සියරා ලියොන් සහ ගිනියාව
1915 සිට1947 දක්වා මුල් කාලය (1වෙනි කොටස)
සත්‍යයේ ආලෝකය උදා වෙයි
සියරා ලියොන් රටට සාක්ෂිකරුවන්ගේ පොත් පත් මුලින්ම රැගෙන ආවේ එංගලන්තයේ සිට පැමිණි සියරා ලියොන් වැසියන්. ඒ 1915දීයි. ඒ අවුරුද්දේම ජූලි මාසයේ ගයනා ජාතිකයෙක් වූ 31 හැවිරිදි ඇල්ෆ්‍රඩ් ජෝසෆ් රැකියාවක් සඳහා ෆ්‍රීටවුන් නගරයට ආවා. ඔහු තමයි සියරා ලියොන්වලට පැමිණි මුල්ම බව්තීස්මලත් සාක්ෂිකරුවා. ඔහු බව්තීස්ම වී තිබුණේ බාර්බඩෝස්වලදීයි. දුම්රිය එන්ජින් ක්‍රියා කරවන්නෙක් ලෙස සේවය කළ ඔහු පදිංචි වුණේ ක්ලයින් ටවුන් නගරයේයි. ආ දවසේ සිටම ඔහු රැකියා ස්ථානයේ අයට ශුභාරංචිය දේශනා කළා.
ඔහු සමඟ බාර්බඩෝස්වලදී රැකියාව කළ මිතුරෙක් වන ලෙනාඩ් බ්ලැක්මන්ද ඊළඟ අවුරුද්දේ ක්ලයින් ටවුන් නගරයේ පදිංචියට ආවා. ඇල්ෆ්‍රඩ්ට සත්‍යය ලැබී තිබුණේ ලෙනාඩ්ගේ මවගෙන්. ඇල්ෆ්‍රඩ් සහ ලෙනාඩ් නිතරම බයිබලය ගැන සාකච්ඡා කළා. ඒ වගේම ඔවුන් අපේ ප්‍රකාශන මිතුරන්ට සහ උනන්දුව දැක්වූ අයට බෙදා දුන්නා.
සත්‍යය දැනගන්න මිනිසුන් තුළ තිබෙන ආශාව දුටු ඇල්ෆ්‍රඩ්ට සහ ලෙනාඩ්ට ෆ්‍රීටවුන් නගරය පෙනුණේ අස්වැන්න පැසී තිබෙන කෙතක් වගේයි. (යොහ. 4:35) ඒ නිසා ඇල්ෆ්‍රඩ් 1923දී නිව් යෝර්ක් නගරයේ ලෝක මූලස්ථානයට ලිපියක් ලිව්වා. එහි සඳහන් වුණේ මෙහෙමයි. “මෙහේ ඉන්න ගොඩක් අය බයිබලය ඉගෙනගන්න ආසයි. ඒ නිසා ඔවුන්ට උදව් කරන්න කෙනෙක්ව එවන්න.” කෙනෙක්ව එවන බවට සඳහන් කර ඔහුට පිළිතුරක් ලැබුණා.
ඇල්ෆ්‍රඩ් මෙහෙම කිව්වා. “මාස කිහිපයකට පස්සේ සෙනසුරාදා දවසක රෑ මට කෝල් එකක් ආවා.
“‘දේශනා සේවයට උදව් ඉල්ලලා වොච් ටවර් සමිතියට ලියුමක් එව්වේ ඔයාද’ කියලා කතා කරපු කෙනා මගෙන් ඇහුවා.
“‘ඔව්, මම තමයි’ කියලා මම කිව්වා.
“‘උදව් කරන්න මාව තමයි එව්වේ’ කියලා එයා කිව්වා.
“ඒ කතා කෙරුවේ විලියම් ආර්. බ්‍රවුන්. ඔහුත් ඔහුගේ බිරිඳ ඇන්ටෝනියා සහ එයාලගේ දුවත් හෝටලයක නතරවෙලා ඉන්නවා කියලා මට කිව්වා.
