Skip to content

පටුනට යන්න

44වෙනි පාඩම

ඕනෙම උත්සවයක් සැමරුවාට කමක් නැද්ද?

ඕනෙම උත්සවයක් සැමරුවාට කමක් නැද්ද?

අපි එකට එකතු වෙලා සතුටින් කාලේ ගත කරනවාට යෙහෝවා කැමතියි. හැබැයි මිනිස්සු එකට එකතු වෙලා විනෝද වෙන හැම අවස්ථාවක් ගැනම, උත්සවයක් ගැනම දෙවියන් සතුටු වෙනවාද? සමහර උත්සවයන්, විශේෂ දිනයන් සමරන එක ගැන තීරණ ගද්දී අපි යෙහෝවාට ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

1. අද තියෙන ගොඩක් උත්සවවලට යෙහෝවා අකමැති ඇයි?

හුඟක් උත්සවවලට තියෙන්නේ බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට පටහැනි ආරම්භයක්. එක්කෝ ඒවා බොරු ආගමට, භූතයන් ගැන තියෙන විශ්වාසයන්වලට නැත්නම් ආත්මයක් තියෙනවා කියන විශ්වාසයට සම්බන්ධයි. තවත් ඒවා අසුබ දේවල් දුරු කරන්න නැත්නම් වාසනාව ලබාගන්න කරන දේවලට සම්බන්ධයි. (යෙසායා 65:11) යෙහෝවා ඔහුට නමස්කාර කරන අයට කියනවා ‘එයාලාගෙන් අයින් වෙන්න. අපවිත්‍ර දේවල් අල්ලන්න එපා’ කියලා.—2 කොරින්ති 6:17. a

2. මිනිස්සුන්ට අනවශ්‍ය ගෞරවයක් දෙන උත්සව ගැන යෙහෝවා හිතන්නේ මොකක්ද?

“මිනිස්සු ගැන විශ්වාසය තියන” උගුලට අහු වෙන්න එපා කියලා යෙහෝවා අපිට කියනවා. (යෙරෙමියා 17:5 කියවන්න.) සමහර සැමරීම් කරන්නේ පාලකයන්ට, හමුදාවේ අයට ගෞරව කරන්න. තවත් උත්සවවලදී ජාතික ලාංඡනවලට ගරු කරනවා. නැත්නම් රටට නිදහස ලැබුණු දවස සමරනවා. (1 යොහන් 5:21) තවත් උත්සවවලදී දේශපාලන පක්ෂවලින් සහ වෙනත් සංවිධානවලින් කරන දේවල් සමරනවා. අපි පුද්ගලයෙක්ට, සංවිධානයකට අනවශ්‍ය ගෞරවයක් දෙනවා නම් ඒ ගැන යෙහෝවා මොනවා හිතයිද? විශේෂයෙන්ම ඒ පුද්ගලයා නැත්නම් සංවිධානය දෙවියන් කියන දේවලට වඩා වෙනස් අදහස් පතුරුවනවා නම් දෙවියන් මොනවා හිතයිද?

3. උත්සවයක් සමරන එක වැරදි වෙන්නේ ඒකේ වෙන මොන දේවල් නිසාද?

‘අධික විදිහට මත්පැන් බොන එක, ඝෝෂාකාරී උත්සවවලට, මත්පැන් බොන්නම දාන සාදවලට යන එක’ වැරදියි කියලා බයිබලයේ කියනවා. (1 පේතෘස් 4:3) සමහර උත්සවවලදී කිසිම පාලනයක් නැතුව කැමති කැමති විදිහට හැසිරෙන එකට, අනාචාරයේ යෙදෙන එකට ප්‍රධාන තැනක් දෙනවා. යෙහෝවාගේ යාළුවෙක් වෙලා ඉන්න නම් අපි ඒ වගේ අපවිත්‍ර දේවලට කිසිම විදිහකින් සම්බන්ධ නොවී ඉන්න ඕනේ.

