Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

1915 සිට1947 දක්වා මුල් කාලය (2වෙනි කොටස)

1915 සිට1947 දක්වා මුල් කාලය (2වෙනි කොටස)

සත්‍යය ජය ගනියි

පල්ලියේ සාමාජිකයන් සහෝදර බ්‍රවුන්ගේ දේශනවලට උනන්දුවෙන් සහභාගි වෙනවා කියා දැනගත් පූජකයන්ට ඇති වුණේ ඊර්ෂ්‍යාවක්. ඒ ගැන 1923 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “පූජකයන් පුවත්පත අවියක් කරගෙන සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කතා කළා. සහෝදර බ්‍රවුන්ද ඔවුන්ගේ චෝදනාවලට දිගටම පිළිතුරු දුන්නා.” අන්තිමේදී පූජකයන් නිහඬ වූ අතර ඔවුන්ගේ චෝදනා බොරු බව හෙළි වුණා. පත්තරය කියවූ බොහෝ අය අපේ පොත් පත් ඉල්ලන්න පටන්ගත්තා. පූජකයන් දෙවිගේ සෙනඟව නිහඬ කරන්න උත්සාහ කළත් “ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම” හැරෙව්වා.—ගීතා. 94:21-23.

ග්ලැඩියේටර්වරු ලෙස තමන්ව හඳුන්වාගත් තරුණ කණ්ඩායමක් පූජකයන් වෙනුවෙන් නැඟී සිටියා. ඔවුන් බයිබල් ශිෂ්‍යයන්ට විරුද්ධව රැස්වීම් පැවැත්වූ අතර බයිබල් ශිෂ්‍යයන්ගේ ඉගැන්වීම් හැඳින්වූයේ “රසල්වාදය” කියලයි. ඒ නිසා සහෝදර බ්‍රවුන් ප්‍රසිද්ධ විවාදයකට ඔවුන්ට ආරාධනා කළා. එය ප්‍රතික්ෂේප කළ ග්ලැඩියේටර්වරු ඒ ගැන පුවත්පතේ පළ කිරීම ගැන එහි ප්‍රකාශකයන්ටත් දොස් නැඟුවා. එම කණ්ඩායම සහෝදර බ්‍රවුන්ට ඔවුන්ගේ රැස්වීම්වලට පැමිණෙන්නවත් ඉඩ දුන්නේ නැති නිසා ඒවාට සහභාගි වුණේ සහෝදර ඇල්ෆ්‍රඩ් ජෝසෆ්.

ඒ රැස්වීම් පැවැත්වූවේ ෆ්‍රීටවුන් නගරයේ ප්‍රසිද්ධ මෙතෝදිස්ත දේවස්ථානයකයි. සහෝදර ඇල්ෆ්‍රඩ් ඒ ගැන මෙහෙම කිව්වා. “මම ත්‍රිත්ව ඉගැන්වීම ගැනත් බයිබලයට පටහැනි ඔවුන්ගේ වෙනත් ඉගැන්වීම් ගැනත් ප්‍රශ්න ඇහුවා. අන්තිමට එතන හිටපු ප්‍රධානියා මට තවත් ප්‍රශ්න අහන්න ඉඩ දුන්නේ නැහැ.”

තරුණ කණ්ඩායමේ සිටි එක් සාමාජිකයෙක් තමයි මෙල්බන් ගාබර්. ඔහු කලින් සහෝදර බ්‍රවුන්ගේ දේශනවලටත් සහභාගි වී තිබුණා. එක් අවස්ථාවක “බ්‍රවුන් මහත්තයාට බයිබලය ගැන තියෙන්නේ පුදුම දැනුමක්” කියා කිව්වේ ඔහුයි. ඇසූ දේවල් ගැන හොඳින් කල්පනා කර බැලූ ඔහුට මෙය සත්‍ය ආගම බව වැටහුණා. තවදුරටත් බයිබලය ගැන ඉගෙනගන්න කැමතියි කියා සහෝදර බ්‍රවුන්ට ඔහු කියූ නිසා බ්‍රවුන්ගේ නිවසේ සතිපතා පැවැත්වූ ‘මුරටැඹ’ සාකච්ඡාවට ඔහුට ආරාධනා කළා. ගාබර්ගේ පවුලේ අය ඔහු ගත් තීරණයට තදින්ම විරුද්ධ වුණත් ඔහු සත්‍යය අත්හැරියේ නැහැ. ඔහුත් තවත් කිහිපදෙනෙකුත් ඉක්මනින්ම බව්තීස්ම වුණා.

දේශනා සේවය ආරම්භ කළ කාලයේදීම එය නවත්වන්න සාතන් ගත් උත්සාහය අසාර්ථක වුණා. ඒ ගැන ෆ්‍රීටවුන් නගරයේ නගරාධිපති ග්ලැඩියේටර්වරුන්ට මෙහෙම කිව්වා. “මේ මිනිසුන් කරන්න අදහස් කරන දේවල් ඔවුන්ගේම අදහසක් නම් එය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම් ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.”—ක්‍රියා 5:38, 39.

