සියරා ලියොන් සහ ගිනියාව
යෙහෝවා දෙවි මාව ඉසිලුවා
ජේ කැම්බල්
-
ඉපදුණේ 1966
-
බව්තීස්ම වුණේ 1986
-
තොරතුරු පෝලියෝ රෝගයෙන් පීඩා විඳින ස්ථාවර පුරෝගාමී සහෝදරියක්.
ෆ්‍රීටවුන් නගරයේ දුප්පත් පවුල් කිහිපයක් ජීවත් වුණ තැනක පුංචි ගෙයක තමයි මමයි මගේ පවුලේ අයයි හිටියේ. පොඩි කාලේ ඉඳන්ම මගේ ඉනෙන් පහළ පණ නැහැ. මාව කවුරුත් දකිනවාට ආස නැති නිසා අවුරුදු 18ක් පුරාවටම මම ගෙයින් එළියට ගිහිල්ලා තිබුණේ එකම එක වතාවයි.
මට අවුරුදු 18දී මිෂනාරි සහෝදරියක් වන පෝලීන් ලැන්ඩිස් අපේ ගෙදරට ආවා. එයා මට බයිබලය උගන්වන්න කැමති වුණත් මම ලියන්න කියවන්න දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන එයාට කිව්වාම එයා මට අකුරු උගන්වන්නත් කැමැති වුණා.
බයිබලය ඉගෙනගනිද්දී මට ලොකු සතුටක් දැනුණා. ඒ නිසා අපේ ගේ කිට්ටුව තිබුණු ගෙදරක පවත්වපු රැස්වීමට එන්නද කියලා මම පෝලීන්ගෙන් ඇහුව්වා. “මං ඇවිදින්න පාවිච්චි කරන ලී ආධාරකයෙන් මට එන්න පුළුවන්” කියලත් මං කිව්වා.
පෝලීන් මාව රැස්වීමට එක්කගෙන යන්න ආවාම අම්මයි අවට ගෙවල්වල හිටිය අයයි මං වැටෙයි කියලා බයෙන් බලාගෙන හිටියා. මගේ ලී ආධාරකය තදින් අල්ලගෙන මම අමාරුවෙන් ඇඟ ඇදගෙන ටික
ටික ඉස්සරහට ගියා. මම මිදුල හරහා එහෙම යද්දී අහළ පහළ හිටිය අය “ඒ ළමයට ඇවිදින්න බෑ. ඇයි එයාට බල කරන්නේ” කියලා පෝලීන්ට බැන්නා.“ජේ, ඔයාට රැස්වීමට එන්න ඕනෙමද?” කියලා ඒ වෙලාවේ පෝලීන් මගෙන් ඇහුවා.
“ඔව්. මට යන්නම ඕනේ” කියලා මං කිව්වා.
මම අමාරුවෙන් එළියට යන විදිහ බලාගෙන හිටිය අසල්වැසියෝ සතුටින් කෑගහමින් අත්පුඩි ගැහුවා.
මම එදා රැස්වීමට ගියාම මට ලොකු සතුටක් දැනුණා. ඒ නිසා මම රැස්වීම් ශාලාවටත් කොහොමහරි යනවා කියලා හිතාගත්තා. ඒක ලේසි දෙයක් වුණේ නැහැ. පාර ළඟට වෙනකම් ඇවිදගෙන ගිහින් එතැනින් කුලී රථයක නැඟලා යන්නත් එතැන ඉඳන් ශාලාව වෙනකම් සහෝදරයන්ට මාව උස්සගෙන යන්නත් වුණා. ගොඩක් දවසවලට මම රැස්වීමට යද්දී මගේ ඇඳුම්වල මඩ ගැවිලා තියෙන නිසා ශාලාවට ගිහින් මට ඇඳුම් මාරු කරන්නත් වුණා. කාලයකට පස්සේ ස්විට්සර්ලන්තයේ සහෝදරියක් මට රෝද පුටුවක් තෑගි කළ නිසා රැස්වීම්වලට යන්න එන්න පහසු වුණා.
මං වගේ ආබාධ තියෙන සාක්ෂිකරුවන් දෙවිට සේවය කරන විදිහ ගැන අද්දැකීම්වලින් කියවපු නිසා 1988දී මමත් ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. මගේ පවුලේ කෙනෙක්ටත් අපේ පළාතේ ඉන්න කෙනෙක්ටත් සාක්ෂිකාරයෙක් වෙන්න උදව් කරන්න මට අවස්ථාවක් දෙන්න කියලා මම දෙවියන්ට කිව්වා. ඒ ඉල්ලුවා වගේම මගේ ඥාති පුත්තු දෙන්නෙක්ටත් අසල්වැසි කාන්තාවකටත් සත්‍යයට එන්න උදව් කරන්න මට පුළුවන් වුණා.
දැන් මගේ අත් දෙකටත් එච්චර පණ නැහැ. ඒ නිසා මගේ රෝද පුටුව තල්ලු කරන්න වෙන කෙනෙක්ගේ උදව් ඕනේ. මගේ ඇඟට කොයි තරම් වේදනාවක් දැනුණත් යෙහෝවා දෙවි ගැන අනිත් අයට ඉගැන්වීමෙන් මම ලොකු සහනයක් ලබනවා. සේවයෙන් ලැබෙන සතුටත් යෙහෝවා දෙවි මාව ඉසිලුව විදිහ ගැනත් හිතනකොට මට දැනෙන්නේ පුදුම සතුටක්.