Skip to content

පටුනට යන්න

විසිතුන්වෙනි පරිච්ඡේදය

සමාව දීම ගැන ස්වාමියාගෙන් ඉගෙනගත් කෙනෙක්

සමාව දීම ගැන ස්වාමියාගෙන් ඉගෙනගත් කෙනෙක්

1. පේතෘස්ගේ ජීවිතයේ ඔහු මුහුණ දුන් දුක්ඛිතම මොහොත කුමක්ද?

තමා දෙස යේසුස් හැරී බැලූ ඒ මොහොත ජීවිතේටවත් පේතෘස්ට අමතක වෙන්න නැතුව ඇති. යේසුස්, පේතෘස් දිහා බැලුවේ කලකිරීමෙන්ද දුකින්ද කියා අපි දන්නේ නැහැ. ඒ සිද්ධිය ගැන බයිබලයේ වාර්තා වෙන්නේ “යේසුස් හැරී පේතෘස් දෙස” බැලුවා කියා පමණයි. (ලූක් 22:61) නමුත් යේසුස් හැරී පේතෘස් දෙස බැලූ අවස්ථාවේදී තමන් අතින් මොන තරම් බරපතළ වරදක් සිදු වී තිබෙනවාද කියා ඔහු තේරුම්ගත්තා. තම ස්වාමියාව හඳුනන්නේ නැහැ කියා පේතෘස් අන් අයට දිවුරා කියා තිබුණා. තමන්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසන බව යේසුස් කලින් පවසා තිබුණත් කිසිවිටකවත් එවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ කියා පේතෘස් තරයේම කියා සිටියා. නමුත් අවසානයේදී ඔහු කළෙත් ඔහු නොකරනවා කියා පැවසූ ඒ දෙයමයි. ඔහුගේ ජීවිතයේ දුක්ඛිතම දවස හා මොහොත එය වෙන්න ඇති.

2. පේතෘස්ට ඉගෙනගන්න තිබුණු වැදගත් පාඩම කුමක්ද? එය අපිට වැදගත් වෙන්නේ ඇයි?

2 ඒත් පේතෘස් සම්පූර්ණයෙන්ම කලකිරුණේ නැහැ. දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබුණු නිසා ඔහුට තමන් අතින් සිදු වූ වැරදි හදාගැනීමටත් සමාව දීම ගැන යේසුස්ගෙන් වැදගත් පාඩමක් ඉගෙනගැනීමටත් පුළුවන් වෙනවා. සමාව දීම ගැන ඉගෙනගැනීම අපිටත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා පේතෘස් ඒ පාඩම ඉගෙනගත්තේ කොහොමද කියලා අපි බලමු.

බොහෝ දේවල් ඉගෙනගත්තා

3, 4. (අ) පේතෘස් යේසුස්ගෙන් ඇසුවේ මොනවාද? එසේ අසද්දී ඔහුගේ මනසේ තියෙන්න ඇත්තේ මොනවාද? (ආ) එදා සමාජයේ බලපෑමට පේතෘස් හසු වී තිබෙන බව යේසුස් පෙන්වා දුන්නේ කොහොමද?

3 ඉහත සිද්ධිය සිදු වීමට මාස හයකට පමණ කලින් කපර්ණවුම් නගරයේදී පේතෘස් යේසුස්ගෙන් මෙසේ ඇසුවා. “ස්වාමීනි, මට විරුද්ධව පව් කරන මගේ සහෝදරයාට මා කොපමණ වතාවක් සමාව දිය යුතුද? හත් වරක් දක්වා සමාව දුන්නොත් සෑහෙයිද?” එවකට සිටි ආගමික නායකයන් උගන්වා තිබුණේ තුන් වතාවක් සමාව දීම ප්‍රමාණවත් කියායි. ඒ නිසා හත් වතාවක් සමාව දීමට කැමැත්තෙන් සිටින නිසා තමන් ඉතාමත් කාරුණික කෙනෙක් කියා පේතෘස්ට සිතෙන්න ඇති. නමුත් යේසුස් පැවසුවේ “හත් වරක් දක්වා නොව හැත්තෑහත් වරක් දක්වා සමාව දෙන්න” කියායි.—මතෙ. 18:21, 22.

4 යේසුස් අදහස් කළේ අන් අය කරන වැරදි ගැන වාර්තාවක් තබාගෙන ඒ අනුව ඔවුන්ට සමාව දෙන්න කියා නෙවෙයි. ඒ වෙනුවට සමාව දීමට සීමාවක් නැති බවයි. (1 කොරි. 13:4, 5) පේතෘස් ජීවත් වුණේ සමාව දීමට අකමැති කිසිම කරුණාවක් නොදැක්වූ මිනිසුන් සිටි සමාජයක නිසා ඔහුත් එහි බලපෑමට හසු වී තිබෙන බව යේසුස් පෙන්වා දුන්නා. දෙවිව අනුකරණය කරන අය නිතරම සමාව දීමට සූදානමින් සිටීම ඉතා වැදගත්.—1 යොහන් 1:7-9 කියවන්න.