තවත් හොයමු

උත්සව සහ සැමරීම් ගැන යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න ඔයාට පුළුවන් කොහොමද කියලා බලන්න.

4. යෙහෝවාට අගෞරවයක් වෙන උත්සව සමරන්න එපා

එෆීස 5:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • උත්සවයක් සමරනවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් ඔයා හොයලා බලන්න ඕනෙ මොනවා ගැනද?

  • ඔයා ඉන්න පැත්තේ මිනිස්සු සමරන්නේ මොන වගේ උත්සවද?

  • ඒ උත්සවයන් සමරන එක ගැන යෙහෝවා සතුටු වෙයි කියලා ඔයා හිතනවාද?

උදාහරණෙකට උපන් දින උත්සවය ගැන දෙවියන් හිතන්නේ මොකක්ද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? යෙහෝවාට නමස්කාර කරපු කවුරුත් උපන් දිනය සැමරුවා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි බයිබලයේ උපන් දින උත්සව දෙකක් ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ දෙන්නාම දෙවියන්ට නමස්කාර කරපු අය නෙමෙයි. උත්පත්ති 40:20-22 සහ මතෙව් 14:6-10 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඒ උපන් දින උත්සව දෙකේ තියෙන සමානකම් මොනවාද?

  • බයිබලයේ තියෙන ඒ සිද්ධීන් දෙකෙන් උපන් දින ගැන යෙහෝවා හිතන විදිහ ගැන ඔයා තේරුම්ගත්තේ මොකක්ද?

ඒත් ඔයාට මෙහෙම හිතෙයි. ‘මං උපන් දින උත්සවයකට, බයිබලයේ අනුමත කරන්නේ නැති වෙනත් උත්සවයකට ගියා කියලා ඒක යෙහෝවා එච්චර ලොකු දෙයක් හැටියට ගණන් ගනියිද?’ නික්මයාම 32:1-8 කියවන්න. ඊටපස්සේ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා කැමති මොනවාටද කියලා හොයලා බලන එක වැදගත් ඇයි?

  • අපිට ඒක කරන්න පුළුවන් කොහොමද?

දෙවියන් උත්සවයකට අකමැතිද කියලා දැනගන්නේ කොහොමද?

  • ඒක බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනිද? ඒ උත්සවය ආරම්භ වුණ විදිහ ගැන හොයන්න.

  • ඒකෙන් මිනිස්සුන්ට, සංවිධානවලට නැත්නම් ජාතික ලාංඡනවලට අනවශ්‍ය ගෞරවයක් දෙනවාද? හැම දේකටම වඩා අපි ගෞරව කරන්නේ යෙහෝවා දෙවියන්ට. ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් ඔහුට විතරයි.

  • ඒකේ කරන දේවල් බයිබලයේ ඉගැන්වීම්වලට විරුද්ධද? අපි සදාචාරය අතින් පවිත්‍රව ඉන්න ඕනේ.

5. ඔයාගේ විශ්වාසයන්වලට ගරු කරන්න අනිත් අයට උදව් කරන්න

යෙහෝවා අකමැති උත්සවයකට හවුල් වෙන්න කියලා අනිත් අය බල කරද්දී ඒකට හවුල් නොවී ඉන්න එක ලේසි නැහැ. ඔයා ඒකට සහභාගි වෙන්නේ නැත්තේ ඇයි කියලා එයාලාගේ හිත රිද්දන්නේ නැතුව, කාරුණිකව පැහැදිලි කරලා දෙන්න. ඒක කරන්නේ කොහොමද කියලා මේ අද්දැකීමෙන් දැනගන්න. වීඩියෝ එක බලන්න.

මතෙව් 7:12 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මේ පදේ කියන විදිහට දෙවියන්ට නමස්කාර කරන්නේ නැති පවුලේ අයට යම් උත්සවයක් සමරන්න එපා කියලා ඔයා කියන එක හරිද?

