Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

අපි කැරලිකරුවන්ගෙන් බේරුණා!

ඇන්ඩෘ බොන්

අපි කැරලිකරුවන්ගෙන් බේරුණා!
  • ඉපදුණේ 1961

  • බව්තීස්ම වුණේ 1988

  • තොරතුරු යුද්ධය පැවති කාලයේදී සියරා ලියොන්වල පෙන්ඩෙම්බු නගරයේ ස්ථාවර පුරෝගාමියෙක් විදිහට සේවය කළා.

දවසක් හවස් වරුවේ කැරලිකරුවන් තුවක්කුත් අරගෙන නගරයට ඇවිත් පැය දෙකක් විතර අහසට වෙඩි තිබ්බා. එයාලගෙන් සමහරු තුවක්කුවක්වත් උස්සගන්න බැරි පොඩි ළමයි. එයාලට තිබුණේ අපිරිසිදු පෙනුමක්. ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරලත් තිබුණා.

ඊළඟ දවසේ එයාලා මිනිස්සුන්ගේ අතපය කපලා දාන්නත් මරන්නත් පටන්ගත්තා. ගැහැනු අයව දූෂණය කෙරුවා. නගරයේ තිබුණේ හිතාගන්නවත් බැරි තරම් දරුණු තත්වයක්. සහෝදර ඇම්එරා බාබාවෝයි එයාගේ පවුලේ අයයි තවත් හතරදෙනෙකුයි නතර වෙලා හිටියේ මගේ ගෙදර. හැමෝම හිටියේ බයෙන්.

කැරලිකරුවන්ගේ නායකයෙක් ඇවිත්, ඊළඟ දවසේ උදේ හමුදා පුහුණුවට එන්න කියලා අපිට අණ කළා. නොගියොත් මරයි කියලා දැනගෙන හිටියත් අපි නොයන්න තීරණය කළා. එදා මුළු රෑම වගේ අපි යාච්ඤා කළා. ඊටපස්සේ උදේ නැඟිටලා දිනපදය සාකච්ඡා කළා. කොයි මොහොතේ හරි කැරලිකරුවන් අපිව ගෙනියන්න එයි කියලා හිතුවත් එයාලා ආවේ නැහැ.

“දිනපදය සාකච්ඡා කළේ, ඔයාලා සාක්ෂිකාරයෝද”

ටික දවසකින් කැරලිකරුවන්ගේ නායකයෙක් සහ තවත් හතරදෙනෙක් අපේ ගේ, ඔවුන්ගේ භාරයට ගත්තා. හැබැයි එයාලා අපිට ඉන්න ඉඩ දුන්න නිසා අපි සාමාන්‍ය විදිහට රැස්වීම පැවැත්තුවා. දිනපදයත් සාකච්ඡා කළා. මේක දැක්ක සමහර සෙබළුන් “දිනපදය සාකච්ඡා කළේ, ඔයාලා සාක්ෂිකාරයෝද” කියලා අපෙන් ඇහුවා. එයාලා බයිබලය ගැන දැනගන්න උනන්දු වුණේ නැහැ. ඒත් අපිට ගරු කළා.

අපේ ගෙදර හිටපු සෙබළුන්ව මුණ ගැහෙන්න දවසක් එයාලගේ උසස් නිලධාරියෙක් ආවා. ඔහු සහෝදර බාබාවෝට ආචාර කරලා අතට අත දීලා සෙබළුන්ට මෙහෙම කිව්වා. “මෙයාගේ හරි මෙයත් එක්ක ඉන්න කෙනෙකුගේ හරි එක කෙස් ගහකටවත් හානියක් වෙලා තිබුණොත් බලාගෙනයි.” එහෙම කිව්වේ අපිට අනතුරක් කරන්න එපා කියලා කැරලිකරුවන්ගේ කණ්ඩායමට ලියුමක් ලැබිලා තිබුණ නිසයි.

මාස කිහිපයකට පස්සේ කැරලිකාර කණ්ඩායම් අතර රණ්ඩු ඇති වුණා. ඒ නිසා අපිට ලයිබීරියාවට පලා යන්න වුණා. එහිදී තවත් කැරලිකාර කණ්ඩායමක් අපිව නැවැත්තුවා. “අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියලා කිව්වම “එහෙමනම් යොහන් 3:16 කියන්නේ මොකක්ද” කියලා එක සෙබළෙක් අපෙන් ඇහුවා. අපි ඒ පදය කිව්වට පස්සේ අපිට යන්න දුන්නා.

තවත් කැරලිකාර නායකයෙක් සහෝදර බාබාවෝටයි මටයි ටිකකට එයත් එක්ක එන්න කියලා කිව්වා. අපිව මරන්න ගෙනියනවා කියලා අපිට හිතුණත් ඔහුට ඕන වුණේ කලින් ඔහු සාක්ෂිකරුවන් එක්ක පාඩම් කළා කියලා කියන්නයි. ඔහු අපිට සල්ලි ටිකකුත් දීලා ළඟ තිබුණු සභාවට අපේ ලියුමකුත් ගිහින් දුන්නා. ටික වෙලාවකට පස්සේ සහෝදරයන් දෙන්නෙක් අපිට අවශ්‍ය කරන දේවලුත් අරගෙන ඇවිත් අපිව ආරක්ෂාව තියෙන තැනකට එක්කගෙන ගියා.