5. සමාව දීම මොන තරම් වැදගත්ද කියා අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ මොන අවස්ථාවේදීද?

5 යේසුස් පැවසූ දේ ගැන පේතෘස් වාද කළේ නැහැ. යේසුස් පැවසූ දෙයින් ඔහු පාඩමක් ඉගෙනගත්තාද? සමහර අවස්ථාවලදී සමාව දීම මොන තරම් අත්‍යවශ්‍යද කියා වැටහෙන්නේ අපිට අන් අයගෙන් සමාව අවශ්‍ය වන විටයි. සමාව දීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් තැබුවා. ඔහු මිහිමත ගත කළ අන්තිම පැය කිහිපයේදී පේතෘස් අතින් සිදු වූ වැරදිවලට කොපමණ වතාවක් සමාව දුන්නාද කියා අපි බලමු.

බොහෝ වතාවක් සමාව දුන්නා

6. නිහතමානීකම ගැන යේසුස් පාඩමක් උගන්වද්දී පේතෘස් ක්‍රියා කළේ කොහොමද? යේසුස් කළේ මොනවාද?

6 යේසුස් දැන් ගෙවමින් සිටින්නේ ඔහු මිහිමත ගෙවන අවසන් හෝරා කිහිපයයි. නමුත් නිහතමානීකම ඇතුළු තවත් වටිනා පාඩම් තම නියෝජිතයන්ට ඉගැන්වීමට තිබුණා. නිහතමානීකම ගැන කදිම ආදර්ශයක් තැබූ ඔහු එදින ඔවුන්ගේ පාද සේදුවා. සාමාන්‍යයෙන් එවැනි දෙයක් කරන්නේ සේවකයෙක් විසින්. නමුත් යේසුස් පාද සේදීම ගැන ප්‍රශ්න කරන පේතෘස් තම පාද යේසුස් සෝදනවාට කැමති වෙන්නේ නැහැ. පසුව පාද විතරක් නෙවෙයි අත් දෙකත් හිසත් සෝදන්න කියා ඔහු යේසුස්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාවේදී යේසුස් කෝප නොවී කාරුණිකව තමන් කරන ක්‍රියාවේ ඇති වැදගත්කම ගැන පේතෘස්ට පහදා දෙනවා.—යොහ. 13:1-17.

7, 8. (අ) පේතෘස් අතින් සිදු වූ තවත් වැරදි මොනවාද? (ආ) කාරුණිකව සැලකීම සහ සමාව දීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් කියා පවසන්න පුළුවන් ඇයි?

7 වැඩි වේලාවක් යෑමට කලින් තමන් අතරින් උසස් කෙනා කවුද කියා පේතෘස් ඇතුළු යේසුස්ගේ නියෝජිතයන් වාද කරනවා. මේ වතාවේදීත් යේසුස් ඉතාමත් කාරුණිකව ඔවුන්ව නිවැරදි කරමින් මේ තාක් විශ්වාසවන්තව සිටීම ගැන ඔවුන්ව අගය කරනවා. නමුත් ඔවුන් සෑමදෙනාම තමන්ව අත්හැර යන බව යේසුස් ඔවුන්ට පවසනවා. එය ඇසීමෙන් පුදුමයට පත් වෙන පේතෘස් තමන්ට මැරෙන්න සිදු වුණත් යේසුස්ව දමා යන්නේ නැහැ කියා තරයේම කියා සිටිනවා. ඒත් එදිනම රාත්‍රියේ කුකුළෙක් දෙවතාවක් හඬලන්න කලින් ඔහු යේසුස්ව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක්ම කියන බව යේසුස් පවසනවා. නමුත් පේතෘස් උදම් අනමින් පවසන්නේ අනික් සියලුදෙනාම යේසුස්ව අත්හැර ගියත් තමා නම් කිසිවිටෙක යේසුස්ව අත්හැර යන්නේ නැහැ කියායි.—මතෙ. 26:31-35; මාක් 14:27-31; ලූක් 22:24-28; යොහ. 13:36-38.

