Skip to content

පටුනට යන්න

34වෙනි පාඩම

යෙහෝවාට ආදරෙයි කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?

යෙහෝවාට ආදරෙයි කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?

බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තාට පස්සේ දෙවියන්ට තව ළං වෙලා කියලා ඔයාට දැනෙනවාද? ඔහු එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න ඔයා කැමතිද? ඔයාගේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ එන්න එන්නම වැඩි වෙද්දී ඔහු ඒක දකිනවා. එතකොට ඔයා ගැන ඔහුගේ හිතේ තියෙන ආදරෙත් තව වැඩි වෙයි. ඔහු ඔයා ළඟින්ම ඉඳලා ඔයාට උදව් කරයි. යෙහෝවාට ආදරෙයි කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද?

1. යෙහෝවාට ආදරෙයි කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

යෙහෝවාට කීකරු වෙලා ඔහුට ආදරෙයි කියලා පෙන්නන්න අපිට පුළුවන්. (1 යොහන් 5:3 කියවන්න.) ඔහුට කීකරු වෙන්න කියලා යෙහෝවා කිසි කෙනෙක්ට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුට කීකරු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න යෙහෝවා අපි එක් එක් කෙනාට අවස්ථාව දීලා තියෙනවා. ඒ ඇයි? ඔහු කැමති අපි ඔහුට “මුළු හදවතින්ම කීකරු වෙනවාටයි.” (රෝම 6:17) ඒ කියන්නේ යෙහෝවා කැමති කීකරු වෙන්න ඕන නිසා අපි ඔහුට කීකරු වෙනවාට නෙමෙයි, ඔහුට තියෙන ආදරේ නිසා අපි ඔහුට කීකරු වෙනවාටයි. යෙහෝවා කැමති දේවල් කරන්නත් ඔහු අකමැති දේවල් නොකර ඉන්නත් මේ පොතේ තියෙන 3වෙනි සහ 4වෙනි කොටස් ඔයාට උදව් වෙයි.

2. යෙහෝවාට අපේ ආදරේ පෙන්නන්න අමාරු වෙන්න පුළුවන් ඇයි?

“ධර්මිෂ්ඨයාට හුඟක් දුක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා” කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 34:19) අපි හැමෝටම අපේ දුර්වලකම්, අඩුපාඩු එක්ක සටන් කරන්න වෙනවා. සමහරවිට ආර්ථික ප්‍රශ්නවලට, අයුක්තියට සහ වෙනත් අමාරුකම්වලට මුහුණ දෙන්නත් වෙනවා. ඒ වගේ දුක් කරදරවලට මුහුණ දෙන්න වෙද්දී යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න අපිට අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට යෙහෝවා දෙවියන් අකමැති දේ කරන එක ඊට වඩා ලේසි වෙන්න පුළුවන්. ඒත් මොන තරම් අමාරු වුණත් ඔයා යෙහෝවාට දිගටම කීකරු වෙද්දී ඔයා පෙන්නන්නේ වෙන කිසිම කෙනෙක්ට, කිසිම දේකට වඩා ඔයා යෙහෝවාට ආදරෙයි කියලයි. එතකොට ඔහුත් කවදාවත් ඔයාව අත්හරින්නේ නැහැ.—ගීතාවලිය 4:3 කියවන්න.

තවත් හොයමු

ඔයා යෙහෝවාට කීකරු වෙද්දී ඔහු සතුටු වෙන්නේ ඇයි කියලත් දිගටම ඔහුට කීකරුව ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද කියලත් දැනගන්න.

3. සාතන් කරපු චෝදනාව

යෝබ් පොතේ සාතන් කරපු චෝදනාවක් ගැන කතා කරනවා. යෝබ්ටත් යෙහෝවාට සේවය කරන හැමෝටමත් විරුද්ධවයි සාතන් ඒ චෝදනාව කළේ. යෝබ් 1:1, 6–2:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෝබ් යෙහෝවාට කීකරු වෙන්නේ මොන හේතුව නිසා කියලද සාතන් කිව්වේ? —යෝබ් 1:9-11 බලන්න.

  • ඔයා ඇතුළුව මිනිස්සු හැමෝටම සාතන් කරපු චෝදනාව මොකක්ද? —යෝබ් 2:4 බලන්න.

