සියරා ලියොන් සහ ගිනියාව
1991 සිට 2001 දක්වා “දුක් පීඩා නමැති ගිනි උදුනේ”—යෙසා. 48:10. (1වෙනි කොටස)
සිවිල් යුද්ධය
1980 ගණන්වලදී බටහිර අප්‍රිකාවේ ඇති වූ ගැටුම්කාරී තත්වය මුලපිරුවේ සිවිල් යුද්ධයකටයි. ලයිබීරියාවේ යුධ ගැටුම් ඇවිලෙද්දී බොහෝදෙනෙක් සියරා ලියොන්වලට පලා ගියා. සරණාගතයන් ලෙස ආ සාක්ෂිකරුවන්ට නමස්කාර මධ්‍යස්ථාන සහ නිවාසවල නවාතැන් දීමට ශාඛා කාර්යාලය මගින් සැලසුම් කළ අතර සහෝදරයන් ඔවුන්ව රැකබලා ගත්තා.
සහෝදරයන් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් හාස්‍යජනක දේවල් සිදු වුණ අවස්ථාත් තිබුණා. එවැනි සිදුවීමක් ගැන මිෂනාරි සහෝදරියක් වූ අයිසොල්ඩෙ ලොරෙන්ස් මෙහෙම කිව්වා. “රැස්වීම් ශාලාවේ වත්ත කෙළවරේ තිබුණු ලිප ළඟට ගිහින් කෑම ටික රත්කරන් එන්න කියලා පොඩි පිරිමි ළමයෙක්ව එයාගේ තාත්තා යැව්වා. ඒ ශාලාව තිබුණේ ශාඛා කාර්යාලයේ ඉඩමේ. ළමයා ආපහු ඇවිත්. ‘අද නං කෑම නෑ’ කියලා තාත්තට කිව්වා. ඇයි කියලා ඇහුවම ළමයා කිව්වේ ‘යෙහෝවා දෙවි මාව සිංහයෙක්ගේ කටින් බේරගත්තා’ කියලයි. වෙලා තියෙන්නේ මේකයි. ළමයා කෑම ටික අරන් එද්දී බෙතෙල් එකේ මුරට හිටිය ලොකු බල්ලා ළමයාගේ ඉස්සරහට ඇවිත්. ඌ හපන බල්ලෙක් නෙමෙයි. ඒත් ළමයා, බයට කෑම එක තිබ්බ අත ඌගේ පැත්තට දික් කරලා. කෑම එක ඌට දෙනවා කියලා හිතලා, බල්ලා ඒක කාලා.”
1991 මාර්තු 23වෙනිදා ගැටුම්කාරී තත්වය සියරා ලියොන්වලටත් පැතිරුණා. එය අවුරුදු 11ක් පුරා පැවති සිවිල් යුද්ධයකට මුලපිරුවා. කයිලාහුන්, කෝයින්ඩු වැනි නගරවලත් ගැටුම් ඇති වූ නිසා එහි සිටි වැසියන් බොහෝදෙනෙක් ගිනියාවට පලා ගියා. ඔවුන් අතර සාක්ෂිකාරයන් 120ක් සිටියා. කැරලිකරුවන්ගේ
ප්‍රහාරයට කලින් ලයිබීරියාවේ සිටි තවත් සාක්ෂිකරුවන් ආරක්ෂාව පතා සියරා ලියොන්වලට ඇවිත් තිබුණා.ඇති වූ තත්වය ගැන ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ සහෝදර බිලී කොවන් කිව්වේ මෙහෙයි. “යුද්ධයෙන් බැට කාලා, වැහැරිලා හිටපු සහෝදරයන් මාස කිහිපයක් පුරාම ෆ්රීටවුන්වල බෙතෙල් නිවසට ආවා. එයාලා වචනයෙන් කියන්න බැරි තරම් කටුක දේවල්වලට මුහුණ දීලා තිබුණා. බඩගින්න නිවාගෙන තිබුණේ කැලෑ පැලෑටි කාලයි. අපි ඉක්මනින්ම එයාලට අවශ්‍ය කෑම බීම හා ඇඳුම් දුන්නා. එයාලත් එක්ක ආපු අයටත් කන්න බොන්න දුන්නා. ෆ්රීටවුන්වල හිටපු සහෝදර සහෝදරියන් තමන්ගේ ගෙවල්වල එයාලව තියාගත්තා. අසරණ වෙලා ආපු සහෝදරයන් ඉක්මනින්ම දේශනා සේවයේ හවුල් වුණා. කාලයක් ගිහින් ගොඩක් අය වෙනත් පැතිවලට ගියත් හිටපු ටික කාලේ එයාලා අපිට ලොකු ශක්තියක් වුණා.”