8 ඒ අවස්ථාවේදීත් කේන්ති ගන්නවා වෙනුවට යේසුස් සිතුවේ පේතෘස්ගේ හොඳ ගතිගුණ ගැනයි. පේතෘස් අතින් වැරදි සිදු වෙන බව ඔහු හොඳින්ම දැනගෙන සිටියත් ඔහු පේතෘස්ට මෙසේ පවසනවා. “ඔබේ විශ්වාසය දුර්වල නොවීමට මම ඔබ වෙනුවෙන් දෙවිට කන්නලව් කර තිබෙනවා. ඔබ නැවත ශක්තිමත් වූ පසු ඇවිත් ඔබේ සහෝදරයන් තුළ තිබෙන විශ්වාසය ශක්තිමත් කරන්න.” (ලූක් 22:32) පේතෘස් අතින් මොන වරදක් වුණත් ඔහු ඒවා සකසාගෙන නැවතත් දෙවිට සේවය කරන බව යේසුස් විශ්වාස කළා. සමාව දීම සහ කාරුණිකව සැලකීම සම්බන්ධයෙන් යේසුස් මොන තරම් කදිම ආදර්ශයක්ද!

9, 10. (අ) ගෙත්සෙමනය උයනේදීත් යේසුස්ට පේතෘස්ව නිවැරදි කිරීමට සිදු වෙන්නේ ඇයි? (ආ) පේතෘස් අතින් සිදු වූ වැරදිවලින් අපිට මතක් කර දෙන්නේ කුමක්ද?

9 දැන් යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් සිටින්නේ ගෙත්සෙමනය නම් උයනෙයි. එහිදීත් කිහිප වතාවක්ම යේසුස්ට පේතෘස්ව නිවැරදි කිරීමට සිදු වෙනවා. යාච්ඤා කිරීමට පිටත්ව යන යේසුස් තමා එන තුරු අවදිව සිටින්න කියා පේතෘස්ට, යාකොබ්ට සහ යොහන්ට පවසනවා. යේසුස් සිටින්නේ ලොකු පීඩනයකින් නිසා වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ඔහුට ඔවුන්ගේ සහය අවශ්‍ය වෙනවා. නමුත් යේසුස් බලාපොරොත්තු වූ ලෙස පේතෘස් සහ අනික් දෙදෙනා අවදිව සිටියේ නැහැ. මේ වතාවේදීත් යේසුස් කෝප නොවී ඔවුන්ගේ තත්වය තේරුම්ගනිමින් මෙසේ පවසනවා. “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ.”—මාක් 14:32-41.

10 වැඩි වේලාවක් යෑමට කලින් විශාල පිරිසක් කඩු මුගුරු රැගෙන යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පැමිණෙනවා. මෙය කල්පනාකාරීව ක්‍රියා කළ යුතු අවස්ථාවක් වුණත් කලබලයෙන් හැසිරෙන පේතෘස් කඩුව ඉවතට ගෙන උත්තම පූජකයාගේ දාසයෙකු වූ මැල්කස්ට පහර දෙන නිසා ඔහුගේ කන කැපෙනවා. නැවතත් සන්සුන්ව පේතෘස්ව නිවැරදි කරන යේසුස් මැල්කස්ගේ කන සුව කරනවා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමේ ඇති අනතුර ගැන ඔහු තම අනුගාමිකයන්ට පෙන්වා දෙනවා. (මතෙ. 26:47-55; ලූක් 22:47-51; යොහ. 18:10, 11) මේ වන විටත් පේතෘස් අතින් බොහෝ වැරදි සිදු වී තිබෙනවා. එමගින් අපට මතක් කර දෙන්නේ අපි සියලුදෙනා අතිනුත් බොහෝ අවස්ථාවලදී වැරදි සිදු වෙන බව නෙවෙයිද? (යාකොබ් 3:2 කියවන්න.) එමනිසා සෑම දිනකම අපිට දෙවිගෙන් සමාව අවශ්‍යයි.

පේතෘස් අතින් සිදු වූ ලොකුම වරද

11, 12. (අ) පේතෘස් තුළ යම් නිර්භීතකමක් තිබුණා කියා පවසන්න පුළුවන් ඇයි? (ආ) ඔහු තවමත් ඔප්පු කර නැත්තේ කුමක්ද?

11 යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි පිරිසට ඔහු පවසන්නේ ඔබ සොයාගෙන ආවේ මාව නම් මගේ නියෝජිතයන්ට යන්න දෙන්න කියායි. පසුව එම හේවායන් යේසුස්ගේ අත් බඳිනවා දකින පේතෘස් අසරණව ඒ දෙස බලා සිටිනවා. ඉන්පසුව පේතෘස් අනිකුත් නියෝජිතයන් සමඟ එතැනින් පලා යනවා.

