Skip to content

පටුනට යන්න

30වෙනි පාඩම

මැරුණු අයට ආයෙත් ජීවිතේ ලැබෙනවා!

මැරුණු අයට ආයෙත් ජීවිතේ ලැබෙනවා!

අපි ආදරේ කරන කෙනෙක් මිය ගියාම අපිට දැනෙන්නේ ලොකු දුකක්. ඒකයි බයිබලයේ කියන්නේ මරණය සතුරෙක් කියලා. (1 කොරින්ති 15:26) යෙහෝවා දෙවියන් මරණය කියන සතුරාව නැත්තටම නැති කරනවා කියලා ඔයා 27වෙනි පාඩමෙන් දැනගත්තා. ඒත් දැනටමත් මිය ගිහින් ඉන්න අයට මොකද වෙන්නේ? ඒ අය ගැන යෙහෝවා දීලා තියෙන ලස්සන පොරොන්දුවක් ගැන මේ පාඩමෙන් ඉගෙනගන්න පුළුවන්. ඔහු පොරොන්දු වෙනවා මිය ගිය බිලියන ගාණක් නැවත නැඟිට්ටවනවා කියලා. ඒ කියන්නේ එයාලට ආයෙත් ජීවිතේ දීලා හැමදාටම ජීවත් වෙන්න ඔහු අවස්ථාව දෙනවා කියලා. ඒ පොරොන්දුව අපිට ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද? එයාලට ආයෙත් ජීවත් වෙන්න ලැබෙන්නේ මේ පොළොවේද නැත්නම් ස්වර්ගයේද?

1. මිය ගිය අය වෙනුවෙන් යෙහෝවා කරන්න ආසාවෙන් ඉන්නේ මොනවාද?

මිය ගිහින් ඉන්න අපේ පවුලේ අයට, යාළුවන්ට ආයෙත් ජීවිතේ දෙන්න යෙහෝවා දෙවියන් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. යෝබ්, දෙවියන්ට විශ්වාසවන්තව හිටපු කෙනෙක්. එයා මැරුණත් යෙහෝවාට එයාව අමතක වෙන්නේ නැහැ කියලා යෝබ්ට ලොකු විශ්වාසයක් තිබුණා. “ඔබ මට අඬගහයි. මමත් [මිනී වළේ ඉඳන්] ඔබට උත්තර දෙනවා” කියලා එයා දෙවියන්ට කිව්වේ ඒ නිසයි.—යෝබ් 14:13-15 කියවන්න.

2. මැරුණු අයට ආයෙත් ජීවිතේ ලැබෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි?

යේසුස් පොළොවේ ඉද්දී යෙහෝවා ඔහුට බලය දුන්නා මැරුණු අයට ආයෙත් ජීවිතේ දෙන්න. ඔහු අවුරුදු 12ක දැරියක්වත් වැන්දඹුවකගේ පුතාවත් නැවත නැඟිට්ටෙව්වා. (මාක් 5:41, 42; ලූක් 7:12-15) පස්සේ කාලෙක යේසුස්ගේ යාළුවෙක් වුණ ලාසරුස් මැරුණා. එයා මැරිලා දවස් 4ක් ගත වෙලා තිබුණත් යේසුස් එයාට ආයෙත් ජීවිතේ දුන්නා. ඒ වෙලාවේ යේසුස් දෙවියන්ට යාච්ඤා කරලා හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වා. “ලාසරුස්, එළියට එන්න.” එතකොට “මැරිලා හිටපු කෙනා එළියට ආවා.” (යොහන් 11:43, 44) එයාගේ පවුලේ අය, යාළුවන් කොච්චර සතුටු වෙන්න ඇද්ද!

3. මිය ගිහින් ඉන්න ඔයාගේ පවුලේ අය, යාළුවන් ගැන දෙවියන් පොරොන්දු වෙන්නේ මොනවාද?

මැරුණු අයව “නැවත නැඟිට්ටවනවා” කියලා බයිබලයේ පොරොන්දු වෙනවා. (ක්‍රියා 24:15) යේසුස් නැවත නැඟිට්ටවපු කිසිම කෙනෙක් එයාලව නැඟිට්ටවන්න කලින් ස්වර්ගයට ගිහින් තිබුණේ නැහැ. (යොහන් 3:13) පොළොවේ ආයෙත් ජීවත් වෙන්න ලැබුණ එක ගැන එයාලා ගොඩක් සතුටු වුණා. යේසුස් ළඟදීම මිය ගිය බිලියන ගාණක් අයව නැවත නැඟිට්ටවලා එයාලට මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. යේසුස් කිව්වා “සොහොන් ගෙවල්වල ඉන්න හැමෝටම” ඒ කියන්නේ දෙවියන්ගේ මතකයේ ඉන්න හැමෝටම ඔහු ආයෙත් ජීවිතේ දෙනවා කියලා. මිනිස්සුන්ට ඒ අයව අමතක වෙලා තිබුණත් දෙවියන්ට එයාලව අමතක වෙන්නේ නැහැ.—යොහන් 5:28, 29.

