Skip to content

පටුනට යන්න

ලොව වටා සේවය

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප
  • රටවල් ගණන 57

  • ජනගහනය 97,02,34,987

  • ප්‍රචාරකයන් ගණන 39,43,337

  • බයිබල් පාඩම් ගණන 43,41,698

ඔවුන්ගේ නිවසේ යුවළකට නවාතැන් දුන්නා

නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස්වල ජීවත් වූ යුවළක්, ඔවුන්ගේ නිවස විකුණලා ඩොමිනිකන් ජනරජයට යන්න තීරණය කළා. ඒත් යන්න හිටිය දවසට දින දහයකට කලින් නිවස භාර දෙන්න ඔවුන්ට සිදු වුණා. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වූ ඔවුන්ගේ අසල්වැසි පවුලක් තමන්ගේ නිවසේ නතර වෙන්න කියලා ඔවුන්ට කිව්වා. ඔවුන් ඒ පවුලේ අයත් එක්ක රැස්වීමකටත් ගියා. එහිදී 1914 ගැන අහන්න ලැබුණාම ඒ යුවළ පුදුම වුණා. 1914 ලෝක ඉතිහාසයේ විශේෂ වසරක් කියලා දැනගෙන හිටිය ඔවුන් ඒ ගැන තවත් තොරතුරු හොයලා බලන්න උනන්දු වුණා. ඒ නිසා ඩොමිනිකන් ජනරජයට ගියාට පස්සේ නිවසට ආව මුල්ම සාක්ෂිකරුවන් සමඟ ඔවුන් බයිබලය පාඩම් කරන්න කැමති වුණා. මාස 14කට පස්සේ ඒ යුවළ බව්තීස්ම වුණා.

ඇයට ඕන කළ දේ නියම වේලාවට ලැබුණා

2012 වසරේ පැනමාවේ පැවැත්වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයකදී අපේ පොත් පත් ප්‍රදර්ශනය කිරීමටත් සැලසුම් කළා. අපේ ප්‍රකාශන තිබුණු තැනට පාසැල් සිසුවියන් දෙන්නෙක් ආවා. ඉන් එක් සිසුවියක් තමන්ගේ පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා තමන් ඉන්නේ ඒ ගැන කනස්සල්ලෙන් කියලා එතැන හිටිය සහෝදරියට කිව්වා. ඒ වෙලාවේ සහෝදරිය ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වෙනි පොතේ ඒ ගැන සඳහන් වෙන 23වෙනි පරිච්ඡේදය පෙන්නුවා. “මට ඕන කරලා තිබ්බේ මේ වගේ දෙයක් තමයි” කියලා සහෝදරියට කිව්ව සිසුවිය ඇයව බදාගෙන සිපගත්තා. ඒ සිසුවිය කොච්චර සතුටු වුණාද කියනවා නම් පැයකට විතර පසුව ආයෙත් ඇවිත් සහෝදරියට ස්තුති කෙරුවා.

ප්‍රදර්ශනය පැවති දින පහ ඇතුළත සහෝදරයන් පොත් 1,046ක් මාසික සඟරා 1,116ක් සහ සඟරා 449ක් බෙදා දුන්නා. ඒ වගේම 56දෙනෙක් ඔවුන්ව හමුවෙන්න එන්න කියලා තමන්ගේ ලිපින ලබා දුන්නා.

අවුරුදු හතරක් කාගෙවත් උපකාරයක් නැතිව දේශනා කළා

කොස්ටාරිකාවේ කඳුකර පළාතක ජීවත් වන ෆ්‍රෙඩීගේ මව් භාෂාව කැබේකා. අවුරුදු 4කට විතර කලින් ඔහු සැන් ජෝස් නගරයේ රැකියාව කරන කාලයේ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොත සහ ‘දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?’ යන සඟරාව ලබාගෙන තිබුණා. ඒ ප්‍රකාශනවල තියෙන දේවල් ගමේ අයටත් කියන්න කියලා ප්‍රචාරකයන් ඔහුට කියා තිබුණා. ඒ නිසා ඔහු ගමට ගිහින් ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත තනියම කියවලා තේරුම් අරන් විවාහය ලියාපදිංචි කිරීම වැනි ඔහු කළ යුතුව තිබූ වෙනස්කම් කළා. ඊටපස්සේ ඉගෙනගත් දේවල් කැබේකා භාෂාව කතා කරන අනිත් අයටත් පුළුවන් විදිහට කියා දුන්නා.