12 යේසුස්ව අත්අඩංගුවට ගත් පිරිස මුලින්ම ඔහුව රැගෙන යන්නේ කලින් උත්තම පූජකයාව සිටි අන්නස්ගේ නිවසටයි. පේතෘස් හා යොහන්ද ඒ නිවස අසලට යනවා. නමුත් යේසුස්ව එම ස්ථානයෙන් රැගෙන යද්දී ඔවුන් දෙදෙනා ගමන් කරන්නේ “තරමක දුරකින්.” (මතෙ. 26:58; යොහ. 18:12, 13) එලෙස පේතෘස් තරමක දුරකින් ගමන් කරන්නේ ඔහු බියගුල්ලෙක් නිසා නෙවෙයි. යේසුස්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි හේවායන් ළඟ කඩු මුගුරු තිබුණා. පේතෘස් ඒ වන විටත් ඔවුන් අතර සිටි කෙනෙකුට තුවාල කර තිබුණා. එවන් තත්වයකදී පවා ඔහු යේසුස් පිටුපසින් යන්නේ ඔහු තුළ යම් නිර්භීතකමක් තිබුණු නිසයි. නමුත් කලින් පවසා තිබුණු ලෙස යේසුස් වෙනුවෙන් ජීවිතය පුදන්න වුණත් තමන් සූදානම් බව පේතෘස් තවමත් ඔප්පු කර නැහැ.—මාක් 14:31.

13. යේසුස්ව අනුගමනය කළ හැකි සුදුසුම ක්‍රමය කුමක්ද?

13 අද සිටින බොහෝ අයත් යේසුස්ව අනුගමනය කරන්නේ අන් අයට පෙනෙන්නේ නැති ලෙසයි. ඔවුන්ද පේතෘස් මෙන් “තරමක දුරකින්” ගමන් කරනවා කියා පවසන්න පුළුවන්. නමුත් යේසුස්ව අනුගමනය කළ හැකි සුදුසුම ක්‍රමය ගැන පසු කාලයකදී පේතෘස්ම පැහැදිලි කළා. ඔහු පැවසුවේ මොන දේකට මුහුණ දීමට සිදු වුණත් සෑම කාරණයකදීම යේසුස්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුකරණය කරන්න කියායි.1 පේතෘස් 2:21 කියවන්න.

14. යේසුස්ගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී පේතෘස් කළේ මොනවාද?

14 යේසුස්ව අත්අඩංගුවට ගත් පිරිස දෙවනුව ඔහුව රැගෙන යන්නේ විශාල මාලිගාවකට. ඒ ඉතා ධනවත් මෙන්ම බලවත් උත්තම පූජක කායෆස්ගේ මාලිගයයි. සාමාන්‍යයෙන් එවැනි මාලිගාවල ඇතුල් මළුවක්ද තිබුණා. හේවායන් පිටුපසින් ගමන් කරන පේතෘස් දැන් සිටින්නේ එම මාලිගාවේ දොරකඩ අසලයි. ඉන් ඇතුල් වීමට ඔහුට අවසර ලැබෙන්නේ නැහැ. යොහන්, උත්තම පූජකයාව දැන සිටි නිසා ඔහුට ඇතුල් වීමට අවසර ලැබී තිබුණා. ඒ නිසා පසුව ඔහු දොරටු පාලිකාවට කියා පේතෘස්වද ඇතුළට ගන්නවා. පෙනෙන විදිහට පේතෘස් යොහන්ගේ කිට්ටුවෙන්වත් තම ස්වාමියා වන යේසුස්ගේ අසලින්වත් සිටින්නේ නැහැ. එදින ශීත රාත්‍රියක් නිසා දාසයන් සහ නිලධාරීන් ඇතුල් මළුවේ ගිනිමැලයක් ඉදිරියෙහි ගිනි තපිමින් සිටියා. පේතෘස්ද ඔවුන් සමඟ සිටිමින් යේසුස්ට විරුද්ධව බොරු සාක්ෂි ඉදිරිපත් කිරීමට යන එන අය දෙස බලා සිටිනවා.—මාක් 14:54-57; යොහ. 18:15, 16, 18.

15, 16. පේතෘස් ගැන යේසුස් පැවසූ අනාවැකිය ඉටු වුණේ කොහොමද?