තවත් හොයමු

මිය ගිය අයට යේසුස් ආයෙත් ජීවිතේ දෙනවා කියලා විශ්වාස කරන්න තියෙන සාක්ෂි බයිබලයෙන් දැනගන්න. නැවත නැඟිටීම නිසා ඔයාට සහනයක්, බලාපොරොත්තුවක් ලැබෙන්නේ කොහොමද කියලත් ඉගෙනගන්න.

4. මිය ගිය අයව නැවත නැඟිට්ටවන්න යේසුස්ට පුළුවන් කියලා ඔහු ඔප්පු කළා

යේසුස් ඔහුගේ යාළුවා වුණ ලාසරුස් වෙනුවෙන් කරපු දේ ගැන තව දැනගන්න. යොහන් 11:14, 38-44 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ලාසරුස් ඇත්තටම මැරිලා හිටියා කියලා අපි දන්නේ කොහොමද?—39වෙනි පදය බලන්න.

  • ලාසරුස් ඒ වෙද්දී ස්වර්ගයට ගිහින් තිබුණා නම් ඔයා හිතනවාද යේසුස් මේ පොළොවේ ජීවත් වෙන්න එයාව නැවත නැඟිට්ටවයි කියලා?

වීඩියෝ එක බලන්න.

5. බිලියන ගාණක් ආයෙත් ජීවත් වෙනවා!

ගීතාවලිය 37:29 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • නැවත නැඟිට්ටවන බිලියන ගාණක් දෙනා ජීවත් වෙන්නේ කොහෙද?

යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු අයව විතරක් නෙමෙයි, තව හුඟදෙනෙක්ව යේසුස් නැවත නැඟිට්ටවනවා. ක්‍රියා 24:15 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මිය ගිහින් ඉන්න අය අතරින් ඔයා දකින්න ආස කාවද?

මේ ගැන හිතන්න: මිය ගිය කෙනෙක්ව නැවත නැඟිට්ටවන එක යේසුස්ට හරියට තාත්තා කෙනෙක් එයාගේ දරුවාව නින්දෙන් නැඟිට්ටවනවා තරම් ලේසි දෙයක්

6. නැවත නැඟිටීම නිසා ඔයාට සහනයක් වගේම බලාපොරොත්තුවකුත් ලැබෙනවා

යායිරස්ගේ දුවව නැවත නැඟිට්ටවපු සිද්ධිය බයිබලයෙන් කියවලා වියෝදුකින් ඉන්න හුඟදෙනෙක් ලොකු සහනයක් ලබලා තියෙනවා. ඒ සිද්ධිය ගැන දැනගන්න ලූක් 8:40-42, 49-56 කියවන්න.

යායිරස්ගේ දුවව නැවත නැඟිට්ටවන්න කලින් යේසුස් යායිරස්ට කිව්වා “බය වෙන්න එපා. දිගටම විශ්වාසයෙන් ඉන්න” කියලා. (50වෙනි පදය බලන්න.) නැවත නැඟිටීම ගැන හිතන එක මේ අවස්ථාවලදී ඔයාට උදව් වෙන්නේ කොහොමද?

  • ඔයා ආදරේ කරන කෙනෙක් මිය ගියාම

  • ඔයාගේ ජීවිතේ අනතුරේ තියෙද්දී

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ෆෙලිසිටිගේ දෙමාපියන්ට සහනයක් සහ ශක්තියක් වුණේ කොහොමද?

සමහරු මෙහෙම කියනවා: “එහෙම වෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙයි කියලා නම් හිතන්න අමාරුයි.”

  • ඔයා මොනවාද ඒ ගැන හිතන්නේ?

  • මැරුණු අයව නැවත නැඟිට්ටවනවා කියලා පෙන්නන්න ඔයා පාවිච්චි කරන්නේ මොන බයිබල් පදයද?

ඉගෙනගත්ත දේ

මිය ගිය බිලියන ගාණක් අයට ආයෙත් ජීවිතේ දෙන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා. ඔහු ඒ දේ කරන්න යේසුස්ට බලය දීලා තියෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • මිය ගිය අයට ආයෙත් ජීවිතේ දෙන්න යෙහෝවා සහ යේසුස් ආසාවෙන් ඉන්නවා කියලා අපි දන්නේ කොහොමද?

  • නැවත නැඟිට්ටවන බිලියන ගාණක් ජීවත් වෙන්නේ පොළොවේද, ස්වර්ගයේද? එහෙම කියන්නේ ඇයි?

  • මිය ගිය පවුලේ අයට, යාළුවන්ට ආයෙත් ජීවිතේ ලැබෙනවා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

වියෝදුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන දැනගන්න.

“වියෝදුකට සහනයක්!” (2018 අංක 3 ‘පිබිදෙව්!’)

බයිබලයේ තියෙන තොරතුරුවලින් වියෝදුකින් ඉන්න කෙනෙක්ට සහනයක් ලැබෙනවාද?

‘වියෝදුකට සහනයක්!’ (5:06)

ආදරේ කරන කෙනෙක් මැරුණාම ඒ දුක දරාගන්න දරුවන්ට උදව් වෙන්නේ මොනවාද?

‘යේසුස්ගේ ජීවිත පූජාව’ (2:07)

ස්වර්ගයේ ජීවත් වෙන්නත් සමහර අයව නැවත නැඟිට්ටවනවාද? නැවත නැඟිට්ටවන්නේ නැත්තේ කාවද?

“නැවත නැඟිටීම කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)