Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

දයාබර සහෝදර සහෝදරියන්ට අපරිමිත වූ සෙනෙහසින්!

අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ගැන ලිපි මාලාවක් 2008 ජනවාරි 1වෙනිදා සිට මුරටැඹ පොදු කලාපයේ පළ වුණා ඔබට මතකද? එය පළ වුණේ මාස තුනකට වතාවක්. ඒ ලිපිය ලැබෙන තුරු අපි හැමෝම බලා සිටියේ මහත් ආසාවෙන්.

ඒ ලිපි ගැන තමන්ට හැඟුණු දේ ගැන හුඟක් අය අදහස් දක්වලා තිබුණා. මාර්තා ගැන පළ වුණ ලිපිය කියවූ කාන්තාවක් මෙහෙම ලියලා එව්වා. “මේ ලිපිය කියවද්දී මට හිනත් ගියා. මමත් හරියට මාර්තා වගේ නේද කියලා හිතුණා. අනිත් අයට සංග්‍රහ කරන එක ගැනයි මාත් කොයි වෙලෙත් හිතන්නෙ. ඒත් යාළුවන්ව ආශ්‍රය කරන එක කොච්චර වැදගත්ද කියන එක සමහර වෙලාවට මට අමතක වෙනවා.” එස්තර් ගැන පළ වුණ ලිපිය කියවූ 15 හැවිරිදි යෞවනියක් මෙහෙම කිව්වා. “සමහර වෙලාවට අපි ඇඳුම් ගැනයි මෝස්තර ගැනයි ඕනෑවට වඩා හිතනවා. අපි ලස්සනට අඳින්න ඕන තමයි. ඒත් අපි අන්තයට යන්න හොඳ නෑ. මොකද යෙහෝවා දෙවියන් බලන්නෙ අපේ හිතනේ.” පේතෘස් ගැන පළ වුණ ලිපිය කියවපු අපේ සහෝදරියක් කිව්ව දේ හරිම සිත්ගන්නාසුලුයි. “ඔයාලා මාව පේතෘස්ගේ කාලයට අරගෙන ගියා. මට දැනුණේ මං ජීවත් වෙන්නෙ ඒ කාලේ කියලා. ඒ කතාවේ හැම සිද්ධියක්ම මගේ ඇඟට දැනුණා.”

ඒ අයගේ අදහසුත් තවත් හුඟදෙනෙක් ලියා එවපු දේවලිනුත් පැහැදිලි වෙන්නේ පාවුල් කිව්ව දේ ඇත්ත කියලා. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක.” (රෝම 15:4) යෙහෝවා දෙවි බයිබලයේ මේ චරිත ගැන වාර්තා කරලා තියෙන්නේ අපිට වටිනා පාඩම් කියලා දෙන්න. අපි කොච්චර කාලයක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා හිටියත් ඒ චරිතවලින් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

මේ පොත ඔබේ අතට පත් වුණ ගමන්ම කියවන්න කියලා අපි උනන්දු කරනවා. පවුලේ නමස්කාරයටත් මේ පොත පාවිච්චි කරන්න. අපේ දරුවනුත් හුඟක් ආසාවෙන් කියවයි කියලා අපිට විශ්වාසයි. මේ පොත සභා බයිබල් පාඩම සඳහා පාවිච්චි කරද්දී එක රැස්වීමක්වත් අතපසු කරන්න එපා. ඔබ මේ පොත කියවද්දී කියවන දේ ගැන හොඳින් හිතලා බලන්න. කඩිමුඩියේ කියවන්න එපා. ඔබත් ඒ චරිතවල ජීවත් වෙන්න. සිද්ධීන් සිතින් මවාගන්න. ඔවුන්ට හැඟුණ දේ ඔබටත් හැඟෙන්න ඉඩහරින්න. ඔවුන් දැක්ක දේ ඔබත් දකින්න. ඔවුන් මුහුණ දුන්න දේවල්වලට ඔබ මුහුණ දුන්නා නම් ඔබ මොනවා කරයිද කියලා හිතලා බලන්න.

අපි මේ පොත ඔබ අතට පත් කරන්නේ ඉමහත් සතුටෙන්. ඔබටත් ඔබේ පවුලේ අයටත් මෙයින් හුඟක් ප්‍රයෝජන ලැබෙයි කියලා අපි හිතනවා. අපි ඔබට හද පිරි සෙනෙහසින් සුබ පතන්නෙමු!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය