝවා දෙවි පණුවෙක්ව එවනවා. සරුවට වැඩී තිබුණු ඒ ලබු වැල වියළී යෑමට වැඩි වේලාවක් ගත වෙන්නේ නැහැ. ඉර මුදුන් වේගෙන එද්දී යෙහෝවා දෙවි “නැඟෙනහිර දෙසින් වියළි සුළඟක්” හමන්න සලස්වනවා. ඒ සුළඟ නිසා යෝනාට “ක්ලාන්ත” වන තරමටම දැඩි රස්නයක් දැනෙනවා. නැවත වතාවක් කලකිරෙන යෝනා මේ වතාවේදීත් තමන්ගේ ජීවිතය නැති කර දමන්න කියා දෙවිගෙන් ඉල්ලනවා.—යෝනා 4:6-8.

19, 20. යෙහෝවා දෙවි යෝනාගේ වරද පෙන්වා දුන්නේ කොහොමද?

19 ලබු වැල වියළී යෑම නිසා යෝනා කෝප වෙනවා. ඒ නිසා මෙලෙස කෝප වීම සාධාරණයිද කියා මේ වතාවේදීත් යෙහෝවා දෙවි ඔහුගෙන් අසනවා. තමන් කළ වරද පිළිගන්නවා වෙනුවට යෝනා පවසන්නේ “ඔව්, ඒක සාධාරණයි. මට දැන් ජීවිතෙත් එපා වෙලා” කියායි.—යෝනා 4:9.

දෙවි දයාව පෙන්වීම ගැන කදිම පාඩමක් යෝනාට ඉගැන්නුවා

20 යෙහෝවා දෙවි දැන් යෝනාට කරුණු කාරණා පහදා දෙනවා. වවන්නවත් බලාගන්නවත් කිසිම වෙහෙසක් නොදැරූ ලබු වැලක් වෙනුවෙන් ඔබට මෙතරම් දුකක් දැනෙනවා. එසේනම් “හරි වැරැද්ද අතර වෙනස නොදන්න එක්ලක්ෂ විසිදාහකට වඩා වැඩි මිනිසුන් සහ සතුන් ප්‍රමාණයක් සිටින මේ විශාල නුවර වන නිනිවය විනාශ කිරීම ගැන මට දුක් වෙන්න අයිතියක් නැද්ද” කියා යෙහෝවා දෙවි අසනවා.—යෝනා 4:10, 11.

21. (අ) ලබු වැල මාර්ගයෙන් යෙහෝවා දෙවි යෝනාට ඉගැන්වූ පාඩම කුමක්ද? (ආ) අපි ගැන හිතලා බලන්න පුළුවන් පැති මොනවාද?

21 ලබු වැල මාර්ගයෙන් යෙහෝවා දෙවි යෝනාට ඉගැන්වූ පාඩම ඔබ තේරුම්ගත්තාද? ඒ ලබු වැල වැවීමට යෝනා කිසිම වෙහෙසක් දැරුවේ නැහැ. නමුත් ජීවිතයේ උල්පත වන යෙහෝවා දෙවි අනිකුත් සියලුදෙනාට අවශ්‍ය දේ ලබා දෙනවා හා සමානව නිනිවයේ වැසියන්ට සෑම දෙයක්ම ලබා දී තිබුණා. නිනිවයේ සිටි මිනිසුන් 1,20,000කට සහ ඔවුන් යටතේ සිටින සතුන් ගැන දුක් වෙනවාට වඩා ලබු වැලක් ගැන දුක් වීම සාධාරණද? ලබු වැල ගැන යෝනා එලෙස දුක් වුණේ ඔහු තමා ගැන පමණක් සිතූ නිසා නෙවෙයිද? ලබු වැල විනාශ වීම ගැන ඔහු දුක් වුණේ ඉන් තමන්ට ලැබුණු ප්‍රයෝජන අහිමි වූ නිසයි. නිනිවය විනාශ නොකිරීම ගැන ඔහු කෝප වුණෙත් තමන් ගැන සිතූ නිසයි. ඔහු සිතුවේ තමන්ට අත්විඳින්න සිදු වන ලැජ්ජාව, ඔහුගේ නමට වෙන කැළැල වැනි දේ ගැන පමණයි. අපි හැමෝම තුළත් ආත්මාර්ථකාමී සිතුවිලි තිබෙන නිසා යෝනාගේ කතාව අපිට අපි ගැනම හිතලා බලන්න උදව් කරනවා. දයානුකම්පාව සහ අන් අය ගැන සිතීමේ ඇති අවශ්‍යතා වැනි පාඩම් යෙහෝවා දෙවි ඉවසිලිවන්තව අපිට ඉගැන්වීම ගැන අපි මොන තරම් ස්තුතිවන්ත විය යුතුද!

