Skip to content

පටුනට යන්න

අමතර සටහන්

අමතර සටහන්
  1.  මහ බැබිලෝනිය හඳුනගන්න

  2.  ගැලවුම්කරු එන්නේ කවදාද?

  3.    රුධිරය සම්බන්ධ වෙන ප්‍රතිකාර

  4.  සැමියාගෙන්, බිරිඳගෙන් වෙන් වීම

  5.  විශේෂ දවස් සහ උත්සව

  6.  බෝ වෙන රෝග

  7.  ව්‍යාපාරික සහ නීතිමය කටයුතු

1. මහ බැබිලෝනිය හඳුනගන්න

 “මහ බැබිලෝනියෙන්” අදහස් වෙන්නේ ඔක්කොම බොරු ආගම් කියලා අපි දන්නේ කොහොමද?—එළිදරව් 17:5.

  • ඇය ලෝකේ පුරාම බලය පතුරුවනවා. මහ බැබිලෝනිය “සමූහයන්ද ජාතීන්ද” මත ඉඳගෙන ඉන්නවා කියලත් “පොළොවේ රජවරුන්ව පාලනය කරනවා” කියලත් කියනවා.—එළිදරව් 17:15, 18.

  • ඇය දේශපාලනයටවත් ව්‍යාපාර ලෝකෙටවත් අයිති දෙයක් නෙමෙයි. ඇය විනාශ වුණාට පස්සෙත් “පොළොවේ රජවරු” සහ “වෙළෙන්දෝ” ඉතුරු වෙලා ඉන්නවා.—එළිදරව් 18:9, 15.

  • ඇය දෙවියන්ට අගෞරව කරනවා. සල්ලි, වාසි ප්‍රයෝජන ලබාගන්න ඇය ආණ්ඩුවලට සම්බන්ධ වෙනවා. ඒ නිසයි ඇයට ගණිකාවක් කියන්නේ. (එළිදරව් 17:1, 2) ලෝකේ පුරාම ඉන්න මිනිස්සුන්ව ඇය නොමඟ යවලා තියෙනවා. හුඟදෙනෙක්ගේ ජීවිත නැති වුණ එකට ඇය වග කියන්න ඕනේ.—එළිදරව් 18:23, 24.

13 පාඩමේ 6 කරුණට ආපහු

2. ගැලවුම්කරු එන්නේ කවදාද?

ගැලවුම්කරු නැත්නම් මෙසියස් එන්න සති 69ක් ගත වෙනවා කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණා.—දානියෙල් 9:25 කියවන්න.

  • සති 69 පටන්ගත්තේ කවදාද? ක්‍රි.පූ. 455දී. ආණ්ඩුකාරයා වුණ නෙහෙමියා ඒ අවුරුද්දේ ‘යෙරුසලම යළි පිහිටුවලා ගොඩනඟන්න’ එහෙට ගියා.—දානියෙල් 9:25; නෙහෙමියා 2:1, 5-8.

  • සති 69 අදහස් වුණේ කොච්චර කාලයක්ද? සමහර බයිබල් අනාවැකිවල එක දවසකින් අවුරුද්දක් නියෝජනය වුණා. (ගණන් කතාව 14:34; එසකියෙල් 4:6) එතකොට එක සතියක් කියන්නේ අවුරුදු හතක්. එහෙම බලද්දී මේ අනාවැකියේ සති 69 කියන්නේ අවුරුදු 483ක් (69 x 7).

  • සති 69 අවසන් වුණේ කවදාද? ක්‍රි.පූ. 455 ඉඳන් අවුරුදු 483ක් ඉස්සරහට ගණන් කරද්දී අපි එන්නේ ක්‍රි.ව. 29ට. a ඒ අවුරුද්දේ තමයි යේසුස් බව්තීස්ම වෙලා මෙසියස් හැටියට වැඩ කරන්න පටන්ගත්තේ.​—ලූක් 3:1, 2, 21, 22.

15 පාඩමේ 5 කරුණට ආපහු

 3. රුධිරය සම්බන්ධ වෙන ප්‍රතිකාර

ක්‍රිස්තියානීන් හැටියට අපි ලේ දන් දෙන්නේ නැහැ. ඒ වගේම සැත්කමක් වෙනුවෙන් ඊට කලින් අපේම ලේ ගබඩා කරලා තියන්නෙත් නැහැ.​—ද්විතීය කතාව 15:23.