  • පවුලේ අයත් එක්ක එකතු වෙලා ඔයා උත්සවයක් සමරන්නේ නැති වුණත් ඔයා එයාලට ආදරෙයි, එයාලව ඔයාට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

6. අපි සතුටින් ඉන්නවාට යෙහෝවා කැමතියි

අපි පවුලේ අය, යාළුවෝ එක්ක එකතු වෙලා සතුටු වෙනවාට යෙහෝවා කැමතියි. දේශනාකාරයා 8:15 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපි සතුටින් ඉන්නවාට යෙහෝවා කැමතියි කියලා මේ පදයෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

යෙහෝවා ඔහුගේ සෙනඟ විනෝද වෙනවාට, සතුටින් එකට කාලේ ගත කරනවාට කැමතියි. ජාත්‍යන්තර සමුළුවලදී ඒක පැහැදිලි වෙන්නේ කොහොමද කියලා දැනගන්න වීඩියෝ එක බලන්න.

ගලාති 6:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අපි උත්සවයන් සමරනවා නම් විතරද අපිට අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරන්න පුළුවන්?

  • ඔයා වැඩියෙන්ම සතුටු වෙන්නේ උත්සවයකදී තෑගි දෙන්න ඕනෙ නිසා දෙද්දීද නැත්නම් තෑග්ගක් දෙන්න හිතෙන ඕනෙම වෙලාවක ඒක සතුටින් දෙන එකෙන්ද?

  • ගොඩක් සාක්ෂිකරුවන් සමහර අවස්ථාවල එයාලාගේ දරුවන් වෙනුවෙන් විශේෂ දේවල් ලෑස්ති කරනවා. එයාලට තෑගි දෙනවා. ඔයාට දරුවන් ඉන්නවා නම් එයාලා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොන වගේ විශේෂ දේවල්ද?

සමහරු මෙහෙම කියනවා: “මේක පටන්ගත්තේ කොහොමද කියලා හොයන්නේ මොකටද? මෙහෙම වෙලාවක තමයි පවුලේ අය, යාළුවෝ එකතු වෙන්නේ.”

  • එහෙම කියන කෙනෙක්ට ඔයා කියන්නේ මොකක්ද?

ඉගෙනගත්ත දේ

අපි විනෝද වෙනවා දකින්න යෙහෝවා කැමතියි. ඒත් ඔහු අකමැති උත්සවවලට අපි හවුල් වෙනවාට ඔහු කැමති නැහැ.

ඔයා හිතන්නේ මොකක්ද?

  • උත්සවයක් ගැන යෙහෝවා සතුටු වෙනවාද නැද්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන් කොහොමද?

  • උත්සවයක් අපි සමරන්නේ නැත්තේ ඇයි කියලා තේරුම්ගන්න අපේ පවුලේ අයට, යාළුවන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

  • අපි එකට සතුටු වෙනවාට, විනෝද වෙනවාට යෙහෝවා කැමතියි කියලා ඔයා දන්නේ කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ක්‍රිස්තියානීන් සමරන්නේ නැති සමහර උත්සව මොනවාද කියලා දැනගන්න.

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර උත්සව සමරන්නේ නැත්තේ ඇයි?” (වෙබ් ලිපිය)

උපන් දිනය සමරන එකට දෙවියන් අකමැති හේතු හතරක් ගැන දැනගන්න.

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි?” (වෙබ් ලිපිය)

යෙහෝවාට ආදරේ කරන දරුවන්ට උත්සව කාලවලදී ඔහුව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

‘යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා’ (11:35)

ක්‍රිස්තියානීන් මිලියන ගාණක් නත්තල සමරන්නේ නැහැ. ඒ ගැන එයාලා හිතන්නේ මොනවාද?

“වැඩි සතුටක් අද්දැක්කා!” (2012 දෙසැම්බර් 1 ‘මුරටැඹ’)

a උත්සව සහ විශේෂ දවස් අනිත් අය සමරද්දී අපිට කරන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න 5වෙනි අමතර සටහන බලන්න.