15 ගිනිමැලය අසලින් සිටින පේතෘස්ගේ මුහුණ දැන් හොඳින්ම පෙනෙන නිසා ඔහුව ඇතුළට ගත් දොරටු පාලිකාව “ඔබත් ගලීලයේ යේසුස් සමඟ සිටියා නේද” කියා ඔහුගෙන් අසනවා. එවිට පේතෘස්, ‘ඔබ මොනවා කියවනවාද කියා මම නම් දන්නේ නැහැ’ කියා පවසමින් සේවිකාව පැවසූ දෙය ප්‍රතික්ෂේප කරනවා. පසුව ඔහු එතැන සිටි අයගෙන් ඉවත් වී දොරටුව අසලට යනවා. නමුත් එතැන සිටි තරුණියක්ද ඔහුව හඳුනාගෙන “මේ මිනිසා නාසරෙත් නුවරින් පැමිණි යේසුස් සමඟ සිටියා” කියා පවසනවා. ඒ අවස්ථාවේදීත් පේතෘස් දිවුරමින් “මම ඒ මිනිසාව හඳුනන්නේ නැහැ” කියා පවසනවා. (මතෙ. 26:69-72; මාක් 14:66-68) එවිටම කුකුළෙක් හඬලන ශබ්දය පේතෘස්ට ඇසුණත් ඔහු කලබලයෙන් සිටි නිසා යේසුස් පැවසූ අනාවැකිය ඔහුගේ සිහියට නැඟෙන්නේ නැහැ.

16 දැන් පේතෘස් උත්සාහ කරන්නේ හැකි තරම් සෙනඟගෙන් සැඟවී සිටීමටයි. නමුත් වැඩි වේලාවක් යෑමට කලින් ඇතුල් මළුවේ සිටි මිනිසුන් පිරිසක් ඔහු වෙතට පැමිණෙනවා. පේතෘස් කන කපා දැමූ මිනිසාගේ නෑදෑයෙක්ද ඒ අතරේ සිටියා. පේතෘස්ව හඳුනාගත් ඔහු ‘ඔබ යේසුස් සමඟ උයනේ සිටිනවා මම දැක්කා’ කියා පවසනවා. එය ඇසීමෙන් තවත් කලබලයට පත් වෙන පේතෘස් තමාටම ශාප කරගනිමින් ඔබ කියන මේ මිනිසාව මම හඳුනන්නේවත් නැහැ කියා දිවුරනවා. ඔහු එම වචන පවසා අවසන් වූ විගසම දෙවන වතාවටත් කුකුළෙක් හඬලන ශබ්දය ඔහුට ඇසෙනවා.—යොහ. 18:26, 27; මාක් 14:71, 72.

“යේසුස් හැරී පේතෘස් දෙස බැලුවේය”

17, 18. (අ) තමන් අතින් සිදු වූ වරද ගැන පේතෘස්ට හැඟෙන්නේ කොහොමද? (ආ) පේතෘස්ට සිතෙන්න ඇත්තේ කුමක්ද?

17 ඒ අවස්ථාවේදීම උඩුමහලේ සිටි යේසුස් තමන් දෙස බලන අයුරු පේතෘස්ගේ නෙත ගැටෙනවා. මෙම පරිච්ඡේදයේ මුල්ම ඡේදයේ සඳහන් වුණේ මෙම අවස්ථාව ගැනයි. තමන් අතින් වූ වරද නිසා හද පැළෙන තරම් වේදනාවකින් සිටින පේතෘස් එම ස්ථානයෙන් පිටත් වී යනවා. වේදනාව දරාගැනීමට නොහැකිව ඔහු හඬා වැලපෙනවා.—මාක් 14:72; ලූක් 22:61, 62.

18 එවැනි බරපතළ වරදක් කර තිබෙන කෙනෙකුට, කිසිදාක තමන්ට සමාව නොලැබෙයි කියා සිතෙන්න පුළුවන්. පේතෘස්ටත් එලෙස සිතෙන්න ඇති.

පේතෘස්ට සමාව ලැබෙයිද?

19. පේතෘස්ට තමන් අතින් සිදු වූ වරද ගැන කොහොම හැඟෙන්න ඇද්ද? ඔහු බලාපොරොත්තු සුන් කරගත්තේ නැහැ කියා පවසන්න පුළුවන් ඇයි?

19 පැය කිහිපයකින් පසුව යේසුස් දුක් විඳ මිය යෑම ගැන පේතෘස්ට කොහොම හැඟෙන්න ඇද්ද? ඔහු තමාටම දොස් පවරාගන්න ඇති. තම ස්වාමියා මිහිමත ගෙවූ අවසන් දවසේදී ඔහු තම ස්වාමියාට මොන තරම් දුකක් දුන්නාද කියා සිතමින් ළත වෙන්න ඇති. නමුත් ඔහු ශෝකයෙන් ගිලී බලාපොරොත්තු සුන් කරගත්තේ නැහැ. බයිබලයේ සඳහන් වාර්තාවෙන් පැහැදිලි වෙන්නේ ඔහු අනිකුත් නියෝජිතයන් සමඟ සිටි බවයි. (ලූක් 24:33) ඔවුන් සියලුදෙනාම කලින් දින රාත්‍රියේදී තමන් අතින් සිදු වූ දේවල් ගැන දුක් වෙන්න ඇති. එකිනෙකාව සනසවාගන්නත් ඇති.