තම බයිබල් ශිෂ්‍යයන්ගේ දැනුම මැන බලන්න විභාග පැවැත්වූෆ්‍රෙඩී, ඔවුන්ව කණ්ඩායම් 6කට වෙන් කර පන්ති පැවැත්තුවා. ඔහු රැස්වීම් සහ සිහි කිරීම පවත්වන්නත් කටයුතු කළා. සිහි කිරීමේ ආරාධනා පත් අතින්ම ලියූ ඔහු එහි මෙහෙම සඳහන් කළා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමට ඔබට කරන ආරාධනයයි!” සාක්ෂිකරුවෙකුගේ උපකාරයක් නැතුව අවුරුදු හතරක් පුරා ඒ සෑම දෙයක්ම කළ ෆ්‍රෙඩී උපකාර කරන්න කාව හරි එවන්න කියලත් දිගටම දෙවිට යාච්ඤා කළා.

මෑතකදී ෆ්‍රෙඩීගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණා. සාක්ෂිකරුවන් ඔහු සිටි දුෂ්කර ගම්මානයට ගියා. ඔහු ඒ වෙන කොටත් කර තිබූ දේවල් ගැන පුදුම වූ ඔවුන් මෙහෙම කිව්වා. “ෆ්‍රෙඩී තවම බව්තීස්ම වෙලා නැහැ. ඒත් එයා වැඩ කරලා තියෙන්නේ බව්තීස්ම වුණ කෙනෙක් වගේ.” මාස තුනකට පසුව ෆ්‍රෙඩීව බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් ලෙස පත් කළා. සමුළුවකට යන එක කොයි තරම් දුෂ්කර ගමනක් වුණත් ෆ්‍රෙඩීට බව්තීස්ම වෙන්න ඕන නිසා පළමු වතාවට සමුළුවකට සහභාගි වුණා. ඒ සමුළුවට ඔහු සමඟ පාඩම් කරමින් හිටිය ශිෂ්‍යයන් 19දෙනෙක්වද ඔහු එක්කගෙන ගියා. දැන් ඔහු දුෂ්කර ගම්මානවල සිටින කැබේකා භාෂාව කතා කරන තවත් කණ්ඩායම් 3කට බයිබලය උගන්වනවා.

කොස්ටාරිකා: දැන් ස්ථාවර පුරෝගාමි සේවය කරන ෆ්‍රෙඩී බයිබල් පාඩම් පවත්වන්න දුර ඈත පළාත්වලට යමින්

සත්‍යය ගැන කතා කරන්න භය වුණේ නැහැ

ඇනා ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයාවක්. ඇය ත්‍රිත්ව ඉගැන්වීම පිළිගත්තේ නැති නිසා පන්තියේ ළමයි හිටියේ තරහින්. ඒත් ඇනා සත්‍යය ගැන කතා කරන්න භය වුණේ නැහැ. ඇය මෙහෙම කියනවා. “එයාලා කල්ලි ගැහිලා මට විරුද්ධව කතා කෙරුවා. ඒත් සාක්ෂිකාරයන්ට නරක නමක් ඇති වෙනවාට කැමති නැති නිසා මං කලබල වුණේ නැහැ.” නිර්භීතව කතා කරන්න ශක්තිය දෙන්න කියලා එදා රෑ ඇනා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඒ වගේම ඇය ත්‍රිත්වය ගැන තොරතුරු හොයලා බැලුවා. පසුවදාත් පන්තියේ ළමයි ඇනාව වට කරගෙන සමච්චල් කරද්දී ඇය බයිබල් පද කිහිපයක් පෙන්නලා තර්කානුකූලව කරුණු පහදලා දුන්නා. ටික වේලාවක් යද්දී වටේ හිටිය ළමයින්ට කියාගන්න දෙයක් නැති වුණා. ඇනාට වැඩියෙන්ම සමච්චල් කළ පන්තියේ නායිකාව අන්තිමේදී සාක්ෂිකරුවන්ට ගරු කරනවා කියලා කියන්න පවා පෙලඹුණා. ඒ අවුරුද්ද පුරාම ඇය ඇනාගෙන් බයිබලයේ තියෙන දේවල් ගැන තොරතුරු ඇහුවා.