බ්‍රවුන්ලගේ ආගම

1923 මැයි මාසයේදී තවත් පොත් පත් එවන්න කියා ලන්ඩන් ශාඛා කාර්යාලයට පණිවිඩයක් යැවූ සහෝදර බ්‍රවුන්ට වැඩි දවසක් යන්න කලින් පොත් 5,000ක් ලැබුණා. ඒ වගේම ඔහු දිගටම රැස්වීම් පැවැත්වූ අතර උනන්දුව දැක්වූ දහස් ගණනක් ඒ රැස්වීම්වලට පැමිණියා.

“සියරා ලියොන්වල හොඳ වර්ධනයක් තියෙන නිසා සහෝදර බ්‍රවුන් උදව්වට කෙනෙක් ඉල්ලා තිබෙනවා. ඒ සඳහා සහෝදර ක්ලෝඩ් බ්‍රවුන් එහේ යෑමට සූදානම්” කියා ඒ වසරේ ‘මුරටැඹ’ සඟරාවකත් පළ වුණා.

ක්ලෝඩ් බ්‍රවුන් අද්දැකීම් ලත් සහෝදරයෙක්. ඔහු පළමු ලෝක යුද්ධ කාලයේදී දෙවිට විශ්වාසවන්තව සිටි නිසා සිර දඬුවම්වලටත් බොහෝ වධ හිංසාවලටත් මුහුණ දුන් කෙනෙක්. ඔහු සියරා ලියොන්වල අවුරුදු 4ක් පුරා සහෝදරයන්ව ශක්තිමත් කරමින් වෙහෙස මහන්සි නොබලා සේවය කළා.

ඒ ගැන සහෝදරී පෝලීන් කෝල් මෙහෙම කියනවා. “1925 මගේ බව්තීස්මයට කලින් ප්‍රශ්න අහද්දී සහෝදර ක්ලෝඩ්ට දැනගන්න ඕන වුණා මම ඇත්තටම සත්‍යයට ආදරේද කියලා.

“ඔහු මෙහෙම කිව්වා. ‘සහෝදරී කෝල්, ඔයා ඉගෙනගත්ත දේවල් ඔයාට හොඳට තේරුණාද? අපි කැමති නැහැ ඔයා හරි අවබෝධයක් නැති නිසා සත්‍යය අතහැරලා යනවා දකින්න.’

“‘ඔව්, මම හොඳට හිතලා බලලයි මේ තීරණය ගත්තේ’ කියලා මම කිව්වා.”

පෝලීන් කෝල්

සහෝදරී පෝලීන් පොළොවේ ගත කළ ජීවිතය 1988දී අවසන් කරන තුරුම අවුරුදු 60කට වඩා වැඩි කාලයක් දෙවිට විශ්වාසවන්තව සිටියා. ඉන් වැඩි කාලයක් ඇය සේවය කළේ විශේෂ පුරෝගාමියෙක් ලෙසයි.

“බයිබල්” බ්‍රවුන්ද අනිත් අය තුළ හොඳ පුරුදු ඇති කරන්න වෙහෙසුණා. ඒ ගැන ඇල්ෆ්‍රඩ් ජෝසෆ් මෙසේ සිහි කළා. “උදේට සහෝදර බ්‍රවුන්ව හම්බ වුණාම එයා සුව දුක් අහලා ඊළඟට අහන්නේ ‘අද තිබ්බ දිනපදේ මොකක්ද’ කියලයි. මට උත්තර දෙන්න බැරි වුණොත් දිනපදය කියවන එක කොච්චර වටිනවද කියලා එයා මට කියලා දෙනවා. ඒ නිසා මාව අහුවෙයි කියන බයට මම හැමදාම දිනපදය බලලා තමයි එළියට ගියේ. එයා එහෙම කරපු එක කොච්චර වටිනවාද කියලා මට තේරුණේ පස්සේ කාලෙකයි.”

මේ හැම පුහුණුවක්ම අපිට සත්‍යය තුළ දියුණු වෙන්න උදව් වුණා. 1923දී ෆ්‍රීටවුන් නගරයේ සභාවක් පිහිටෙවූ අතර 14දෙනෙක් බව්තීස්ම වුණා. ජෝජ් බ්‍රවුන් අලුතින් බව්තීස්ම වූ සහෝදරයන් අතරින් කෙනෙක්. ඔහුගේ පවුලත් සමඟ සභාවේ “බ්‍රවුන්” නමින් පවුල් තුනක්ම හිටියා. මේ පවුල් තුනම උනන්දුවෙන් සේවය කළ නිසා නගරයේ බොහෝ අය බයිබල් ශිෂ්‍යයන්ව හැඳින්වූයේ “බ්‍රවුන්ලගේ” ආගම කියලයි.