Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක ගැන අගය පළ කරමින්

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක ගැන අගය පළ කරමින්

jw.org වෙබ් අඩවියේ තියෙන ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් භාෂා සියයකින් දැන් තොරතුරු ගවේෂණය කරන්න පුළුවන් කියා 2013 ජූනි 28වෙනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා. අන්තර්ජාල පහසුකම් තියෙන පරිගණක, ලැප්ටොප්, ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් යොදාගෙන එයින් තොරතුරු ගවේෂණය කරන්න පුළුවන්. එහි ඇතුළත් කර තිබෙන බොහෝ තොරතුරු රැගෙන තිබෙන්නේ 2,000 වසරේ සිට පළ වූ අපගේ ප්‍රකාශනවලිනුයි. සමහර භාෂාවලින් ‘නව ලොව පරිවර්තනය’ සහ “ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්” යන ප්‍රකාශනද ඇතුළත් කර තිබෙනවා. ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ ‘සොයන්න’ කියා තියෙන තැනට වචනයක්, වාක්‍ය කණ්ඩයක් හෝ වචන කිහිපයක් ඇතුළත් කර තොරතුරු හොයන්න පුළුවන්. ඒ වගේම ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් තොරතුරු සොයද්දී ඊට සමගාමීව වෙනත් භාෂාවකින්ද එම තොරතුරු ලබාගත හැකියි. පහත දැක්වෙන්නේ ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක ගැන අගය පළ කළ අයගේ අදහස් කිහිපයක්.

“‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක දැක්කාම මට දැනුණු සතුට කියාගන්න බැරි තරම්. මට පරිගණක ගැන ලොකු දැනුමක් නැහැ. ඒත් ඒ ලයිබ්‍රරිය හදලා තියෙන්නෙ හරිම විශිෂ්ට විදිහට කියලා නම් මට කියන්න පුළුවන්. ඒකෙ තියෙන හැම දෙයකින්ම පේන්නේ අසල්වැසියන්ටත් සහෝදරයන්ටත් යෙහෝවා දෙවිටත් ඔයාලා කොයි තරම් ප්‍රේම කරනවාද කියලයි. ඔයාලා කොච්චර අපි ගැන සැලකිලිමත්ද කියලා අපිට තේරෙනවා. ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක මට දෙවිගෙන් ලැබුණු තෑග්ගක්. ඔයාලට ස්තුතියි.”—ආර්ජන්ටිනාවේ ඒ.

“අද හවස මම ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක බලද්දී හයිටි ක්‍රියෝල් භාෂාවත් ඒකට අලුතින් ඇතුල් කරලා තියෙනවා දැක්කම මට මගේ ඇස් අදහාගන්න බැරි වුණා. මට දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්. ඔයාලාගේ හැම වැඩකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් මඟ පෙන්වීමත් තව තවත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”—ඇමරිකාවේ ඩී. සී.