හැබැයි ප්‍රතිකාර කරන්න පාවිච්චි කරන සමහර ක්‍රම පිළිගන්නවාද නැද්ද කියලා ක්‍රිස්තියානියෙක්ට තීරණය කරන්න පුළුවන්. ඒවාට උදාහරණ කීපයක් තමයි මේ. රුධිර පරීක්ෂණ, හීමෝඩයලිසිස්, හීමෝඩයිලූෂන් සහ සෙල් සැල්වෙජ් යන්ත්‍රයක් හරි කෘත්‍රිම හෘද/ශ්වසන යන්ත්‍රයක් හරි පාවිච්චි කරන එක. සැත්කමකදී, වෛද්‍ය පරීක්ෂණයකදී නැත්නම් වෙනත් ප්‍රතිකාරයකදී තමන්ගේම ලේ පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ කොයි විදිහටද කියලා ක්‍රිස්තියානීන් එක එක්කෙනා තීරණය කරන්න ඕනේ. වෛද්‍යවරු ඒ දේවල් කරන විදිහේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ සැත්කමක්, වෛද්‍ය පරීක්ෂණයක් කරන්න කලින් නැත්නම් ප්‍රතිකාරයක් පිළිගන්න කලින් ඒක අතරතුරේ ඔයාගේ ලේ පාවිච්චි කරන්නේ කොයි විදිහටද කියලා වෛද්‍යවරයාගෙන් හරියටම අහලා දැනගන්න. ඒකට මේ ප්‍රශ්න ගැන හිතන එක උදව් වෙයි.

  • ලේ පිරිසිදු කරන එක, දියාරු කරන එක වගේ දේවලට ශරීරයෙන් ඉවතට ගන්න ලේ ආපහු ශරීරයට ඇතුළත් කරන ක්‍රියාවලිය ටිකකට හරි නතර වෙනවා නම් ඒ ලේ තාමත් මගේ ශරීරයට අයිති දෙයක් විදිහට සලකන්න මගේ හෘදය සාක්ෂිය ඉඩ දෙයිද? නැත්නම් ඒ ලේ ශරීරයෙන් ඉවතට ගිහින් ටික වෙලාවක් තිබුණ නිසා ඒක “බිමට වත් කරන්න” ඕනෙ කියලා මට හිතෙයිද?​—ද්විතීය කතාව 12:23, 24.

  • ප්‍රතිකාරයකදී මගේ ලේවලින් ටිකක් ඉවතට අරගෙන ඒකට යම් දෙයක් එකතු කරලා එහෙම නැත්තම් ඒකෙන් යම් දෙයක් අයින් කරලා ඒ වෙනුවට දෙයක් එකතු කරලා ඒ වෙලාවෙම ඒ ලේ මගේ ඇඟට ඇතුල් කරනවා නම් ඒක පිළිගන්න මගේ හෘදය සාක්ෂිය ඉඩ දෙයිද?

39 පාඩමේ 3 කරුණට ආපහු

 4. සැමියාගෙන්, බිරිඳගෙන් වෙන් වීම

සැමියා සහ බිරිඳ වෙන් නොවී ඉඳියි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. යම් හේතුවක් නිසා යුවළක් වෙන් වුණත් ඒ දෙන්නාගෙන් කාටවත් ආපහු විවාහ වෙන්න අවසර නැහැ. (1 කොරින්ති 7:10, 11) මේ වගේ සමහර තත්වයන් නිසා සමහර ක්‍රිස්තියානීන් වෙන් වෙන්න තීරණය කරන්න ඉඩ තියෙනවා.

  • පවුලේ අයව බලාගන්න එක හිතාමතාම නොසලකා හරිනවා. සැමියා පවුලේ අයගේ මූලික අවශ්‍යතා ලබා දෙන එක මඟ හරිනවා නම් පවුලේ අය අන්ත අසරණ තත්වයකට පත් වෙනවා.​—1 තිමෝති 5:8.

  • දරුණු විදිහට පහර දෙනවා. සෞඛ්‍යයට හරි ජීවිතේට හරි අනතුරක් වෙන තරමට පහර දෙනවා.​—ගලාති 5:19-21.

  • යෙහෝවාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරන්න උත්සාහ කරනවා. යෙහෝවාට නමස්කාර කරන එක කොහොමටවත් කරන්න බැරි විදිහට තදින් බලපෑම් කරනවා.​—ක්‍රියා 5:29.

42 පාඩමේ 3 කරුණට ආපහු

 5. විශේෂ දවස් සහ උත්සව

ක්‍රිස්තියානීන් යෙහෝවා අකමැති උත්සව සමරන්නේ නැහැ. ඒත් අනිත් අය ඒ උත්සව සමරන නිසා අපිට යම් දේවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ වෙලාවලදී බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ගැන හිතලා අපේ හෘදය සාක්ෂියට එකඟව අපි එක එක්කෙනා තීරණ ගන්න ඕනේ. උදාහරණ කීපයක් බලන්න.

