Skip to content

පටුනට යන්න

ඩොමිනිකන් ජනරජය

ඉවසීමෙන් ලැබුණු සැනසීම

ඉවසීමෙන් ලැබුණු සැනසීම

කල්පනාකාරීව කළ සේවයක්

රෆායෙල් පාරෙඩ් සහ ඔහුගේ බිරිඳ ෆ්‍රාන්ස්යා සේවය කරන්නේ ඩොමිනිකන් ජනරජයේ ශාඛා කාර්යාලයේයි. 1957 රෆායෙල් ප්‍රචාරකයෙක් වෙද්දී ඔහුට අවුරුදු 18යි. ඒ කාලයේ ඔහුවයි ඔහු එක්ක සේවයේ යන අනිත් අයවයි අල්ලගන්න පොලීසිය නිතරම පස්සෙන් ආවා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “සමහර වෙලාවට පොලීසියේ අයව මඟ හරින්න අපි අතුරු පාරවල්වලින් ගියා. වැටවල් උඩින් පැනලා ගිය වෙලාවලුත් තිබුණා.” සහෝදරි ආන්ඩ්‍රියා ආල්මාන්සා පොලීසියෙන් බේරිලා සේවය කරපු විදිහ ගැන මෙහෙම කිව්වා. “අපි සේවය කළේ හරිම කල්පනාවෙන්. පළවෙනි ගෙදරට කතා කරලා ඊළඟ ගෙදරට ගියේ ගෙවල් 10ක් විතර අත්හැරලයි.”

අවසානයේ නිදහස ලැබෙයි!

1959 වෙද්දි ටෘජිලෝගේ කුරිරු පාලනයට අවුරුදු 30ක් ගත වෙලා තිබුණා. ඒත් මේ වෙද්දී දේශපාලන වාතාවරණය වෙනස් වෙන්න පටන්ගත්තා. 1959 ජූනි 14වෙනිදා රටෙන් පිටුවහල් කරපු අය නැවතත් ටෘජිලෝගේ ආණ්ඩුව පෙරලන්න උත්සාහ කළත් ඔවුන් අසාර්ථක වුණා. ඒ නිසා කැරලිගහපු සමහර අයව මැරුවා. තවත් අයව අත්අඩංගුවට ගත්තා. ඒත් කවදා හරි දවසක ආණ්ඩුව පෙරලන්න පුළුවන් වෙයි කියලා හිතපු ටෘජිලෝගේ සතුරෝ ඔවුන්ගේ විරුද්ධවාදිකම් වැඩි කළා.

අවුරුදු ගණනාවක් තිස්සේ ටෘජිලෝගේ ආණ්ඩුව සමඟ අත්වැල් බැඳගෙන වැඩ කරපු කතෝලික සභාවේ නායකයන් 1960 ජනවාරි 25වෙනිදා ටෘජිලෝට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කළා. එහි සඳහන් වුණේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංගනය වෙන විදිහට වැඩ කරන එක ඔවුන් දැඩි ලෙස හෙළාදකිනවා කියලයි. ඒ ගැන ඉතිහාසඥයෙක් වන බර්නාතෝ වේගා කිව්වේ “1959 ජූනි මාසයේදී ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කළ අයට සලකපු විදිහත් ටෘජිලෝට විරුද්ධ වුණු පුද්ගලයන්ට හා සංවිධානවලට ඔහු සලකපු විදිහත් නිසා පල්ලිය පළවෙනි වතාවට ටෘජිලෝගේ ආණ්ඩුව හෙළාදැක්කා” කියලයි.

1960 මැයි මාසයේදී නොහිතපු විදිහට සාක්ෂිකරුවන්ට විරුද්ධව පනවලා තිබුණු තහනම ටෘජිලෝ ඉවත් කළේ පල්ලිය එක්ක තිබුණු ඔහුගේ බැඳීම පලුදු වූ නිසයි.