20. පේතෘස් ක්‍රියා කළ ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

20 පේතෘස් ක්‍රියා කළ ආකාරයෙන් අපිට කදිම පාඩමක් ඉගෙනගන්න පුළුවන්. කෙනෙක් අතින් යම් වරදක් සිදු වුණත් ඒ වරදින් ගොඩ එන්න ඔහු උපරිමයෙන් උත්සාහ කරනවා නම් එය බරපතළ වරදක් වුණත් දෙවි ඔහුට සමාව දෙනවා. (හිතෝපදේශ 24:16 කියවන්න.) පේතෘස්ට තමන් අතින් වූ වරද ගැන මොන තරම් දුකක් දැනුණත් ඔහු ඒ අවස්ථාවේදී තනිවම සිටිනවා වෙනුවට නියෝජිතයන්ට එකතු වෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකු දරාගත නොහැකි දුකකින් සිටිද්දී බොහෝවිට පෙලඹෙන්නේ තනි වී සිටීමටයි. නමුත් එමගින් භයානක ප්‍රතිඵල අත් වෙන්න පුළුවන්. (හිතෝ. 18:1) ඒ නිසා එවැනි අවස්ථාවලදී කළ හැකි සුදුසුම දෙය වෙන්නේ පේතෘස් කළා හා සමානව සෙසු සහෝදර සහෝදරියන් සමඟ එකට සිටීමයි.—හෙබ්‍රෙ. 10:24, 25.

21. පේතෘස් නියෝජිතයන් සමඟ සිටි නිසා ඔහුට දැනගන්න ලැබෙන්නේ මොනවාද?

21 පේතෘස් සෙසු නියෝජිතයන්ට එකතු වී සිටි නිසා ඔහුට වැදගත් පණිවිඩයක් දැනගන්න ලැබෙනවා. එනම් යේසුස්ගේ මෘත ශරීරය සොහොන් ගෙයි නැති බවයි. එය දැනගන්න ලැබුණු සැණින් පේතෘස් හා යොහන් සොහොන් ගෙය වෙත දිව යනවා. යොහන්, පේතෘස්ට කලින් සොහොන් ගෙය වෙත යන්න ඇත්තේ ඔහු පේතෘස්ට වඩා තරුණ නිසා වෙන්න ඇති. කොහොමවුණත් සොහොන් ගෙයි ගල ඉවත් කර තිබෙනවා දකින යොහන් එයට ඇතුල් වෙන්න අදිමදි කරනවා. නමුත් ඔහුට පසුව පැමිණෙන පේතෘස් ආ වේගයෙන්ම සොහොන් ගෙය තුළට යනවා. ඔහුට දකින්න ලැබෙන්නේ හිස් වූ සොහොන් ගෙයයි.—යොහ. 20:3-9.

22. පේතෘස්ගේ දුක, සැක දුරු වුණේ කොහොමද?

22 යේසුස්ව නැවත නැඟිටුවා තිබෙන බව පේතෘස් විශ්වාස කරයිද? යේසුස්ව නැවත නැඟිටුවා තිබෙන බව දේවදූතයන් තමන්ට දැනුම් දුන්නා කියා ස්ත්‍රීන් පැවසුවත් මුලින් පේතෘස් එය විශ්වාස කරන්නේ නැහැ. (ලූක් 23:55–24:11) එදින සිදු වූ දෙයක් නිසා පේතෘස්ගේ දුක මෙන්ම සැකයද නැතුව යනවා. අනික් නියෝජිතයන්ට දර්ශනය වීමට කලින් යේසුස් පේතෘස්ට දර්ශනය වෙනවා. නියෝජිතයන් පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. “ස්වාමි වූ යේසුස් ඇත්තටම මරණයෙන් නැවත නැඟිටලා! සීමොනුත් ඔහුව දැක්කා.” (ලූක් 24:34) පසු කාලයකදී පාවුල්ද ඒ ගැන මෙසේ සඳහන් කළා. ‘යේසුස් සීෆස් ඉදිරියේද ඉන්පසු දොළොස්දෙනා ඉදිරියේද පෙනී සිටියේය.’ (1 කොරි. 15:5) පේතෘස්ව සීෆස් ලෙසත් සීමොන් ලෙසත් හඳුන්වනු ලැබුවා. පෙනෙන විදිහට එදින යේසුස් ඔහුට දර්ශනය වී තිබෙන්නේ ඔහු තනිව සිටි අවස්ථාවකයි.