22. (අ) යෝනා ඇත්තටම පාඩමක් ඉගෙනගත්තාද? (ආ) අපි ඉගෙනගත යුතු පාඩම කුමක්ද?

22 යෝනා ඇත්තටම පාඩමක් ඉගෙනගත්තාද? යෝනා පොත අවසන් වෙන්නේ යෙහෝවා දෙවි යෝනාගෙන් අසන ප්‍රශ්නයක් සමඟයි. යෝනාට ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න හැකියාවක් නැහැයි කියා සමහර විවේචකයන් පවසන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒ ප්‍රශ්නයට පිළිතුර යෝනා පොතයි. සාක්ෂිවලට අනුව යෝනා පොත ලියා තිබෙන්නේ ඔහු විසින්මයි. නැවත තමන්ගේ ගම්බිම් බලා ගිය යෝනා සිදු වූ දේවල් ගැන පසු කාලයකදී නැවත නැවතත් සිහි කරමින් එම පොත ලියන්න පටන්ගන්න ඇති. මහලු වියේ පසුවන මේ නිහතමානි මිනිසා තමන් ලද අද්දැකීම් ගැන එනම් තමන් අතින් සිදු වූ වැරදි, මුරණ්ඩු ලෙස ක්‍රියා කළ ආකාරය, නිනිවයේ වැසියන්ට දයාව පෙන්වීමට අකමැති වූ ආකාරය වගේ දේවල් එකින් එක සටහන් කරන අයුරු ඔබට සිතින් මවාගන්න පුළුවන්ද? යෙහෝවා දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලින් කදිම පාඩමක් ඉගෙනගත් යෝනා අන් අයට දයාවන්ත ලෙස සැලකීමටත් ඉගෙනගත්තා. අපිත් අන් අයට දයාවන්තව සලකනවාද?මතෙව් 5:7 කියවන්න.

^ 6 ඡේ. යෝනාගේ කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ අගනුවර වූ සමාරියේ ජනගහනය 20,000ත් 30,000ත් අතර වුණා. නමුත් නිනිවයේ ජනගහනය ඊට වඩා හතර ගුණයකින් වැඩියි. නිනිවය ප්‍රසිද්ධියක් ඉසිලූ කාලයේදී එය ලොව විශාලතම නගරය ලෙස ගණන් ගැනෙන්න ඇති.

^ 8 ඡේ. සතුන්ට ගෝණි රෙදි ඇන්දවීම අසාමාන්‍ය දෙයක් කියා සිතෙන්න පුළුවන්. නමුත් පුරාණයේදී එවැනි සිරිතක් තිබුණා. ජනාදරයට පත් අධිපතියෙකුගේ වියෝව ගැන දුක් වූ පර්සියාවේ වැසියන් ගෝණි රෙදි ඇඳ සිටි බවත් ඔවුන්ගේ සතුන්ටත් ගෝණි රෙදි ඇන්දවූ බවත් ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරෝඩටස් පවසා තිබෙනවා.