“ඊළඟ දවසේ උදේ මම ලෙනාඩ්ට බයිබල් පාඩම කරද්දී දොර ළඟට උස මහත මනුස්සයෙක් ඇවිල්ලා හිටගත්තා. ඒ වෙන කවුරුත් නෙමෙයි, විලියම් ආර්. බ්‍රවුන්. එයාට සත්‍යය ගැන කතා කරන්න තිබුණේ පුදුම උනන්දුවක්. පහුවදාම බයිබල් දේශනයක් දෙන්න එයාට ඕන වුණා. ඒ නිසා අපි ඉක්මනින්ම ෆ්‍රීටවුන් නගරයේ ලොකුම ශාලාව කුලියට අරගෙන දේශන හතරක් දෙන්න සැලසුම් කළා. ඒකෙන් පළවෙනි දේශනය දුන්නේ ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා හවස.
“අපේ පුංචි කණ්ඩායම පුළුවන් තරම් අයට ඒ දේශන ගැන කිව්වා. ඒ වගේම පත්තර හා පත්රිකාවලිනුත් දැනුම් දුන්නා.
බලාපොරොත්තු නොවුණ විදිහට මිනිස්සු 500දෙනෙකුගෙන් විතර ශාලාව පිරුණා. ඒ අතරේ පූජකයෝ කීපදෙනෙකුත් හිටියා. අපිට දැනුණේ පුදුම සතුටක්.”සහෝදර බ්‍රවුන් පැයක් පුරා දුන්න දේශනයේදී බයිබල් පද බොහොමයක් උපුටා දැක්වූවා. ඒවා වීදුරු කාච යොදාගෙන තිරයක දිස් වෙන්නත් සැලැස්සුවා. ඒ වගේම ඔහු නිතරම කිව්වේ “මේ දේ කියන්නේ මං නෙමෙයි. බයිබලය” කියලයි. දේශනයට පැමිණි අය ඔවුන්ට ඇහුණ දේවල් ගැන කොතරම් පුදුමයට පත් වුණාද කියනවා නම් අලුතින් යමක් ඇසුණු හැම වෙලාවකදීම අත්පොළසන් දුන්නා. ඔවුන්ගේ සිත් ගත්තේ සහෝදර බ්‍රවුන්ගේ කතා විලාශය නොවෙයි, ඔහු බයිබලයෙන්ම සැපයූ සාක්ෂියි. “බ්‍රවුන් මහත්තයාට බයිබලය ගැන තියෙන්නේ පුදුම දැනුමක්” කියලා ඒ දේශනයට ඇවිත් සිටි තරුණයෙක් පවා කිව්වා.
බ්‍රවුන්ගේ දේශනවලින් පස්සේ මිනිසුන්ගේ කුතුහලය ඇවිස්සුණා. ඊළඟ ඉරිදා ඉදිරිපත් කළ “නිරයේ ඉන්නේ කවුද?” කියන දේශනයටත් විශාල සෙනඟක් පැමිණ සිටියා. සහෝදර බ්‍රවුන් බයිබල් සත්‍යයන් කොතරම් දක්ෂ ලෙස ඉගැන්වූවාද කියනවා නම් පල්ලියේ ප්‍රබල සාමාජිකයන් පවා පල්ලියෙන් ඉවත් වෙන්න තීරණය කළා.
“දැන් ජීවත් වන මිලියන ගණන්දෙනා කවදාවත් මිය යන්නේ නැහැ” යන තේමාවෙන් දේශන මාලාවේ අවසාන දේශනය ඉදිරිපත් කළා. එයට ඇහුම්කන් දෙන්න කොතරම් සෙනඟක් පැමිණියාද කියනවා නම් ෆ්‍රීටවුන් නගරයේ වැසියෙක් ඒ ගැන සිහි කළේ මෙහෙමයි. “එදා හවස පල්ලියේ පූජාවට සෙනඟ හිටියේ නැති නිසා පූජාව තිබ්බෙත් නැහැ.”
සහෝදර බ්‍රවුන් කතා කරද්දී නිතරම බයිබලය යොදාගත් නිසා ඔහුට හැමෝම කිව්වේ “බයිබල් බ්‍රවුන්” කියලයි. ඒ නමින් ඔහු මුළු බටහිර අප්‍රිකාව පුරාම ප්‍රසිද්ධ වුණා. මේ පොළොවේ ගත කළ ජීවිතය අවසන් වන තුරුම මිනිස්සු ඔහුව ඒ නමින් හැඳින්වීම ගැන ඔහු සතුටු වුණා.