සහනය හා බලාපොරොත්තුව ගෙන දෙමින්
දකුණු ගිනියාවේ සරණාගත කඳවුරුවල සිටි සාක්ෂිකරුවන්ට අවශ්‍ය ආහාර, බෙහෙත්, ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ විවිධ උපකරණ ශාඛා කාර්යාලයෙන් ලබා දුන්නා. ඒ වගේම ප්‍රංශයෙන් ඇඳුම් තොගයක්ද එවා තිබුණා. ඒ ගැන එක් පියෙක් මෙහෙම කිව්වා. “මගේ දරුවෝ රැස්වීමට යන්න අලුත් ඇඳුම් ලැබුණා කියලා දෙවිට ස්තුති කළා. සිංදු කියකියා නැටුවා.” සමහර සහෝදර සහෝදරියන් කිව්වේ ඒ වගේ හොඳ ඇඳුම් එයාලා කවදාවත් ඇඳලා තිබුණේ නැහැ කියලයි.
යේසුස් කිව්වේ “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මත” කියලයි. (මතෙ. 4:4) ඒ නිසා මේ සහෝදරයන්ගේ එම අවශ්‍යතාවත් ඉටු කරන්න පියවර ගත් ශාඛා කාර්යාලය ඔවුන්ට අවශ්‍ය ප්‍රකාශන ලබා දුන් අතර සමුළුද සැලසුම් කළා. පුරෝගාමීන් සහ චාරිකා සේවයකන්වත් ඔවුන් සිටි පළාත්වලට යැව්වා.
චාරිකා සේවකයෙක් වන ඔන්ඩ්රෙ බාට් ගිනියාවේ කොවුන්ඩො නගරයේ තිබූ කඳවුරට ගිය විට එහි නිලධාරියෙක් කතාවක් දෙන්න කියා ඔහුට ආරාධනා කළා. ඒ නිසා ඔහු ගීතාවලිය 18වෙනි පරිච්ඡේදය පදනම් කරගෙන “යෙහෝවා දෙවිගේ රැකවරණය ලබන්න” යන තේමාවෙන් කතාවක් දුන්නා. එයට 50දෙනෙක් ඇහුම්කන් දුන්නා. ඔහු කතාව දී අවසන් වන විටම වයසක කාන්තාවක් නැඟිටලා මෙහෙම කිව්වා. “අද අපිට හරිම සතුටුයි. ප්‍රශ්නවලට විසඳුම කෑම නෙමෙයි. විසඳුම ලැබෙන්නේ දෙවියන්ගෙන්. අපිට සහනයක්, බලාපොරොත්තුවක් දුන්නාට ඔයාට ගොඩාක් ස්තුතියි.”
මිෂනාරිවරුන් දෙදෙනෙක් වන විලියම් සහ ක්ලෝඩියා ස්ලෝට ගිනියාවේ ග්වෙක්කෙඩො නගරයේ සේවයට ගිය විට එහි සිටි අවතැන් වූ සාක්ෂිකාරයන් 100දෙනා තුළ විශාල උද්යෝගයක් ඇති වුණා. (රෝම 12:11) සහෝදර විලියම් ඒ ගැන සිහි කළේ මෙහෙමයි. “ගොඩක් තරුණ සහෝදරයන් සත්‍යය තුළ හොඳට දියුණු වුණා. කවුරුහරි සේවා පාසැලේ කතාවක් දෙන්න ආවේ නැත්නම් ඒක ස්වේච්ඡාවෙන් දෙන්න දහ පහළොස් දෙනෙක් හිටියා. හුඟදෙනෙක් සේවයටත් හවුල් වුණා. ඒ තරුණ සහෝදරයන්ගෙන් හුඟක් අය දැන් විශේෂ පුරෝගාමීන් හා සංචාරක සේවකයන් විදිහට වැඩ කරනවා.”
නොසන්සුන් වාතාවරණයක් මැද ඉදි කිරීම්
සිවිල් යුද්ධය ආරම්භ වී වැඩි කලක් යන්න කලින් ෆ්රීටවුන්වල සහෝදරයන් ශාඛා කාර්යාලයට මීටර් කිහිපයක් දුරින් තවත් අක්කර එකහමාරක ඉඩමක් මිල දී ගත්තා. ඒ ගැන සහෝදර ඇල්ෆ්‍රඩ් ගන් මෙහෙම කිව්වා. “අපිට අලුතින් බෙතෙල් නිවසක් හදන්නයි ඕන වුණේ. ඒත් යුද්ධය නිසා අපි හිටියේ
දෙගිඩියාවෙන්. ඒ කාලෙදිම වගේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ලොයිඩ් බැරී අපිව බලන්න ආවා. අපි ඒ ගැන එයාට කිව්වම එයා කිව්වේ ‘යුද්දේ නිසා අපේ වැඩ කල් දැම්මොත් කවදාවත් ඒවා කෙරෙන්නේ නෑ’ කියලයි. ඒ වචන අපිට ලොකු ශක්තියක් වුණා.”ඉදි කිරීම් වැඩ සඳහා සහෝදරයන් බොහෝදෙනෙක් හවුල් වුණා. විවිධ රටවල් 12කින් පමණ ස්වේච්ඡා සේවකයන් 50දෙනෙක් එයට දායක වුණා. එහි වැඩ ආරම්භ වුණේ 1991 මැයි මාසයේ. ව්‍යාපෘතිය භාරව කටයුතු කළ සහෝදර ටොම් බෝල් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “සාමාන්‍යයෙන් ඒ රටේ ගොඩනැඟිලි හදනවාට වඩා වෙනස්, දියුණු තාක්ෂණයක් පාවිච්චි කරලා මේ ගොඩනැඟිල්ල හදනවා දැකලා හුඟක් අය පුදුම වුණා. ඒත් මිනිස්සු වැඩියෙන්ම පුදුම වුණේ සුදු ජාතික සහෝදරයන් සහ කලු ජාතික සහෝදරයන් සතුටෙන් එකට වැඩ කරපු විදිහ දැකලයි.”
විවිධ රටවලින් පැමිණි සහෝදරයන්ගේ සහභාගිත්වයෙන් 1997 අප්‍රියෙල් 19වෙනිදා එම ගොඩනැඟිල්ල කැප කළා. ඉන් මාසයකට පස්සේ කැරලිකරුවන් ෆ්‍රීටවුන් නගරයටත් පහර දෙන්න පටන්ගත්තා.
ෆ්‍රීටවුන් නගරයේත් ගැටුම්
කැරලිකරුවන් විශාල පිරිසක් ගෙවල් දොරවල් කොල්ලකමින්, ස්ත්‍රීන්ව දූෂණය කරමින්, මිනිස්සුන්ව මරා දමමින් ෆ්‍රීටවුන් නගරයට කඩාවැදුණා. ඒ ගැන සහෝදර ඇල්ෆ්‍රඩ් ගන් මෙහෙම කිව්වා. “නගරයේ තිබුණේ බිහිසුණු තත්වයක්. අපි මිෂනාරිවරුන්ව ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යැව්වා. ඉතුරු වුණේ බිලී හා සැන්ඩ්‍රා කොවන්, ජිමී හා ජොයිස් හොලන්ඩ් හා මමයි මගේ බිරිඳ කැතරිනුයි විතරයි.