පේතෘස් අතින් සිදු වූ බොහෝ වැරදිවලට යේසුස්ගෙන් සමාව ලැබුණා. අපිටත් සෑම දිනකම දෙවිගෙන් සමාව අවශ්‍ය වෙන්නේ නැද්ද?

23. බරපතළ වරදක් සිදු වූ අවස්ථාවලදී පේතෘස් අද්දුටු දෙය මතක තබාගැනීම ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

23 පේතෘස්ට යේසුස්ව දර්ශනය වූ මොහොතේදී සිදු වූ දේවල් ගැන අපි දන්නේ නැහැ. කොහොමවුණත් යේසුස්ව දකිද්දී පේතෘස්ට ලොකු සතුටක් දැනෙන්න ඇති. තමන් අතින් සිදු වූ වැරදි ගැන ඔහු අනිවාර්යයෙන්ම යේසුස්ගෙන් සමාව ඉල්ලන්න ඇති. යේසුස්ද ඔහුට සමාව දුන් බවට නම් කිසිම සැකයක් නැහැ. අපි අතිනුත් යම් වැරදි අඩුපාඩුකම් සිදු වෙද්දී පේතෘස් අද්දුටු දෙය මතක තබා ගනිමු. අපි අතින් සිදු වෙන වැරදිවලට දෙවිගෙන් කිසිදාක සමාව ලැබෙන එකක් නැහැ කියා සිතමින් බලාපොරොත්තු සුන් කරගන්න අවශ්‍ය නැහැ. යෙහෝවා දෙවි ‘මුළු හදින්ම සමාව’ දීමට සූදානමින් සිටින බව යේසුස් ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වෙනවා.—යෙසා. 55:7.

සමාව ලැබුණු බවට සාක්ෂි

24, 25. (අ) පේතෘස් ගලීල මුහුදේ මාළු ඇල්ලීමට ගිය රාත්‍රියේදී සිදු වුණේ කුමක්ද? (ආ) ආශ්චර්යය කළේ යේසුස් බව හඳුනාගත් පේතෘස් කළේ මොනවාද?

24 යේසුස් තමන්ගේ නියෝජිතයන්ට ගලීලයට යන්න කියා පවසනවා. ඒ නිසා ඔවුන් සියලුදෙනාම ගලීලය බලා පිටත් වෙනවා. ඔවුන් එහි පැමිණි පසුව පේතෘස් මාළු අල්ලන්න යද්දී තවත් කිහිපදෙනෙක්ද ඔහුට එකතු වෙනවා. ඒ අවස්ථාවේදී පේතෘස්ට ඔහුගේ සුමිහිරි අතීත මතකයන් සිහියට නැඟෙන්න ඇති. ඊට යම් කාලයකට පෙර ධීවරයෙක් ලෙස ඔහු වැඩි කාලයක් ගෙවා තිබුණේ ගලීල මුහුදෙයි. ඔරු, මාළු දැල්, මුහුදු රැලි මේ සෑම දෙයක්ම ඔහුට නුහුරු නුපුරුදු දේවල් නෙවෙයි. මුළු රාත්‍රිය පුරාම ඔවුන් වෙර දැරුවත් එක මාළුවෙක්වත් අල්ලාගැනීමට හැකි වෙන්නේ නැහැ.—මතෙ. 26:32; යොහ. 21:1-3.

පේතෘස් වතුරට පැන හැකි තරම් වේගයකින් වෙරළට එනවා

25 අලුයම වේගෙන එද්දී වෙරළේ සිටි මිනිසෙක් ඔරුවේ අනික් පැත්තෙන් දැල හෙළන්න කියා ඔවුන්ට පවසනවා. ඔවුන් දැල ඒ පැත්තට හෙළුවාම මාළු 153දෙනෙකුව දැලට හසු වෙනවා. ඒ මොහොතේදීම වෙරළේ සිටින්නේ කවුද කියා තේරුම්ගන්නා පේතෘස් වතුරට පැන හැකි තරම් වේගයකින් වෙරළට පිහිනගෙන එනවා. අනිකුත් නියෝජිතයන්ද වෙරළට ආ පසු යේසුස් අඟුරු දල්වා ඒ මත මසුන් පුළුස්සා නියෝජිතයන්ට රසවත් ආහාරයක් කෑමට දෙනවා. මේ මොහොතේදී යේසුස් වැඩි අවධානයක් දෙන්නේ පේතෘස්ටයි.—යොහ. 21:4-14.

26, 27. (අ) යේසුස් තුන් වතාවක්ම පේතෘස්ට අවස්ථාව ලබා දුන්නේ කුමකටද? (ආ) යේසුස් මුළු හදවතින්ම සමාව දුන් බව පෙන්නුවේ කොහොමද?

