Skip to content

පටුනට යන්න

47වෙනි පාඩම

ඔයා බව්තීස්ම වෙන්න ලෑස්තිද?

ඔයා බව්තීස්ම වෙන්න ලෑස්තිද?

ඔයා මේ වෙනකොට බයිබලයෙන් යෙහෝවා ගැන හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගත්ත ඒ දේවලට අනුව ඔයාගේ ජීවිතෙත් ඔයා වෙනස්කම් කරගෙන ඇති. ඒත් මොකක් හරි හේතුවක් නිසා ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා බව්තීස්ම වෙන්න ඔයා අදිමදි කරනවාද? බව්තීස්ම වෙන එක කල් දාන්න හේතු වෙන සමහර දේවල් ගැනත් ඒවා ජය ගන්න ඔයාට පුළුවන් කොහොමද කියලත් මේ පාඩමෙන් බලමු.

1. බව්තීස්ම වෙන්න ඔයා බයිබලය ගැන කොච්චර ඉගෙනගෙන තියෙන්න ඕනෙද?

බව්තීස්ම වෙන්න නම් ඔයාට “සත්‍යය ගැන නිවැරදි දැනුමක්” තියෙන්න ඕනේ. (1 තිමෝති 2:4) ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ බව්තීස්ම වෙන්න කලින් ඔයා බයිබලය ගැන තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර දැනගෙන ඉන්න ඕනෙ කියලා. අවුරුදු ගාණකට කලින් බව්තීස්ම වුණ අයත් තාම බයිබලය ගැන ඉගෙනගන්නවා. (කොලොස්සි 1:9, 10) ඒත් බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ ඉගැන්වීම් ගැන ඔයාට කොයි තරම් දුරට අවබෝධයක් තියෙනවාද කියලා තේරුම්ගන්න සභාවේ ඉන්න වැඩිමහල්ලෝ ඔයාට උදව් කරයි.

2. බව්තීස්ම වෙන්න කලින් ඔයා කරන්න ඕනෙ මොන වගේ දේවල්ද?

බව්තීස්ම වෙන්න කලින් ඔයා ‘පසුතැවිලි වෙලා ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න’ ඕනේ. (ක්‍රියා 3:19 කියවන්න.) ඒ කියන්නේ ඔයාගේ අතින් වුණ වැරදි ගැන ඔයා ඇත්තටම දුක් වෙලා ඒ වැරදිවලට යෙහෝවාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කියන එකයි. යෙහෝවා අකමැති දේවලින් ඔයා සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඔහු සතුටු වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න ඔයා අදිටන් කරගන්න ඕනේ. ඒ වගේම නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙන එක, සභාවේ අය එක්ක එකතු වෙලා ශුභාරංචිය දේශනා කරන එක ඔයා කරන්න ඕනෙ දේවලට ඇතුළත්.

3. බව්තීස්ම වෙන්න බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

බව්තීස්මයෙන් පස්සේ යෙහෝවාට පොරොන්දු වුණ විදිහටම ජීවත් වෙන්න බැරි වෙයි කියලා සමහරු බය වෙනවා. ඇත්ත, බව්තීස්ම වුණාට පස්සෙත් ඔයාගේ අතින් වැරදි වෙන්න පුළුවන්. බයිබලයේ කතා කරන විශ්වාසවන්ත ස්ත්‍රීන්, පුරුෂයන් අතිනුත් වැරදි සිද්ධ වුණා. ඒත් තමන්ට නමස්කාර කරන අය අතින් අඩුපාඩුකම් වෙන්න පුළුවන් කියලා යෙහෝවා දන්නවා. (ගීතාවලිය 103:13, 14 කියවන්න.) ඔහුව සතුටු කරන්න ඔයාට පුළුවන් හැම දේම කරද්දී ඔහු ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම හරි දේ කරන්න ඔහු ඔයාට උදව් කරනවා. යෙහෝවා අපිට පොරොන්දු වෙනවා ඔහු “පෙන්නන ආදරෙන් අපිව ඈත් කරන්න කිසිම දේකට බැහැ” කියලා.—රෝම 8:38, 39 කියවන්න.

තවත් හොයමු

යෙහෝවාව තවත් හොඳින් දැන අඳුරගන්න එක සහ ඔහුගේ උදව් පිළිගන්න එක බව්තීස්ම වෙන්න අපිට තියෙන බාධක ජය ගන්න උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

4. යෙහෝවාව තවත් හොඳින් දැන අඳුරගන්න

බව්තීස්ම වෙන්න කලින් ඔයා කොච්චර දුරට යෙහෝවාව දැන අඳුරගෙන ඉන්න ඕනෙද? යෙහෝවාට ආදරේ කරන්නත් ඔහුව සතුටු කරන්නත් ඔයාගේ හිතේ ආසාවක් ඇති වෙන තරමට ඔයා ඔහුව අඳුරගෙන ඉන්න ඕනේ. වීඩියෝ එක බලලා ලෝකේ පුරාම බයිබලය ගැන ඉගෙනගන්න අය ඒ දේ කරන්නේ කොහොමද කියලා දැනගන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ ඉන්න අයට බව්තීස්මයට සූදානම් වෙන්න උදව් වුණේ මොනවාද?