සපත්තුව කැඩුණේ නියම වේලාවේ

බාර්බඩෝස්වල තරුණ කාන්තාවක් ඉරිදා උදේ පල්ලියට යද්දී ඇගේ සපත්තුව කැඩුණා. ඇය අසළ තිබුණ නිවසකට ගිහින් සපත්තුව හදාගන්න පුංචි කටුවක් ඉල්ලුවා. ඒ ගෙදර හිටිය අම්මයි දුවයි සාක්ෂිකරුවන්. ඇය සපත්තුව හදන අතරතුර නිවසේ සිටි සහෝදරිය බයිබල් අනාවැකි ඉටු වෙන විදිහ ඇයට පැහැදිලි කළා. සහෝදරියගේ දුව එදා උදේ රැස්වීමට එන්න කියලා ඇයට ආරාධනා කළා. පූජාවට යන්න පරක්කු වුණ නිසා ඇය රැස්වීමට යන්න හිතුවා. රැස්වීමේදී කිව්ව හැම බයිබල් පදයක්ම ඇය ඇගේ බයිබලයෙන් බැලුවා. පල්ලියේ කෑගගහා කරන ආගමික මෙහෙයන් එපා වෙලා තිබුණා කියලත් හොඳට අවධානය දෙන්න පුළුවන් තැනක ඉඳන් බයිබලය ඉගෙනගන්න ආසයි කියලත් ඇය කිව්වා. ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතක් ලබාගත් ඇය පාඩමක් කරන්නත් කැමති වුණා. දැන් ඇය හැම රැස්වීමකටම උනන්දුවෙන් සහභාගි වෙනවා.

ඔහුව නතර කරන්න පුළුවන් එක් කෙනෙක්ට විතරයි

මේ ගයනාවේ යෞවන සහෝදරයෙකුගේ අද්දැකීමක්. “මම හරි ආසයි පන්තියේ ළමයින්ට දේශනා කරන්න. ඒත් එක ළමයෙක් ඒකට කැමති නෑ. දවසක් එයා මාව බිත්තියට තද කරලා, ‘ඔයාගේ ආගම ගැන කියන එක නතර කරන්න’ කියලා කිව්වා. එතකොට මං කිව්වා මාව නතර කරන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි කියලා. මම දේශනා කරන එක නතර කළේ නැති නිසා එයා මගේ බෑග් එක කැපුවා. මගේ තොල පැලෙන්නත් ගැහුවා. මේ සිද්ධිය නිසා අපි දෙන්නවම විදුහල්පතිනිය ළඟට අරගෙන ගියා. ඒ පිරිමි ළමයා මට ගහන්න, මං එයාට මොනවද කළේ කියලා විදුහල්පතිනිය මගෙන් ඇහුවා. මං මගේ ආගම ගැන අනිත් ළමයින්ට කියනවාට එයා කැමති නැහැ. ඒකයි මට ගැහුවේ කියලා මං කිව්වා. ඇයි මං එයාට ගැහුවේ නැත්තේ කියලා ඇහුවම, බයිබලයේ රෝම 12:17 කියන්නේ ‘කාටවත් නපුරට නපුර කරන්න එපා’ කියලයි. ඒ නිසයි මං ගැහුවේ නැත්තේ කියලා මං විදුහල්පතිනියට කිව්වා. ඊටපස්සේ, ඒ ළමයා ගැන විදුහල්පතිනිය බලාගන්නම් කියලා මට පන්තියට යන්න කිව්වා.”

ආර්ජන්ටිනාවේ කැටමාකා