“බෙතෙල් නිවසේ නතර වෙන්න කැමති වුණ සහෝදරයන් එක්ක එකතු වෙලා අපි යාච්ඤා කළා. ඊටපස්සේ අපිත් ඉක්මනින්ම එතනින් පිටත් වුණා. මඟදී බීලා හිටපු නපුරු කැරලිකරුවන් 20දෙනෙක් විතර අපිව නැවැත්තුවා. එයාලට සල්ලියි
අපේ සඟරායි දුන්නාම අපිට යන්න දුන්නා. ප්‍රදේශය අත්හැරලා යන දාහකට වඩා වැඩි සෙනඟක් එක්ක අපි ඇමරිකානු නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ තිබුණ තැනකට ගියා. එතනින් හෙලිකොප්ටරයකින් අපිව නැවකට ගෙනිච්චා. නැවේ හිටපු නිලධාරියෙක් මට කිව්වා ‘වියට්නාම් යුද්ධයෙන් පස්සේ මෙච්චර සෙනඟක් අරං යන මුල්ම වතාව මේක’ කියලා. පහුවදා අපි හෙලිකොප්ටරයකින් ගිනියාවේ කොනක්‍රි නගරයට ගියා. අපි එහේ ඉඳන් තාවකාලිකව ශාඛා කාර්යාලයේ වැඩකටයුතු කරගෙන ගියා.”ෆ්‍රීටවුන් නගරයෙන් තොරතුරක් ලැබෙන තුරු මිෂනාරිවරු සිටියේ නොඉවසිල්ලෙන්. අන්තිමේදී ලිපියක් ලැබුණා. ඒකෙ මෙහෙම ලියලා තිබුණා. “මොන බාධක තිබුණත් අපි ‘සියලුම ජනයා කවදා හෝ එකිනෙකාට ප්‍රේම කරාවිද?’ කියන ‘රාජ්‍ය ආරංචි’ අංක 35 පත්‍රිකාව බෙදා දෙනවා. ඒකට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. කැරලිකරුවන් කිහිපදෙනෙකුත් අපිත් එක්ක බයිබලය පාඩම් කරනවා. දේශනා සේවය තවත් වැඩි කරන්නයි අපි හිතාගෙන ඉන්නේ.”
චාරිකා සේවයේ යෙදුණු ජොනතන් ම්බෝමා අතීතය සිහි කළේ මෙහෙමයි. “අපි ෆ්රීටවුන්වල එක්දින සමුළුවක් පැවැත්තුවා. ඒ සමුළුවෙන් ගොඩක් අය දිරිගැන්වුණා. ඒ නිසා මම බෝ සහ කෙන්එමා නගරවලත් ඒ සමුළුව පවත්වන්න ගියා. යුද්ධයෙන් පීඩාවට පත්වෙලා හිටපු සහෝදරයෝ ඒ සමුළුව ගැන යෙහෝවා දෙවිට ගොඩාක් ස්තුති කළා.
“1997 අගභාගයේදී ෆ්‍රීටවුන් නගරයේ ජාතික ක්රීඩාංගනයෙත් තුන්දින සමුළුවක් තිබ්බා. සමුළුවේ අන්තිම දවසේ කැරලිකරුවන් එතනට ඇවිත් අපිට යන්න කිව්වා. ඒත් අපි ඒගොල්ලන්ගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවා වැඩසටහන ඉවර වෙනකල් අපිට ඉන්න දෙන්න කියලා. ලොකු සාකච්ඡාවකට පස්සේ අපිට ඉඩදීලා එයාලා ගියා. ඒ සමුළුවට 1,000කට වඩා වැඩිදෙනෙක් ආවා. 27දෙනෙක් බව්තීස්ම වුණා. තත්වය භයානක වුණත් සමහර සහෝදරයෝ බෝ නගරයේ සමුළුවටත් ගියා. ඒවා නම් කවදාවත් අමතක වෙන්නැති සමුළු!”