රෝම 12:2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • බයිබලයේ තියෙන සමහර ඉගැන්වීම් ගැන, සාක්ෂිකරුවන් උගන්නන්නේ සත්‍යයද කියන දේ ගැන ඔයාට සැකයක් තියෙනවාද?

  • එහෙමනම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

5. බව්තීස්ම වෙන්න තියෙන බාධා ජය ගන්න

යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙන්න තීරණය කරන හැමෝටම පීඩා, දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්න කෙනෙක් ගැන දැනගන්න වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ හිටපු නරංගරෙල්ට ජය ගන්න තිබුණේ මොන වගේ බාධාවන්ද?

  • ඒ බාධා ජය ගන්න එයාගේ හිතේ යෙහෝවාට තිබුණ ආදරේ උදව් වුණේ කොහොමද?

හිතෝපදේශ 29:25 සහ 2 තිමෝති 1:7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඒ බාධා ජය ගන්න ඕනෙ කරන ධෛර්යය ඇති කරගන්න පුළුවන් කොහොමද?

6. යෙහෝවා ඔයාගේ උදව්වට ඉන්නවා

හරි දේ කරන්න යෙහෝවා ඔයාට උදව් කරනවා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ පෙන්නන බයිබල් ශිෂ්‍යයා බව්තීස්ම වෙන්න අදිමදි කළේ ඇයි?

  • යෙහෝවා ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්න එයාට උදව් වුණේ මොනවාද?

යෙසායා 41:10, 13 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • කැප වෙද්දී වෙන පොරොන්දුව ඉටු කරන්න පුළුවන් කියලා ඔයාට ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

7. යෙහෝවාගේ ආදරේ ගැන ඔයාට තියෙන අගය වැඩි කරගන්න

යෙහෝවා ඔයාට කොච්චර ආදරේද කියන දේ ගැන හිතන්න හිතන්න ඔහු ගැන ඔයාට තියෙන ආදරේ, අගය තව වැඩි වෙයි. ඒ වගේම හැමදාටම ඔහුට සේවය කරන්න ඔයාගේ හිතේ ලොකු ආසාවක් ඇති වෙයි. ගීතාවලිය 40:5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා වැඩියෙන්ම අගය කරන්නේ යෙහෝවාගෙන් ඔයාට ලැබිලා තියෙන මොන ආශීර්වාදද?

යෙරෙමියා යෙහෝවාට ගොඩක් ආදරේ කළා. ඔහුගේ වචනයට හුඟක් ඇලුම් කළා. ඒ වගේම යෙහෝවාගේ සේවකයෙක් වෙන්න ලැබුණ එක එයා ගොඩක් අගය කළා. ඒ නිසයි එයා මෙහෙම කිව්වේ. ‘ඔබේ වදන්වලින් මට සතුටක් දැනුණා. ඒවා මගේ හිතට ලොකු ප්‍රීතියක් ගෙනාවා. මොකද යෙහෝවා, මම ඔබේ නම දරනවා.’ (යෙරෙමියා 15:16) මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ලැබෙන එක හුඟක් වටින දෙයක් කියන්නේ ඇයි?

  • බව්තීස්ම වෙලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඔයා කැමතිද?

  • මොකක් හරි හේතුවක් නිසා බව්තීස්ම වෙන එක ඔයා කල් දානවාද?

  • බව්තීස්මය කියන ඉලක්කය ජය ගන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?

සමහරු මෙහෙම කියනවා: “බව්තීස්ම වුණාට පස්සේ මගේ අතින් වරදක් වෙයි කියලා මට බයයි.”

  • ඔයාටත් එහෙම හිතෙනවාද?

ඉගෙනගත්ත දේ

යෙහෝවා ඔයාට උදව් කරන නිසා බව්තීස්ම වෙන්න ඔයාට තියෙන ඕනෙම බාධාවක් ජය ගන්න ඔයාට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • බව්තීස්ම වෙන්න ඔයා බයිබලය ගැන කොච්චර දැනගෙන ඉන්න ඕනෙද?

  • බව්තීස්ම වෙන්න කලින් ඔයා කරන්න ඕනෙ මොන වගේ වෙනස්කම්ද?

  • බව්තීස්ම වෙන්න බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ඔයා බව්තීස්ම වෙන්න ඕනෙ මොන හේතුව නිසාද කියලා දැනගන්න.

“බව්තීස්ම වෙන්න ඔයා සූදානම්ද?” (2020 මාර්තු ‘මුරටැඹ’)

බව්තීස්ම වෙන්න ඔයාට තියෙන බාධා ජය ගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

“මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව?” (2019 මාර්තු ‘මුරටැඹ’)

කෙනෙක් බව්තීස්ම වෙන්න තිබුණ බාධාවන් ජය ගත්ත විදිහ ගැන දැනගන්න.

‘ඔයා බව්තීස්මය කල් දාන්නේ ඇයි?’ (1:10)

මුලින් අටා කියන කෙනා බව්තීස්ම වෙන්න අදිමදි කළා. ඒත් පස්සේ එයා බව්තීස්ම වෙන්න තීරණය කළේ ඇයි කියලා දැනගන්න.

‘මං මේකට සුදුසුද?’ (7:21)