26 මාළු දෙසට අත දිගු කරමින් “මේ දේවලට වඩා” ඔබ මට ප්‍රේම කරනවාද කියා යේසුස් පේතෘස්ගෙන් අසනවා. පේතෘස්ගේ සිතේ යේසුස්ට වඩා ඒ දේවලට ප්‍රේමයක් තිබුණාද? මීට පෙර පේතෘස් තුන් වතාවකදීම යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පවසා තිබුණා. දැන් සෙසු නියෝජිතයන් ඉදිරියේ ඔහු සැබවින්ම යේසුස්ට ප්‍රේම කරන බව පෙන්වීමට යේසුස් ඔහුට අවස්ථා තුනක්ම ලබා දෙනවා. ඒ වතා තුනේදීම පේතෘස් මුළු හිතින්ම යේසුස්ට ප්‍රේම කරනවා කියා පවසනවා. ඒ ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්විය හැකි ආකාර ගැන යේසුස් ඔහුට කියා දෙනවා. වෙන කිසිම දේකට වඩා දෙවිගේ කැමැත්ත කිරීමට මුල් තැන දෙන්න කියාත් ක්‍රිස්තුස්ගේ රැළ රැකබලා ගන්න, පෝෂණය කරන්න සහ ශක්තිමත් කරන්න කියාත් ඔහුට පවසනවා.—ලූක් 22:32; යොහ. 21:15-17.

27 යෙහෝවා දෙවි සහ යේසුස් තවමත් පේතෘස්ව අගය කරන බව යේසුස් පෙන්වා දෙනවා. අනාගතයේදී යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ සභාවේ වගකීම් රැසක් දැරීමේ අවස්ථාව පේතෘස්ට ලැබෙනවා. යේසුස් ඔහුට මුළු හදින්ම සමාව දුන් බවට එය කදිම සාක්ෂියක් නෙවෙයිද! යේසුස් තමන්ට දැක්වූ කරුණාව පේතෘස්ගේ මතකයේ සැමදා රැඳුණු බවටත් ඔහු තමන්ගේ වැරදි නිවැරදි කරගත් බවටත් සැකයක් නැහැ.

28. පේතෘස් ඔහුගේ නමට ඔබින ලෙස ක්‍රියා කළේ කොහොමද?

28 යේසුස් තමන්ට භාර දුන් වගකීම පේතෘස් ඉතා විශ්වාසවන්ත ලෙස ඉටු කළා. යේසුස් මිහිමත ගෙවූ අවසන් දවසේදී ඔහුට භාර දුන් වගකීම ඉටු කරමින් ඔහු සෙසු සහෝදරයන්ව ශක්තිමත් කළා. ඉතා කාරුණිකව හා බොහෝ ඉවසීමෙන් ක්‍රියා කරමින් පේතෘස් තමන්ට භාර දුන් රැළ ආදරයෙන් රැකබලා ගත්තා. යේසුස් ඔහුට දැමූ නමට ගැළපෙන ලෙස පේතෘස් ජීවත් වුණා. පර්වතයක් මෙන් දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයකින් ක්‍රියා කළ ඔහු සභාවේ ශක්තිමත් කෙනෙක් බවට පත් වුණා. බයිබලයට ඇතුළත් කර තිබෙන ඔහු ලියූ පොත් දෙක ඊට කදිම සාක්ෂියක්. සමාව දීම සම්බන්ධයෙන් යේසුස් ඉගැන්වූ කදිම පාඩම පේතෘස් සිතට ගෙන තිබුණු බවත් සැමදා එය ඔහුගේ මතකයේ රැඳුණු බවත් එම පොත් කියවීමෙන් පැහැදිලි වෙනවා.1 පේතෘස් 3:8, 9; 4:8 කියවන්න.

29. පේතෘස්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසයත් යේසුස් පෙන්වූ කරුණාවත් අපිට අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

29 යේසුස් පේතෘස්ට ඉගැන්වූ කදිම පාඩමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? සෑම දිනකම අපි අතින් සිදු වෙන වැරදි ගැන දෙවිගෙන් සමාව ඉල්ලනවාද? අපේ වැරදිවලට සමාව ලැබුණු පසුව නැවතත් දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට අපට අවස්ථාව තිබෙන බව විශ්වාස කරනවාද? අන් අය අතින් අපිට සිදු වෙන වැරදිවලට අපිත් මුළු හදවතින්ම සමාව දෙනවාද? එසේ කරනවා නම් පේතෘස්ට දෙවි කෙරෙහි තිබුණු විශ්වාසයත් යේසුස් පෙන්වූ කරුණාවත් අපි අනුකරණය කරනවා කියා පවසන්න පුළුවන්.