  • උත්සව කාලේදී කවුරු හරි ඔයාට සුබ පතනවා. ඔයාට “තැන්ක් යූ” කියන්න පුළුවන්. ඔයා ඒක සමරන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න එයා කැමති නම් ඒ ගැන පැහැදිලි කරන්න.

  • යෙහෝවාට සේවය කරන්නේ නැති ඔයාගේ සැමියා, බිරිඳ උත්සව දවසක නෑදෑයන්ගේ ගෙදරක කෑමකට යන්න එන්න කියනවා. ඒකට යන්න ඔයාගේ හෘදය සාක්ෂිය ඉඩ දෙනවා නම් එතනදී බයිබලයට එකඟ නැති චාරිත්‍ර වුණොත් ඔයා ඒවාට කොහොමටවත් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කලින්ම පැහැදිලි කරන්න.

  • උත්සව කාලේදී රැකියා ස්ථානයෙන් දීමනාවක්, බෝනස් එකක් දෙනවා. ඔයා ඒක භාරගන්නේ නැතුව ඉන්න ඕනෙද? මේ ගැන හිතන්න. රැකියා කරන තැනින් ඔයාට ඒ අමතර දීමනාව, බෝනස් එක දෙන්නේ උත්සවය සමරන්න කියලාද නැත්නම් ඔයා කරන සේවය අගය කිරීමක් හැටියටද? ඒ ගැන හිතලා ඔයාට තීරණයක් ගන්න පුළුවන්.

  • උත්සව කාලේදී කවුරු හරි ඔයාට තෑග්ගක් දෙනවා. තෑග්ග දෙන කෙනා සමහරවිට ඔයාට මෙහෙම කියයි. “මං දන්නවා ඔයා මේ උත්සවය සමරන් නෑ කියලා. හැබැයි මං ආසයි මේ තෑග්ග ඔයාට දෙන්න.” එයා ඒ තෑග්ග ඔයාට දෙන්නේ ඔයාට තියෙන ආදරේ නිසා වෙන්න පුළුවන්. නැත්නම් ඒ කෙනා තෑග්ග දෙන්නේ ඔයා බයිබලයෙන් ඉගෙනගන්න දේවල්වලට එකඟව වැඩ කරනවාද කියලා බලන්න හිතාගෙන හරි ඔයාව ඒ උත්සවයට සම්බන්ධ කරගන්න හරි හිතාගෙනද? ඒ පැති ගැන හිතුවාට පස්සේ තෑග්ග ගන්නවාද නැද්ද කියලා හිතන එක ඔයා කරන්න ඕනෙ දෙයක්. අපි මොන තීරණය ගත්තත් අපිට ඕනෙ යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නයි. අපේ හෘදය සාක්ෂිය අපිට දොස් කියන්නේ නැති තීරණයක් ගන්නයි.​—ක්‍රියා 23:⁠1.

44 පාඩමේ 1 කරුණට ආපහු

 6. බෝ වෙන රෝග

අනිත් අය ගැන අපිට තියෙන ආදරේ අපිව පොලඹවනවා බෝ වෙන රෝග පැතිරෙන එක වළක්වන්න අපිට කරන්න පුළුවන් හැම දේම කරන්න. අපිට බෝ වෙන රෝගයක් හැදිලා නම් නැත්නම් ඒ වගේ ලෙඩක් අපිට බෝ වෙලා කියලා සැක නම් ඒක බෝ කරන එක වළක්වන්න අපි පියවර ගන්නවා. අපි එහෙම කරන්නේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියලා බයිබලයේ දීලා තියෙන නීතියට කීකරු වෙන නිසයි.​—රෝම 13:8-10.

ඒ වගේ ලෙඩක් හැදුණ කෙනෙක්ට එයා අසල්වැසියන්ට ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? වැළඳගන්න එක, සිපගන්න එක වගේ අනිත් අයට ආදරේ පෙන්නන දේවල් කරන්න එයා ඉස්සර වෙන්න හොඳ නැහැ. ඒ වගේම සහෝදරයන් එයාලගේ පවුලේ අයගේ ආරක්ෂාව ගැන හිතලා ඒ වගේ කෙනෙක්ට එයාලගේ ගෙවල්වලට ආරාධනා කරන්නේ නැත්නම් එයා ඒ ගැන අමනාප වෙන්න හොඳ නැහැ. ඒ වගේ ලෙඩක් හැදුණු කෙනෙක් බව්තීස්ම වෙන්න කලින් එයාගේ අසනීපේ ගැන වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරකට දැනුම් දෙන්න ඕනේ. එතකොට වැඩිමහල්ලන්ට පුළුවන් බව්තීස්ම වෙන අනිත් අයගේ ආරක්ෂාව වෙනුවෙන් දේවල් කරන්න. බෝ වෙන රෝගයක් තමන්ට හැදෙන්න ඉඩකඩ තියෙනවා කියලා සැකයක් තියෙන කෙනෙක් විවාහ වෙන අරමුණින් සම්බන්ධයක් පටන්ගන්න කලින් රුධිර පරීක්ෂණයක් කරගන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ විදිහට වැඩ කරන එකෙන් එහෙම කෙනෙක් පෙන්නනවා “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වනවා” කියලා.​—ෆිලිප්පි 2:⁠4.