යෝබ් 27:5ආ කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෝබ් ඇත්තටම යෙහෝවාට ආදරෙයි කියලා ඔප්පු කළේ කොහොමද?

යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉඳලා යෝබ් ඔප්පු කළා එයා යෙහෝවාට ආදරෙයි කියලා

අපි දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉද්දී අපි පෙන්නන්නේ අපි ඔහුට ආදරෙයි කියලයි

4. යෙහෝවාගේ හිත සතුටු කරන්න

හිතෝපදේශ 27:11 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඔයා ඥානවන්තව වැඩ කරලා යෙහෝවාට කීකරු වෙද්දී ඔහුට හැඟෙන්නේ කොහොමද? ඔහුට එහෙම හැඟෙන්නේ ඇයි?

5. යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්

යෙහෝවා ගැන අපිට තියෙන ආදරේ නිසා ඔහු ගැන අනිත් අයට කියන්න අපි තුළ ආසාවක් ඇති වෙනවා. සමහර වෙලාවලදී එහෙම කරන එක ලේසි නැහැ. ඒත් ඔයා යෙහෝවාට ඇත්තටම ආදරේ නිසා ඔයා කොහොමහරි ඒක කරනවා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • සමහර වෙලාවට යෙහෝවා ගැන අනිත් අයට කියන එක අමාරුයි කියලා ඔයාට දැනිලා තියෙනවාද?

  • ග්‍රේෂන්ට එයාගේ බය නැති කරගන්න උදව් වුණේ මොකක්ද?

යෙහෝවා ආදරේ කරන දේවලට අපි ආදරේ කරනවා නම්, ඔහු පිළිකුල් කරන දේවලට අපි පිළිකුල් කරනවා නම් ඔහුට විශ්වාසවන්තව ඉන්න අපිට තවත් ලේසියි. ගීතාවලිය 97:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඔයා ඉගෙනගෙන තියෙන විදිහට යෙහෝවා ඇලුම් කරන සමහර දේවල් මොනවාද? ඔහු පිළිකුල් කරන සමහර දේවල් මොනවාද?

  • යෙහෝවා ඇලුම් කරන දේවලට ඇලුම් කරන්නත් ඔහු පිළිකුල් කරන දේවලට පිළිකුල් කරන්නත් ඉගෙනගන්න ඔයාට පුළුවන් කොහොමද?

6. යෙහෝවාට කීකරු වෙද්දී ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි

හැම කාරණයකදීම යෙහෝවාට කීකරු වෙන එක තමයි හොඳම දේ. යෙසායා 48:17, 18 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අපිට හොඳම දේ මොකක්ද කියලා දන්නේ යෙහෝවා කියලා ඔයාට විශ්වාසද? ඔයා එහෙම කියන්නේ ඇයි?

  • බයිබලය ගැනත් සැබෑ දෙවියන් වන යෙහෝවා ගැනත් ඔයා ඉගෙනගෙන තියෙන දේවල් ඔයාට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද?

සමහරු මෙහෙම කියනවා: “මං කොහොම ජීවත් වුණත් දෙවියන්ට ඒක ගාණක් නැහැ.”

  • අපි කරන කියන දේවලින් යෙහෝවාට සතුටක් නැත්නම් දුකක් දැනෙනවා කියලා පෙන්නන්න ඔයා පාවිච්චි කරන්නේ මොන බයිබල් පදයද?

ඉගෙනගත්ත දේ

මොන ප්‍රශ්න ආවත් දිගටම යෙහෝවාට කීකරු වෙලා, ඔහුට විශ්වාසවන්තව ඉඳලා ඔහුට ආදරෙයි කියලා පෙන්නන්න ඔයාට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යෝබ්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • ඔයා යෙහෝවාට ආදරෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද?

  • යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් ළැදිව ඉන්න ඔයාට පුළුවන් කොහොමද කියලා දැනගන්න.

“ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසිදාක අත් නොහරින්නෙහිය” (16:49)

යෙහෝවාට ආදරෙයි කියලා දරුවන්ටත් පෙන්නන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

‘යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න’ (8:16)

වැරදි දේ කරන්න යාළුවන් බලපෑම් කරද්දී යෙහෝවා කැමති දේ කරන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’ (3:59)