56 පාඩමේ 2 කරුණට ආපහු

 7. ව්‍යාපාරික සහ නීතිමය කටයුතු

ව්‍යාපාරික කාරණා සහ සල්ලි සම්බන්ධ වෙන ඕනෙම කාරණයක් ලිඛිතව කරන එකෙන් ප්‍රශ්න ඇති වෙන එක අපිට ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒක සහෝදරයන් දෙන්නෙක් අතරේ වෙන දෙයක් වුණත් එහෙම කරන එක වැදගත්. (යෙරෙමියා 32:​9-12) සමහර වෙලාවලදී ගනු දෙනු සහ සල්ලි සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන් අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා පුළුවන් තරම් ඉක්මනින්, සාමකාමීව, අනිත් අයව සම්බන්ධ කරගන්නේ නැතුව, ප්‍රශ්නේ ඇති වුණ දෙන්නා විසඳගන්න ඕනේ.

ඒත් වංචාවක්, චරිත ඝාතනයක් වගේ බරපතළ ප්‍රශ්නයක් විසඳගන්නේ කොහොමද? (මතෙව් 18:​15-17 කියවන්න.) ඒ වගේ ප්‍රශ්නයක් විසඳගන්න අපි ගන්න ඕනෙ පියවර තුනක් ගැන යේසුස් කිව්වා.

  1. ප්‍රශ්නෙට සම්බන්ධ දෙන්නා ඒක කතා කරලා විසඳගන්න බලන්න.—15වෙනි පදය බලන්න.

  2. ඒක හරි ගියේ නැත්නම් සභාවේ ඉන්න, අවබෝධයෙන් වැඩ කරන එක් කෙනෙක්ව හරි දෙන්නෙක්ව හරි එක්කගෙන යන්න.—16වෙනි පදය බලන්න.

  3. ප්‍රශ්නේ ඒත් විසඳුණේ නැත්නම් විතරයි ඔයා ඒ ගැන වැඩිමහල්ලන්ට කියන්න ඕනේ.—17වෙනි පදය බලන්න.

ගොඩක් අවස්ථාවලදී සහෝදරයන් අතර ඇති වෙන ප්‍රශ්න විසඳගන්න උසාවිවලට යන එක හොඳ දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒකෙන් යෙහෝවාටයි, සභාවටයි අගෞරවයක් වෙන්න පුළුවන්. (1 කොරින්ති 6:​1-8) ඒත් උසාවි ගිහිල්ලා විසඳගන්න ඕනෙ ප්‍රශ්නත් තියෙනවා. උදාහරණෙකට දික්කසාද වෙන්න, දරුවන්ගේ භාරකාරත්වය ලබාගන්න, දික්කසාදයකදී හරි වෙන් වීමකදී හරි නඩත්තු මුදල තීරණය කරන්න, රක්ෂණ වන්දි ලබාගන්න, ව්‍යාපාරයක් බංකොලොත් වුණාම ආයෝජනය කරපු මුදල ලබාගන්න සහ අවසන් කැමති පත්‍රය වලංගු කරගන්න වගේ දේවල් ඒකට ඇතුළත්. ඒ වගේ කාරණයකදී සමාකාමීව ඒක විසඳගන්න කෙනෙක් නීතිමය පියවර ගන්න එක බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම් කඩ කිරීමක් වෙන්නේ නැහැ.

ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක්, දරුණු පහර දීමක්, හොරකමක් නැත්නම් මිනී මැරීමක් වගේ බරපතළ කාරණයක් සම්බන්ධයෙන් බලධාරීන්ට දැනුම් දෙන එක වැරදි නැහැ.

56 පාඩමේ 3 කරුණට ආපහු

a ක්‍රි.පූ. 455 ඉඳන් ක්‍රි.පූ. 1ට අවුරුදු 454යි. ක්‍රි.පූ. 1 ඉඳන් ක්‍රි.ව. 1ට එක අවුරුද්දයි (බිංදුව කියලා අවුරුද්දක් නැහැ). ක්‍රි.ව. 1 ඉඳන් ක්‍රි.ව. 29ට අවුරුදු 28යි. ඒ අවුරුදුවල එකතුව 483යි.